ජීවත්වෙන්න හොඳම විදිහ ඔබ ම තීරණය කරන්න (238 වන ලිපිය)

post-title

ජීවත්වෙන්න හොඳම විදිහ මොකක්ද කියලා මම ඔබගෙන් ඇහුවොත්, ඔබ මට ලබා දෙන පිළිතුර මොකක්ද? “මට හොඳ ජීවිතයක් ගත කරන්න නම් මුදල්, හොඳ රැකියාවක්, හොඳ පවුලක්, ලොකු ගෙයක්, මගේම කියලා වාහනයක් තියෙන්න ඕනි”, ඔබ කියයි. අපිට හොඳ ජීවිතයක් ගත කරන්න නම් ඒ දේවලුත් අවශ්‍යයයි තමයි. නමුත් ඉහත කී සියල්ල පමණක් තිබීම ප්‍රමාණවත් වේවි යැයි ඔබ සිතනවද? 

ජීවිතයේ අපි හැමෝටම අරමුණු තියෙනවා. ඒ අරමුණු සාර්ථක කරගත්තම තමයි අපිට හොද ජීවිතයක් උරුම වෙන්නේ කියලා අපි හිතනවා. ඇත්තටම ඒක වැඩිහිටියෝ අපේ ඔළුවලට පුරවපු එකක්. ඉතින් ඉපදුණ දවසේ සිට මියයන දවස තෙක්ම අපි කරන්නේ ඒ අරමුණු පස්සේ හඹායන එක. හති වැටි වැටි දුවන එක. කවදාවත් අපි ඉන් සෑහීමකට පත් වෙනවද? නැහැ. එක් අරමුණක් අපි දිනාගත්තොත්, අපි තව අලුත් අරමුණක් හොයාගන්නවා. එයට වෙහෙස වෙනවා. කොහොමහරි දිනාගන්නවා. සමහරවිට පරදිනවා. එවිට නැවත නැවත උත්සහ කරනවා. අපි අරමුණු පස්සේ දුවන එකනම් නවත්තන්නෙම නැහැ. අතීත රාජ්‍ය කාලයේ ඉදන්ම ලංකාවේ මිනිස්සු හරි උත්සහවන්තයි. පරාද වෙන්න කැමති නැහැ. යටත්වෙන්න කැමති නැහැ. ඒ පුරුදු වෙන්නැති මේ අපිටත් ඇවිත් තියෙන්නේ. එකනේ අපි තවකෙනෙක්ට පරාද වෙනවට මෙච්චර බය.

මිනිහෙක්ට ජිවත්වෙන්න පැහැදිළි අරමුණක් තිබීම අනිවාර්යයි. අරමුණක් නැති ජීවිත හරියට නූල කැඩිච්ච සරුංගල් වගේ කිසිම පැවැත්මක් නැහැ. හැබැයි අරමුණු නිසා ඔබට ජීවිතයේ තිබිය යුතු අත්‍යවශ්‍යම දේ, ඒ කියන්නේ ‘සතුට’ අහිමිවෙනවා නම් අන්න එතන ගැටලුවක් තියෙනවා. ඔබ මොනතරම් භෞතික අංගවලින් පරිපූර්ණ මිනිසෙක් වුනත් මානසික නිදහස අහිමිනම් ඔබ සාර්ථක, සර්ව සම්පූර්ණ පුද්ගලයෙක් කියලා හඳුන්වන්න මට අසීරුයි. ජීවිතයට පැමිණෙන ලාභ අලාභ, නින්දා ප්‍රශංසා, සැප දුක් ආදී ඕනෑම තතත්වයකදී නොසැළී එක හා සමානව සතුටින් සිටීමට ඔබට හැකි නම් ඒ තමා ජීවත්වෙන්න හොඳම විදිහ. අරමුණු දිනාගත්විට, නැතිනම් ගිලිහුණ විටක එය සතුටින් බාරගන්න ඔබට හැකිවෙන්න ඕනි.

