20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය - දෙවන කොටස (759)

post-title

20 සංශෝධනය සම්බන්ධ මීට පෙර ලිපිය තුළ වචන වෙන් වුනේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය තුලින් රාජ්‍ය සේවයේ සහ අධිකරණ සේවයේ විධිවිධාන සම්බන්ධයෙන් සිදු කළ වෙනස්කම් පිළිබඳ ව විස්තර කිරීමටයි. මේ ලිපිය තුළ මගේ වචන වෙන් වන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදු කළ තවත් සංශෝධන කිහිපයක් සම්බන්ධයෙන් කෙටියෙන් පැහැදිලි කිරීමට යි. 

අමාත්‍ය මණ්ඩලය සම්බන්ධ ව සිදු වූ වෙනස්කම්

19 වන සංශෝධනය යටතේ අමාත්‍ය මණ්ඩලයේ පත් කිරීම් සිදු කිරීමේදී සහ ඇමතිවරු ඉවත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාගේ උපදෙස් මත කටයුතු කළ යුතුය. ඒඅනුව, ජනාධිපතිවරයාගේ හිතුමනාපයට ඇමතිවරු පත් කිරීමට සහ ඉවත් කිරීමට හැකියාවක් නැත. නමුත්, 20 වන සංශෝධනය තුලින් මෙම විධිවිධාන ඉවත් කර ඇත. 43(2) ව්‍යවස්ථාව අනුව, ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙක් වන අතර අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ද වේ. 44(1) ව්‍යවස්ථාව අනුව, අගමැතිවරයාගේ අදහස් විමසීම අවශ්‍ය යැයි ජනාධිපතිවරයා සලකන අවස්ථාවලදී අගමැතිගේ අදහස් ද විමසා ජනාධිපති විසින්,
• අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛයාව ද අමාත්‍යංශ සංඛයාව ද ඒ අමාත්‍යවරුන්ට පවරන විෂය සහ කාර්යන් ද නිශ්චය කළ අතර,
• එසේ නිශ්චය කරන අමාත්‍යංශ භාර ව කටයුතු කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතරින් අමාත්‍යවරුන් ද පත් කළ යුතුය.

එමෙන්ම, ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක අමාත්‍ය මණ්ඩලය වෙත පවරන විෂය සහ කාර්ය වෙනස් කළ හැකි අතර අමාත්‍ය මණ්ඩලයේ සංයුතිය ද වෙනස් කළ හැකිය. තවද, ජනාධිපතිවරයාට ඕනෑම අමාත්‍යංශ ප්‍රමාණයක් තමන් යටතේ තබාගැනීමට 20 වන සංශෝධනය තුලින් නෛතික ඉඩප්‍රස්ථාව ලබාදී ඇත. ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාගේ අදහස් විම්සීම අවශ්‍ය යැයි සලකන අවස්ථාවලදී අගමැතිගෙන් ද අදහස් විමසා අමාත්‍ය මණ්ඩලයට අයත් දනවන අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පත් කළ යුතු ය. ජනාධිපතිවරයා මෙම පත්කිරීම් සිදු කිරීමේදී අගමැතිවරයාගේ අදහස් විමසීම අත්‍යවශ්‍ය නොවේ. මේ අනුව, පැහැදිලි වන්නේ 20 වන සංශෝධනය යටතේ ඇති කළ නව තත්ත්වය තුළ ජනාධිපතිවරයාට අමාත්‍ය මණ්ඩලය විෂයෙහි සෘජු බලපෑමක් එල්ල කළ හැකි බවයි. 

