කොරෝනාව ඩැහැගත් ශ්‍රී ලාංකේය ආර්ථිකය (488)

post-title

 කෝවිඩ් 19 වර්තමානයේදී ගෝලීය සමාජයට වඩාත් ම බලපෑ දැවැන්තම ව්‍යවසනයකි- මෙම කෝවිඩ් වසංගතයේ සිව්වැනි ව්‍යාප්තියට ගෝලීය වශයෙන් සියලුදෙනාම මුහුණදී තිබෙන මොහොතක ශ්‍රීලංකාවත් එම සිව්වැනි ව්‍යාප්තියෙහි එක් ප්‍රබල කොටස්කරුවෙකි- කෝවිඩ් 19 ජාතික ව්‍යවසනයක් වශයෙන් රට තුළ පවතින අවස්ථාවේදී මෙම ජාතික ව්‍යවසනයෙන් ජයගැනීම සඳහා සියලුම ජනතාව ඉමහත් උත්සාහයක යෙදුණත් එම උත්සාහය නිරර්ථක කරනුයේ මිනිසාගේ පෙර පැවති සුපුරුදු ජන ජීවිතය තව තවත් සංකීර්ණත්වයට පත් කරමින් ඔවුන්ගේ සියලු බලාපොරොත්තූන්ටත් වැට කඩුළු බඳිමින් ය. 

මෙම කෝවිඩ් 19 වෛරසය පැතිර යාමත් සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පෙර නොවූවිරූ ලෙස අභියෝගයන්ට මුහුණ දී ඇත. මෙය ගෝලීය ආර්ථිකයේ වසා දැමීමක් හා සමාන වේ. එනමුත් කෝවිඩ් 19 වෛරසය ශ්‍රී ලංකාව පුරා පැතිරී යාම ආරම්භ වන විටත් රට ආර්ථික වශයෙන් ඉතාමත් දුර්වල වූ තත්ත්වයක පැවතිණි. නමුත් මෙම කෝවිඩ් 19 හමුවේ ඇතිවූ ආර්ථික කම්පනය 2008 සිට 2012 දක්වා අප මුහුණ දුන් ලෝක මූල්‍ය අර්බුද තත්ත්වයට වඩා විශාල වී ඇත.

වෛරසය පැතිරීයාම නිසා ඍජු සහ වක්‍ර වශයෙන් සැලකිය යුතු ආර්ථික බලපෑමක් අපට මේ වන විටත් ලැබී ඇත. විදේශ විනිමය, සංචාරක කර්මාන්තය සහ ඇඟලුම් කර්මාන්තය යනාදී වූ ක්ෂේත්‍රයන් ඔස්සේ ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් විදෙස් රටවලින් මුදල් ගලාගෙන පැමිණිය ද අද වන විට ගෝලීය කෝවිඩ් 19 වසංගතය හමුවේ එකී ප්‍රධාන ආදායම් මාර්ගයන් සියල්ලක් ම පාහේ අවහිර වී ඇත.

