නිදහස් අධ්‍යාපනය හා මිලිටරිකරණය (522)

post-title

ප්‍රසිද්ධ වේදිකා තුළ හඩ නොනගා තෙලිතුඩකින් බැදි වචන හරඹයකින් කාලීන මාතෘකාවකට කිසිවෙකුගේ අතකොලුවක් නොවී හුදු මධ්‍යස්ථ මතයක් දරමින් රජවන්නට නොව සත්‍ය ඔප්නංවන්නට දරණ වෑයමක පලමු පියවර බව සිත් හි දරාගෙන ඔබේ අදහස් හා යෝජනා මීට එක් කරන ලෙස ඉල්ලා සිටිමු.

1943 වර්ෂයේ නිදහස් අධ්‍යපන වටිනාකම ලිඛිතවම පිළිගන්නා කන්නංගර වාර්තාවේ එකදු අකුරක් කියවා අසා බලා ඇති ඔබට එහි සැබෑ හරය තේරුම් ගැනීම අපහසු කරුණක් නොවේ. ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නංගරයන් එදා කීවේ " මම මේ පනත ගෙන ආවේ විශාල පරිශ්‍රමයක් දරලා, එය රැකගැනීමට ඔබට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවේවි " යන්නයි. රටේ සියලු පුරවැසියන්ට රටේ ජීවය වෙනුවෙන් තම පරිපූර් ණ මෙහෙවර ලබාදිය හැකි අධ්‍යාපන ක්‍රමයක් සැලසුම් කිරීම තුළ පළමුව පුද්ගලයකුගේ ආර්ථිකමය හා සමාජමය තත්ත්වය කුමක් වුවද ඔහුගේ හැකියාවට අනුව උපරිම ශාරීරික, මානසික හා සදාචාරාත්මක සංවර්ධනය සාක්ෂාත් කරගැනීමට උදව් විය යුතු සේ ම දෙවනුව තම අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස පුද්ගලයාට තම හැකියාව රටේ යහපත පිණිස උපරිම ලෙස යොදාගැනීමට රාජ්‍ය කටයුතු විනිශ්චය කොට රාජ්‍ය විසින් ලබා දී ඇති ඡන්ද බලය ද බුද්ධිමත්ව භාවිතා කිරීමට හැකි විය යුතුය. සරල අර්ථය තුළ ගැබ්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයකට මුල්කොට ම අවම අධ්‍යාපන ප්‍රමිතියක් අවශ්‍යවන අතර ඉන් ඔබ්බට අධ්‍යාපන අවස්ථා තිබිය යුතු බවයි.

රටක සෑම පුරවැසියෙකුම අතමිට මොලවා ගෙන එන නිදහස් අධ්‍යාපන අයිතියේ සුව, පෙරපාසල, දහතුන් වසරක පාසල් අධ්‍යාපනය හා ජීවිතේ තීරණාත්මක පැතිකඩ තීරණය කරන සිව් වසරක විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළ භුක්තිවිදිය හැකිය. නිදහස් අධ්‍යාපනයේ ගුණ සුවඳ දන්නා උගත් ඔබ සහ ඔබේ හදවත අමතන මම කිසි දිනෙක එයට එක් රුපියලකින් හෝ ණයක් නොවී වෙරගන්නේ උගත් සියල්ල හුදු රටේ ප්‍රගතිකාරී පැතිකඩට යොමුකිරීමට මිසක මෙරටින් ඉගෙන බුද්ධිගලනය ඔස්සේ එය විදේශයට සැපයීමට නොවේ.