19 වන සංශෝධනය යටතේ ඇති කළ අමාත්‍යවරයන්ගේ සහ නියෝජ්‍ය අමාත්‍යවරයන්ගේ සීමාව 20 වන සංශෝධනය තුලින් ද එලෙසින් ම ඇතුළත් කර ඇත. ඒ අනුව, 47අ (1) ව්‍යවස්ථාව අනුව අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව තිහකට සීමා විය යුතු අතර අමාත්‍ය මණ්ඩලයට අයත් නොවන අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ එකතුව හතලිහකට සීමා විය යුතුය. තවද, 19 වන සංශෝධනය තුලින් අගමැතිවරයා ව ලිඛිත නියෝගයකින් ඉවත් කිරීමට ජනාධිපතිවරයාට තිබූ බලය ඉවත් කළ ද 20 වන සංශෝධනය තුළින් නැවතත් එම බලය ජනාධිපතිවරයාට ලබා දී ඇත. ඒඅනුව, 47අ (2) ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයා හෝ අමාත්‍ය මණ්ඩලයේ ඇමතිවරයෙක් හෝ වෙනත් යම් ඇමතිවරයෙක් හෝ නියෝජ්‍ය ඇමතිවරයෙක් ජනාධිපතිවරයාගේ අත්සන යටතේ යවන ලිපියක් මගින් ධූරයෙන් ඉවත් කළ හැකිය. ඒ ඒ අමාත්‍යංශ සඳහා ලේකම්වරයෙක් ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය.

19 වන සංශෝධනය මගින් හදිසි පනත් ගෙන ඒමේ බලය අහෝසි කළ ද 20 වන සංශෝධනයෙන් නැවතත් එම බලය අමාත්‍ය මණ්ඩලයට ලබා දී ඇත. නමුත්, එහිදී, යම් යම් සීමාවන් පනවා තිබේ. ඒඅනුව, අමාත්‍ය මණ්ඩලයේ අදහස අනුව ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හෝ ආපදා කළමනාකරණයට අදාළ කාර්යයක් සඳහා වහා අවශ්‍ය වන්නා වූ පනත් කෙටුම්පතක් අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයාගේ අත්සන ඇති ව ඉදිරිපත් කළ හැකිය. මෙහිදී, ජනාධිපතිවරයා විසින් අදාළ පනත් කෙටුම්පත් ව්‍යවස්ථානුකූල බව පරීක්ෂා කිරීම සඳහා එය ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරනු ලැබේ. ශ්‍රේෂ්ඨාධිකරණය තම තීරණය පැය විසි හතරක් ඇතුළත ලබා දිය යුතුය. කෙසේ නමුත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතක් මෙලෙස හදිසි පනතක් ලෙස ගෙන ඒමේ බලයක් හිමි නොවේ. 

පාර්ලිමේන්තුව සම්බන්ධ ව ජනාධිපතිට හිමි වූ බලතලවල සිදු වූ වෙනස්කම්

19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේදී පනවා තිබූ සීමාව යම් මට්ටමකින් ලිහිල් කිරිමක් 20 වන සංශෝධනය මගින් සිදු වී ඇති බව පෙනේ. ඒඅනුව, ජනාධිපතිවරයා විසින් කලින් කළ ප්‍රකාශනයක් මගින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම, පාර්ලිමේතුව විසුරුවා හැරීම කළ හැකිය. 19 සංශෝධනය අනුව නම් ජනාධිපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තුවේ නිල කාලය වසර හතරයි මාස හයක් ගත වීමෙන් පසු ව ය. 20 සංශෝධනය අනුව, පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙසට සම්මත කරන යෝජනාවක් මගින් පාර්ලිමේන්තුව විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවකදී හැර අනෙක් අවස්ථාවල දී පාර්ලිමේන්තුව පළමුවරට රැස් වූ දින සිට වසර දෙකයි මාස හයක් ගත වීමෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිට බලය හිමි වේ. 