අරමුණු පස්සේ නොනවත්වා දුවන ඔබ කෙතරම් නම් හෙම්බත් වෙලා ඇත්ද? ඇතැම් විට ඔබ කියන ඔය හොඳ ජීවිතේ ඔබටම වෙහෙසක් වෙලා ඇති. එවන් ජීවිතයක් ගත කිරීමට ඔබේ බලාපොරොත්තුවක් වේනම්, ඔබ ජීවිතයට ළංකරගත යුත්තේ ඔබේ සතුටට හේතුවන දෑ පමණයි. අරමුණු නිසා හෝ අප ජීවිතවලට ළංකරගන්න දේවල්, පුද්ගලයින් නිසා අපේ මානසික නිදහස අහිමි වෙනවානම් ඇත්තටම සතුට කියන කාරණාව අපිටත් නොදැනීම අපේ ජීවිතවලින් හුඟක් ඈතට යනවා.

සතුටින් ජීවත්වෙන්න අපි මොනවද කරන්න ඕනේ?

ඇත්තටම ලොකු ලොකු දේවල් නම් නෙවෙයි. ඔබ අරමුණු එක්ක දුවනකොට ඔබේ සතුට බිම වට්ටගන්නේ නැතුව ඉන්න. ඒ හොඳටම ඇති. අරමුණුවලින් හෙම්බත් වෙලා ඉන්න ඔයාට පුළුවන් පොඩි පොඩි දේවල්වලින් ඔයාගේ සතුට ඔයා ගාවම තියාගන්න. ඔබේ ජීවිතය පිළිබඳව ඔබට ඇති තෘප්තිමත්භාවය ඔබගේ සතුට තීරණය කරාවි. ඔබට යමක් හිමි වී ඇත්ද ඒ සියල්ල හිමි වී ඇත්තේ ඔබේ කර්මයට අනුවයි. එය සතුටින් භාරගන්න පුරුදු වෙන්න. අනුන් සමඟ ඔබව සසඳමින් තවකෙකු අනුකරණයට යාම ඔබේ සතුට අහිමි වීමට හේතුවක් වෙනවා. ඔබේ ජීවිතයේදී හැකිතරම් ස්වාධීනව කටයුතු කරන්න ඔබට හැකිවෙන්න ඕනේ. එසේ නොමැතිනම් ඔබ එයට උත්සාහ කරන්න. ඔබේ සතුටට හේතුවන දෑ හඳුනන්නේ ඔබම පමණයි. එය කිසිවිටෙක තවකෙකුට තීරණය කරන්න දෙන්න එපා.

සැමවිටම ඔබට මානසික නිදහස ගෙන දෙන පුද්ගලයින් ඇසුරු කරන්න පුරුදු වෙන්න. ඔබේ ආදරණියයන් සමඟ කල්ගත කරන්න. ඔවුන් ඔබට සතුට ගෙන ඒවි. දිනයෙන් කුමන හෝ වේලාවක් විවේකීව ඉන්න වෙන්කර ගන්න. එය ඔබට විශාල සහනයක් ගෙන එන බව නියතයි. එසේ විවේකීව ඉන්න වෙලාවට හොඳ පොතක් කියවන්න. එය ඔබේ මනස සුවපත් කරාවී. ලස්සන තැන්වල ඇවිදින්න යන්න. පරිසරය එක්කත් පොඩි වේලාවක් හෝ ගත කරන්න. ඔබට පුළුවන් ගස්වලට සාත්තු කරන්න. අලුතින් පැළයක් සිටවන්න. පරිසරය රස විඳින්න. විවේක වේලාවට එක එක රස කෑම ජාති හදලා කාලා බලන්න. චිත්‍රපටයක් බලන්න. ගීතයක් රස විඳින්න. සතුටින් ඉන්න මොනතරම් දේවල් නම් තියේද..

කිසිවිටෙක ඔබ ගැන අවතක්සේරු කරන්න එපා. ඔබේ සතුට ඔබ තුළින්ම සොයාගන්න මහන්සි වෙන්න. ඔබ, ඔබේ අරමුණු පසුපස හඹා යන්න. ඒවා දිනා ගන්න. නමුත් කිසිවිටෙක ඔබේ සතුට අහිමි කරගන්න එපා. නැතිනම් ඔබට ඔබ අහිමි වූ පසු ඔබගේ අරමුණු තුළින් බිහිවන්නේ හිස් මිනිසෙකු බව ඔබට වැටහේවි.

Most folks are as happy as they make up their minds to be”

-Abraham Lincoln -

Top