එම්බාර්මින් ඩිග්‍රිය හිමි දකුණු ආසියාවේ ලාබාලතම එම්බාර්මර් - ෂැනන් රේමන්ඩ් (511)

post-title

මේ ලෝකෙ ජීවත් වෙන හැම මනුස්සයෙකුගෙම ජීවිතේ එක වගේ නැහැ. සමහර මිනිස්සු පෙනුමෙන් වෙනස් වෙනවා, සමහර අය ගතිගුණවලින් වෙනස් වෙනවා, ඒත් එක්කම සමහරු සිතනපතන ආකාරයෙන් වගේම ඇතැම් අය වෘත්තීන් අතින් ගත්තත් එකිනෙකට බොහොමත් වෙනස් වෘත්තීන්වල නියැලෙනවා. ඉතින් ඒ වගේම අපිට ජීවිතේ යම් යම් නොදත් තැන්, නොදත් දේවල් වගේම තේරුම් ගැනීමට අපහසු වන ඇතැම් නිමේෂයන්ද මේ වෙනස් මිනිසුන්ගේ වෙනස්ම වූ වෘත්තීන් තුළින්ද ඉගෙන ගැනීමට දැන හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. 

ජීවත් වෙලා ඉන්න කාලය තුළ මනුස්සයෙක්ට ලැබෙන සැලකිලි ඒ මනුස්සා මිය ගිය විටත් ඒ විදිහටම ලැබෙනවද? ජීවත් වෙලා ඉන්න කාලයට වඩා මනුස්සයෙක් මිය ගිය විට ඒ මනුස්සයාට ලැබෙන ආදරය ඊටත් වැඩියෙන් ඒ මනුස්සයා වෙතට ලැබුණත් කොයි කවුරුත් ඒ ආදරය ලබා දෙන්නේ හිතේ පොඩි චකිතයක් එක්කම ලාවට හීනියට වගේ හිතේ කොනක ඒ මිය ගිය පුද්ගලයා කෙරෙහි පොඩි බයකුත් තැති ගැන්මකුත් තියාගෙනයි. ඉතින් අපේම ආදරණීයයන්ට අපිම බිය වෙන තැනකට ජීවිතයේ යම් අවස්ථාවකදී පත් වෙනවා නම් ඊට හේතුව වන මරණය කියන සිදු වීම කොයි තරම් නම් බියජනක සිදුවීමක්ද යන්න අපි විසින්ම අපේ හිත්වලට කිඳා බසින්නට දී හමාරයි. ඒ වගේම ඒ හා සම්බන්ධයෙන් නිර්මාණය වන කලා කෘතියක් වුවද (උදාහරණයක් ලෙස නිකිණි වැස්ස) ඒ දෙස ප්‍රේක්ෂකයින් බලන්නේ කුමන දෘෂ්ටිකෝණයකින්ද? ඉතින් ඒ තරමටම මනුස්සයෙකුගේ මරණයෙන් පසුව මළ සිරුරක් දෙස පුද්ගලයින් විවිධාකාර කෝණයන් ඔස්සේ බලන්නට පුරුදු වී සිටීම සාමාන්‍ය දෙයක්.

ඒත් එක්කම පුද්ගලයකුගේ මෘත දේහයක්, ප්‍රාණය නිරුද්ධ වූ මළ සිරුරක් කියන දේ තවත් ජීවමාන මනුස්සයෙක් දකින්නේ කොයි තරම් නම් තැතිගන්වන සුළු, කෙතරම් ජුගුබ්සාජනක දෙයක් විදිහටද? ඒත් එක්කම තමන්ටත් ජීවිතයේ සියළු කෙළි සෙල්ලම් අවසානයේ එම අවස්ථාවට පත් වන්නට වන බව තේරුම් ගන්නේ කීයෙන් කී දෙනාද? ඉතින් අද අපි කතා කරන්නට යන්නේ මේ මරණය කියන දේ එහෙමත් නැත්නම් මළ සිරුරක් කියන දේ මේ වගේ අසාමාන්‍ය දෙයක් විදිහට නොසිතා එයටත් බොහොම ගරුතර සැලකිල්ලක් දක්වමින් සිය වෘත්තිය විදිහට කරගෙන යන රැකියාව තුළින්ම දකුණු ආසියාවේ එම්බාර්ම් උපාධිය හිමි ලාබාලම පුද්ගලයා විදිහට නම් දරන ෂෙනන් රේමන්ඩ් මහතා පිළිබඳවයි.