20 වන සංශෝධනයට පෙර 78(1) අනු ව්‍යවස්ථාවේ සඳහන් වූයේ, සෑම පනත් කෙටුම්පතක් ම පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් කිරීමට දින දින දාහතරකට පෙර ගැසට් පත්‍රයේ පළ කළ යුතු බව යි. නමුත්, 20 වන සංශෝධනයෙන් එම අනු ව්‍යවස්ථාව වෙනස් කළ අතර ඒඅනුව, සෑම පනත් කෙටුම්පතක් ම පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ ඇතුළත් කිරීමට දවස් හතකට පෙර ගැසට් පත්‍රයේ පළ කළ යුතුය. තවද, 85 වන ව්‍යවස්ථාවට නව අනු ව්‍යවස්ථාවක් එක් කර ඇති අතර එයට අනුව , පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලද පනත් කෙටුම්පතක් ජනාධිපතිට ස්වකීය අභිමතය පරිදි ජනමතවිචාරණයක් සඳහා යොමු කළ හැකිය. කෙසේනමුත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනු ලබන පනත් කෙටුම්පතක් ලෙස ජනමත විචාරණයක් සඳහා යොමු කළ නොහැකිය. පාර්ලිමේන්තු මහලේකම්වරයා පත් කරනුයේ ද ජනාධිපතිවරයා විසිනි. එහිදී, පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ වාර්තා ලබා ගත යුතුය.

ජාතික පොලිස් කොමිසම් සභාවේ බලතල සීමා කිරීම.

20 වැනි සංශෝධනයට පෙර ජාතික පොලිස් කොමිසම් සභාවේ සාමාජිකයන් සංඛ්‍යාව හතකි. නමුත්, 20 වැනි සංශෝධනයෙන් එය වෙනස් කරමින් සාමාජිකයන් සංඛ්‍යාව පස් දෙනෙකුට නොඅඩු හත් දෙනෙකුට නොවැඩි සංඛ්‍යාවකින් යුක්ත විය යුතු බව සඳහන් කර ඇත. එයින් එක් අයෙකුට සභාපති ලෙස පත් කිරීමට ජනාධිපතිට බලය හිමි වේ. 19 වන සංශෝධනය අනුව ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් ඉවත් කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතය ඇති ව ය. නමුත්, 20 වැනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාට ජාතික පොලිස් කොමිසමේ සාමාජිකයන් ඉවත් කළ හැකි අතර වෙනත් කිසිදු ආයතනයකින් ඒ සඳහා අනුමතය ලබා ගත යුතු නැත. රැස්වීමක් සඳහා තිබිය යුතු ගණපූරණය හතරේ සිට පහ දක්වා වැඩි කර ඇත. 

ජාතික පොලිස් කොමිසම් සභාවේ බලතල දෙස බැලූ විට පෙනී යන්නේ, 19 වැනි සංශෝධනය මගින් ලබා දී තිබූ බලතල බොහොමයක් 20වැනි සංශෝධනයෙන් ඉවත් කර ඇති බවයි. විශේෂයෙන්, 19 වන සංශෝධනය යටතේ පොලිස්පතිවරයා හැර අනෙක් පොලිස් නිළධාරින් පත් කිරීමට,උසස් කිරීමට,මාරු කිරීමට, විනය පාලනයට සහ ඔවුන් සේවයෙන් පහ කිරීමට පොලිස් කොමිසමට තිබූ බලය 20 වන සංශෝධනය මගින් ඉවත් කර ඇත. තවද, කොමිසම් සභාවට හිමි වූ ඇතැම් පත්කිරීම් සම්බන්ධ බලතල වෙනත් කමිටුවකට පැවරීමට තිබූ හැකියාව ද මෙම සංශෝධනයන් ඉවත් කර ඇත. 20 වැනි සංශෝධනය යටතේ පොලිස් කොමිසමට ලබා දී ඇත්තේ ඉතා සුළු කාර්යයක් පමණි. ඒඅනුව, පොලිස් නිලධාරියකුට එරෙහි ව හෝ පොලිස් බලකායට එරෙහි ව යම් අතෘප්තියට පත් තැනැත්තකුගෙන් ලැබෙන පැමිණිලි භාර ගැනීම සහ ඒ පිළිබඳ ව විමර්ශනය කිරීමට අදාළ බලතල ද පොලිස් කොමිසමට හිමි විය. 

