මානව හිමිකම් යනු මනුෂ්‍යත්වයේ අගයාත්මක වටිනාකම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද අමිල සංකල්පයකි. මනුෂ්‍යත්වයට මිලක් නියම කළ නොහැක. ඒ අත්‍යන්ත වූ වටිනාකම මානව හිමිකම් යාන්ත්‍රණය විසින් පෙරළා මනුෂ්‍ය වර්ගයා ඉදිරියේ තබනු ලබයි. මනුෂ්‍යත්වය අවධියෙන් පවතින විට එම සමාජ ව්‍යුහය වඩාත් සංවිධිත හා ශිෂ්ථ සම්න්න වනු ඇත. ඒ අනුව මනුෂ්‍යත්වය, මනුෂ්‍යත්වය වෙනුවෙන් ශිෂ්ථ සම්පන්න කිරීම මානව හිමිකම් විසින් අවධාරණය කරනු ලබයි. මෙලොව එළිය දකින සෑම පුද්ගලයකු ම තමන් ගත කරනු ලබන දිවිය කිසිදු හිරිහැරයකින් තොරව කායික සහ මානසික පීඩනවලින් තොරව සුවසේ ගත කිරීමට ප්‍රියකරනු ලබයි. ඒ අනුව මානව හිමිකම් ව්‍යතිරේකයකින් තොරව සියලු ම මනුෂ්‍යන්ගේ ගෞරවය ආරක්ෂා කිරීම සහ හදුනාගැනීම අරමුණු කරගත් නියමයන් වශයෙන් ක්‍රියාත්මක වේ. මානව හිමිකම් පිළිබඳ අදහස ස්වභාවික නීතියක් වශයෙන් උපකල්පනය කළ හැකිය. මේ හේතුව නිසා ම මානව හිමිකම් මිනිසාට ආවේණික වන අතර ඒවා උපතේදී ම අත්පත් කරගෙන ඇති අතර මානව හිමිකම් කිසිවෙකුගේ වරප්‍රසාදයන් මත හිමිවන්නක් නොවේ. විශේෂයෙන්ම රජයන් විසින් ඒවා හදුනාගෙන හෝ ආරක්ෂා නොකරන විට පවා ඒවා අත්හැර දැමිය නොහැක. මානව හිමිකම් යාන්ත්‍රනය විශ්වීය වශයෙන් සියල්ලන්ම පිළිගැනීමට ලක්කරන ලද සංකල්පයකි. මේ පසුබිම තුළ විශ්වීය අගයන්ට විරුද්ධව කටයුතු කිරීමට එයට අවනත වූවන්ට නොහැක. මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්‍රතිඥා ලබාදුන් රාජ්‍යක් වශයෙන් ලංකාවට ද එය ඒ ආකාරයෙන් ම වලංගුවේ.
මානව හිමිකම් ආරක්ෂා කළ යුතුය යන සිතුවිල්ල ලංකාවේ ක්‍රමය තුළින් ප්‍රකාශයට පත්වූවක් නොවේ. එය බටහිර සමාජ ඇගයුම් හා සංස්කෘතීන්ගේ ව්‍යාප්තියත් සමඟ අපට වැළදගැනීමට සිදුවූ තත්වයක් වේ. ඒ අනුව මානව හිමිකම් ආරක්ෂා කොට පවත්වාගෙන යායුතුය යන දැක්ම ගොඩනැගීමේ කාර්යක නිරත වීමට අපට සිදුවේ. මේ ගොඩනැගීම තුළ විවිධාකාරයේ පසුගාමී තත්වයන් ලංකාවේ සමාජක්‍රමය විසින් ප්‍රකාශයට පත්වේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් නිරන්තරයෙන් මානව හිමිකම් කඩ කිරීම සම්බන්ධයෙන් ලංකාවට චෝදනා එල්ල කරනුයේ මෙම පසුගාමී තත්වයන් මූලික කරගනිමින් ය.