British Institute Of Embalmer සහ Australian Institute Of Embalmer  මගින් ලබාගත් මෙම උපාධිය අවසානයේදී හිමිවන Qualified Embalmer යන සුදුසුකමට හිමිකම් කියන තෙවන ශ්‍රී ලාංකිකයා වන්නේ මොහුය. අවුරුදු 18 වෙද්දී ඔහු සැපිරූ මේ සුදුසුකම සැපිරීමට වෙනත් පුද්ගලයින්ට වයස අවුරුදු 21 සම්පූර්ණ කරන්නට අවැසි වුවද මොහු කරන ලද විශේෂ අවසරයක් මත ඔහුට එම වයසේදී උපාධියට ඉල්ලුම් කර මේ අවස්ථාව ලබා ගන්නට හැකි වුණා. ඒ වගේම ඊට තිබිය යුතු ප්‍රායෝගික සුදුසුකම වන මිනී 100ක් එම්බාර්ම් කිරීමේ සුදුසුකම ඔහු ඒ වන විටත් සපුරා තියෙන්නට වීමත් විශේෂත්වයක්.

 ‘‘මම මගේ ජීවිතයේ දැකපු පළවෙනි මරණ පරීක්ෂණය දැක්කේ මට වයස අවුරුදු හතේදී. එය ඇමරිකාවේ වයස අවුරුදු අටක පමණ ගැහැණු ළමයෙකුගේ කරපු මරණ පරීක්ෂණයක්. ඒ මරණ පරීක්ෂණය කරපු ඩොක්ටර් කැමති වුණේ නැහැ මං ඒ වෙලාවෙදි එතන ඉන්නවට. ඒ ඩොක්ටර් මගේ තාත්තාට කතා කරලා කිව්වා මිස්ටර් රේමන්ඩ් පුතාව මෙතනින් යවන්න කියලා. තාත්තාට තේරුම් ගියා මම එතනින් යන්න අකමැති බව. තාත්තා පස්සේ ඩොක්ටර්ට කිව්වා එයා කැමතිනම් එයාට ඉන්න දෙන්න ඩොක්ටර් කියලා. ඊට පස්සේ ඒ ළමයගේ උගුර දිගේ පිහිතුඩ ගෙනිහින් හාර්ට් එක ඕපන් කරලා ඩොක්ටර් හාර්ට් එක අතට ගත්තා. පස්සේ මටත් බලන්න අතට දුන්නා. මං ඒක අරගෙන පරිස්සමට බලලා ආපහු ඩොක්ටර් අතට දීලා එළියට ගිහින් ආයිත් පුරුදු විදිහටම මගේ පුංචි ලෝකයේ ඉඳන් සෙල්ලම් කරන්න ගත්තා.

වයස අවුරුදු 16 වන විට තනිවම මළ සිරුරක් එම්බාර්ම් කිරීමට තරම් හැකි වූ මේ කුඩා ෂැනන් මෙරට වසර ගණනාවක් පැරණි අවමංගල්‍ය අධ්‍යක්ෂක සමාගමක් වන AF රේමන්ඩ් හි සභාපතිවරයාගේ දෙවැනි පුත්‍රයායි.

ඉතින් පුංචි රේමන්ඩ්ට මේ මරණය කියන දේ වගේම ඒ එක්කම තියෙන මළ සිරුරු මේ සියල්ලක්ම හරිම සාමාන්‍ය දෙයක් විදිහට දැනෙන්න ගත්තේ ඔහුගේ මේ කුඩා වයස තුළදීමයි. ඒ වගේම ඔහුට අනුව මේ ලෝකෙ මිය යන සෑම මනුස්සයෙක්ම VIP. ඒ කියන්නේ මේ ලෝකෙ මිය යන සෑම මනුස්සයෙක්ම මේ ලෝක ඉන්න තවත් කාටම හෝ බොහොම වටිනා පුද්ගලයෙක්. ඉතින් එහෙම මනුස්සයෙක් මිය ගියහම ඒ මෘත දේහය දකින තමන්ගේ ආදරණීයයන්ට එන වේදනාව - දුක දශමයකින් හෝ අවම කරන්නට ඒ පුද්ගලයාගේ මරණය සිදු වීමෙන් අනතුරුව කරන එම්බාර්ම් එකෙන්ද පුළුවන් වන බව ඔබ අපටත් ප්‍රායෝගිකවම අප දන්නා හඳුනන අයගේ අවමංගල්‍ය අවස්ථාවන්ට සහභාගී වීම තුළින්ද අපට අවබෝධ වී ඇති අවස්ථාද නැතුවාම නොවේ. 