මෙසේ ගෝලීය ආර්ථිකය කඩාකප්පල් වීම ශ්‍රී ලංකාවේ ආනයන, අපනයන ආර්ථිකයට බෙහෙවින් බලපාන අතර එයින් වෙළෙඳ ශේෂයට සහ ගෙවුම් ශේෂයට ද සිදුවන අහිතකර ප්‍රතිවිපාක ශ්‍රී ලංකාවේ ආර්ථිකයට වන වඩාත් බරපතළ බලපෑමයි. අපනයන ඉපැයුම් අඩුවීම නිසා සංචාරක ව්‍යාපාරයෙන් ලැබෙන ඉපැයුම් තියුණු ලෙස පහත වැටෙන අතර මේ තුළින් ගෙවුම් ශේෂ හිඟය ඉහළ යනු ඇත. එපමණක් නොව අවපාතයට ලක්ව ඇති ජාත්‍යන්තර ඉල්ලුම, නිෂ්පාදනය සහ අපනයනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීම අඩාල වීම නිසා අපනයනය අඩුවනු ඇත. සංචාරක කර්මාන්තයෙන් ආර්ථික වර්ධනයට ලැබෙන දායකත්වය ඉතා ඉහළ වුවත් කෝවිඩ් 19 හේතුවෙන් ජාත්‍යන්තර සංචාරකයින් සඳහා දිගින් දිගටම එල්ල වූ තර්ජන නිසා ආර්ථිකය ශීඝ්‍ර පසුබෑමකට ලක් විය. එසේම කෝවිඩ් 19හි ආර්ථික ප්‍රතිවිපාක කෙරෙහි මානුෂීය ඛේදවාචකය සහ ජනතාවගේ ජීවනෝපාය කෙරෙහි ද ඇතිවන්නා වූ බලපෑම අති විශාලය. ලාංකේය කම්කරුවන්ගෙන් බොහෝ ප්‍රමාණයක් කොළඹ, ගම්පහ සහ කළුතර යන ප්‍රදේශවල ජීවත් වන අතර ඔවුන්ට තවමත් නිවෙස්වලට වී සිටින්නට සිදුවී ඇත. සේවා ස්ථානවල සේවයේ යොදවන තාවකාලික කම්කරුවන්, ටැක්සි රියදුරන්, ගොඩනැගිලි කම්කරුවන්, සනීපාරක්ෂක කම්කරුවන් සහ එදිනෙදා කුලී වැඩ කරන කම්කරුවන් ඇතුළු සියයට පනහකට අධික ශ්‍රී ලංකාවෙහි ජීවත්වන තාවකාලික කම්කරුවන් කෝවිඩ් වසංගතය නිසා එහි ප්‍රථම පෙළම ගොදුරු බවට පත් වී හමාරය. රටෙහි අපනයන නිෂ්පාදන වන ඇඟලුම්, තේ සහ කුළුබඩු යනාදී වූ භාණ්ඩ යවන යුරෝපය සහ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටවල් ගෝලීය වසංගතය නිසා දැඩි පීඩනයකට ලක්ව ඇති අතර එමඟින් අපනයන ආදායම අතිශයින් ම මන්දගාමී වී ඇත. එහෙයින් ප්‍රධානතම අපනයන භාණ්ඩය වන ඇඟලුම් කේෂ්ත්‍රයේ සේවක සංඛ්‍යා හා වැටුප් ද ශීඝ්‍රයෙන් පහත වැටෙනු ඇත. එමෙන්ම සංචාරක කර්මාන්තය හා සම්බන්ධ සත්කාරක සේවා ආර්ථික ක්‍රියාකාරකම්වල යෙදෙන විවිධ සේවක සේවිකාවන් විශාල සංඛ්‍යාවක් රැකියා විරහිතව සිටින අතර එමඟින් ඔවුන්ගේ ආදායම ද අහිමි වනු ඇත. මේ අයුරින් අද වන විට ශ්‍රී ලංකාවේ ජනතාවගේ රැකියා හා ආදායම් ජීවනෝපායයන් ඛාදනය වෙමින් පවතී. එහෙයින් අඩු ආදායම් ලබන පුද්ගලයින් වඩාත් පීඩාවට පත්ව ඇත. ඒ හා සමානවම දුප්පත් පවුල්වල ජනතාවට නිශ්චිත ආදායමක් නොලැබීම නිසා රටෙහි ආර්ථිකයට මෙන්ම ඔවුන්ගේ පවුල්වල ජීවන මාර්ගයටත් බරපතළ තර්ජනයක් සැබැවින්ම එල්ල වනු ඇත.

මෙසේ ආර්ථිකයේ පසුබෑම මත ලෝක බැංකුව සඳහන් කරනුයේ කෝවිඩ් 19 වසංගතය හේතුවෙන් ලෝක ජනතාවගෙන් මිලියන 60කටත් වැඩි පිරිසක් තම අවම අවශ්‍යතා පවා සපුරා ගැනීමට නොහැකිව දිළිඳුභාවයට පත්වෙමින් පවතින බවයි. එමෙන්ම මෙම කොරෝනා වසංගතය හේතුවෙන් මහා සාගතයක් ඇතිවීමේ අවදානමක් පවතිනු ඇතැයි ද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අනුබද්ධිත ලෝක ආහාර වැඩසටහන මීට පෙර අනතුරු අඟවා ද තිබුණි. මේ අයුරින් බලන කල අපට වැටහෙනුයේ ශ්‍රී ලංකාව ද මෙවන් අනාවැකිවල නුදුරේදීම ගොදුරක් වන බව නම් සත්‍යයක්ම වන බවයි. එහෙයින් ආර්ථිකයේ සෑම අංශයක්ම තුලනාත්මකව පවත්වාගෙන යමින් තිරසාර සංවර්ධනයක් කරා පිය නැඟීමට අවශ්‍ය අඩිතාලම දැමීම රජයක් වශයෙන් සැලසුම් සහගත ලෙස ඉටුකිරීම බෙහෙවින්ම අගනේය. 

Top