ගැමි දිවි වතගොත: කැලෑ කොලේට පවා හිස නමා ගරු කළ පැරැන්නන්ගේ කතාව(292 වන ලිපිය)

post-title

අඳුරු වලා පිරි, රටාවක් නොමැති පාලු කොළඹ අහස යට, වස්සානයේ මද පවනක් පේන තෙක් මානයකවත් නොමැත.මහා බර පොදියක්ම අතැතිව මා නේවාසිකාගාරයේ මුර කුටිය අසල රැඳී උන්නේ නිකිණි මහේ පාසල් නිවාඩුවට ගම් පියස වෙත කැටුව යාමට අප්පච්චි පැමිණෙන තුරුය. පුංචි සංදියේ පටන්ම ගහට කොළට පෙම් බැදි මා හෝඩියට අත් පොත් තබාලූයේ, පසෙකින් දොඹ කොළ ඇල්ලද , වෙල් යායකින්ද වට බෝ හිමි සෙවණක රැකවරණය ලත් කුඩා විදු බිමකය. එහිදී පහේ ශිෂ්‍යත්වයෙන් ඉහළින්ම සමත් වී, කොළඹ ප්‍රසිද්ධ පාසලක 6 ශ්‍රේණියට ඇතුල් වූ දින පටන් මා උන්නේ කෙදිනක හෝ විගසින්ම පාසල් දිවියට සමු දී නැවත ගම් බිම් බලා පිටත් වීමට ඇඟිලි ගනිමින්‍ ය. නමුත් ගෙන්දගම් පොළොවේ පය තැබූ දින පටන් හෝරා ගලායන්නේ ඉබි ගමනින් ය. කොළොම්පුරයේ පය ගැහීමට සිදුවීම එතරම්ම මා හට අමිහිරිය. කටුකය. ගම් පියසට ඉර ගල මෝදු වන කල ඇසෙන කීචි බිචි නද කොළඹ අහස යට ඇසෙන්නේ නැත. ස්වේත වර්ණ රටා මවමින් ඒ මේ අත නැළැවෙන මේඝ රටා වෙනුවට දුම් වළළු පිරි අව පැහැ ගැන්වුණු නබෝ ගැබ, සොවින් බරවුණු ළඳක් වාගේය. ඉතින් අහස පොළොව ගැටලන්නට මෙන් මහා බර කල්පනාවක තනි වී සිටි මා එක් වරම ගැස්සී මනෝ ලොවින් මෙලොවට ආවේ " සුදු අප්පෝ" යැයි අප්පච්චි ගේ සෙනේබර වදනින් ය.

ගිරා හොටක් මෙන් දිගු වූ නාසයද, වටකුරු මුහුණ ද, විට කහටින් අවපැහැ ගැන්වුණු දත් දෙපෙළක් ද සහිත ඇස් වලින් පවා සිනාසෙන ආදරණීයම මිනිසා ඔහුය. තුන් මසකට පසු දුටු අප්පච්චීගේ මුහුණ ඇදී ගොස්‍ ය. අප්පච්චි දුටු සැනින්ම දෑත බදාගත් මා " යමු අප්පච්චී" යැයි කියා නේවාසිකාගාර මාවත දිගේ උඩ පනිමින්, දැත් දෙපසට විසිකරමින්, රවුම් කැරකෙමින්, සිනාමුසු මුහුණින් ගමන් කරන්නට වූයේ ගම් පියස බලා යාමට ලැබීමේ සතුට ඉහ වහා ගිය නිසාවෙනි. 

