බුද්ධි ගලනය ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය කරන්නක් ද? (694)

post-title

තාක්ෂණික වශයෙන් ඉදිරිගාමී ව පවතින අද්‍යතන ගෝලීය සමාජ සංදර්භය තුළ මානවයා යනු සුවිශේෂී වූ කාර්යභාරයක් ඉටුකරන ප්‍රධානතම සමාජ ගාමක බලවේගයකි. රටකට හිමි භෞතික සම්පත් ප්‍රමාණය, රාජ්‍යයට හිමි ප්‍රාග්ධන ශක්තිය සහ රටකට හිමි මානව සම්පත යනාදී වූ සාධක ත්‍රිත්වය කිසියම් වූ රටක සංවර්ධනය තීරණය කරනු ලබන අතර, ඒ අතරින් මානව සම්පත අද වන විට සමාජය තුළ වැදගත් සාධකයක් බවට පත් වී ඇත. ඒ රටක් භෞතික සම්පත් හා ප්‍රාග්ධන හැකියාව අතින් කෙතරම් දියුණු වුවත්, එම රට මානව සම්පත අතින් දුර්වල නම් ඔවුන්ට කෙදිනකවත් වේගවත් සංවර්ධනයක් කරා ළඟා විය නොහැකි වන නිසාවෙනි. කෙසේවෙතත් අද්‍යතනය වන විට ශ්‍රී ලංකාව තුළ රටට අවශ්‍ය, හැකියාවන් සහිත බොහෝ පිරිසක් වෙනත් රටවලට සංක්‍රමණය වීමත් සමඟ, ශ්‍රී ලංකාව ප්‍රබල ගැටලුවකට මුහුණ දී ඇති බැව් අපට පැහැදිලිව ම පෙනෙන්නට ඇති සත්‍යයකි. එහෙයින් රටක සිදුවන බුද්ධි ගලනය යන්න නිතැතින්ම එම රටෙහි අනාගතය තීරණය කරනු ලබන්නක් ම බව අපට පැහැදිලි ය.

බුද්ධි ගලනය යනු, කිසියම් වූ රටක උගත්, බුද්ධිමත්, පුහුණු වෘත්තිකයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් තමා ජීවත් වන රටට සාපේක්ෂව යහපත් වෘත්තීමය අවස්ථාවන් හෝ ඉහළ ජීවන තත්ත්වයක් අපේක්ෂාවෙන් වෙනත් රටවල් කරා සංක්‍රමණය වීමයි. මෙසේ කිසියම් වූ රටකට පුහුණු වෘත්තිකයන් අහිමිවීම රටකට සුවිශාල පාඩුවකි. නිදර්ශනයක් වශයෙන් ගත් විට මනා පුහුණුවක් සහිත වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, නීතිඥවරුන් සහ ගණකාධිකාරිවරුන් යනාදී වූ සමාජයේ ඉහළ තනතුරුවල නිරත වෙන්නන්ට වේගයෙන් දියුණු වන ආර්ථිකයක් සහිත, සම්පත් බහුල, සංවර්ධිත රටවලින් පවතින ඉහළ ඉල්ලුමත්, වැටුප් වරප්‍රසාදත් සමඟ ම ඔවුන් වෙනත් රටවලට සංක්‍රමණය වීමට පෙළඹෙන අතර ඒ තුළින් අඩු ආදායම් ලබන රටවලට අත්වනුයේ විශාල පාඩුවකි. මේ අයුරින් පුහුණු පිරිස්වල සංක්‍රමණය නිසා සම්පත් බහුල රටවලට අති විශාල ලෙස ආර්ථික වාසි අත්වන අතර එසේ හැකියාවන්ගෙන් පිරිපුන් මානව ශ්‍රමය වෙනත් රටවලට ගලා යෑම තුළ ඔවුන්ගේ මව් රටට එයින් ඇතිවනුයේ අවාසිදායක තත්ත්වයකි. එහෙයින් මෙම බුද්ධි ගලනය ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින්නා වූ රටවලට සුවිශාල ප්‍රශ්නයකට තුඩු දී ඇති ප්‍රබල සමාජමය ගැටලුවකි. 

