තරගකාරී අධ්‍යාපන ක්‍රමය හා වැඩිහිටියන්ගෙ වරදින් විනාශව ඇති ළමා ලෝකය (294 වන ලිපිය)

post-title

මිනිසත් බව ලැබූ දින පටන් අප ජීවිතයේ එක් එක් අවධි ගතකරනවා , පහු කරනවා. ඉතින් මිනිස් ආත්මයක් ලබපු අපි හැමෝම දවසක වැඩිහිටියො වෙන්නෙ ලස්සන සොඳුරු ළමා කාලයක් පහු කරල.ළමා ලෝකය හරි සුන්දරයි කිව්වෙ නිකන් වචනයට විතරක්ම නෙවෙයි . ඇත්තටම පුංචි ළමයින්ගේ ලෝකයේ වසවිස , වෛරය, ක්‍රෝධය කියන එක තියෙන්නේ හරිම අඩුවෙන් .මිදුලේ සෙල්ලම් බත් උයපු, අසල්වැසි ගෙවල්වල ළමයි එක්ක එකතුවෙලා සෙල්ලම් ගෙවල් දාපු කාලයක් මෙම ලිපිය ලියන මටත් තිබුණා කියවන පාඨක ඔබටත් තියෙන්නට ඇති. ඒ කාලෙ හරි සුන්දරයි.අව්ව,වැස්ස කිසි ගානක් නෑ . මිදුලේ වැලි අනන්න, කෝම්පිට්ටු හදන්න , මඩේ නටන්න , ඇලේ දොලේ පනින්න මාරම ආස කාලයක් තමා අපේ ගෙවිල ගිය ළමා කාලෙ ඇතුලෙ තිබුණේ .. ඒත් 21වන සියවස ඇතුලෙ අපිට තිබුණා තරම් සොඳුරු ළමා කාලයක් අද ළමයින්ට තියෙනවා ද කියන එකත් ප්‍රශ්නයක් වෙලා. අද ළමයි එකතුවෙලා සෙල්ලම් කරනවා දකින්න පුලුවන් වෙන්නෙ හරිම කලාතුරකින් . තරගකාරී අධ්‍යාපන ක්‍රමයත් එක්ක අද ළමයිනුත් ගමන් ගන්නෙ එකම රැල්ලක.ඒ රැල්ලෙ යන්න ළමයින්ව පොළඹවලා තියෙන්නේ දෙමාපියන්මයි. යන්තම් දරුවෙකුට අවුරුදු තුනක් වෙද්දි ළමයව පෙර පාසල් දානව වැඩිහිටියන්ගෙ පහසුව පිණිස. ඒකත් දරුවන්ව කුඩා කාලයේදීම ජාත්‍යන්තර පෙර පාසල්වලට දාන්න තමයි වැඩිපුර නැඹුරුවක් තියෙන්නේ . සිංහලවත් හරියට කතා කරගන්න බැරි දරුවාට මුල්ම අත්පොත ලැබෙන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් . ඉතින් දරුවො තමන්ගේ අම්මාව ආමන්ත්‍රණය කරන්න හුරුවෙලා ඉන්නෙ මමී, මමා වැනි බටහිර පන්නයෙ වචන වලින්. එතැනම අම්මා කියන අකුරු තුනෙන් කියවෙන දයාබරත්වය ඈත්වෙලා ගිහින් . අවුරුදු තුනෙන් පටන් ගන්න මේ තරගකාරී ගමන් මග නතරවෙන්නෙ අවුරුදු 17න් . ඒ වෙද්දි දරුවන්ට ළමා කාලය අත් විදින්න තිබ්බ නිදහස හා සොඳුරු බව ගෙවිල ගිහින් .

