වැඩි නහර කපා දමමු ද? නැත්තම් තබා ගනිමු ද? (625)

post-title

ලෝකය දෙස අලුතෙන් බැලීම, කණ්නාඩි ගලවා බැලීම හා යථාර්ථවත් තේරුම් ගැනීම රටක පුරවැසියන් සතු ව කෙසේ වෙතත් අවමය තරුණයන් සතුවවත් තිබිය යුතු මූලික ශක්‍යතාවකි. සම්ප්‍රදායික ගතානුගතික සිරිත් විරිත්වලට ඇලී-ගැලී සිටින පරපුරකින් නව සංස්කෘතීන් කිකලෙකවත් බිහි නො වේ. විමසීම, අසාධාරණයට එරෙහි ව නැගී සිටීම තරුණ ලේවල අත්‍යවශ්‍යයෙන් තිබිය යුතු අංගයක් සේ ම එය තරුණකම මූර්තිමත් කරන්නකි. නමුත් එසේ නැගී සිටීම අතිශය සාධාරණ වීම ද, කෝප, ද්වේෂාදියෙන් තොර වීම ද අනිවාර්‍ය වේ. 

තරුණයා ඥානවෘද්ධ විය යුතු ය. එමෙන් ම ඥානය අභිබවා සිටින ප්‍රඥා සම්පත්තියකින් හෙබි විය යුතු ය. එනම් ඔහු පොත්-පත් වනපොත් කරන්නෙකු නො ව පොත-පතින් උගත් දේ පොළොවෙහි පය ගසා ප්‍රායෝගික ව අත් දකින්නෙකු හා අත් විඳින්නෙකු විය යුතු ය.

තරුණයා,

1+1 = 2 බව ද 1+1= 1 බව ද දැන සිටිය යුතු ය. 1+1 = 2 වන්නේ ගණිතයේ දී ය. 1+1= 1 ප්‍රායෝගික ජීවිතයේ දී ය. එනම්, අඹ ගෙඩි එක බැගින් දෙකක් ඇති විට ඒවා එක් කළ විට සෑදෙන අඹ ගොඩෙහි ද අඹ ගෙඩි දෙකක් තිබේ. නමුත් වැලි ගොඩවල් දෙකක් එකතු කළ විට සෑදෙන්නේ තනි වැලි ගොඩක් මිස තවත් වැලි ගොඩවල් දෙකක් නො වේ. එනම් වරෙක එකකට එකක් එකතු කළ විට පිළිතුර එකකි. තවත් වරෙක එකකට එකක් එකතු කළ විට පිළිතුර දෙකකි. 

එනම් යම් ගැටලුවක් හෝ පැනයක් සඳහා ඇත්තේ එක ම පිළිතුරක් බව විශ්වාස කරන තරුණ පරපුරකින් රටකට සිදුවන්නේ අනර්ථයකි. බහුවිධ දෘෂ්ටිකෝණයන්ගෙන් ලෝකය දකින්නට තරුණයා පුරුදු විය යුත්තේ එහෙයිනි. එකී දෘෂ්ටිකෝණ ඉබේ පහළ වන්නේ නැත. තමා උගත් අධ්‍යාපන ක්‍රමය ඔස්සේ විමසීම ඒ සඳහා වැදගත් වෙයි. නො විමසා පිළිගැනීම අන්ධ භක්තිය මිස තාර්කිකත්වය කිසිකලෙකත් ඉස්මතු නො කරයි.

නමුත් විමසීම සමාජ ගෞරවය ලබා නො දෙයි. ඇතැම් විට නැවත නැවත ද විවේචන එල්ල වේ. නමුත් විමසීම නතර කළ යුතු නැත. අපට මෙහි දී නිතැතින් ම සිහිපත් වන්නේ පරාක්‍රම කොඩිතුවක්කු නම් ප්‍රවීණ පද්‍ය රචකයා විසින් රචනා කළ අකීකරු පුත්‍රයෙකුගේ ලෝකය නමැති කෘතියෙහි එන විප්ලවාදීයෙකුගේ නඩු විභාගය නැමැති පද්‍ය රචනය යි. ඉන් විමසන්නට අත්වන ඉරණම මනා ව පැහැදිලි කරයි. ඉන් කොටස් කිහිපයක් පමණක් උපුටමි.