ශ්‍රී ලංකාව දෙස බලන කල්හි ශ්‍රී ලංකාවේ මහජන මුදලින් නිෂ්පාදනය වන වෘත්තිකයන්ගේ බුද්ධි ගලනය ඉතා ශීඝ්‍රයෙන් සිදුවන බව පෙනෙන්නට ඇති අතර මෙය දීර්ඝ කාලයක් තිස්සේ දිගින් දිගට ම සිදුවූවකි. රටක් ලෙස සලකා බැලූ විට රටේ ජනතාවගෙන් වැඩි පිරිසක් තමන්ට හිමි දැනුම හෝ පුහුණුව වෙනුවෙන් හිමිව ඇති ආර්ථික, සමාජයීය සහ වෘත්තීමය වරප්‍රසාද ප්‍රමාණවත් නොවීම, රට තුළ පවතින දේශපාලන හැලහැප්පීම් සහ ජීවන තත්ත්වයේ පවතින අඩුලුහුඬුකම් යනාදී වූ හේතු කාරණාවන් නිසාවෙන් ශ්‍රී ලංකාව තුළ බුද්ධි ගලනය ඉහළ යන්නට ඍජුව මෙන්ම වක්‍රාකාරව ත් බලපා ඇත. 

මෙසේ දීර්ඝ කාලීනව සිදුවන බුද්ධි ගලනය නිසාවෙන් ශ්‍රී ලංකාවට ඇතිවන අනිසි බලපෑම් ද රාශියකි. මෙසේ රට තුළ සිටින විවිධ ක්ෂේත්‍රයන්හි අත්දැකීම් බහුල වෘත්තිකයන් බොහෝමයක් රට හැරයාම සිදුවන විට ඔවුන්ගේ සේවය අත්‍යවශ්‍ය වන සෑම ක්ෂේත්‍රයක ම සංවර්ධනයට එමඟින් බාධා පැමිණිය හැකිය. එහෙයින් මෙසේ රට තුළ ශ්‍රම බලකාය සංකෝචනය වීම ඍජුව ම රටේ ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි බලපෑම් කරනු ලබයි. එවිට එහි අවසාන ප්‍රතිඵලය වනුයේ රටේ ආර්ථික වර්ධන වේගය පහළ ගොස් තවදුරටත් සදා දුප්පත් රටක් වශයෙන් ම ශ්‍රී ලංකාවට පැවතීමට සිදුවීමයි. 

එසේ නමුත් බුද්ධි ගලනය මුළුමනින්ම නැවැත්වීම යන්න ප්‍රායෝගික නොවන්නකි. එහෙයින් කළයුතු එකම විසඳුම වන්නේ බුද්ධි ගලනය සිදුවන ප්‍රමාණය ප්‍රමාණාත්මක ව අවම කිරීම සඳහා පියවර ගැනීමයි. මෙහිදී ගත හැකි හොඳම විසඳුම වනුයේ ලාංකේය ආර්ථිකය ඉහළ ආදායම් ලබා ගැනීමට පහසු වන අයුරින් ශ්‍රී ලංකාව තුළ ව්‍යුහාත්මක වෙනසක් ඇති කිරීමයි. ඒ සඳහා වෙළෙඳාම් කටයුතු ලිබරල්කරණය පුළුල් කිරීම, නීති රෙගුලාසි ගෙන ඒමේදී නිසි ප්‍රතිපත්තියකට අනුව ක්‍රියා කිරීම, ආයතනික ව්‍යුහය ශක්තිමත් කර ගැනීම සහ නීතිය නිවැරදි ව ක්‍රියාත්මක කිරීම යනාදී වූ වෙනස්කම් සිදුකිරීම ඉතාමත් වැදගත් වේ. එමෙන්ම බුද්ධි ගලනය වැළැක්වීමට රට තුළ ඉහළ ආර්ථිකයක් පැවතීම සහ වෘත්තිකයන්ට නිසි වරප්‍රසාද හිමිකර ගත හැකි පරිසරයක් සකස් කිරීම ද සිදුකළ යුතුව ඇත. මෙකී වෙනස්කම් සිදුකිරීම සඳහා රට තුළ දිගු කාලීනව නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම තුළින් රටේ රැකියා උත්පාදනය ඉහළ ගොස් කාලය ත් සමඟ රටේ බුද්ධි ගලනය සිදුවන වේගය අවම කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

කෙසේවෙතත් වර්තමානයේ අද පවතිනුයේ ශ්‍රී ලංකාව “ යන්න හිතෙන රටක සිට ඉන්න හිතෙන රටක් දක්වා” පරිවර්තනයකට ලක් කළ යුතු කාල වකවානුවකය. එමෙන්ම ශ්‍රී ලංකාව ඉහළ තලයක වැජඹවිය යුතු කාල වකවානුවකය. එහෙයින් මේ අයුරින් රට තුළ සිදුවන බුද්ධි ගලනය අවම කරමින්, තවදුරටත් ශ්‍රී ලංකාවට එක තැන පල් වන රටක් ලෙස ම පවතින්නට ඉඩ නොදී, නූතන පරම්පරාවට මේ රට තම ජීවන ගමනේ එක් අතරමැද නවාතැනක් පමණක් ම නොවන්නට වගබලා ගැනීම සමස්ථ සමාජයේ ම යුතුකමක් මෙන්ම වගකීමක් ම වන්නේ ය.

Top