වෛෂයික වර්ණ රටාවලින් දෙනෙත් ඔද්දල්ව වෛවර්ණ වී ඇති නූතන සමාජ හර පද්ධතියේ නිදහස් අධ්‍යාපනය බුක්තිවිඳින පිරිසෙන් කී දෙනෙක් නම් ඒ වචන වල සැබෑ අර්ථය දනී ද ? රතු ඉන්දියානු නායක සියැටල් විසින් දැක්වූ මේ සාර භූමියේ සෑම බිම් අඟලකම නිදහස් අධ්‍යාපනයේ සුවවිඳින බහුතරයක් සිටී. කැලේ පිපෙන මල් කැලයටම පර වී යාමට ඉඩනොදී නගරයට සාපේක්ෂව වත්කම් අහිමි, පිපෙන්නට වෙරදරන අහිංසක ගම්බද මල් පෙති වලට නිදහස් අධ්‍යාපනය, අපේක්ෂාවේ පැන් ඉසීමක් බඳුය. නිදහස් අධ්‍යාපනයෙන් විය යුත්තේ රටේ බදු සල්ලි වලින් නොමිලේ ඉගැන්වීමක් නොව උගත් පිරිසක් අරභයා අධ්‍යාපන අයිතිය විවර කර දීමයි.

අධ්‍යාපනය නම් විශාල කුලකයේ ප්‍රධාන උප කුලකයක් වන උසස් අධ්‍යාපන ධාරාව දෙසට මීළඟට අවධානය රැගෙන යන්නෙමි. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ, පක්ෂවීමේ, විපක්ෂවීමේ, එරෙහිවීමේ වීවේචනයන්හි රන් දෙවොල ලෙස රාජ්‍ය විශ්වවිද්‍යාල අර්ථ කථනය කිරීමට හැකිය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජයකෙහෙළි නංවන එහි ප්‍රවීණත්වයේ ඔබ්බට ගිය මණ්ඩලයකින් සමන්විත රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය පාලනය කරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රධාන වේ. සමස්ත ලංකා හා දිස්ත්‍රික් කුසලතා පදනම මත කඩයිම් ලකුණු සීමාවේ ඉහළම රඳන සැබවින්ම දක්ශ පිරිස් රාජ්‍ය විශ්වවිද්‍යාල වලට එක්වීම සතුටට කරුණකි. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත හරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම නම් ආයතනයක් හරහා සමස්ත රාජ්‍ය විශ්වවිද්‍යාල 15 ම ක්‍රමානුකූලව කළමනාකරණය සුපිරිසිදු හා පැහැදිලි අගය කලයුතු ක්‍රියාපටිපාටියකින් සිදුවෙයි. රාජ්‍ය විශ්වවිද්‍යාල 15ක් පාලනය සහිතව වූ විශ්වවිද්‍යාල කොමිසම ඇතුලු සමස්ත පද්ධතියම එක්පසෙකට කලහොත් ජෝන් කොතලාවල ශ්‍රීමතාණන් විසින් 1980 වර්ෂයේ ඔක්තෝබර් 11 වන දින පිහිටුවන ලද ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පාලනය වන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සබැදිව වර්තමානයේ සාකච්ඡාවට බදුන්ව ඇති කාලීන මාතෘකාව කෙරෙහි අවධානය රැගෙන යන්නෙමි. වෙලාවට වැඩ කිරීම නිල ඇදුමේ සිට ක්‍රමානුකූලව ලබා දී නිර් මාණය කරන පිළිවෙළ, විනය හා උගත්කම සියත දරාගත් කැඩෙට් නිලධාරින් බිහි කරන්නට කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය සෙසු විශ්වවිද්‍යාල වලට වඩා ඉදිරියෙන් පසුවීම අගය කළ යුතු කරුණකි.

