හද අඳුර බිඳ එන්න මා හා - සොඳුරියේ ආරාධනා (428)

post-title

ප්‍රේමය....... ඒක හරි සොදුරු හැගුමක්. ප්‍රේමය විදි ඕනෑම කෙනෙක් නිසැකවම එයට එකඟ වනවා නියතය. හිමිවීම් අහිමි වීම් සියල්ල ප්‍රේමය තුළ පොදුය. ප්‍රේමය හිමි වූ තැන මහා තෘප්තිමත් හැඟුම් සමුදායක් ඇති වුවත්, අහිමි වීම් තුළ මහා හිස්කමක්, තනිකමක්, දොම්නසකට එහා ගිය කියා ගන්න බැරි මහ අමුතුම හැගීම් රාශියක් ඇති බව ප්‍රේමයේ අහිමි වීම් විදි ඕනෑම කෙනෙක් එකඟ වන කාරණයකි. 

ඒ සියල්ල අතර දුරින් හිද පෙම් කිරීම, එසේත් නොමැතිනම් ඒක පාර්ශවීය ප්‍රේමය යනු විටෙක මහා ප්‍රබලම හැගීමක් විය හැකිය. මක් නිසාද යත් අහිමි වීමක් හිමි වීමක් නැති එහෙත් අනෙකා කෙරෙහි මහ පුදුමාකාර ප්‍රේමයක් හිත තුළ රදවාගෙන, ඒ තුළ ජීවත් වීමද විටෙක සැනසීමකි.

අහිමි වීමක් තුළ එසේත් නැතිනම් දුරින් හිද කරන ඒක පාර්ශවීය ආදරයක් තුළ තමාට රිසි අයුරින් ගොඩ නගා ගත් සිහින ලොවක් තුළ ජීවත් විය හැකිය. ඒ තුළ ජීවත් වෙමින් අනෙකාට ප්‍රේම කිරීම මහ සොදුරු හැගීමකි.

එලෙස ඒ පාර්ශවීය ව පෙම් කරන අපූරු තරුණයෙකුගෙ සිතැගියාවන් ගී පද පෙලකට ඇමිණූ විට එය නිසැකයෙන්ම සොදුරු සංවේදි ගීයක් වනු නියතය. ආචාර්‍ය වාසනා එදිරිසිංහයන් විසින් 

"සොල්දරේ හිද දෙතොල් තෙමනා

මධුවිතින් සන්තාප දවනා 

හද අදුර බිද එන්න මා හා

සොදුරියේ.......... ආරාධනා ........"

යනුවෙන් පද ඇමිණුවේ එලෙස ඒක පාර්ශවීය ව තම සිහින කුමරියට පෙම් කරනා තරුණයෙකුගෙ සිතැගියාවන්ය. ඔහුගෙ ලොව මහා පාලුවකින් වෙලී ඇත. මදු බදුන් සහ අදුර මැද්දේ තනිවූ ඔහුට ජීවිතයේ මහා පාලුවක් දැනී ඇත. තව දුරටත් හිතින් පෙම් කරමින් සිටියා ඇති යැයි හැගුණ ඔහු තම සිහින කුමරියට තම හද අරණට පියමං කරන්න යැයි ආරාධනා කරන්නෙ මහත් වූ සෙනෙහසකිනි. තම සිහින ලොව තුළ එකී තරුණිය හා සිහින ගොඩ නගා ගත් මේ තරුණයාට හදවත අභ්‍යාන්තරයටම මේ ප්‍රේමය කිදා බැසගෙන ඇති නිසා තව දුරටත් ඉවසා සිටිය නොහැකි තැන ඇයට තමාගේ ජීවිතයට එන්න යැයි ආදරණීයව ආරාධනා කරන්නේ එහෙයිනි. ඒ ආරාධනාවට හේතු කාරණා ඔහුට ඇත.

