දේශගුණ විපර්යාස හමුවේ ශ්‍රීලංකා​වේ සූදානම (249 වන ලිපිය)

post-title

දේශගුණ විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුව දේශගුණ විපර්යාස යනු,  සංසන්දනාත්මක කාල පරිච්ඡේදයක් තුළ මානව ක්‍රියාකාරීත්වයට සෘජුව හෝ වක්‍රව ආරෝපණය කෙරෙන ගෝලීය සංයුතීන් හි වෙනස් වීම් සහ ස්වභාවික දේශගුණික විචල්‍යතාවයන් වේ. දේශගුණික විපර්යාස සඳහා අන්තර්ජනනීය බලවේග, බහිර්ජනනීය බලවේග මෙන්ම වායුගෝලීය සංයුතිය තුළ ඇතිවන විචල්‍යතාවයන් ද බලපානු ලැබේ. සුළඟේ සහ වර්ෂාපතනයේ සාම්ප්‍රදායික රටාවන්හි වෙනස්වීම් සඳහා ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමයි. දේශගුණ වෙනස්වීම් පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලය දක්වන ආකාරයට උෂ්ණත්වයේ ඇතිවන වෙනස්කම් ගෝලීය මුහුදු සහ සුළං ප්‍රවාහයන්ට බලපාන අතර එමඟින් සාම්ප්‍රදායික වර්ෂාපතන රටාවන් වෙනස්වී ගංවතුර, නියඟ, වාසුළි, තාප තරංග වැනි ජලය සමඟ සම්බන්ධ වන කාලගුණික විද්‍යාත්මක උපද්‍රව සිදුවන වාර ගණන වැඩිවීමත්, එම උපද්‍රවවල ප්‍රබලත්වයේ වර්ධනයන් ඇතිවීමත් හඳුනාගත හැකිය. දේශගුණ විද්‍යාඥයින් දක්වන්නේ මෙම තත්ත්වයන් සඳහා වැඩි වශයෙන් මානව ක්‍රියාකාරකම් හේතු වන බවයි.

ශ්‍රීලංකාව යනු ගෝලීය උණුසුම් කරන ක්‍රියාවලියේදී නො සැලකිය හැකි තරම් කුඩා කරුණක් වුවද නියඟ, ගංවතුර, නායයාම් වැනි ආපදාවල බරපතල භාවය , සිදුවන වාරගණන වැඩිවීමට බලපාන දේශගුණ විපර්යාසයන්ට බෙහෙවින් පාත්‍ර වන ජාතියක් ලෙස බෙහෙවින් අවදානමට ලක්වෙයි.”

(ජාතික දේශගුණ විපර්යාස සඳහා අනුවර්තනය වීමේ උපායමාර්ග: ශ්‍රීලංකාව 2001-2016)

ශ්‍රීලංකාව සමකය ආසන්නයේ පිහිටන අන්තර් නිවර්තන කලාපය තුළ ස්ථානගත වී ඇත. ලෝකයේ දේශගුණ විපර්යාස හමුවේ වැඩිම බලපෑමට ලක්වන කලාපයක් වන දකුණු ආසියාතික කලාපයේ කාලගුණ විපර්යාස උණුසුම් කලාප අතරින් අතිසංවේදි කලාපයක් ලෙස ශ්‍රීලංකාව හඳුනාගෙන ඇත. ඒ අනුව 2050 වර්ෂය වන විට ලංකාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 0.5ත් 1 ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි උපකල්පනය කෙරෙයි.

දේශගුණික විපර්යාස සඳහා බලපාන වායුවර්ග නිකුත් වන්නේ අධික පොසිල දහනය සහ කාර්මීකරණයේ ප්‍රතිඵලයක් වශයෙනි. මේ හේතුවෙන් නිකුත් වෙන කාබන්ඩයොක්සයිඩ් (CO2) , නයිට්‍රස්ඔක්සයිඩ් (N2O), හයිඩ්‍රොෆ්ලෝරොකාබන්(HFC), ක්ලෝරොෆ්ලෝරොකාබන් (CFC), මීතේන්(CH4), සල්ෆර්ඩයොක්සයිඩ් (SO2) හේතුවෙන් ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සිදුවේ.