ඒ කාරණාව තව දුරටත් පැහැදිලි කළහොතින් හරි විදිහට කරන ප්‍රොෆෙෂනල් එම්බාර්මර් කෙනෙක් නම් කවදාවත් මළ සිරුරක මුහුණ බැන්ඩේජ් කරන්නේ ප්ලාස්ටර් අලවන්නේ නැහැ. මනුස්සයා මිය ගිහින් තිබුණත් ඔහුගේ පෙනුම ජීවමාන කාලයේ සිටින විට වගේම පෙනුමක් ගෙනත් දෙන්න, කරන එම්බාර්ම් එකෙන් පුළුවන් වෙන්නට ඕනි. ඒ වගේම මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සිදු වීමෙන් අනතුරුව ඔහුව එම්බාර්ම් කළ අයුරු ෂැනන් පවසා තිබුණේ මෙවන් ආකාරයටයි.

‘‘මුහුණට වෙඩි වැදිලා අරන් ආව ලසන්ත වික්‍රමතුංගගේ දේහය එම්බාර්ම් කරන්නට මං පටන් ගත්තේ හවස 05ට විතර වගේ. වෙඩි වැදීමෙන් මුහුණේ පැත්තක්ම විනාශ වෙලා තිබුණු ඒ දේහය මං පහුවෙනිදා උදේ 06 විතර වෙනකන් සකස් කළා. ඒ තුවාල වුණු තැන් හැම එකක්ම මං මැහුවා. ඒ මහපු මැහුම් පාරවල් පිටතට නොපෙනෙන්න මං මේකප්වලින් ඒවා වැහුවා. අන්තිමේදී වෙඩි වැදුනේ මුහුණේ කොයි පැත්තටද කියලාවත් කාටවත් හොයා ගන්න බැරි විදිහට මං ඒ දේහය සකස් කළා.‘‘

ඉතින් ඇත්තෙන්ම තමන්ගේ ආදරණීයයන් තමන්ගෙන් සදහටම සමුගත් අවස්ථාවක ඒ දේහය බැන්ඩේජ්වලින් ප්ලාස්ටර්වලින් වසා විකෘති දේහයක් දකිනවා වෙනුවට මොහු ජීවත් වූ කාලයේ දකින ස්වරූපයෙන්ම දකින්නට තිබුණා නම් ඔවුන්ගේ වේදනාව එක් මාත්‍රයකින් හෝ අඩු නොවන්නේද?

ඒ වගේමයි ෂැනන්ට අනුව නම් මේක එක්තරා කලාවක්. වර්තමානයේදී බොහෝ එම්බාර්මර්වරුන් බීමතින් මෙම කාර්යය සිදු කරනු ලබන අවස්ථා බහුල වේ. මනුස්සයෙකුගේ සිරුරක් කැපීම, කපා එය සකස් කිරීම හොඳ සිහිබුද්ධිය ඇතිව කිරීම අපහසු බව පවසන්නේ නම් එය සැබවින්ම අපේ ගැමි කියමනක් වන කිතුලට නැගි මනුස්සයාටත් කියන්නට දෙයක් තිබුණා හා සමානයි. එය එසේ නම් ප්‍රථමයෙන්ම එසේ බීමත් විය යුත්තේ වෛද්‍යවරුන් නොවේද? මක් නිසාද ඔවුන්ද කපා කොටා සකසන්නේද මේ මනුශ්‍ය ශරීරයමය. ඒ වගේම ඒ ඒ මනුෂ්‍යයින් පණ පිටින් සිටින අවස්ථාවන්වලදීමය. ඉතින් සැබවින්ම මෙම වෘත්තියටද මනුෂ්‍ය ශරීරය පිළිබඳව හොඳින් දැන හඳුනා සිටීම අත්‍යවශ්‍ය වන බැවින් මෙයද වඩාත් සිහි බුද්ධියකින් යුතුව කළ යුතු රැකියාවක් නොවන්නේද?