දැන් තුන වසරෙ ඉදලම දරුවන්ව යොමු කරන්නෙ ශිෂ්‍යත්වය වෙනුවෙන්මයි.ටියුෂන් පංතිවලට තමයි අද දරුවන්ගේ කාලයෙන් වැඩි හරියක් වෙන්වෙලා තියෙන්නේ .ඉස්කෝලෙ ඇරිල ගෙදර එන දරුවව ආයෙත් අනිත් අතට ටියුෂන් පංතියට අරන් යන්න තමයි දෙමව්පියෝ බලන් ඉන්නෙ .. එහෙමත් නැත්නම් පාසලෙන් ගත්ත ටියුෂන් එකෙන් තිබ්බා වැනි system එකකට තමා අද ලංකාව අනුගතවෙලා ඉන්නෙ . ළමයිනුත් හරියට රොබෝ යන්ත්‍ර වගේ. කිසිම දැනීමක් , හැගීමක් නෑ කරන්න කියන දෙයක් කරලා ඔහේ ඉන්න තැනට පත්වෙලා . ඇත්තටම දෙමව්පියෝ කොච්චරනම් තරගකාරී අධ්‍යාපන ක්‍රමය පිටුපස දුවනවාද කියතොත් දරුවාගේ කුසට අමතර දවල් ආහාර වේලක්වත් ලබා නොදෙන්නට තරම් සමහර දෙමාපියන් අවිඣානගත වෙලා තියෙනවා. අද බොහෝ දරුවො ළමා ලෝකය වැළදගන්නවා වෙනුවට යාන්ත්‍රික ලෝකය වැලදගෙන තමයි ඉන්නෙ .. ඒකට දරුවන්ට වරදක් කීමට නොහැක .. වරද ඇත්‍ තේ වැඩිහිටියන්ගේ හා මෙම අධ්‍යාපන ක්‍රමයේ සහ සමාජ ක්‍රමයේ ය. ඉතින් දරුවන් කෙතරම් තාක්ෂණික ලෝකයට යටවී ඇත්ද කියතොත් කෝම්පිට්ටුවක් සාදා ගැනීමට ද පෙර පාසල් අධ්‍යාපනයක් ලබා දිය යුතු තත්ත්වයක් උද්ගතව ඇත. අද කුඩා දරුවන් අතරෙ ඔලිද කෙලිය, පංච දැමීම , දාම් ඇදීම යනාදි අවුරුදු ක්‍රීඩා හදුනන කිසිවෙකුත් නොමැති තරම් ය. අද සිටින දරුවන් බොහෝමයක් හුරුව ඇත්තේ ජංගම දුරකථනය හෝ පරිගණකය භාවිතයෙන් ක්‍රීඩා කිරීමට ය.බොහෝමයක් video game වෙඩි තබන, බෝම්බ පුපුරවන ආකාරයේ ඒවා ය. එහිදී දරුවාට ලකුණු ලබා දෙනු ලබන්නෙ වෙඩි තබා බිම දමන සතුරන් ප්‍රමාණයට ය. ඒ හේතුවෙන් අද වන විට ළමා මනස තුළ ද වෛරයේ ගිනිදැල් ඉපදී ඇති ආකරය දැක ගත හැකිය ..එසේම අද රූපවාහිනීය තුළ විකාශය වන බොහෝ cartoon තුළින් ළමා මනස තුළ වැරදි අවබෝධයන් වපුරන බවටද පසුගිය අවුරුද්දක වැඩිමල් සහෝදරයා තම බාල සහෝදරයාට bat එකෙන් පහර දී මරණයට පත් කළ පුවතින් හෙලිදරව් වන්නක්. මෙවැනි ඛේදනීය ඉරණම් වලට මුහුණ පෑමට සිදුව ඇත්තේ ළමයින්ට ළමා ලෝකය අහිමි කිරීමේ ප්‍රතිඵලයක් විදියට ය. මිදුලට පැන සෙල්ලම් කිරීමට කාලය නොලබන දරුවා තමන්ට හිමි සතුට සොයා යාමට පරිගණකය සහ ජංගම දුරකථනය තුළ හුරුවීම තුළින් අත්වන්නේ අභාග්‍ය සම්පන්නරණමක්. අපගේ වැඩිහිටි ප්‍රජාවට මෙය අවබෝධ නොවීම සත්‍ය වශයෙන්ම ඛේදාන්තයක්.එහෙම කියන්න හේතුව තමයි දරුවො තාක්ෂණයත් එක්ක හුදෙකලා වෙන්න වෙන්න දෙමව්පියන්ගේ ඇසුරෙන් ඈත් වෙන එක. දෙමාපිය ඇසුරෙන් ඈත් වෙලා දරුවො තමන්ගෙ ලෝකවල සැරිසැරීමට හුරුවීම තුළ විවිධාකාරයෙ අනිසි දේවල් වලට ඇබ්බැහි වෙන්න තියෙන ඉඩකඩ වැඩි වෙනවා. ලංකාවේ බාලක පාසල් ආශ්‍රයෙන් සිදුකරනු ලැබූ සමීක්ෂණ යකින් හෙළිවුණ කාරණයක් තමයි බහුතරයක් පිරිමි දරුවන් නිල් චිත්‍රපට බලන්න ඇබ්බැහිවෙලා තියෙනවා කියන කාරණය. ප්‍රසිද්ධ බාලක පාසල්වල පිරිමි දරුවන් තම දෙමව්පියන්ගේ , ගුරුවරුන්ගේ ඇස්වහලා කල්ලි ගැහිල ජංගම දුරකථන තුළින් අසභ්‍ය වීඩියෝපට නැරඹීමට තරම් පෙළඹිලා තියෙනවා . අද අපේ රටේ දෙමව්පියන් කරන විශාල වැරැද්දක් තමයි කුඩා කාලයේදීම දරුවන්ට ජංගම දුරකථන හා පරිගණක අරන් දීම. බොහොමයක් දක්ෂ දරුවන් විභාගය අසමත්වීමට මෙය සාධකයක් වෙලා තියෙනවා