මෙම තත්ත්වයන් හමුවේ ලංකාවේ කඳුකර වාසභූමිවල ජලය රඳවා ගැනීම අවම වීම, වියළි කලාපවල පවතින ජලයේ ගුණාත්මක බව අඩුවීම, ජෛව පද්ධතිවලට බලපෑම් ඇතිවීම, කෘෂිකාර්මික කටයුතුවල ඵලදායීතාවය අඩුවීම, ජල විදුලිය මත රඳා පැවතීම ගැටලුවක් වීම, මුහුදු ජලමට්ටම ඉහළ යාම නිසා පහත් බිම් මුහුදු ජලයෙන් යටවීම, වෙරළ ඛාදනය බහුල වීම, වෙරළ බඩ කලාපවල ලවණතාවය ඉහළ යාම නිසා වගා කටයුතු සිදුකිරීම අපහසුවීම, ගංවතුර, නායයාම් වැනි ස්වභාවික ආපදා බහුලවීම, ධීවර කටයුතුවලට බලපෑම් ඇතිවීම ආදී ගැටලු පැන නැගෙයි.

වර්තමානය වනවිට මෙම ගෝලීය අර්බුදය විෂයෙහි ජාතික මෙන්ම ජාත්‍යන්තර විසඳුම් රාශියක් යෝජනා කර ක්‍රියාත්මක වේ. ලෝකයේ බහුතරයක් රටවල් සංවිධාන ගොඩනංවමින් ඒ තුළින් ගිවිසුම් සහ ප්‍රඥප්තිවලට එළැඹී මෙම තර්ජනයෙන් මිදීම සඳහා ක්‍රියාත්මක වෙමින් පවතියි. ශ්‍රීලංකාව ද එවැනි සංවිධානවල සාමාජිකත්වය ලබමින් මෙම කර්තව්‍යය සඳහා දායක වී ඇත. පැරිස් ගිවිසුම, මොන්ට්‍රියෙල් ගිවිසුම වැනි ගිවිසුම් තුළින් මෙම ගෝලීය උණුසුම්වීම අවම කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා අතරම සමහර රටවල් (ඇමරිකාව වැනි) මෙම කර්තව්‍යයෙන් බැහැර වීම විශාල ගැටලුවක්වී ඇත. මක්නිසාදයත් වැඩිම ෆොසිල ඉන්ධන දහනය කරන සංවර්ධිත රටවල් මෙම ගිවිසුම් සඳහා සහය නොදී මේ ප්‍රතිඵල බුක්ති විඳින්නේ ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට ය.

ජාතික වශයෙන් මෙම ගැටලුව සඳහා පොසිල ඉන්ධන දහනය අවම කිරීමට පුනර්ජනනීය බල ශක්තිය සඳහා වැඩි නැඹුරුවක් ඇති කිරීම දැක්විය හැක. සූර්ය බල සංග්‍රාමය ඒ අතරින් වැදගත්වේ. ලංකාවේ මධ්‍යම කඳුකර කලාපය සංවේදි කලාපයක් වන අතර එහි සිදුකරනු ලබන සංවර්ධන කටයුතු මෙන්ම කෘෂිකාර්මික කටයුතු කෙරෙහි වැඩි අවදානයක් ලබාදිය යුතුය. මෙම කලාපවල කේතුධර ශාක පිහිටීම තුළ උත්ස්වේදනය ඉහළ යාමත්, වර්ෂා ජලය භූගත නොවී ගලායාමත්, භූමිය නිසරුවීමත්, ගංගාවල බොරතාවය ඉහළයාමත් සිදු වේ. තේ, කෝපි වගාවන් හේතුවෙන් පාංශු ඛාදනය ඉහළයාමත් සිදුවේ. උමා ඔය වැනි සංවර්ධන ව්‍යාපෘතිවල අවිධිමත් භාවය හේතුවෙන් ද ගැටලු ඇතිවී තිබේ. පොසිල ඉන්ධන දහනය අවම කිරීම සඳහා දෙමුහුන් හෝ විදුලිය ආරෝපණය කළ හැකි රථවාහන හඳුන්වාදීමත් සිදුකළ හැකිය. විශේෂයෙන්ම පවතින වනගහනය සුරකිමින් තවදුරටත් වනගහනය පුළුල් කිරීමටත් සමස්ත ජනතාව දැනුවත් කරමින් ආකල්පමය සංවර්ධනයක් ඇතිකිරීමට කටයුතු කළ යුතුය. ගෝලීය උණුසුම් වීම සමස්ත ලෝකයම අත්විඳින අර්බුදයක් වන අතර ශ්‍රීලංකාව ඒ සඳහා විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරන අතර එම තත්ත්වය තවදුරටත් වර්ධනය කළ යුතුය.

Top