ජනප්‍රිය සංස්කෘතිකාංග සහ භාණ්ඩ අධිපතිවාදයේ හැසිරීම (711)

post-title

 ජනප්‍රිය සංස්කෘතිය සමාජයේ විවිධ කණ්ඩායම් අතර සීඝ්‍රයෙන් ව්‍යාප්තියට පත් වෙන කාලීන තත්ත්වය මත රඳා පවත්නා දෙයකි. මාධ්‍ය ක්‍රියාවලිය හරහා කරළියට පැමිණෙන්නා වූ සාධකයක් ලෙස අර්ථ ගැන්විය හැකිය. අප එදිනෙදා පරිහරණය කරන ආහාර වල සිට වාසස්ථාන, භාවිතා කරන උපකරණ මේ සියලුම කාරණා මේ යටතට ගත හැකිය. 

ධනවාදී සමාජයේ සමාජ ක්‍රියාකාරීත්වය තුළ කැපී පෙනෙන භූමිකාවක් හොබවන්නේ ජනප්‍රිය සංස්කෘතියයි. මන්ද උසස් යයි සම්මත සමාජය තුළ කාලීන තත්ත්වය මත රදා පවත්නා නවාංග සමාජ ක්‍රියාකාරීත්වය හරහා විවිධ දෑ වෙත අනුගත වීමේ ප්‍රවණතාව ඉතා ඉහළ මට්ටමක පවතින නිසාය.

බොහෝ අවස්ථාවල එනම් කුඩා, ළමා, තරුණ, වැඩිහිටි, මහලු විවිධ සමාජ කණ්ඩායම් ඇතත් මෙහිදී වැඩි අවධානයක් යොමු කරනුයේ ප්‍රබල සමාජ ක්‍රියාකාරීන් වන තරුණ ප්‍රජාව වෙතය. ඔවුන් ජනප්‍රිය සංස්කෘතිකාංග වෙත දක්වන ලැදියාවන්ටය.

පවතින සමාජ ක්‍රියාවලිය තුළ තරුණ ප්‍රජාව තම අවශ්‍යතාවයට වඩා ආශාවන් පසුපස ආ ශක්ති වීමේ වැඩි වර්ධනයක් දැකිය හැකිය. ධනවාදී සමාජයේ භාණ්ඩ නිෂ්පාදනය තුළ වැඩියෙන් ඉලක්ක කරනුයේ ද තරුණ ප්‍රජාව යි. පවතින සමාජ රටාව තුළ තරුණ පරපුරෙහි ආශාවන් හදුනා ගෙන ඒ හරහා තම කර්මාන්තයන් වැඩි දියුණු කරගැනීමට ධනවාදී සමාජය උත්සාහ දරයි.

සංස්කෘතිය යනු අප සමාජය නිරූපණය කෙරෙන්නා වූ කැඩපතක් බව අප බොහෝ දෙනෙක් දන්නා කරුණකි. ජනප්‍රිය සංස්කෘතිකාංග වැලඳගැනීම තුළ වත්මන් තරුණ මනෝභාවයන් විවිධ මානසික සිතුවිලි හරහා ගට්ටනය වේ. මූලික වශයෙන්ම උදාහරණයක් ලෙස අප යම්කිසි භාණ්ඩයක් පරිහරණය කළහොත් ඒ භාවිතය තුළ සමාජය අප දෙස කුමනාකාරයෙන් බලයිද? යන ආකල්ප ඔවුන්ගේ මනෝභාවය තුළ කාලීන වශයෙන් තැන්පත් වෙයි. මේ හේතුවෙන් ජනප්‍රිය සංස්කෘතිකාංග මනෝභාවය කෙරෙහි බලපෑමක් සිදු කරයි.