************

කොළඹ කොටුවේ සිට ඇඹිලිපිටිය දක්වා දිවෙන බස් රථයකින් පැමිණි වෙහෙසකර ගමනකට පසුව රාත්‍රී 8 පමණ වන විට මමද අප්පච්චි ද පංසල් හංදිය අසලින් බැසගත්තෙමු. රාත්‍රී අඩ අන්ධකාරයේ වුවද හංදිය වටා මහා පාළු ගතියක්, හිස් බවක් මා හට දැනෙන්නට විය. සැනෙකින් වට පිට බැලූ මා හට දක්නට ලැබුණේ විසල් පෙදෙසකට සෙවණ දුන් මහා රූස්ස ගසෙහි සුන් බුන් ය. පෙර දිනෙක සිව් දෙස විහිදා ගිය අතු පත්, ගසෙහි මුල් කොටස වටා ගොඩ ගසා තිබේ. එකෙනෙහිම ඒ පිළිබඳ අප්පච්චි ගෙන් විමසා බලාගැනීමේ අටියෙන් මා

"අප්පච්චී මේ මොකක්ද කරල තියෙන විනාසෙ?" යැයි විමසීමි.

" මයෙ පුතේ, ගමේ සති පොළට අටවාපු මඩු ටික ගරා වැටිලා. ඕං ඔතන වැඩි දියුණු කරාපු ගොඩනැගිල්ලක් හදන්ටැයි කියලා අද තමයි ඔය ගහ කැපුවෙ"

අහෝ..! පුංචි සංදියේ මමද, සිරිදාසද, අන් යහළුවන් හා හැංගිමුත්තන් සෙල්ලම් කළ රූස්ස ගස අද බිම වැතිරී හඬා වැටෙයි. කලක් ජීවිතයට සෙවණක් ගෙන දුන් ඒ මහා වෘක්ෂය අද කැබලි වී ඇත. දරාගත නොහී සොවින් බර වුණු මාගේ නෙත් යුග්ම බොඳ වූයේ මටත් නොදැනීම ය.

සැබැවින්ම ගහට කොළට උන්ගේ පාඩුවේ ඉන්නට ඉඩ දී මේ කියන්නා වූ සංවර්ධන කටයුතු සිදු කරන්නට නොහැකිද? නිදහසේ හුස්ම ගන්නට වාරු ලැබදෙන හරිත පැහැ පරිසරයට වඩා වටිනා යමක් මෙමිහිපිට වේද? ගහ කොළ සුරකිමින් සංවර්ධන කටයුතු සිදුකරන රටවල් ගැන පවා මා අසා ඇත්තෙමි. එපමණක් නොවේ. අපේ ආදි මුතුන් මිත්තන් ගහ කොළට සෙනේහය පෑවා පමණක් නොව දේවත්වයෙන් ද අදහා තිබෙන බව අත්තම්මා දිනෙක පැවසූ අයුරු මාගේ මතකයට නැගේ. 

ඔව්. සැබැවින්ම අතීත ගැමි ජනතාව වනාන්තරයට පන මෙන් ආලය පෑවෝ වූහ. ඔවුහු පරිසරයේ වටිනාකම වටාහා ගෙන තිබුණු බව නම් නොරහසක්.

ඉතින් අතීත ගැමි ජනයා පරිසරය සුරැකි ආකාරය කෙසේද ? ගහට කොළට හානියක් නොවන පරිද්දෙන් තම එදිනෙදා කටයුතු සිදුකරලූයේ කෙසේද? මේ පිළිබඳව විමසා බැලීම වත්මනේ දිවි ගෙවන අපට බෙහෙවින්ම වැදගත් වන්නේය.

සැබැවින්ම ගහ කොළ, සතා සීපාවා, ඇළ දොළ හා අප අවට පරිසරය කෙරේ අවධානය වැඩි වශයෙන් යොමු වන කාල සීමාවක ඔබත් මමත් මිනිසෙකු වශයෙන් ජීවත් වන්නෙමු. ස්වභාවික පරිසරය මිනිසාගේ පැවැත්මට අත්‍යවශ්‍ය අංගයක් බැවින් පරිසරය සහ මිනිසා අතර බැඳීම මිනිස් සමාජයට වටහා දීම, අප, අපගේ යුතුකමක් කොට සලකන්නෙමු. 