පාසලේ රෙපෝර්තුව -

උගන්වන සියලු දේ සැක කරයි

ප්‍රශ්න කරයි

අසම්මත ලෙස සිතයි

විනය ගැන නො සලකයි

හිතුමතේ වැඩ කරයි

හැසිරීම අසතුටුදායකයි

පන්සලේ රෙපෝර්තුව -

විචිකිච්චාව පව් සිතක සලකුණු මැයි

හදහන ද පින් මදයැ

වාතයා රක්තයා කිපී ඇත

දේවධර්මය නො දන්නී

බුදුන් සරණ යෙමි යි බුත්සරණ යා යුතු....

වෛද්‍යවරයාගේ රෙපෝර්තුව - 

රෝගියෙකි

මානසික ප්‍රතිකාර නිර්දේශ කරමි

පෝබියා, මේනියා, පැරනොයා, හිස්ටීරියා, 

නියුරොටික්, සයිකොටික්

ඇබ්නෝර්මල්, ක්‍රිමිනල්

චර්යාව අස්වාභාවිකයි

මානසික සැත්කමක් සිදුකළ යුතු ය

ආවේග මර්දනය කළ යුතු ය

නින්දට පෙර පෙනබාබිටෝන් පෙති භාගයක් දෙනු

මේ විමසන්නාට අත්වන ඉරණම යි. නමුත් නො විමසන්නා සාම්ප්‍රදායික ජීවිතය ගත කර මිය යනවා හැර වඩාත් යහපත් ජීවිතයකට ප්‍රවිශ්ට නොවෙයි. ලෝකය පිළිබඳ පළමුවැනි මතය බොහෝවිට සමච්චලයට මිස ගෞරවයට පාත්‍ර වූ අවස්ථා ඇත්තේ ස්වල්පයකි. පෘථිවිය වටා සූර්යයා ගමන් කිරීම වෙනුවට, සූර්යයා වටා පෘථිවිය ගමන් කරන බව සොයා ගත් පළමු දාර්ශනිකයා බෲනෝ ය. ඔහු පණ පිටින් පුළුස්සා දැමිණි. සූර්ය කේන්ද්‍ර වාදය තහවුරු කළ ගැලීලියෝ ගැලීලි මෑතක් වනතුරු ම වැරදිකාරයෙකු ලෙස හංවඩු ගසනු ලැබූවෙකි. පැවති සමාජ ක්‍රමය ප්‍රශ්න කළ සොක්‍රටීස්ට සියතින් වස පානය කර මිය යාමට සැලැස්විණි. ආරියවංශ රණවීර කවියා,

අදුර ම රජයෙන කල

ඉරක් පිළිබඳව දෙඩූ එකාගේ ගෙළ

අඳුරේ ම මිරිකා දමන සූත්‍රයක් තිබේ

යනුවෙන් කීවේ ද එහෙයිනි. විමසීම අවශ්‍ය වූවක් නො ව අත්‍යවශ්‍ය වූවකි. තරුණයා පළමු ව තමා ව ප්‍රශ්න කළ යුතු ය. තමා කවුද? තමා කරන්නේ කුමක්ද? නමුත් තමා කළ යුත්තේ කුමක්ද? තමාගේ සමාජ වගකීම කුමක්ද? ආදී ප්‍රශ්න ඒ අතර අනිවාර්යයෙන් ම ඇසිය යුතු ප්‍රශ්න ය. තරුණයා මුළු මහත් සමාජ ක්‍රමය ම ඉදිරියට ගෙන යන ගාමක බලවේගය (ලෝකය තම උරහිස මත තබාගෙන ඉන්න ඇට්ලස් යෝධයා මෙනි) වන බැවින් ඔහු අසන මෙම ප්‍රශ්න තමා උදෙසා පමණක් අසන ප්‍රශ්න නො වේ. එය පරාර්ථය ද අරමුණු කර ගත්තකි. 

