විවේචන සහ ඇගයීම් හමුවේ මිනිසා (415)

post-title

ලියන්නට හිතේ ආසාවක් තිබූ නමුත් කෙසේ පටන් ගන්නද?  කෙසේ ඉවර කරන්නද කියා හිතා ගන්නට බැරි වුණු අවස්ථා අනන්තය. 'අද නම් කොහොම හරි හිතේ තියෙන දේ ලියනවා' යන හැඟීමෙන් කොළයකුත් පෑනකුත් රැගෙන, පුටුවේ වාඩි ව ලියන්න පටන් ගත් ඒ උත්සාහයන් අතහැර දැමූ වාර අතේ ඇඟිලි ගානට ද වඩා වැඩිය.

කාලයක සිට ලියන්න සිතා වුන් දෙයක් වේ නම් ඒ "මිනිස්සු" ගැන ය. ඒ අතරිනුත් අනෙකා සමඟ නිතර ගැටෙන සමාජශීලී කොට්ඨාසයක් වන අපි, එදිනෙදා සමාජයත් සමගින් වැඩකරන කළ ඉගෙන ගත යුතු දේ කිහිපයක් සාකච්ඡා කළ යුතු යැයි සිතීමු.

මිනිසුන් විවිධාකාරය. ඒ විවිධාකාරභාවය මිනිසා හිතන පතන, අඳින පළදින විවිධ ආකාර අනුව වෙනස් විය හැකිය. එසේත් නැතිනම් ඒ විවිධාකාර බව නිසා මිනිසා දරණ මතය වෙනස් වීමට හැකිය. යම් යම් දේ පිළිබද විවිධ මත දරන්න ට අපට අයිතියක් ඇත. ඉතින් මේ මාගේ මතය ය. මා දරණ අදහස ය. කෙනෙකුට අනුව මේ මතය, අදහස වෙනස් වීමට පුළුවන. මීට හාත්පසින්ම වෙනස් මතයක්,වෙනත් අදහසක් මේ ගැන තිබීමට පුළුවන. ඒ සෑම දෙනෙකුගේම සෑම අදහසට ම මම ගරු කරමි.

නිතර අනෙක් මිනිසා සමග ගැටෙන අපි හැමවිටම ඔවුන්ගේ අඩුපාඩු, වැරදි , දෝෂ පෙන්වා ඔවුන්ව විවේචනය කරයි නම්, හෙලා දකියි නම්, සමහර විට එහිදී අප තවදුරටත් අප සමඟ හිතවත් වූ අයෙකු නැති කරගැනීම හා සමාන කාර්‍යයක යෙදෙයි.  නමුත්, අප තව අයෙකු තුළ ඇති අඩුපාඩු පෙන්වා, ඔවුන්ව වෙනස් කර සත්භාවයෙන් ඔවුන්ගේ දියුණුව ප්‍රාර්ථනා කරයි නම්, එය මසුරන් වටිනා දෙයකි. නමුත් අනුන්ගේ ගුණ දෝෂ වැරදි අඩුපාඩු දකින ඔබට ඊට පෙර ඔබගේ වැරදි අඩුපාඩු සාදාගෙන වෙනස් වන්නට හැකිනම් එය ඊටත් වඩා අගනේය. වඩා උචිත ක්‍රියාව වන්නේද එය ය. අනෙක් අතට එය අන්තරාදායක අතින් ද බොහෝම අඩු දෙයක් ය. වරෙක කොන්පියුසියස් නැමැති චීන දාර්ශනිකයා මෙසේ පවසා තිබේ.

'ඔබේම දොරකඩ කැළිකසල තිබියදී ඔබේ අසල්වැසියාගේ ගේ පිටුපස තිබෙන කැළිකසල ගැන පැමිණි නොකළ යුතුය'

එසේම හැමවිටම විචක්ෂණශීලී බුද්ධියකින් හෙබි මිනිසුන් අප සමග කටයුතු කරාවි යැයි අපට බලාපොරොත්තු වීමටද නොහැකිය. හැඟීම් ඇති පෙළඹීම්වලට අවනත වූ සුළු ආඩම්බරකාර, අහංකාරය මුල්බැසගත් බොහෝ මිනිසුන් සමග අප එදිනෙදා කටයුතු කරයි. එහෙයින් අප යම් අයෙකුගේ යහපත පිණිස ඔවුන්ගේ අඩුපාඩු පෙන්වා දුන්න ද, සද්භාවයෙන් යුතුව එය කළද විටෙක එය අප අපටම කරගන්නා පාඩුවකි. මන්ද අපට හිතවත් වූ කෙනෙකු තුළ අප ගැන වැරදි වැටහීමක් ඇති වීමට එයින් වැඩි සම්භාවිතාවක් පවතින බැවිනි.

එසේ මිනිසුන්ගේ ගුණ දෝෂ විවේචනයේ තිබෙන නිශ්ඵල, නිසරු බව ලෝක ඉතිහාසයේ කොතෙකුත් සඳහන්ව තිබේ. ඇමරිකානු එක්සත් ජනපදයේ 6 වන ජනාධිපති වන ඇමරිකානු ජනතාවත්, ලොව පුරා සිටින නිදහස සහ යුක්තිය අගය කරන ජනතාවත් විසින් සදහටම ආදරයෙන් සිහි කරනු ලබන ඒබ්‍රහම් ලින්කන් තුළ වූ මිනිසුන් සමග කටයුතු කිරීමේ සාර්ථකභාවය සැලකීමේදී ඔහු මෙම අනෙකාගේ ගුණ දෝෂ අඩුපාඩු විවේචනය ඇත්හැරීම කළ අයෙක් ලෙස සැලකිය හැකිය. මුලදී ඔහුද මිනිසුන්ව දැඩිව ගුණ දෝෂ දර්ශනයේ යෙදුණු නමුත් ඉන් ඔහුට සිදු වූ විශාල ගැටළුවක් හේතුකොටගෙන ඔහුට එහි නිසරු බව පෙනෙන ලදී.