ඒ වගේම ඉතින් මෙම වෘත්තිය අධික ලෙස සංවේදීබවට ලක් වී කළ යුතු රැකියාවක්ද නොවේ. එහෙත් ෂැනන්ගේ අත්දැකීම්වලට අනුව කුඩා දරුවන් එම්බාර්ම් කිරීම වඩාත් අසීරු බවයි ඔහු පවසන්නේ. දිනක් ඔහු වෙතට ගෙන එන ලද වයස අවුරුදු අටක් වයසැති ලස්සන හුරුබුහුටි දරුවෙකුගේ එම්බාර්ම් එක සිදු කිරීමට සිදු වූයේ එම දරුවාගේ මවගේ ඉල්ලීම පරිදි දරුවාගේ මවද ඒ අසලම තබා ගෙනය. එහිදී එම දරුවාගේ මවට එම දරුවා එසේ සකස් කරන ආකාරය දුටුවහොත් ඇය බොහෝසෙයින්ම කම්පා වීමට ඉඩ ඇති නිසා ෂැනන් සිදු කළේ දරුවා එම්බාර්ම් කිරීමට අවශ්‍ය උපකරණ ඇයට නොපෙනෙන සේ මේසය යට තබා ගෙන ලේ අදින බටය පවා එසේ තබා සිදු කරමින් ඇයට බොහෝ සෙයින් වසන් කොට එම කුඩා දේහය සකස් කිරීමයි. ඒ වනවිටත් මව දරුවාගේ පසක සිට හිස අත ගාමින් හඬමින් සිටි බව ඔහු පවසන අතරම ඔහුගේ ජීවිතයේ අමතක නොවන සිදු වීමක් බව එය ඔහු අදටත් පසක් කරන පෙන්වයි.

ඉතින් ෂැනන් මේ ආදී වශයෙන් උඩුබැලි අතට ලස්සනට නිදා සිටින මිනිසුන් දහස් ගණනක් දැක ඇති වගේම ඔවුන්ට එසේ ලස්සනට නිදා සිටීමට හැකි වන පරිදි ඔවුන් හැඩ වැඩ කර සුන්දර පෙනුමක් ඔවුන්ට ගෙන දුන් පුද්ගලයෙකි. ඒ නිසාම මිනිසුන් සමග රණ්ඩු සරුවල් කිරීමට තවත් කෙනෙකුට ද්‍රෝහිකම් කිරීමට තැත් කිරීමට ඔහු කිසිවිටකත් උත්සහ නොකරන්නේ ජීවිතයේ අවසාන වස්ත්‍රයෙන් හරි ලස්සනට තමන්වත් වෙනකෙක් සරසන තෙක් තමන්ටද පාඩුවේ නිසලව සිටිය යුතු වන බව ඔහු මේ වන විට අත්දැකීමෙන්ම දැක ඒ බව හොඳින් අවබෝධ කොට ගෙන ඇති නිසාවෙන් වන්නට පුළුවන්.

ඉතින් ඔබටද මටද දිනෙක එම අවස්ථාවට මුහුණ දීමට නිසැකවම සිදු වනු ඇත. එබැවින් ඒ දවස වන තෙක් ඔබ අනුන්ට කපන වළවල් වල දිග පළල, අනුන්ට දෙන ගින්දර වල සැර, තවත් කෙනෙක් රවටන රැවටීම්වල තරම ඔබටම තීරණය කරන්නට පුළුවන්. එහෙම නැත්නම් ඔබ තව කෙනෙක්ට වචනයකින් හෝ වෙන ශක්තිය, කෙනෙකුට කරන පුංචිම පුංචි උදව්වකින් ලබන සතුට සැනසීම වගේ දේවලුත් ඒ දවස වෙනකන් ඔබට එකතු කරගන්න පුළුවන්. ඉතින් ඔබ ඒ වනතෙක් එකතු කර ගන්නේ මොනවද කියන දේත් ඔබටම තීරණය කරන්න පුළුවන්. එයින් පසුව ඒ තාක් කාලයක් ජීවත් වුණු ඔබේම සිරුරෙන් පිටත සිට ඒ දෙස බලා ඔබ එතෙක් කළ දේවල් එකින් එක මතක් කර ගන්නත් ඔබට පුළුවන්. එම නිසා ජීවත් වෙලා මේ ඉන්න ටික කාලයේ මිය ගිය දිනෙක ඔබට ඔබ ගැනම හිතලා සතුටු වෙන්න පුළුවන් විදිහට හැම දවසක්ම ගත කරමු.

Top