අතීත ගැමි ජනතාව ගහ කොළට, ඉර හඳට වන්දනාමාන කරමින් , මාතෲත්වයෙන් නැතහොත් දේවත්වයෙන් සලකමින් ගත කළ " පරිසර හිතකාමී දිවි පෙවෙත" අද්‍යතන සමාජයට මහා දැනුමැතිකම් රැසක් ලබාදෙන්නේය. වත්මනේ පවතින මුදලට යට වුණු සමාජය බිහිවත්ම සොබා මව්න්ටද එල්ල වූ විවිධ තාඩන පීඩන හමුවේ ව්‍යවසනයන්ට ගොදුරු වන්නට වීම ඛේදවාචකයකි.

අතීත ගැමියා තම දිවි පෙවෙත ගත කිරීමේදී පරිසරය ද සමග සමීප සබඳතාවක් පැවැත්වූ බව නොරහසකි. එබැවින් වනාන්තරය ද ගැමි දිවියේ සියළු දෑ සමග අත්‍යන්තයෙන් බැඳී පවතින්නේය. කැළෑවෙන් ඔවුහු බොහෝ ප්‍රයෝජන ලබා ගත්හ. අතීත ගැමි සමාජයේ විසූවන් ගම්මානයක් නිර්මාණය කිරීමේදී පවා වනාන්තරයේ හෝ ඊට යාබද වන ලැහැබේ පිහිටීම පිළිබඳව සලකා බලා ඇත. වැව කේන්ද්‍රගත වූ ගම්මානය නොහොත් ගම් මැණ්ඩිය ලෙසින් හඳුන්වනුයේ, එක පොකුරට ගෙවල් පිහිටා ඇති කොටසටය.ගම්මානය බොහෝවිට නිමවෙන්නේ උස් බිමකය. ඉන් එහාට වන්නට "තිස් බඹය" නොහොත් ගවයන් ලඟින ස්ථානය වේ. එසේත් නැතිනම් දර කෝටුවක් දෙකක් කඩා ගැනීමට අඩි කැඩුවේද මේ දෙසටය. එමෙන්ම ගම් පියසේ කොලු රෑන් "එළි බහින්නට" ගියේද තිස් බඹයටය. මෙකී තිස් බඹයට එහායින් කැලෑව පිහිටන්නේය. කැලෑවද ප්‍රධාන කොටස් 2කි. එනම්

 - ලඳු කැලෑව

- මහ කැලෑව නම් වේ.

සැබැවින්ම සතා සීපාවාගේ ජීවන රටාව කෙරෙහි ද කැලෑව ඉතා වැදගත් විය. අතීත ගැමි ජනයා කැලෑව පිළිබඳව හඳුන්වාදෙනුයේ, වන සීපාවන්ට අයිති යමක් ලෙසටය.

එමෙන්ම කැලෑව කෙරෙහි අතීත ගැන ජනතාව අතර පැවතියේ අතිශය භක්ත්‍යාදරයකි. පුරාණ ගැමියා වනාන්තරය හැඳින්වූයේ "කැලෑ අම්මා" යන ගෞරව නාමයෙනි. ඉතින් අප ගහට කොළට පෙම් බැඳි ජාතියක උරුමකරුවෝ ය. 

යමෙක් කැලෑවට ගොඩ වදින්නට පළමුව, කැලෑවට අධිපති ගම්භාර දෙවියන් ට කන්නලව් කර, වන සීමාවේ ගසක අත්තක් කඩා එය එම ගසෙහි එල්ලා යා යුතු බව ගැමි ජන මතයයි. එපමණක්ද ? ඉන් ඔබ්බටද වනාන්තර මධ්‍යයේ දැඩි සංයමයෙන් සහ සංවරශීලීව හැසිරීමද අත්‍යවශ්‍ය වේ. එසේ නොවුණහොත් "මංමුළා වැල්" පැටලී කැලයේ අතරමං වීමට ද ඉඩ ඇති බව ගැමියා විශ්වාස කරති. 

පුරාණ ගැමි ජනයා තව ජීවන මං පෙතේ ඕනෑ එපාකම් ඉශ්ට කරගැනීම උදෙසාද විවිධ වූ කාර්‍යයන් අරභයා ද කැලෑ රොදට පිවිසී ඇත.

