ලාංකීය මාධ්‍ය ආචාරධර්ම කොයිබටද? (429)

post-title

ජනමාධ්‍ය කියන්නෙ අද වෙනකොට ජනතාව මෙහෙයවන ප්‍රධාන ගාමක බලවේගය කියල කියන්න පුලුවන්. මිනිස්සුන්ගෙ මොළ හෝදන්න වගේම මිනිස්සුන්ගෙ ඔලුවට විවිධ අදහස් එකතුකරන්නත් අද ජනමාධ්‍යයට පුලුවන් වෙලා තියෙනවා. ඇත්තටම කීවොත් වර්තමාන ලංකාවේ නම් ජනමාධ්‍යයට ඕනි විදියට තමයි මිනිස්සු ජීවත් වෙන්නෙ කීවොත් හරියටම හරි. ඒත් ජනමාධ්‍ය ක්ෂෙත්‍රය නැත්නම් වෘත්තිය කියන්නෙ ගෞරවනීය වෘත්තියක්. නමුත් අද ලංකාව ඇතුළෙ නම් එයට ගරුත්වයක් හිමිවෙනවද කියන එකත් සැක සහිතයි. ඒකට හේතුව තමයි අද වෙද්දි අපේ රටේ ජනමාධ්‍ය ක්‍රියාකරන්නෙ ජනමාධ්‍ය ආචාරධර්ම වලට එකගව නොවීම.  ඕනෑම ආයතනයක් වේවා ඕනෑම ක්ෂේත්‍රයක් වේවා,  ඒවාටම අනන්‍ය උනු නීතිරීති වගේම ආචාරධර්ම පද්ධතියක් අනිවාර්යයෙන් තියෙනවා. අපේ රටෙත් ජනමාධ්‍ය ක්ෂේත්‍රයට විශේෂිතව ආචාරධර්ම පද්ධතියක් ගොඩනගල තිබ්බත් වර්තමානෙ ඒවා ක්‍රියාත්මක වෙන්නෙ නෑ. ඒ වෙනුවට අද ක්‍රියාත්මක වෙන්නෙ  එක එක පෞද්ගලික හා දේශපාලනික අදහස් ටිකක් විතරයි.  වර්තමානයේ ලංකාවේ මාධ්‍ය ආචාරධර්ම කියන දේත් මුදලට නැත්නම් වානිජශිලි පරමාර්ථයට යටවෙලා ගිහිල්ලා තියෙනවා.  ඒ හින්දම මිනිස්සු දැන් පුරුදු වෙලා ඉන්නෙ තොරතුරු හොයායාමක් වෙනුවට කොහෙ හරි තියෙන කුණු ටිකක් අහල බලලා රසවිදින්න.  ජනමාධ්‍ය සතු එක මාධ්‍ය ආචාරධර්මයක් තමයි යම්කිසි පුවතක් වාර්තා කිරීමේදී ජාතීන් අතර වර්ගවාදී ගැටුම් ඇති නොවන ආකාරයෙන්, කිසිම ආගමකට, ජාතියකට අපහාස නොවන ආකාරයෙන් වගේම කිසිවෙකු අපහසුවට පත් නොවන ආකාරයෙන් වාර්තාකරණයේ යෙදීම. ඒත් 2019 අප්‍රේල් 21 සිදු වූ පාස්කු ප්‍රහාරය, ඊට පෙර සිදු වූ තෙල්දෙණිය ප්‍රදේශයේ සිදුවීම මාධ්‍ය විසින් වාර්තා කලේ ප්‍රබල ලෙසම මුස්ලිම් ජනතාව අපහාසයට මෙන්ම පීඩාවට පත්වෙන ආකාරයෙන්.

