බාහිර පෙනුම මුලාවක්ද? (355)

post-title

ජීවිතේ සමහර ඇස් ඉස්සරහ පිට වෙන දේවල් හරි පුදුමයි කියල හිතෙන අවස්ථා එනවා. ඇත්තටම වෙලාවකට අපි මිනිස්සු ගැන හිතන විදිය වැරදි කියල හිතෙන වෙලාවල් එනවා. මං මේ කියන දේට සමහර විට පාඨක ඔබත් එකග ඇති. එක දවසක් හරි අපූරු සිදුවීමක් මගෙ ඇස් ඉස්සරහ පිට දකින්න පුලුවන් උනා .කොණ්ඩෙ වවලා මුදුනට වෙන්න ගෙඩියක් ගහල වූල්ඩ් බෑන්ඩ් එකක් දාලා , කනක් විදල කරාබුවකුත් දාලා අත් බාහු දෙකේ හෙන විශාලෙට පච්ච දෙකක් කොටපු හැඩිදැඩි තරුණයෙක් බස් එකට නැගල කොනේම සීට් එකක ඉදගත්ත . ටික දුරක් යනකොට ඒ සීට් එක ගාවම හිටගෙන හිටපු ලස්සන පුංචි ගෑනු ළමයෙක්ට වැඩිහිටි පිරිමියෙක්ගෙන් ගොඩක් කරදර වෙන්න ගත්ත මේක දැකපු අර කලින් කියපු හැඩි දැඩි තරුණයා ඉක්මනට නැගිටලා අර ගෑනු ළමයට කියනව නංගී ඔයා මෙතනින් ඉදගන්න කියල . ඒ ගෑනු ළමයත් ස්තුති පූර්වක බැල්මක් පා කරල ඉක්මනට එතනින් ඉදගත්ත . හැබැයි අර හැඩිදැඩි තරුණයා මනුස්සකම අස්සෙ හිතන්න කාරණා ගොඩක් ඉතුරු කරනවා.

පිරිමි ළමයෙක් කොණ්ඩෙ වවලා ,කරාබු දාලා , පච්ච කොටල ඉන්න පමණින් මේ සමාජෙ ඔහුට හංවඩු ගහන්නෙ කුඩුකාරයා, රස්තියාදුකාරයා, සල්ලාලය කියල. හැබැයි මං අර උඩින් කතා කරපු තරුණයා ගැනත් සමාජෙ ඒ විදියටම හිතුවනම් ඒක කොච්චර වැරදිද .කෙනෙක්ගෙ පෙනුමෙන් , අදින පලදින විදියෙන් කිසිම වෙලාවක කිසි දෙයක් නිර්ණය කරන්න බෑ. වෙලාවකට කතා කරන වචන වලින්වත් බෑ අපට කෙනෙක් හොඳද නරකද කියල කියන්න . එහෙම කියන්න හේතුව තමයි වචන ඇතුලෙ හරි ලස්සනට මිනිස්සුන්ට මිනිස්සුන්ව අන්දවන්න පුලුවන් . ටයි කෝට් දාලා, ඩෙක් ෂූස් දාලා පාරෙ යන මහත්තුරුන්ට වඩා රස්තියාදුකාරයා , සල්ලාලයා කියල අපි හංවඩු ගහන මිනිස්සු ළඟ මනුස්සකම ඉතිරිවෙලා තියෙනවා කියන එක මේ සමාජෙ සමහර දේවල් දිහා බැලුවම හිතෙන කාරණයක්. මිනිස්සු අදින , පලදින සහ විලාසිතා කරන විදියෙන් කවදාවත් ඒ කෙනා මෙහෙමයි කියල කියන්න බැරි ඕනි තරම් හේතු තියෙනවා . මොකද මෙඩිකල් ෆැකල්ටි තේරිලා campus යන්න එනකන් ගෙදරට වෙලා ඉන්න තරුණයො සමහරක් අය ආසයි කොණ්ඩෙ වවල, රැවුල වවල ටික කාලයක් ඉන්න. මොකද දන්නවද එයාල ඊට පස්සෙ කරන වෘත්තීයත් එක්ක එයාලට ඕනි ඕනි විදියෙ ෆැෂන් කරන්න හම්බවෙන්නේ නෑ ජීවිත කාලෙටම. ඒක ඒ වෘත්තියේ ස්වභාවය. 

හැබැයි ඉතින් එයාලට එහෙම ෆැෂන් කරන්න ලැබෙන ටික කාලෙදි ෆැෂන් කලාම එතකොට අපි රස්තියාදුකාරයා කියල කතා කරනවානම් ඇත්තටම ඒක වැරදි. ඒ රස්තියාදුකාරයම කොණ්ඩෙ කපල ෂර්ට් ඇදල ඩොක්ටර් කෙනෙක් විදියට එලියට එද්දී ඩොක්ටර් කියල ඉදන් ඉන්න ආසනෙන් නැගිටලා ගරුත්වයක් දෙනවනම් ෆැෂන් කරන කාලෙ රස්තියාදුකාරයා කියල හංවඩු ගහන එක කොච්චර වැරදිද .ඇත්තටම කෙනෙක්ගෙ ක්‍රියාව, හැසිරීම අධ්‍යයනය කරල මිසක් කවදාවත් මිනිහෙකුගෙ පෙනුමෙන් චරිත සහතික ලියන්න යන්න එපා . මොකද ඒ තීරණ වරදින්න තියෙන ඉඩකඩ වැඩි. කෙල්ලෙක් කොට සායක් ඇදල , බුරියත් චුට්ටක් පෙන්නල, කොණ්ඩෙත් කලර් කරල තොල් දෙකෙත් සායම් ගාල පාරෙ යනකොටබාල, මහලු , තරුණ කොයි කවුරුත් පිරිමි "අන්න මචං සිරා බඩුවක් යනවා" කියල බලන් ඉන්නවා නම් හරි පස්සෙන් වැටෙනවනම් හරි එතන තියෙන්නේ මානසික විකෘතියක්. ඇයි දන්නවද කෙල්ලෙක් චුට්ටක් කොටට ඇදල කොණ්ඩෙ කලර් කලාම බඩුවක් වෙනවනම් ඇත්තටම පිරිමි දෙතුන් දෙනෙක් නඩත්තු කරන ගැහැනුන්ට මොනවද කියන්නෙ.