එනම්,

බේත් හේත් සපයා ගැනීම

මී කැලේ යෑම

හේන් කෙටීම

දර/ලී කැපීම

ගව පාලනය

දඩයම මෙන්ම ජීවිතාවසානයේ මරණයේ කටයුතු ද පෙන්වාදිය හැකිය.

මේ අතර මී කඩන්නට යාම නොහොත් "මී කැලේ යෑම" පැරණි ගැමි සමාජයේ දැකගන්නට ලැබුණු එක් සම්ප්‍රදායික කටයුත්තකි. ඉතින් මෙ මී කැඩීමේ කාර්‍යයට කැලයට පිවිසෙන හැඩි දැඩි ඉලන්දාරීන් හය හත් දෙනා විඩාවට පත් වූ විටෙක " මේං මෙතනින් වාඩි ගමු" යැයි නඩයේ මූලිකයා පවසයි. යම් හෙයකින් ඉඳගමු යැයි කියන්නේ නැත. ඈඳි ගැනීමට ප්‍රථම එතැන අස් පස් කිරීම හෝ කොළ රොඩු ඉවත් කිරීම තහංචිය. ඔවුහු එතරම්ම සොබා දහමට ආලය පෑවෝය.

එමෙන්ම පැරණි ගැමි ගෙවල් වල ඉවුම් පිහුම් වලට ප්‍රයෝජනවත් වූ දර සොයාගත්තේ ද කැලෑවෙනි. මේ සඳහා තෝරාගනු ලබන්නේ " උදෑහනක්කයි". ඉර ගල අවරට හැරෙන විටදී එනම් ගොම්මනේ දර කැඩීමට යාම ගැමි ලියන්ට පැනවුණු තහංචියකි. එමෙන්ම කාන්තාවන් බැද්දට යාමේදී ඇඳුම් පැළඳුම් ද අගම්පුලාවක් තිබිය යුතුය. මන්දයත් වනාන්තරය දේවත්වයෙන් සැලකීම නිසා ඊට පිවිසීමේදී සංවර බවක් තිබිය යුතු නිසාවෙනි.ඔවුහු වචනයෙන් සහ සියුම් හැසිරීමෙන් පවා වනාන්තරයට ගරු කළහ. එහෙයින් පුරාණ ගම්මාන වල පැවැති මෙම ජීවන රටා වත්මන් සමාජයට මහත් වූ ආදර්ශයකි. එමෙන්ම වරළස හෙලාගෙන ද වනාන්තරය ට යාම තහංචිය. දර කඩන්ට ලඳු කැලෑවට අඩි කඩන ලියන්ගෙන් ඇතැම්හු බුලත් විටක් කාරිය හපති. නමුත් කොයියම්ම මොහොතකවත් කෙළ ගැසීම තහංචිය.

එමෙන්ම ගේ දොර තනා ගැනීම සඳහා ලී කෝටු ආදිය පැරණි ගැමියන් සොයාගත්තේ වනාන්තරයෙනි. ඒ අනුව කැපීමට නියමිත ගස අසලට ගොස් වැඳ නමස්කාර කොට ගැමියා ඇඳ සිටින අමුඩයේ පොට බුරුල් කිරීම සිදුවෙයි. ගසට මුල්ම පිහි පහර නැතහොත් පොරෝ පහර ගසන්නේ ඉන් පසුවය. පළමු පහර ගසට ගැසීමෙන් පසු යළිත් අමුඩය තද කොට ගනියි. ඉන් පසුව සාමාන්‍ය අයුරින් ගස කැපීම සිදුවේ.

එමෙන්ම ගසක් කැපීමේදී හිතු මනාපෙට ගස් කපා දැමීමද තහංචියකි. වනාන්තර මධ්‍යයේ ඇති මහා රූස්ස ගස් වලට අත තබන්නේ නැති තරම් ය. එවැනි ගස් අරක්ගත් දෙවියන් වැඩ වසන බව ගැමියන් අතර ප්‍රචලිත කියමනකි. එක යායට පිහිටි ගස් කැපීම සිදුකරන්නෙද නැත. තමන්ට අවශ්‍ය තරමේ හුදෙකලා ගසක් තිබේනම් කපා ගැනීම සිරිතය. 