ලංකාවේ මාධ්‍ය ආයතන එම සිදුවීම් වාර්තා කරමින් උනු කැවුම් සේ එම පුවත් විකුණගත්තෙ මුසල්මානුවන් කෙරෙහි සිංහල , කිතුනු බැතිමතුන්ගෙ හිත් වෛරයෙන් පුරවල.  ඒක හින්ද උනේ ජාතීන් අතර සීතල යුද්ධයක් ඇති වෙන්න මූලාරම්භයක් හැදුනු එක විතරයි . ඇවිලෙන ගින්න නිවනව වෙනුවට ඇවිලෙන ගින්නට පිදුරු දාන ආකාරයෙන් ලංකාවේ ජනමාධ්‍ය හැසිරීම නිසා මුස්ලිම් ප්‍රජාව දැඩි වශයෙන් පීඩාවට පත් උනා. ඒ වගේම පල්ලි ඇතුළෙන් හමු උනා යැයි කියමින් කඩු, කිනිසි, නැවත නැවත ප්‍රදර්ශනය කිරීම තුළ  වෛරී ආකල්ප නැවත නැවත අවුලන්න සමත් උනා. තවත් මාධ්‍ය ආචාරධර්මයක් තමයි මිනිස්සු අතිශය සංවේදී වන ආකාරයේ ඡායාරූප දැමීමෙන් වලකින එක. උදාහරණ විදියට කියනවනම් ගෙල වැල ලාගෙන මියගිය දර්ශන, දූෂණය කොට මරා දැමූවන්ගේ දර්ශන සහ  ලේ සහිත දර්ශන.  නමුත් අපේ රටේ බොහෝ අවස්ථා වලදී  පුවත් වාර්තාකරණය තුළ  රූපවාහිනී මාධ්‍ය පෙන්නන්නෙම සංරක්ෂිත රූපරාමු නෙවෙයි.  අමු අමුවෙ මැරී වැටී සිටි ආකරය පෙන්වන රූපරාමු තමයි පෙන්නන්නෙ.  ඒකට තියෙන හොඳම උදාහරණය තමයි  පාස්කු ප්‍රහාරය වෙලාවෙ පල්ලි පුරා අත් පා සතර දිගට වෙන්ව ගොස් මැරිල වැටිල ගිය දර්ශන, ලේ ගලා ගිය දර්ශන ප්‍රදර්ශනය කිරීම. එවැනි රූපරාමු අදටත් මාධ්‍ය හරහා විකාශනය වෙනකොට  ඒ අවස්ථාවට මුහුණ දුන්න අයට කොච්චර පීඩනයක් දැනෙනවා ඇත්ද?  කිසියම් ආකාරයකට පීඩාවට පත්ව සිටින අයෙකුගෙන් තවත් පීඩාවට පත්වන අයුරෙන් ප්‍රකාශ ලබාගැනීමෙන් වැලකීම ද මාධ්‍ය ක්ෂෙත්‍රය තුළ ඇති තවත් ආචාරධර්මයක් .

නමුත් අපේ රටේ ඒ ආචාරධර්මෙ නම් රැකෙන්නෙම නැති තරම්. මොකද කියනවනම් පාස්කු පාහාරය වෙලාවෙ අපේ රටේ මාධ්‍යවේදියො ප්‍රහාරයට ලක්වෙලා අත පය අහිමි කරන් වේදනාවෙන්  ඉන්න මිනිස්සු අභිමුවට ගිහිල්ලා ඒ සිදුවීම උනේ කොහොමද කියල අහන්න තරම් පහතට වැටුන. ඒක ඒ මනුස්සයට කොතරම් ලොකු පීඩනයක්ද කියල නිකමටවත් හිතුවෙ නෑ.. මාධ්‍ය ආයතන වලට ඕනි උනේ එකක් පරයා තවත් එකක් නැගීහිටින්න විතරයි . ලාභ උපයන එක විතරයි එයාලගෙ අරමුණ උනේ. ඒත් අවධානෙන් යුතුව විමර්ශනය කරල බැලුවම පේන්න තියෙන කාරණයක් තමයි අපේ රට මාධ්‍ය ආචාරධර්ම නොතකනු ලැබුවත් විදේශ රටවල් ඒ ඒ රටවල් වලට අනන්‍ය උනු මාධ්‍ය ආචාරධර්ම වලට  ප්‍රමුඛස්ථානය දීල තියෙන බව . ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ලකරනු ලැබූ අවස්ථාවේ සියදහස් ගණනින් මිනිස්සු මිය යනු ලැබූවද අදටත් අන්තර්ජාලය තුළ ඇත්තේ එහි එකම එක ජායාරූපයක් පමණයි. කිසිදු ආකාරයකට හානියේ ස්වරූපය දැක්වෙන ජායාරූපයක් කිසිදු වෙබ් අඩවියක නොමැති අතර bbc වැනි නාලිකා එම පුවත වාර්තා කරනු ලැබුවේද රටට කිසිදු ආකාරයක හානියක්, කැලලක් නොවන ආකාරයට ය. එම මාධ්‍යවේදීන් සෑම විටම තම රටෙහි ගෞරවය මුල්කොට ගෙන වෘත්තියේ නියැලෙද්දි අප රටේ මාධ්‍යවේදීන් එලෙස ක්‍රියා නොකිරීම අපගේ අභාග්‍ය සම්පන්නකමක්.  විදේශ රටවල වාර්තාකරුවන් මිනීමැරුවන්, ස්ත්‍රී දූෂකයන් පවා සොයා ගැනීමට උදව් කරන බව ඕනි තරම් අහන්න දකින්න ලැබෙන කාරණයක්. ඒකට හොඳම නිදර්ශනය තමයි ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාවක් සමූහ දූෂණයට ලක්කොට මරා දැමුණු අවස්ථාවේ ඇයගේ ගෞරවයට කිසිදු කැළලක් ඇති නොවන ආකාරයට " නිර්භයා " නම් අන්වර්ථ නාමය යොදාගනිමින් වාර්තාකරණයේ යෙදුණු වාර්තාකරුවන් ඇගේ මරණයේ සැබෑ දූෂකයන්  සොයාගත්ත. ඒත් පොඩ්ඩක් මතක් කරල බලන්න විද්‍යා බාලචන්ද්‍රන්, සේයා සදෙව්මි, මෑත කාලයේ හොඳම සාක්ෂිය S I ඝාතනය කල තරුණිය ගැන කොතරම් නම් ඉතා පහත් ආකාරයෙන් වාර්තා කරනු ලැබුවේද. ආර්ථික ලාභයක් උදෙසා  තවකෙකුගේ ආත්ම ගරුත්වය නැතිකිරීම මාධ්‍යයකින් සිදුනොවිය යුතුම දෙයක්.  එක්තරා ලාංකික  යුවතියක් ප්‍රකාශ කර සිටින්නේ ඇයව දූෂණයට ලක් කල පිරිස කලාට වැඩි වාර ගණනක් ලාංකීය මාධ්‍ය පද්ධතිය ඇයව දූෂණයට ලක්කල බවකි. ඇත්තටම යම්කිසි පුවතක් අළලා ආචාරධර්ම ගතව  සත්‍ය වාර්තා කිරීම වෙනුවට පුවතක් අළලා මිත්‍යාව නිර්මාණය කිරීම තමයි අද මාධ්‍ය ඇතුලෙ වෙන්නෙ. ඇත්තටම අද මාධ්‍ය මත දේශපාලන බූවල්ලෙක් වෙලා කියල තමයි පේන්න තියෙන්නේ. අද සමහර පුවත්පත් තියෙනවා ඒවායේ පූර්ණ වශයෙන්ම තියෙන්නේ මිනීමැරුම් සහ ඒවා සිදුකල ආකාරය පිළිබඳව දැක්වෙන ලිපිම විතරයි.  සමාජෙ ඇතුළෙ තියෙන වචන වලින්ම කියනවනම් මනුස්සයෙක් මරණ විදිය A to Z ලියල තියෙනවා. ඉතින් එවැනි පුවත්පත්වල මුල් පුටු හොබවන්නන් ම කියනව මුලින් අඩු පිටපත් සංඛ්‍යාවක් මුද්‍රණය උනු ඒ පුවත්පත අද වෙනකොට ලක්ෂයකට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය වෙනව කියල . මාධ්‍ය ආචාරධර්ම වලට අනුව නම් එවැනි ලිපි පලකිරීම කිසිසේත්ම ගැලපෙන්නෙ නෑ . ඒත් අද මාධ්‍ය ,  තොරතුරු හොයායාම වෙනුවට කුණුරස හොයාගෙන යන තැනක් බවට පත්කරල තියෙනවා . විදේශීය මාධ්‍යකරුවන් තවත් කෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගනිද්දී ඒ අදාල තැනැත්තාගේ ඇසින් කදුලු වැටෙන්නේ නම් ඒ කතාබහ එතැනින් නවතා දමනවා.  එහෙත් අපේ රටේ මාධ්‍ය තවකෙකුගේ කදුලක් විකුණගෙන කන තැනට පත්වෙලා තියෙනවා . ඒ වගේම තමයි ABC න්‍යායට අනුව පුවත් වාර්තා කිරීමත් ආචාරධර්මයක් වුවත් අද වෙනකොට එවැනි න්‍යායන් පවා බිද වැටිල තියෙනවා .

