කිසිවක් සදාකාලික නොවන බව පසක් කළ " මළ මල " (526)

post-title

කාව්‍ය නිර්මාණයක් බිහිවීමට සෑම කල්හිම තැනක්, වේලාවක් හෝ ප්‍රබල අරමුණක් අවශ්‍ය වන්නේ නැත. කවිය කුමන වේලාවක දී කුමන ස්ථානයක දී කුමක් අරඹයා නිර්මාණය වන්නක් දැයි කල්තියා අනාවැකි පළකල නොහැක්කේ එහෙයිනි. රසවත් කාව්‍ය නිර්මාණයක බිහිවීම එක් ක්ෂණයකින් සිදුවිය හැක්කකි. ඇතැම්විට කෙනෙකුට නොවැදගත් යැයි සිතෙන දෙයක් තවත් අයෙකුට ඉතා රසවත් කාව්‍ය නිර්මාණයක් සඳහා මඟපාදයි. ඒ අතර අප නිතිපතා දකින ඉර නැඟීම, ඉර බැසීම, මල් පිපීම, මල් පරවීම, වැසි වැටීම, සුළං හැමීම වැනි සොබාදහමේ සංසිද්ධීන් විටෙක කවියෙකුගේ ඇසට හසුවන්නේ චමත්කාරජනක අන්දමිනි. කෙතරම් සුලබ සංසිද්ධියක් වුවද කවියෙකුගේ ප්‍රතිභාව හමුවේ පෙර නොවූ අපූර්ව නිර්මාණයක් සඳහා මඟ විවර කරයි.

ඒ අතර නිතර දෙවේලේ දකින මල් පිපෙන අරුමය ගැන ලියවී තිබෙන්නා වූ කවි කුඩා කල සිටම අපි දැක ඇත්තෙමු. මල් ගැන ලියවුණු කවි පිළිබඳ කී සැනින් සිහියට නැගෙනුයේ ' රෝස මලේ නටුවේ කටු' කවියයි. ඒ කවිය පිළිබඳ මතකය කවරදාකවත් අපේ සිත්වලින් මැකී යන්නක් නොවේ. මේ මල් ගැන ලියූ තවත් එක් පද්‍ය පංතියකි. එයද මල් පිපීම හා පරවීම යන සුලබ පාරිසරික සංසිද්ධිය පාදක කොට ගත්තද කවියාගේ ප්‍රතිභාව හමුවේ අපූර්වාකාරයෙන් නිර්මාණය වූවකි. ඒ තිඹිරියාගම බණ්ඩාරයන්ගේ " ගිනි සිසිල " කව්‍ය සංග්‍රහයෙහි එන " මළ මල" නම් වූ කාව්‍ය නිර්මාණයයි.

' අප්පච්චි මෙන්න 

කඩුපුල් මලක් පිපිලා' 

නිදි ගැට කඩනා රාත්‍රිය 

දුව ඇහැරවලා

මා ළඟට එවලා...

පද්‍ය පංතිය ආරම්භ වන්නේ එලෙසිනි. කඩුපුල් මල් පිපින්නේ රෑ මැදියමේදී ය. ඒ වගේම කඩුපුල් පිපීම සුලබ වශයෙන් දැකිය හැකි දෙයක් ද නොවේ. කවියා පවසන්නේ මේ කඩුපුල් මල් පිපෙන අරුමය බැලීමට තම දියණිය රෑ මැදියමෙහි අවදි වී ඇති බවකි. එනම් රාත්‍රිය තම දියණියව ඇහැරවා ඇති බවයි. එහෙත් රාත්‍රිය ඉන් නතර නොවී මේ පියා සමීපයට තම දියණියව ගෙන්වීමට ද සමත් වේ. 

මට උදාවෙන රැය

දුවගේ හිමිදිරියයි

මගේ නින්ද 

පැහැර ගන්නද

ඇය හදන්නේ...

දියණිය අවදි වන වේලාව හිමිදිරියයි. එහෙත් ඒ හිමිදිරිය තම රාත්‍රිය බව කවියා දක්වයි. මෙහිදී අප්පච්චි එනම් කවියා පිළිබඳව ද යම් ඉඟියක් ලැබේ. ඔහු රෑ යාමයක් වන තුරු වෙහෙස වී වැඩ කරන අයෙකු බවත්, ඔහුට නිදා ගැනීමට සිදුවන්නේ හිමිදිරිය එළබෙන යාමයේදී බවත් හැඟවෙයි. 

'පරවෙන්නට ළඟයි අප්පච්චී'

හිස් වූ බඳුන් බලි රූප වී

මට රචනා

ඉදිමුණු දෑස තරහින් 

නින්ද ම වැළඳ ගන්නා...

 පිපුණු මල පරවෙන්නට ළඟ යැයි කියමින් දියණිය අප්පච්චි අවදි කරවීමට තැත් කළත් ඔහුගේ දෑස් අවදි වීමට සූදානම් නැත. ඔහුගේ දෑස් තරහින් නින්ද වැළඳ ගනියි. කෙසේ වුවද කවියා මේ සංසිද්ධිය දැක්වීම උදෙසා කරන්නා වූ බස හැසිරවීම අපූරුය. 

ඉර මිදුල පුරා පුපුරනා

දුව ඉකි බිඳිණු ඇසෙනා

හිමිදිරිය උදා වී අවසන්ය. දැන් ඉර උදා වී ඇත.මෙහිදී කවියා යොදා ගත් භාෂාව අපූරුය. ඉර උදාව බොහෝවිට සතුට සංකේතවත් කිරීමට යොදා ගත්තත් මේ කවියා ගෙන එන අරුත හාත්පසින්ම වෙනස්‍ ය. ඉර පිපිරීම යන යෙදුමෙන් දුක්බර හැඟීමක සේයාවක් ගෙන එයි.

මා හොල්මනක් මෙන්

ලුහුටන සරම දවටා ගෙන 

'මල් වැට ළඟ 

අනේ අප්පච්චී

මල මැරිලා'

නිදා ගැනීමට අවැසි වුවද දියණිගේ ඉකිබිදුම හමුවේ පියා අවදි වේ. දියණිය හඬනුයේ රෑ මැදියමේදී ඉතා අලංකාරව පිපී තිබූ කඩුපුල් මල උදෑසන වන විට පරවී ගොස් තිබුණු නිසාය. කඩුපුල් මල් එසේය. රැයෙහි පිපී උදෑසන වන විට පරව යය. එහෙත් මේ සිඟිති දියණියට ඒ ගැන තේරුමක් නැත. මලේ සුන්දරත්වය නැති වී ගිය විට ඇය හඬන්නේ එහෙයිනි.

ඉතා සංක්ෂිප්ත වුවද සුලබ සංසිද්ධිය වුවද කවියා සිය කවීත්වයට හසුකර ගත් ආකාරය අපූරුය. මේ "මළ මල" පද්‍ය පංතිය අපූරුවට පිපී ඉක්මණින් පරව යන මලකින් ජීවිතය පිළිබඳ ගෙන එන අදහස අපූරුය. එය ජීවිතයේ ඇතිවීම හා නැතිවීම පිළිබඳ කදිම කතාවකි. පරව ගිය මල නිසා දියණියගේ බලාපොරොත්තු කඩ වීම පාඨක හදවත් කඳුළින් තෙත් නොකළද ජීවිතයේ සැබෑව, සියල්ලෙහිම පවත්නා නිසරු බව, සදාකාලික නොවන බව පාඨකයාට වටහා දෙන්නේ අපූර්වාකාරයෙනි.

Top