ඊටත් වඩා මෙහි ඇති බරපතලම කාරණාව වන්නේ දරුවන් මත්ද්‍රව්‍ය පිළිබඳව දැඩි වශයෙන් මෙම තාක්ෂණික මෙවලම් ඔස්සේ ගවේෂණයට හුරුවීම තුළ මතට ඇබ්බැහි වූ දරුවන් ද අද ලංකාවේ බිහිව සිටීමයි. එසේම අද දරුවන් අතර සිටින බොහොමයක් දරුවන් අසංවේදි හිත් ඇත්තෝ ය. තවකෙකුගේ දුක , වේදනාව අදුනන දරුවන් සිටින්නේ අල්පයක්. එවැනි සංවේදී මිනිසත්භාවයන් යටපත් කර ඇත්තේ තාක්ෂණය යි. ඇතැම් දෙමව්පියන්ගේ කාර්යබහුලත්වය මත දරුවන්ගෙන් ඈත්වීම මත දරුවා හුදෙකලාව නිවා ගැනීමට වැඩියෙන් නැඹුරුවන්නේ තාක්ෂණයට.ඒ තුළ දූ දරු සබදතාවය බිද වැටෙන අතර එක මේසයේ එකට හිද ආහාර ගැනීමේ සංකල්පය බිද වැටෙන්නේ නිතැතින්මයි. එම නිසා අද වන විට සිදුව ඇත්තේ දෙමාපියන් වෙනමත් දරුවන් තමන්ට කැමති වෙලාවකත් කෑම ගන්න පුරුදු වෙච්ච එක . මෙම සබදතා බිද වැටීම තුළ ඇතැම් දරුවන් තම දෙමාපියන් හා සහෝදරයන්ද නොරුස්සන තත්වයක් උද්ගතව ඇති බව පෙනෙන්නට තියෙන කරුණක් .. එවැනි දරුවන්ට තම මවගේ ආදරණීය ආමන්ත්‍රණයක් වුවද දැනෙන්නෙ පීඩාකාරී කරදරකාරි සිතුවිල්ලක් ලෙසය.

එසේම දෙමව්පියන් මාස 7ක 8ක දරුවාට කෑම කවා ගැනීමට ද තම ස්මාර්ට් ජංගම දුරකථනයෙන් වීඩියෝපටයක් දමා දරුවන්ට ලබා දීමට හුරුවෙලා ඉන්නවා .. ඒ හින්ද අද දරුවා අවිඣානගතව කෑම ගැනීමට හුරුවෙලා . දරුවා කොතරම් ජංගම දුරකථනයට ගිජුබවක් දක්වන්නේද කියතොත් කෑවෙ මොනාද යන්නවත් එයාල දන්නෙ නෑ . අද ඒ හින්දම පොඩි අයට කෑම කවන්න නැතුවම බැරි ගැජමැටික් එක බවට ජංගම දුරකථනය පත්වෙලා .

අද දරුවන්ගේ ළමා ලෝකය විනාශවෙලා යන්න මුල්වෙලා තියෙන්නෙම මේ තරගකාරී අධ්‍යාපන ක්‍රමය, සමාජ ක්‍රමය හා දෙමව්පියන් තුළ ඇති අනවබෝධය . ඒ හින්දම අද දරුවන්ගේ මතක ශක්තිය හීන වෙලා ගිහින් . ගණක යන්ත්‍රයක් , දුරකථනයක් නැතිව ගානක් හදාගන්න අද දරුවන්ට බෑ. යාන්ත්‍රික නොවුනොත් දරුවන්ට කිසි දෙයක් මතක හිටින්නෙ නෑ.. ගිරව් වගේ කටපාඩමින් මිසක් හිතල දෙයක් ලියාගන්න හැකියාවක් නෑ.. මේ හැමදේටම හේතුව ළමයින්ගේ ළමා ලෝකය අහිමි කරල යාන්ත්‍රික ලෝකෙකට දරුවන්ව ඇදල දාපු එක . හිතන්න .. ළමා ලෝකය අහිමි කිරීම තුළ මෙරට අනාගතයට කුමන ඉරණමක් අත්වේවිද කියල .. විනාශව යන ළමා ලෝකය නැවත තනාලිය යුතු කාලය එළැඹිල තියෙන්නේ එකතුවෙන්න අසංවේදි මිනිස්සුන් නොව සංවේදී මිනිස්සුන් මෙරට අනාගතයට දායාද කරන්න

Top