1981 අංක 68 දරණ පනත හරහා ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක අභ්‍යාස ආයතනය නමින් විශ්වවිද්‍යාලයක් පිහිටුවන ලදී. 1988 දී පැමිණි පළමු සංශෝධනය හරහා එය විශ්වවිද්‍යාලයක් ලෙස නම් කල ද විශ්වවිද්‍යාලය නම් වචනය භාවිතා නොකර අභ්‍යාස ආයතනය නම් වචනය භාවිතා කලද විශ්වවිද්‍යාලය ලෙසද එය හැදින්විය හැකි බවට යෝජනා විය. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ ඇති සියලු වගන්ති වලින් 1988 සංශෝධනය හරහා ආචාර්ය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය නිදහස් කරයි. "1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ කුමක් සදහන් වුවද එය නොතකා මින්මතු විශ්වවිද්‍යාල යනුවෙන් සදහන් කරමින් ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල නම් ආරක්ෂක විශ්වවිද්‍යාලයක් පිහිටුවිය යුතුය". පළවෙනි කොටසේ පළවෙනි වැකියෙන්ම " කුමක් සදහන් වුවද එය නොතකා " යන බරපතල ආත්මාර්ථකාමී සහ කුහක අදහස් ඉස්මතුවන ව්‍යංග වැකි උනා දක්වා තිබේ. කොතලාවල පණත අකුරක් නෑර කියවූ ඔබට සහ මට එහි අඩංගු කරුණු කාරණා කිසිදු ගැටලුවක් නොවේ. එහි සෑම තැනකම අසීමිත බලතල සහිතව පාලක මණ්ඩලයක් පත්කොට එය මිලිටරි ව්‍යුහයකට පැවරීම කෙතරම් දුරට සාධනීයද? අඩංගු සියලු ප්‍රතිපාදන මිලිටරීකරණය වීම කෙතරම් දුරට සාධනීයද?


 මා හට නැගෙන්නේ මෙබඳු ප්‍රශ්න කිහිපයකි. රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියම පාලනය කරන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට පුද්ගලයින් පත් කරන්නේ සනාතන සභාව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හා එක් එක් ක්ෂේත්‍ර වලට අදාල ස්ථාවර කමිටු හා කැබිනට් අනුමැතිය හරහාය. එනම් ක්‍රමානුකූල පිළිවෙතකින් අනතුරුවය. නමුත් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පාලක සභාව එවන් ක්‍රමවත් ව්‍යුහයක් ඔස්සේ පත්කිරීමට අපොහොසත් වන්නේ මන්ද? අත්තනෝමතික බව පසෙකලා ඡන්ද විමසීමකින් ඔවුන් පත්කිරීමට උත්සුක නොවන්නේ මන්ද? එම පණතේ තුනේ දෙක උපවගන්තියට ප්‍රකාරව පාලක මණ්ඩලයට සියලු නියෝග හා විධිවිධාන ලබාදෙන්නේ අමාත්‍යවරයා හරහායි . එමෙන්ම අවිආයුධ, යුද්ධමය ද්‍රව්‍ය භාරකාරත්වය සදහා වෙනමම පුද්ගලයෙකු විශ්වවිද්‍යාලයකින් පත් කිරීම කෙතරම් සාධනීයද?


උපකුලපතිවරයාගේ සිට මූල්‍ය අධිකාරී තැන දක්වාම දූරාවලියට එකදු සිවිල් පුරවැසියෙකු ඇතුළත් කලා නම් විවිධාකාරී වූ ක්ෂේත්‍ර හා පැතිකඩ ඔස්සේ සිතන්නට නොහැකිද? සාමාන්‍ය නීතියට වඩා හමුදා නීතිය බලවත් කොට පාලනය වන හමුදාවෙන් කෙරෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට සැබවින් ඇතුලුවන්නේ අදක්ශයින් නොවේ. රාජ්‍ය විශ්වවිද්‍යාලයට යාමට තරම් කුසලතාවයක් නොලත් හෝ ස්වකීය කැමැත්ත නිසාම ඇතුළත් වන සෙසු පිරිසක් ඊට අයත්ය. යම් ගාස්තුවක් ගෙවා තෝරාගැනුනු, පූර් ව සම්මුඛ පරීක්ෂණ වලින් සමත්ව ප්‍රජාතන්ත්‍රවාදී සේයාවක් නොමැතිව ඔවුන් පාලනය වන්නේ මිලටරීකරණයෙනි. ඔබ නොදත් ඔබ අසා ඇති බලා නැති කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තරය ගැන මම මීලගට දක්වන්නෙමි.

