නස්කා කාන්තාරය පිටසක්වළ ජීවීන්ගේ ගුවන් පථයක් ද? (442)

post-title

ලෝකයේ බිහි වූ විවිධ ශිෂ්ටාචාරයන් පිළිබද තොරතුරු අතීත කාල වකවානුවල සිට ම මෑත කාලීන යුගවලදී පවා අනාවරණය වෙමින් පවතී. ඒ තොරතුරු අතර අබිරහස් සංසිද්ධීන් සම්බන්ධ තොරතුරු ශිෂ්ටාචාර සාක්ෂි මගින් හමුවීම පුරාවිද්‍යාඥයන් වගේම ගුප්ත රහස් සොයා යන්නන්ද මවිත කරලීමට සමත් වන බැව් නොරහසකි. ඒ නිසාම එවැනි ප්‍රපංචයක් පිළිබදව අද මම ඔබට කියන්නට සිතුවෙමි.

1930 දශකය යනු ගුවන් ගමන් චාරිකා ජනප්‍රිය වුණු කාලවකවානුවකි. සප්ත මහා සාගරයත් කදු ශිඛර ගිරිහෙල් තැනිතලා වලට ඉහළ අහසේ නිදහසේ පියාසර කරන ගමන් යාත්‍රා එකළ බහුල විය. මේවා පසුකර අදාළ ගමනාන්තයට ළගා වීමට පහසුම හා කෙටිම මාර්ගය වූයේ මෙම ගුවන් ගමන්ය. දකුණු ඇමෙරිකාවේ පේරු අහසේ පියාසර කරමින් නස්කා කාන්තාරය උඩින් ගමන් ගත්තේ මේ අතරය. එහිදී ප්‍රථම වරට නාස්කා කාන්තාරයෙහි (Nazca) ඇද ඇති අසාමාන්‍ය දැවැන්ත චිත්‍ර වර්ගයක් දර්ශනය විය. නස්කා කාන්තාරය ලීමා නගරයට සැතපුම් දෙසිය පනහක් දකුණින් පිහිටා තිබේ. මෙම දර්ශනය වූ චිත්‍ර වර්ග සැතපුම් දෙසියක් තරම් ප්‍රදේශයක දක්නට ලැබෙන අතර ඒවා යෝධ චිත්‍ර ලෙස ප්‍රසිද්ධියක් උසුලයි. මේවා කෙතරම් විශාල ප්‍රදේශයක ඇද ඇත්දැයි බැලීම සදහා ගමන් කළ යුත්තේ උඩු ගුවනටයි. මන්ද කෙනෙකුට පැහැදිලිව දැකගත හැක්කේ ඉහළ අහසේ දී පමණි. 

ශුෂ්කත්වය ඉහළින්ම පවතින කාන්තාර ප්‍රදේශයක් වන නස්කා කාන්තාරයට වර්ෂයකට අගලක තරම් වර්ෂාපතනයක් ලැබේ. මේ වියළි කාන්තාරයේ ඇති චිත්‍ර කාන්තාරය මැදින් ගමන් කරන්නෙකුට යම් කිසි රේඛාවන් ලෙස දිස්වුණත් ඉහළ අහසේ දී ඒවා යම් කිසි හැඩයක් ගත් සංඥාවන් ලෙස දිස්වන බව පර්යේෂකයන් කළ අධ්‍යයනයන් වලින් හෙළිදරව් වේ. මෙම සිතුවම් ගුවනේ සිට දකින්නට පෙරාතුව මේ රේඛා තැන තැන සාමාන්‍යය පියවි ඇසින් දුටුවන් ඒ පිළිබද එතරම් සැළකිල්ලක් නොදැක්වූ බව කියවෙයි. කාන්තාරයේ මෙම රේඛා චිත්‍ර ඇද ඇත්තේ බොරළු යොදා ඒ බොරළු මතුපිට යම් වර්ණ ගැන්වීමකින් යැයි නිගමනය කළ හැකිය. පුදුමයට දනවන කරුණ නම් මෙම විසල් භූමිය පුරා එකිනෙක රේඛා යා කරමින් මෙම යෝධ චිත්‍ර ඇදීම සදහා විශාල කාලයක් ශ්‍රමයක් වැය කිරීමට සිදුවන්නට ඇත්ද? එමෙන්ම මේවා ශතවර්ෂාධික කාලයක් නොනැසී පැවකෙන්නට හේතු සාධකයන් මොනවාද? අප දන්නා ආකාරයට කාන්තාරයක් තුළ දුහුවිලි කුණාටු තත්ත්වයන් ඇති විය හැකිය. මෙවැනි හේතුවක් නිසා මෙම සියුම්ව ඇද ඇති රේඛා බොහෝ විට මැකී යාමේ සම්භාවිතාවක් තිබේ. නමුත් අද වන විටත් පෙර සේම නොනැසී පවතී. 