මෙකී ප්‍රශ්න ඇසීමටත්, ඊට පිළිතුරු ලබා ගැනීමටත් ඔහුට හොඳ අධ්‍යාපනයක් අවශ්‍ය ය. කුඩා කල සිට උකහා ගත් යහපත් සංස්කෘතික ප්‍රතිමානයන් අවශ්‍ය ය. සමාජය නමැති අධ්‍යාපන ආයතනයෙන් ලබාගත් අත්දැකීම් නැමැති උරගලෙන් ඉපදුණු පන්නරය ද අවශ්‍ය ය. එකී ප්‍රශ්න අසා සිටීමට, දරා ගැනීමට හා දිරිමත් කිරීමට උපේක්ෂා සහගත වන වැඩිහිටි පරම්පරාවක් ද ඊට සමගාමී ව සිටිය යුතු ය.

තරුණයා ගණිතයේ දී,

X + X = 2x සහ X + y = X + y බව උගත යුතු ය. එමෙන් ම ඔහු ඒ ඇසුරෙන් සමාජයේ දී සමාන අදහස් ඇති අය එක්කාසු වන බවත් (එක ජාතියේ කුරුල්ලන් එක අත්තේ වහන බවත්) විෂම ජාතීය අදහස් දරන අය ගැටෙන බවත් අවබෝධ කරගත යුතු ය. තමා හා සමානයන් ඇසුරු කළ යුතු බවත්, තමා හා අසමාන අදහස් ඇත්තන් සමග නො ගැටී කටයුතු කළ යුතු බවත් ඔහු උගත යුතු ය. එමෙන් ම තමා හා අසමාන අදහස් දරන අයට ද තමාට සමාන ව ම මේ ලෝකයේ එම අදහස් දැරීමට අයිතිය ඇති බව පිළිගත යුතු ය. ඇතැම් ගණිතයේ මූලධර්ම අපට නො දැනුවත්ව කියා දෙන්නේ ජීවිතයේ අර්ථය යි. පෛතගරස් වරක් අංකවලින් ලෝකය සෑදී ඇති බව කීවේ මේ නිසා විය යුතු ය.

සෑම තරුණයෙක් ම තමාට ආවේණික ජීවන විලාසිතාවක් සකසා ගත යුතු ය. තමාගේ පිළිරුව තම අතින් ම සකසා ගැනීම තරම් ශ්‍රේෂ්ඨ දෙයක් තවත් ඇතැයි සිතිය නො හැකි ය. අවබෝධයෙන් සකසා ගත් ජීවන විලාසිතා තමාගේ ජීවිතය අරමුණු ගත කරයි. අනෙක් අතට අනෙකාගේ ජීවිතයට බාධා නො කරන නමුත් ආලෝකයක් එල්ල කරන ඔබ, ඔබට ම පහනක් වන අතර අනිකාට එළිය දෙන්නක් බවට ද පත්වෙයි. මේ සඳහා අධ්‍යාපනය හා සාහිත්‍යය රසඥතාව හරහා වර්ධනය කෙරෙන අවබෝධය, සහකම්පනය අතිශය උපකාරී ය. මෙවැනි තරුණ පරපුරක් රටට අවැසි සමයයි. ඊට ආරාධනා කරමු. අනාගත සුබ සිහින දකිමු. ඒ සඳහා එක් ව නැගී සිටිමු.

තරුණයකුගේ කිසිදු නහරයක් වැඩි නැත. තවත් නහර තිබුණා නම් එහි වැදගත්කම කියා නිම කළ නො හැකි ය. මේ යුගය තරුණයන්ගේ වැඩි නහරය කපා දැමිය යුතු කාලය නො වේ. වැඩි නහර සියල්ල ප්‍රයෝජනයට ගත යුතු කාලයයි. 

Top