තරගකාරී සම්මුඛ පරීක්ෂණ මාලාව තුළ නිලධාරීවාදය හරහා නිලධාරීන්ගේ දරුවන්ද, විටෙක අතකොලු බවට පත්වෙමින් මීට ඇතුළත් වුව ද සමහර විටෙක ඔවුන් ද දෙමාපියන් තම ක්ෂේත්‍රයට ගිය නිසා ඊට යාමට කැමැත්තෙන් නිවසේදී ම දෙමාපියන්ගේ පූර්ව සූදානම යටතේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත යොමුකරලීමට උත්සුක වෙයි. එහි දැඩි තරගකාරී උද්වේගකර පාසල් වල අධ්‍යාපනය පමණක් නොව බාහිර ක්‍රියාකාරකම් වලින්ද දස්කම් පෑ පිරිස් තෝරා ඔවුනගේ විනය, හැදියාව, කාලයට වැඩකිරීම, කාල කළමනාකරණය, නියමිත කාලවකවානුව තුළ විභාග පැවැත්වීම පමණක් නොව වැදගත්ම කාරණාව වන උපාධි ප්‍රධානය දිනයට වෙලාවටම සිදුකිරීම අනර්ඝය. මිලිටරි ව්‍යුහය හමුවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකු අදහස් ප්‍රකාශ කර හඩනගා ඉල්ලිය යුතු අයිතීන් ඉල්ලන්නට ශිෂ්‍ය සංගම් පිහිටුවීමට අයිතියක් නොමැති කරුණු ලෙස ඔවුන් දක්වන්නේ සියලු අවශ්‍යතා තෘප්තව පැවතෙද්දී ඔවුන් හඩනගා ඉල්ලිය යුත්තේ මොනවාද යන්නයි.

කිසිදු පක්ෂයකට නොයා මධ්‍යස්ථව බලන කළ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය යනු සයිටම් වැනි හොර උපාධි කඩයක් නොවේ. සැබවින්ම සුපිලිපන් කැඩෙට් නිලධාරියෙක් නිර් මාණය කිරීම නම් තත්වය මුල්කරගෙන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයෙහි ව්‍යුහය මෙතරම් මිලටරීකරණය වීම සාමාන්‍ය කරුණකි. එය මිලටරීකරණය නොවී කුමක් මිලිටරිකරණය වන්නද? හේතුව එනම් ඒ කාර්යාවලියට අවශ්‍ය පරිසරය ඒ තුළ පැවතීම විනා වෙන කුමන ස්ථානයක පවතින්නද යන්නයි. නමුත් ප්‍රශ්නය වී ඇත්තේ KDU හි ව්‍යුහය, ක්‍රියාපටිපාටිය, පිළිවෙළ හෝ වෙනයම් කරුණක් නො ව මෙම ගෙනා පනත සම්බන්ධවයි. කොතලාවල මේ පනත හරහා ගොඩනැගුණු පැනය හමුවේ දැනට එහි අධයාපනය ලබන අයවලුන් මෑතකදී මුහුණු පොතේ පල කර තිබූ පෝස්ට්ටුවක සඳහන් වූයේ "අම්මට බනිනකොට හදවත නලියනවා හොදවයින් දෙකක් මුන්ට කියන්න තිබ්බ නම් කියලා හිතෙනවා එත් අම්මා කියල දුන්නු විනය නිසා රැකිලා ඉන්නවා නැත්නම් අපිත් අද බෝඩ් කෑලි උස්සගෙන ලිප්ටන් වටරවුමේ ගුටි කනවා " කියාය. " මුදල් ගෙවා උපාධි ලබාගැනීමට තරම් වත්කමක් නැති එහෙත් දැනුමින් සන්නද්ධ ගමේ ගොඩේ උන්ට තෝතැන්නක් වූ රාජ්‍ය විශ්වවිද්‍යාල වල ශිෂ්‍යයින් ලිප්ටන් වටරවුමේ කදුළුගෑස් පහරවල් වලට ලක්වීමට උද්ඝෝෂණ කිරීමට සිදුවීම එකම රට ඉරණම් දෙකක් ලගාකරවීම නොවෙද? සැබවින්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා සිදුවන්නේ හමුදා අරමුණු ප්‍රථමයෙන් ඉටුකර ඒ හරහා වෙළද අරමුණු ඉටුකරගැනීමට උත්සුක වීමයි. රජයේ මුදල් සූරාකත හැකි ආයතනයක් පසුකාලීනව පිහිටුවීමත් මෙම ආරම්භක අවස්ථාවේ දීර්ඝකාලීන අරමුණකි. 