එමෙන්ම ගැමි ජනයා ගොඩ ගොවිතැන් කිරීම සඳහා තීරාගත්තේද කැලෑවය. එනම් හේන් කෙටීමය. මෙහිදී " මුල්කැට හේන" ඉන් ප්‍රධන වූවකි. කණ්ඩායම් වශයෙක් ඒකරාශී වී මෙම හේන් කෙටීම සිදු කරලීමට පෙර කැලෑව එලි පෙහෙලි කිරීම සිදුවේ. එහිදී දොහොත් මුදුන් තබා වැඳ නමස්කාර කොට ගම්භාර දෙවිඳුන්ගෙන් අවසර පතා හේන් කෙටීමට කැලය එළි පෙහෙලි කිරීම සිදු කරයි. මෙසේ වල් කෙටූ කල මැල පිලිස්සීම සිදු කරනු ලබයි.එහිදී ගොවියෝ සුද්ද කළ හේන වටා යමින් මැල ගොඩවල් වලට කෝටුවකින් තට්ටු කරමින් "හූ" කීම කරති. එයින් අපේක්ෂා කරනුයේ මැලය තුළ සතා සර්පයෙකු සිටියහොත් උන් හට පිටව යාමට අවස්ථාවක් සලසා දීමටය.මෙහිදී සුළං හමන දිශාවද නිවැරදිව වටහා ගනිමින් මැල පිලිස්සීම සිදුකරයි. මන්දයත් එලි පෙහෙලි කළ කොටසට වඩා වනාන්තරය තුළට ගිනි ඇවිලීම වලක්වාගැනීම උදෙසාය.

ඒ හැරුණු කල දඩයම් කිරීම, ගව සම්පත් ලබාගැනීමට, ආහාර සපයා ගැනීමට මෙන්ම බේත් හේත් සොයාගැනීමටත් ගැමි ජනතාව වනාන්තරය උපයෝගී කරගත් බව නම් නොරහසකි. කෙසේ නමුත් කොයියම්ම ආකාරයකට හෝ ගහට කොළට , සතා සීපාවාට හිංසාවක් පමුණුවන්නට ඔවුහු උත්සුක වූවෝ නොවෙති. මන්දයත් ඔවුහු පරිසරයට එතරම්ම ආලය පෑ නිසාවෙනි. 

එමෙන්ම අතීත ගැමි ජනතාව එදිනෙදා දිවි පෙවෙත ගත කිරීමට අවශ්‍ය බොහෝ දෑ කැලෑවෙන් සපයාගත් අතරම මරණයේදීත් අතීත ගැමියාට කැලෑව ප්‍රයෝජනවත් විය. කිසියම් අයෙක් මිය ගියහොත් මිනිය ගෙනැවිත් දමන්නේ කැලයටය. එය "කැලේ ගහනවා" යනුවෙන් හැඳින්වේ. අවසන සතුන්ට එය අහරක් බවට පත්වේ.

සැබැවින්ම අතීත ගැමි සමාජයේ මිනිසා සොබා දහම පන මෙන් සුරැකුවේය. ගරු බුහුමන් දැක්වුවේය. වර්තමානයේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ මෙවන් අස්පර්ෂණීය දැනුම් පිරි අතීත ගැමි විත්ති ඔබ අප සැමට මහත් වූ ආදර්ශයක් සපයන්නේය. පරිසරය සහ සොබාදහමේ වටිනාකම නොදැන හැල්මේ දුවන සමාජයට මදක් නැවතී තමන් දෙස බලා වැරදි අඩු පාඩු මගහරවා ගනිමින් පරිසර හිතකාමී අන්දමට තම දිවි පෙවෙත ගතකරන්නට මෙම අස්පර්ෂණීය දැනුම් සම්භාරය ඒකාන්තයෙන්ම රුකුලක් වේයැයි සිතමි. ඉතින් ගැමි දිවි වතගොතක් සමගින් ලබන සතියේද හමුවෙමු.

Top