මෙම චිත්‍ර ඇතැම් සතුන්ගේ සහ ගහකොළ නල හැඩය සහිතව නිර්මාණය කර තිබීම සුවිශේෂී වෙයි. ඒ සත්ත්ව හැඩයන් අතරින් රිළවෙකුගේත්, මකුළුවෙකුගේත්, හමිං බර්ඩ් නම් බට්ටිති පවුලේ පැණි කුරුල්ලෙකුගේත් චිත්‍ර විශාල ප්‍රදේශයක් පුරා ඇද තිබෙනු ඇති බව ඉහළ අහසේ දී පැහැදිලිව නිරීක්ෂණය කළ හැකිය. එමෙන්ම චතුරස්‍ර, තුන්හුලස් හැඩ වැනි ජ්‍යාමිතික හැඩයන්ද විශාල සංඛ්‍යාවක් දැකිය හැකිය. එක් ත්‍රිකෝණයක පාදය සැතපුම් නවයක් පමණ තරම් ඈතට විහිදෙයි. 

මෙම ප්‍රපංචය වැඩිදුරටත් අධ්‍යයනය කරන විට මතුවන ප්‍රධාන ගැටලුවක් වන්නේ මෙම චිත්‍ර කවුරුන් විසින් කුමන හේතුවක් නිසා ඇද ඇත්ද යන්නයි. ඒ අනුව පර්යේෂකයන් සදහන් කරන ආකාරයට මෙයට වසර 3000කට පෙර කුඹල් කර්මාන්තයේ නිරත වූ නස්කන් නම් ගෝත්‍රයක් මෙම භූමිය තුළ වාසය කර තිබේ. මොවුන් රෙදි විවීමේ සහ ගෘහ නිර්මාණ ශිල්පයෙහි අති දක්ෂයන් වූහ. ඒ නිසා මෙම සිතුවම් යම්කිසි ආකෘතියකට සහ මිනුම් කලාවද උපයෝගී කොට ඇද ඇති නිසා නස්කන් ගෝත්‍රිකයන් විසින් චිත්‍රණය කරන්නට ඇතැයි විශ්වාස කෙරෙයි. එය එක්තරා වූ අනුමානයක් ලෙස හැදින්විය හැකිය. නස්කන්වරුන් ජිවත් වූ මෙම භූමිය වරින් වර විවිධ බරපතළ ස්වභාවික විපත්වලට භාජනය වීම නිසා මෙම භූමිය පසුකාලීනව ඔවුන් හැරගොස් තිබේ. භූමිය අතනොහැර ගොස් සිටි අතළොස්සක් දෙනා පසුකලක ස්පාඤ්ඤ ආක්‍රමණිකයන් අතින් මරණයට 

පත්වූහ. මෙම චිත්‍ර ග්‍රහ විද්‍යාවට සම්බන්ධයැයිද පිටසක්වළට සම්බන්ධයැයි ද ජ්‍යොතිශ විද්‍යාවට සම්බන්ධයැයි ද ඇතැමුන් තර්ක කරයි.

1960 ගණන්වලදී ලුවිස් පවෙල්ස්, ජැක්ස් බර්ගියර්, එරික් වොන් ඩැන් කන් යන විද්වතුන් විසින් ඉදිරිපත් කළ මතය වූයේ මෙම චිත්‍ර පිටසක්වලින් පිවිසෙන යානා සදහා පිවිසුම් පථයක්ය යන තර්කයයි. ඇතැම් පිරිස් පවසන්නේ ආගමික විශ්වාසයන් මත මේවා ඇද ඇති බවකි. කෙසේ නමුත් මෙම පිරිස් මේවා නිර්මාණය කිරීමේදී ඉහළ අහසට ගොස් නරඹන්නට ඇත. ආචාර්ය මාරි රිච් මෙම චිත්‍ර තාරකා සමග සම්බන්ධතාවයක් ඇති බවටද තර්ක කළේය. ඇගේ තර්කය විද්වතුන් නොපිළිගත්තත් අද වන විටත් මෙම චිත්‍ර කුමන හේතුවක් නිසා ඇද ඇත්ද යන්න පිළිබදව නිගමනයකට පැමිණීමට නොහැකිව ඇත. නස්කා කාන්කාරයේ ඇදි මෙම චිත්‍ර නැරඹීම සදහා එහි වාසය කළ මිනිසුන් බැලුන මගින් අහසට ගිය බව තවත් මතයකි.

කෙසේ නමුත් තවමත් හෙළි නොවුණ අබිරහසක් ලෙස මෙය ඉතිහාසයට එක්ව ඇති අතර මෙහි රහස කවදා හෝ හෙළිවනතෙක් අපිද බලා සිටිමු.

මූලාශ්‍ර-

Top