බලපෑම යන සාධකය ගැන අවධානය යොමු කිරීමේ දී හිතකර වගේම අහිතකර ආකාරයට ද බලපෑම යන්න විග්‍රහ කළ හැකිය. ජනප්‍රිය සංස්කෘතිකාංග හරහා මනෝ මූලික බලපෑමක් සිදු කිරීමට ප්‍රබල ලෙසම වර්තමානයේ නව මාධ්‍ය ක්‍රියා කරනු ලබයි. මන්ද වර්තමානයේ නැගී ගෙන එන සමාජ පංතිය වන්නේ ජාලේශ්වරයයි. අපගේ ගනුදෙනු වගේම තෝරා ගන්නා අපට අවශ්‍ය බොහෝ දෑ ලබාගැනීමට ප්‍රවිෂ්ට වන්නේ ඔන්ලයින් ක්‍රමවේදය වෙතය. එහිදී අපගේ අවශ්‍යතා ඉක්මවා ඒ තුළ දකින්න ආස කරන දේ වෙත පෙළඹවීමක් නිරායාසයෙන්ම ඇති වේ. එහෙත් එය අවශ්‍ය දේ නොවේ. ඒ ආශාවන් සංතෘප්ත කර ගැනීමට යාමේදී යම් අවස්ථාවල අපගේ අවශ්‍යතාවයන්ට යෙදවීමට තිබූ මුදල පවා ගිලිහී යන අවස්ථා ඕනෑ තරම් අප අත්විඳ ඇත. මෙයට මූලික වශයෙන් බලපානුයේ මාධ්‍ය හරහා කෙරෙන්නා වූ පෙළඹවීම හා අපගේ යටි සිතෙහි රෝපණය වන්නාවූ සිතුවිලිය. කාලීනව වෙනස්වන සමාජයට සම්බන්ධ විය හැකි ආකාරයේ ක්‍රියාමාර්ගයන් සිතීමට නිරන්තර උත්සාහයක පුද්ගලයා නිරත වෙයි. ඒ හේතුවෙන් මනෝ මූලිකව අපගේ සිත තුළ තුළ උදාහරණයක් ලෙස පැහැදිලි කළහොත් මටත් smartwatch එකක් තිබුනොත්, මටත් ඒ වගේ guitar එකක් තිබුනොත්! ආදී ලෙස සිතුවිලි මනස තුළ තැන්පත් කිරීම තුළ ඒ භාණ්ඩ ලබා ගැනීමට උත්සාහ දරය. ඇතැම් විට එය අපගේ අවශ්‍යතාවයන් වලට නොගැලපෙන්නා වුවත් එය ලබා ගැනීමට අපගේ සිතුවිලි ක්‍රියා කරයි. ඒ තුල සත්‍ය වශයෙන්ම සිදුවන්නේ භාණ්ඩ අධිපතිවාදය ගොඩනැගීමේ ස්වරූපයක් වර්ධනය වීමයි. එනම් අපගේ අවශ්‍යතාවය ඉක්මවා භාණ්ඩය විසින් අපව පාලනය ට නතු කර ගැනීමකි. මේ හරහා හිතකර ප්‍රතිඵලයට වඩා අහිතකර ප්‍රතිඵලය වන්නේ අපගේ ආදායම් තත්වයට වඩා වියදම ඉහළ යාමයි. ආර්ථිකමය වශයෙන් මනුෂ්‍යයා අඩාල වීමට මේ භාණ්ඩය විසින් අපව මෙහෙය වීම යන කාරණය මූලික වේ. මන්ද අපගේ ආදායම් තත්වය ඉක්මවා මාධ්‍ය හරහා හඳුන්වා දෙන ජනප්‍රිය සංස්කෘතිකාංග වලට අයත් දෑ තාරුණ්‍ය වගේම අනෙක් සමාජ කණ්ඩායම් ග්‍රහණය කර ගැනීම සිදු වීම හේතුවෙනි.

අපගේ උප්පත්තියේ සිට විවිධ වයස් මට්ටම් පසු කිරීමේ දී පවතින කාලීන තත්ත්වය මත ජනප්‍රිය සංස්කෘතිකාංග සමාජය තුළ සංසරණය වෙයි. වර්තමානයේ පවතිනවාට වඩා ඊට හාත්පසින්ම වෙනස් දේවල් තවත් අවුරුදු පහකින් බිහිවිය හැක. එම අංගයන් ලබා ගැනීමට නොහැකි වුවද මනස විසින් පුද්ගලයාව පොළඹවන්නේ එය ලබා ගැනීමට නිරායාසයෙන්මය. උදාහරණයක් හරහා පැහැදිලි කළහොත් පුද්ගලයකු තමාට අවශ්‍ය කරන ක්‍රීඩා උපකරණයක් මිලදී ගැනීමට ගියහොත් තමා කුමක්ද මිලදී ගැනීමට පැමිනියේ යන කාරනය අමතක වී එම ස්ථානයේ මාධ්‍ය හරහා ප්‍රචාරය කළ වෙනත් දෙයක් දුටු විට එය මිලදී ගැනීමට මනස විසින් පෙලඹවීමක් ඇති කරයි. තමාට අවශ්‍යතාවය තිබෙන දෙයට වඩා මිලෙන් අධික වුවද එය ලබා ගැනීමට පෙළඹෙන්නේ නිරායාසයෙන්මය. එහිදී භාණ්ඩය විසින් පාරිභෝගිකයා පාලනය කරන තැනට පත්වී අවසන්ය. එය පුද්ගලයාට වුවද නොවැටහේ. මන්ද කාලීන සමාජ ක්‍රමය තුළ පුද්ගල මනස ජනප්‍රිය සංස්කෘතිකාංග විසින් නතු කරගෙන අවසන් නිසාවෙනි. ඒ වගේම එහි ව්‍යාප්තවීමේ ත්‍රීව්‍රතාව ඉතා ඉහළ මට්ටමක තිබෙන බැවිනි. 

ඒ අනුව මූලික වශයෙන් වඩාත් වැදගත් කාරණය වන්නේ භාණ්ඩ විසින් පාරිභෝගිකයා පාලනයට ඉඩ නොදී අපගේ අවශ්‍යතාවයන් හඳුනා ගෙන ඊට සරිලන ආකාරයට අවශ්‍ය කරන දෑ පරිහරණය කිරීමයි. එය ජනප්‍රිය සංස්කෘතිකාංගයක් වුවත් අපගේ අවශ්‍යතාවයන් ඉක්මවා නොයා යුතුය. මෙවැනි ක්‍රියාමාර්ගයන්වලට අවතීර්ණ වීම අපගේ ආර්ථික තත්වයට වුවද හොඳ ආයෝජනයක් වෙයි.

Top