 එක් අතීතයේ වසරක පේරාදෙණිය හා යාපනය විශ්වවිද්‍යාල වල අභ්‍යන්තර පොලීසියක් පිහිටුවන්නට උත්සහ කලද එම විශ්වවිද්‍යාල දෙකෙහිම ශිෂ්‍ය ව්‍යාපාර එරෙහි වූයේ දිනක මිලිටරී බලය නිදහස් අධ්‍යාපනයට ඈදාගනීවී යන සාධාරණ බිය නිසාය. පේරාදෙණිය විශ්වවිද්‍යාල නිර්මාතෘ ජෙනින්ස් ප්‍රකාශ කලේ " ගොඩනැගිලි පමණක් ඉදිකරන්න දරුවන් පාරවල් සොයාගනීවි" යන්නයි. ඊටහේතුව වක්‍රාකාර භූමි භාගයක පේරාදෙණිය විශ්වවිද්‍යාලය පිහිටුවා තිබීම මෙන්ම උසස් අධ්‍යාපනයට අවශ්‍ය පරිසරය ඒ තුළ සතු වන නිසාය. එය විනය නැතිකමක් ලෙස සිතීම මුග්ධ ලක්ෂණයකි. උසස් අධ්‍යාපනය හමුදාවට සිතැගි පරිදි පවත්නා සෘජු මාවතක යොමුකරමින් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය තුළ නිදහස සොයාගත හැකි ද යන්න මා හට ඇති ප්‍රධාන ගැටලුවකි. ඔබේ සිත්හි නැගෙන ස්වභාවික ප්‍රශ්නයක් ඇති බව මම දනිමි. එනම් යුද්ධ කිරීමට, ළිං වගා ඉසින්නට, මං මාවත් හදන්නට සහ වසංගත ස්වභාවික ආපදාහමුවේ උපරිම දිරිය ශක්තිය මෙහෙය වන්නට හමුදාව සුදුසු නම් ඔවුනට PHD උපාධියක් ලබාදෙන්නට තරම් සුදුසු නොවන්නේ මන්ද යන්නයි. තේරුම්ගත යුතු ප්‍රධාන කාරණාව වන්නේ මෙය අන්ත දෙකක් බවයි. අරමුණු අතින් නොගැළපෙන කණ්ඩායම් දෙකක් එකම තැනකට ගොනුකිරීමකට වඩා අධ්‍යාපනය යන තලයට වැඩි බරක් වැඩි වටිනාකමක් ලබා දී එය මුල් කිරීමට පියවර ගැනීම නිරර් තක තර්ක ඉදිරිපත් කරන පාර්ෂව තේරුම්ගත යුතුයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට විශ්වවිද්‍යාලය තුළම ස්ථාපිත කර එනම් නියාමන ආයතනය ද සාමාන්‍යයෙන් පැවතිය යුත්තේ ඊට අභ්‍යන්තරයේ වන ලෙස පිහිටුවා මෙසේ රජය විසින් සමාන පද්ධතීන් දෙකක් පවත්වාගනී නම් අනිවාර්යයෙන් එක ආයතනයකට හිමිවන්නේ කුඩම්මාගේ සැලකිලිය. පවතින්නාවූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ස්වභාවිකව ම මරණයට පත්කොට තිබෙන රාජ්‍ය විශ්වවිද්‍යාල 15ම මේ පනතට ගොනුකරන තෙක්ම අදාල පාර්ශවයන්ගේ ඇස් විවර වෙයිද?

සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කරනු ලබන්නේ නම් රජයක් සැබවින්ම නිදහස් අධ්‍යාපන අයිතීන්ද ආරක්ෂා කිරීමට උත්සුක වේ. නමුත් වර්ථමාන තත්වය තුළ නිර්මාණයවී ඇති පවුල් වාදය, නිලධාරීවාදය හා මිලිටරිව්‍යුහය ක්‍රම ක්‍රමයෙන් කිදාබහිනා වටපිටාවක මෙවැනි පනත් සම්මත වූ විටෙක නිර්මාණය වන්නේ ඒ තත්වයයි. මා මෙහිදී යෝජනාවක් ලෙස මෙවැනි කරුණක් ගෙන ඒමට කැමතිය. රාජ්‍ය විශ්වවිද්‍යාල 15ක් පවතිද්දී තවත් එකක් වැඩිවූවා කියා එහි ගැටලුවක් නොවේ. එනම් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ද රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ලෙස නම්කොට එයත් රාජ්‍ය විශ්වවිද්‍යාලයක් ලෙස පාලනයවනවා දැකීමට තරම් විශ්වවිද්‍යාල ශිෂ්‍යයින් ලෙස අප තරම් සතුටුවන පිරිසක් නොමැත. ඔවුන්ටද මහපොළ වැනි අවස්ථාව ලබා දී එය ක්‍රියාත්මක කිරීමට හැකිය. එවැන්නක සේයාරුවක්වත් නොපවතින විටෙක කලයුත්තේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත හරහා විශ්වවිද්‍යාල පද්ධතියම අගාධයට ඈදාගැනීමට යෝජනාව ඇති මෙම කොතලාවල පනත මුලිනුපුටා පරාජය කිරීම නොවේද? මෙහිදී ප්‍රකාශ කළ යුතු මූලිකම කරුණ වන්නේ මිලිටරි පුද්ගලයින් මිලිටරිකරණයට ඉගෙනගන්නා කරුණු නොව ගැටලුව නිදහස් අධ්‍යාපන ප්‍රදේශයටම මිලිටරිකරණය පැමිණීමට උත්සහ කිරීමයි. රජයේ මුදල් භාවිතය අවම කර හිමිවිය යුත්තන්ට හිමිවිය යුතු තැන ලබා දෙමින් කොතලාවල පනත සමාජයේ සාකච්ඡාවට බදුන් නොවුනද රාජ්‍ය විශ්වවිද්‍යාල උසස් අධ්‍යාපනය තව දුරටත් පුළුල් කරමින් ලබා දිය යුත්තේ කෙසේද?


ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක ගුණාත්මකභාවය සමග නිදහස් අධ්‍යාපනයේ මාතෘකා සමාජගතකොට සාකච්ඡා කරන යුගයක් තුළ තව දුරටත් අයිතීන් ඉල්ලා ලිප්ටන් වටරවුමේ හැල්මේ දුවන සමාජ ක්‍රමය ඇති නොවේද ? ප්‍රජාතන්ත්‍රවාදය මුලිනුපුටා මිලිටරිකරණය සමස්ත රට තුළම ප්‍රචාරය කරන්නට පළමු වෙඩිමුරය නිදහස් අධ්‍යාපනය හරහා එල්ල කරන විටෙක අදූරදර්ශි බලධාරීන්ගේ ඇස් ඇරවීම, සිවිල් වැසියන්ගේ අයිතියකි, යුතුකමකි, වගකීමකි.

“පෙළපොතේ නිලඇදුමේ ඉදලා සල්ලිදීලා ගන්න වෙද්දි,
පැනඩෝල් පෙත්තක් ගන්න වත්කම් නැතුව අහිංසක මිනිස්සු පාරක් පාරක් ගානෙ මැරිලා වැටෙද්දි,
ගොවියගෙ පුතා ගොවියෙක්ම වෙද්දි, කන්නන්ගර වාර්තා බල්ලට යද්දි,
අධ්‍යාපනය කියන්නෙ මානව අයිතියක්
ඒක කඩවෙනවා නම්
ඒකට එරෙහි වෙනවානම් ඒකට හඩනගන එකත් මානව අයිතියක් කියලා, උගුර ලේ රහ වෙනකන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ කෑගැහුවෙ ඇයි කියල තේරෙන දවසක් එයි,

හැබැයි එදාට ගොඩක් පරක්කු වෙලා තියෙයි.

ඇස් ඇරේවා !
සත්‍ය පෙනේවා !

Top