කෙනෙකුට චරිත සහතික ලියන්න කලින් හොඳට හිතන්න තමන් ලියන්න යන චරිත සහතිකේ හරිද කියල .ඒ වගේම තමයි තමන්ටත් කොයිවගේ චරිත සහතිකයක් සමාජෙ ඇතුලෙ ලියවිලා ඇතිද කියල .කෙල්ලෙක් උනාම දැනගන්න ඕනි තමන්ගෙ වැහෙන්න ඕනි තැන් වහගෙන ඇදුම් අදින්න .හැබැයි ඉතින් වයසට ගියාම ෆැෂන් කරන්න බැරි එකේ ඒ කාලෙට උචිත ඒ කාලෙට කරන්න ඕනි .එහෙම කරද්දී ඒ කෙල්ලට බඩුවක් , කෑල්ලක් කියනවානම් ඒ තමා සමාජෙටම වැරදුණු තැන .මොකද කොටට ඇදගත්ත ගෑනු ළමයි අතින් අල්ලගෙන වයසක, අන්ධ සීයලා ආච්චිලා මං ඕනි තරම් දැකල තියෙනවා .හැබැයි ඒ ගෑනු ළමයා ඒ අසරණයින්ට පිහිට වෙනකන්ම පාරෙ ගියපු එක මනුස්සයෙක්ටවත් ඒ අසරණයින්ට පිහිට උනේ නෑ. ඉතින් ඒකෙන්ම මනුස්සයින්ගෙ මනුස්සකම තියෙන්නේ අදින පලදින විදියෙ නෙවෙ හිතෙයි ක්‍රියාවෙයි කියල ඔප්පු වෙලා පේනවා.

ඉපදුණු දා ඉදලා සැප සම්පත් ඇතිව හැදිල ලස්සනට ඇදල හිටපු කෙනෙක් අම්මා කෙනෙක් උනත් වයසට ගියත් එයාගෙ ඇදුම් පැලදුම් වෙනස් වෙන්නෙ බොහොම සුළු සුළු විදියට විතරයි . ඉතින් එහෙම එකම විදියට ඇදගෙන, මේකප් දාගෙන අම්මෙකුයි දුවෙකුයි පාරෙ යද්දි පාරෙ ඉන්න මිනිස්සු කියන කතා බොහොමයි.

" වයසට ගිහිල්ලා ලොකු දරුවො ඉද්දි අම්මා කෙනෙක් ඉන්නෙ ඔහොමද අම්මල ඔහොම අදිනවද?"

 ඔහොම අවලාද ටිකක් තමයි අහන්න ලැබෙන්නෙ.හැබැයි වයසට ගියා කියල දරුමල්ලො හම්බුනා කියලා අම්මා කෙනෙක් උනා කියල ඇයි ලස්සනට අදින්න හොඳ නැත්තෙ. අම්මගෙ තියෙනවා මව්වත්කම තියෙන්නෙ අදින පලදින ඇදුම්වල නෙවෙ. එයා එයාගෙ දරුවන්ට දක්වන ආදරය, සෙනෙහස ,සොයා බැලීම ඇතුලෙ පිට ඔපේ කෙසේ උනත් මවක් මවක්මයි. ඇතමුන් මවක් උනත් ගණිකාවක් වන්නටද පුලුවන. එතැන සමහර විට ඇත්තේ තම දරුවන්ගේ බඩවියත රැකගැනීමට කරන වෘත්තීයක් විය හැකි. හැබැයි එහෙව් දරු කැක්කුම හදුනන ගණිකාවක් වුවත් ඇය පිළිකා රෝගි දරුවන්ට ප්‍රතිකාර සදහා යම් මුදලක් පරිත්‍යාග කරන්නෙ නම් එතැන ඇත්තේ මිනිසත්කම නොවෙද සල්ලිකාර හාම්පුත්තු අහක බලාන පාරෙ යන කාලෙක ඇය එවැනි දානාදියක් කර ගැනීම කොතරම් උතුම්ද. එවිට හිතන්න කරන වෘත්තියේවත් පෙනුමෙන්වත් අපට මිනිස්සු මනින්නට බැරි බව ඔබට සනාථ වේවි.

යානවාහන ඇති විසල් මැදුරු ඇති සමහර මිනිසුන් සාමාන්‍ය කමිස ඇද බාටා දමාගෙන පාරෙ යනවිට ඔවුන්ව දිලිද්දන් ලෙස හදුන්වයි එය කොතරම් මුලාවක්ද.. ඉතිං කෙනෙකුගේ පෙනුමෙන් අපට කිසිවෙකුට නම් පට බැදීමටවත් චරිත සහතික ලබාදෙන්නවත් බෑ.. එබැවින් තවෙකුගේ චරිත ඝාතනයකට පෙර මොහොතක් හිතන්න.

Top