" සිහින සොරකම් කරන සදවත

එළිය කරදෙන් සඳ අමාවක

සිතපුරා ඉකිබිදෙන නොබිදෙන

මා ඔබේ පෙම් පුරාවත සඳ.."

තවදුරටත් ඔහුට මධුවිතත්, අන්ධකාරයත්, තනිකමත් තම සඟයන් කර ගැනීමට අවශ්‍ය නැත. මධුවිත හා තනිවන අන්ධකාර රාත්‍රීන් වෙනුවට දැන් ඔහුට අවැසි තම සිහින කුමරිය සමඟ සීත සුළං හමන මහ රෑක සොල්දරය මත හිත සිය ගත උණුසුම් කර ගැනීමටය.ඇය හා එකට වෙලී ලැබෙන මෘදු ස්පර්ශ, රෝමාන්තික හාදුවක් ඔහුට මධුබදුනට වඩා උණුසුම්ය.

" ඉතිං අමාවක රැයක් වන් වූ මා ජීවිතය තුළට සඳ එළියක් සේ ඇවිදින් මා මේ අදුරෙන් මුදවා ගන්න. අලුත් ප්‍රේමකතාවක් අරඹමින් අපි අපේ මගක එකට ඇවිද යමු."

ඔහුගේ එකම ඉල්ලීම එයය. ඔහු ඉතා ආයාචනාත්මකව ඒ ඉල්ලීම කරන්නෙ ඒ තරමටම ඇය ඔහුට ඔහුගේ ජීවිතයට අවැසි නිසාය.ඔහුගේ ජීවිතය තුල ඇය ඒ තරමටම වැදගත් චරිතයකි. පාලුව කාන්සියට මධුවිත වැනි තාවකාලික පැලැස්තරයක් වෙනුවට ඇය සමග මුලු දිවියම එක්ව අත්වැල් බැද ඇවිද යාමට ඔහු සියලු සැලසුම් ක්‍රියාත්මක කරමින් සිටියි. 

" සිහින සිතුවම් කරන සඳවත

සොදුරු හැගුමන් සිරවෙලා හද

නෙතු සොරොව් දොර බිඳෙන නොබිදෙන

මා ඔබේ පෙම් පුරාවත සඳ"

තනිවන රාත්‍රීන් තුළ ඔහුට ජනිත වන ප්‍රේමාන්විත හැගීම් පිට කිරීමට ඇය තමා අසල සිටිය යුතුමය. 

"නිරතුරුවම නුඹ ගැන ප්‍රේමය මා හදවත අමුතු හැගීම් වලින් මුසපත් කරයි.මට මේ තනිකම හොදටෝම ඇතිය. අපි මේ ලෙස දුරින් සිටි කාලය ඕනවාටත් වැඩිය.ඉතින් සොදුරියේ මා අසල දැවටි දැවටී හිද මාගෙ හදවත සුවපත් කරනු මැනවි. එයයි මගේ ආරාධනය."

ඉතින් ඉතාමත් ආදරණීය ලෙස තම සිහින කුමරියට තම ජීවිතය තුළට පැමිණෙන්න යැයි ආරාධනා කරන මේ තනිකඩ තරුණ හඩෙහි අයිතිකරු සුනීර සුමංගය. බහුතරයක් තනිකඩ ප්‍රේමවන්තයන්ගෙ හද සන්තානයේ ඇති හැගීම් හරි අපූරුවට ගායනා කරන සුනීරට නාද රටා මවා දෙන්නේ කවීන් රූපසිංහ විසිනි. ආචාර්ය වාසනා එදිරිසිංහයන්, සුනීර සුමංග , කවීන් රූපසිංහ මේ සුසංයෝයග දහසක් සිත් සුවපත් කරන , දහසක් ප්‍රේමවන්තයන්ගේ හැගීම් වලට ඉඩක් දෙන අපූරු නැවතුමකි. අන්දකාර සීතල රාත්‍රියක ඇස් පියන් වසා විදින්න හරි අපූරු ගීතයකි " සොදුරියේ ආරාධනා ....."

Top