ඒ වගේම තමයි යම් කිසි තොරතුරක් ලබාදුන් පුද්ගලයෙකුගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීම මාධ්‍ය ආචාරධර්මයක් වුවද අද වනවිට පුද්ගල රහස්‍යභාවය ද ආරක්ෂා නොකර ක්‍රියා කරන ආකාරය  දැකගන්න පුලුවන් . ඒ වගේම තමයි එකම පුවත විවිධ නාලිකා තුළින් විවිධාකාරයෙන් වාර්තා කරනු ලබනවා. එහෙත් ඒකෙන් වෙන්නෙ ලංකාවේ මාධ්‍ය ගැන තියෙන විශ්වාසනීයත්වය බිද වැටෙන එක. ඒකට නිදසුනක් තමයි ලංකාවේ එක්තරා  විශ්වවිද්‍යාලයක තරුණයින් පිරිසක් තවත් තරුණයෙකුට නවක වදය ලබාදීමක් විදියට ටයරයක් හිසට දැමූ සිදුවීම. මෙහිදී විවිධ රූපවාහිනී නාලිකා විවිධ ප්‍රමාණයේ ටයර ඒ සිදුවීමට අදාල පුවත වාර්තා කිරීමේදී රූපරාමු තුළ ප්‍රදර්ශනය කිරීම . එයින් සිදුවූයේ ලාංකීය ප්‍රේක්ෂක ජනතාව උභතෝකෝටිකයකට පත්වීමයි. ඉතින් අද වෙනවිට මාධ්‍ය ආචාරධර්ම කොතරම් නම් පිරිහිලාද කියන කාරණය ඔබට මෙම ලිපිය පුරාවටම අවබෝධ වන්නට ඇති. එබැවින් මාධ්‍ය පරිශීලනයේදී සිහියෙන් යුතුව පරිශීලනයේ යෙදෙන්න. එවිට ඔබට සත්‍ය නිරාවරණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

Top