කෙසේ නමුත් ගෝලීය වශයෙන් මෙන්ම ලංකාවේ සමාජ ක්‍රමය තුළද එදිනෙදා නිරන්තරයෙන් වාර්තා වන තත්වයක් වශයෙන් පොලීසිය විසින් මානව හිමිකම් උල්ලංඝනය කිරීමට යොමුවීම පෙන්වා දිය හැකිය. මූලික වශයෙන් වධහිංසනයනට ලක්කිරීමේ කාර්ය තුළ පොලීසිය නිරත වේ. සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තියෙහි (ICCPR) කිසිදු මනුෂ්‍ය ප්‍රාණයක් කෲර, අමානුෂික, අවමන් සහගත, ආත්ම ගෞරවය කෙලෙසන සංග්‍රහයන් හෝ දඩුවම්වලට බදුන් නොකළ යුතුය යන්න පෙන්වා දෙනු ලබයි. මෙම ප්‍රඥප්තිය ලංකාව තුළ 1994 පෙබරවාරි මස 02 දින බලාත්මක විය. එමෙන්ම 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන ව්‍යවස්ථාව මගින් ද කිසිදු පුද්ගලයෙකු හිංසනයට ලක් නොකළ යුතුය යන්න සම්බන්ධයෙන් විධිවිධාන ඇතුළත් කර තිබේ.
මේ ආකාරයෙන් මානව හිමිකම් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විශේෂයෙන් ම හිංසනයට එරෙහි මානව හිමිකම ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පවතින ජාත්‍යන්තර නීතීන්ට අනුගත වෙමින් ඒවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් දේශීය නීති හා ආයතනික යාන්ත්‍රනයන් නිර්මාණය කර ඇති තත්වයක් තුළ ලංකවේ පොලිස් නිලධාරීන් නිරන්තරයෙන් හිංසනයන් සිදුකරමින් මානව හිමිකම් උල්ලංඝනය කිරීමට කටයුතු කරනු ලබන්නේ ඇයි ද යන්න සම්බන්ධයෙන් ගැටලුවක් නිර්මාණය වේ. 2021 වර්ෂයේ පළමු මාස දෙක අවසන්වන විට පොලිස් හිංසනය සම්බන්ධයෙන් පැමිණිලි 13ක් වාර්තා වී ඇති බව වධහිංසනයට එරෙහි ශ්‍රී ලංකා එකමුතුව පෙන්වාදෙනු ලබයි.
කෙසේ නමුත් පොලිස් නිලධාරීන් මාන වහිමිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පොළඹවනු ලබන ප්‍රධාන ම කාරණයක් බවට පත්ව ඇත්තේ පොලිස් අපගමනයයි. එනම් පොලීසිය විසින් සිය අධිකාරිය භාවිතා කරමින් පෞද්ගලික වාසි ලබා ගැනීමට යාම තුළ ඔවුන් නිරායාසයෙන් ම මානව හිමිකම් උල්ලංඝනය කිරීම උදෙසා යොමු කරනු ලබයි. පොලීසියේ මෙම අපගමනය පදනම් කොට ගෙන සමස්ථයක් වශයෙන් ලෝකයේ පවතින ආයතනයන්ගෙන් දූෂිතම ආයතනය බවට පොලීසිය පත්ව ඇත. තවදුරටත් වර්තමානයේ වඩාත් ප්‍රචලිතව ඇති ”මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය” වැනි සංකල්පයන් හරහා පොලීසිය විසින් මත්ද්‍රව්‍ය වටලන මුවාවෙන් මානව හිමිකම් උල්ලංඝනය කිරීමට ලක්කරනු ලබයි.
කෙසේ නමුත් මානව හිමිකම් යාන්ත්‍රනය විසින් වරදකරුවෙකුට වුවද සිය වරද ඔප්පුවන තෙක් තමන්ගේ නිර්දෝෂී භාවය වෙනුවෙන් පෙනී සිටීමට අවකාශය සලසාදී ඇත. එවන් පසුබිමක් තුළ තම වැරැද්ද පාපොච්චාරණය කිරීමට හෝ එකදු අවස්ථාවක් නොදී අපරාධකරුවෙකුගේ වුවද ජීවිතය අවසන් කිරීම සම්බන්ධයෙන් පොලීසියට පවතින අයිතිය කුමක්ද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට කාලය උදාවී ඇත. එමෙන්ම විශ්වීය සංකල්පයක් වන මානව හිමිකම් ආරක්ෂා කිරීමට අවනත වී සිටින රාජ්‍යක් වශයෙන් මානව හිමිකම් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රනය වඩාත් සුපිළිපන්න සහ විනිවිදභාවයකින් යුතුව ගොඩනැගීමේ වගකීමද ලංකා රජය සතු වේ.