තවද ඇමරිකානු දාර්ශනිකයෙකු, රාජ්‍ය පාලකයෙකු සහ ලේඛකයෙකු වන බෙන්ජමින් ෆ්රෑන්ක්ලීන් ඔහුගේ සාර්ථකභාවයේ රහස මෙලෙසින් දක්වා ඇත. 'මම කිසි මිනිසෙකු ගැන නරකක් කතා නොකරමි. සෑම දෙනාගේම මා දන්නා සෑම හොඳ දෙයක් ගැනම කතා කරමි.' 

මේ අනුව අප නිරන්තර මිනිස්සුන්ගේ අඩුපාඩු ගුණ දෝෂ දැකීම, විවේචන සමාජශීලී සත්ත්ව කොට්ඨාසයක් වන අපට මිනිසුන් සමග හොඳ සබඳතාවයක් ඇති කර ගැනීමේදී යම්තාක් දුරට අවාසිදායක කාරණාවක් විය හැක. ගම් නගර, කණ්ඩායම් එක්වී අනෙකාගේ ගුණ දෝෂ විවේචනය වෙනුවට එකිනෙකා තේරුම් ගැනීමට, අවබෝධ කරගැනීමට උත්සාහ කරයි නම් ඒ වඩා ඵලදායී වනු ඇත. සෑම මිනිසකු තුළ ම කුමන හෝ සුළු හොඳක් තිබිය හැකිය. එය පෙන්වා දෙමින් ඔහුට ඔහු තුළ ධනාත්මක චින්තනයක් ඇති වන ලෙස කටයුතු කළ හැකි නම් ඒ කොතරම් අගනේද... ඒ තුළ සමාජයේ ඉවසීම කරුණාව දයාව වැනි ගුණාංගද වැඩි දියුණු වීමේ සම්භාවිතාව වැඩිවේ.

අනෙක් මිනිසා තුළ ඔබ කෙරෙහි යම් වටිනා අදහසක් ඇති කර ගැනීමට අවැසි නම් එවැනි විටෙක ඔබ කෙනකුගේ අඩුපාඩු පෙන්වමින් විවේචනයේ යෙදීම වෙනුවට ඔවුන්ගේ හොඳ ගුණ කතා කරන්නේ නම් අගනේය. යම් දෙයක් තේරුම් ගත හැකි කෙනෙකුට ඔහුගේ සැබෑ දියුණුව අපේක්ෂාවෙන් ගුණ දෝෂ පෙන්වා දෙන්නේ නම් එය යහපත්ය. එසේ හැරුණු විට නිකරුනේ කෙනකුගේ ගුණ දෝෂ විවේචනය නිශ්ඵල දායක කරුණකි. එය ඔබට මෙන්ම අනෙකාටද නිශ්ඵල දෙයක් වන අතර විටෙක එය අනෙකා තුළ අප කෙරෙහි ද්වේශයක් ඇති කරනු ලබයි.

ඇමරිකානු ලේඛකයෙකු නිබන්ධකයකු වන රැල්ෆ් වැල්ඩෝ එමර්සන් පවසා ඇත්තේ 'මට හමුවන සෑම මිනිසකුම කිසියම් මාර්ගයකින් මට වඩා ශ්‍රේෂ්ඨ කෙනෙකි. ඒ නිසා මම ඔහුගෙන් යමක් ඉගෙන ගනිමි' ලෙසයි. 


ඒ අනුව මේ සම්බන්ධ ඔබේ අදහස් තුළින්ද අපට ඉගැනීමට දේවල් තිබේ. සමාජමාධ්‍ය තුළ නිරන්තර දැකිය හැකි ගුණ දෝෂ විවේචනය සම්බන්ධ කාරණා සම්බන්ධයෙනුත් අප සමාජය තුළ මතයක් අදහසක් සාකච්ඡාවක් ඇති කිරීමේ කාලානුරුපී අවශ්‍යතාවක් ඇති වී තිබේ.


ලියන්න අපිට

ඔබට ලිවීම සම්බන්ධව හීනයක් තිබේ ද? ඒ හීනය විකසිත කර ගන්නට ඉඩක් අවශ්‍ය ද? තාක්ෂණය දියුණු ලෝකයක මුද්‍රිත පත්තර පිටුවලට වඩා දැන් ඩිජිටල් මාධ්‍යය වේගයෙන් දියුණුව ඇත. එබැවින් මෙතැන් සිට අපි ඔබට, ඔබේ හරබර සංස්කෘතික - කලා ලියැවිලි උදෙසා ඩිජිටල් අවකාශයේ ඉඩක් තනා දෙන්නට සූදානම් ය. ඉතින්, රහට ලියන ඔබ ට අපේ ඩිජිටල් අවකාශයේ ඒ ලියමන් පළකර ගන්නට අවැසි නම් පහත විද්‍යුත් තැපල් ලිපිනය ඔස්සේ අපට එවන්න. ඔබේ ලියමන් පිළිගන්නට වචන.lk කාර්‍ය මණ්ඩලයත් මේ ඩිජිටල් අවකාශයත් මගබලමින් ය.

Top