19 වන සංශෝධනය මගින් ඇති කළ නව කොමිසම් සභා දෙකක් වන ජාතික ප්‍රසම්පාදන කොමිසම් සභාව සහ විගණන සේවා කොමිසම් සභාව 20 වැනි සංශෝධනය මගින් අහෝසි කර ඇත. ජනාධිපතිවරයා ස්වකීය බලතල හා කාර්ය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම සහ ඉටු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වගකිව යුතු බව සඳහන් වූ 33අ ව්‍යවස්ථාව 20 වැනි සංශෝධනය මගින් ඉවත් කර ඇත. එසේ වුවත්, 20 වැනි සංශෝධනය මගින් එක් කල නව ව්‍යවස්ථාවක් වන 42 වන ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා ස්වකීය බලතල හා කාර්යය යථා පරිදි ක්‍රියාත්මක කිරීම හා ඉටු කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට වග කිව යුතු බව සඳහන් කර ඇත. නමුත්, මෙම වගන්තිය හුදෙක් ව්‍යවස්ථා සැරසිල්ලක් පමණි. එයින් ජනාධිපතිවරයාගේ බලය ප්‍රයෝගික ව සංවරණය වීමක් සිදු වන්නේ නැත. එයට හේතුව, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු බව සඳහන් කළ ද එම වගකීම ඉටු කරගන්නා ආකාරය හෝ ජනාධිපතිවරයා එසේ වග නොකියන විටෙක ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ ව කිසිවක් මෙහි සඳහන් ව නැත. 

19 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ බලතල හා කාර්යයන් අතරට
1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කරන බවට ද ආරක්ෂා කරන බවට ද වගබලා ගැනීම.
2. ජාතික ප්‍රතිසන්ධානය හා ඒකාබද්ධතාවය ප්‍රවර්ධනය කිරීම.
3. ආණ්ඩුක්‍රම වයවස්ථා සභාවේ සහ කොමිසම් සභාවල නිසි ක්‍රියාකාරීත්වය පහසුකරලීම.
4. මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් මත, නිදහස් හා සාධාරණ ඡන්ද විමසීම් සහ ජනමත විචාරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණයක් නිර්මාණය කිරීම සහ තහවුරු කිරීම. 


යන කාර්යයන් 20 වැනි සංශෝධනය මගින් ඉවත් කර ඇත. ඒ වෙනුවට මැතිවරණ කොමිසම් සභාවේ ඉල්ලීම මත නිදහස් හා සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා උචිත වාතාවරණයන් ඇති කිරීම, තහවුරු කිරීම සදහා ජනාධිපතිවරයා බලය ලබා දී ඇත. 19 වන සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ මුක්තිය යම් මට්ටමකින් සීමා කරමින් ජනාධිපති නිල තත්ත්වයෙහිලා කරන ලද හෝ නොකර හරින ලද කිසිවක් සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඉඩ ලබා දී තිබුණි. එම වගන්තිය කිසිදු වෙනසක් සිදු නොකර එලෙසින් ම 20 වැනි සංශෝධනයට ද ඇතුළත් කර ඇත. 

සමස්තයක් ලෙස ගෙන බැලීමේ දී පැහැදිලි ව පෙනී යන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් නැවතත් මෙරට තුළ විධායක ඒකාධිපතීත්වයක් වර්ධනය වීමට අවශ්‍ය පසුබිම ගොඩනගා ඇති බව යි. විධිමත් ලෙස සංවරණය නොකළ බලතල හිමි වන බලවත් ජනාධිපති ධූරයක් නිර්මාණය කර ඇත. රාජ්‍ය සේවය, අධිකරණය, අමාත්‍ය මණ්ඩලය, පාර්ලිමේන්තුව යනාදී සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ම පාලනය කිරීමට අවශ්‍ය බලතල සෘජු සහ වක්‍රාකාර ව ජනාධිපතිවරයාට හිමි කර දී ඇත. මෙය සම්පූර්ණයෙන් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුකරණයට අහිතකර ලෙස බලපාන ව්‍යවස්ථා සංශෝධනයකි. 

Top