නොමියෙමි ලියා මියැදුණ අප්‍රමාණ වූ සාහිත්‍යවේදියා 

post-title
ඉතිහාසය තුළින් පුරාවෘත්ත නිමවා ඇත. එහෙත් පුරාවෘත්ත වැනි මිනිසුන් අපට හමුවන්නේ ඉතා අතලොස්සකි. ලක් දෙරණතෙහි විසූ එවන් වූ පුරාවෘත්තගත මිනිසෙකු පිළිබඳ මතකය මෝසම් වැසි ඇද වැටෙන සීතලෙන් තෙත්වූ සෑම දුරුත්තකම අපට උනුසුම් හැඟුමන් සිතට ගෙන දෙන්නේ ය. 
 
“....මගේ කේන්දරය හැදුවේ ජුවානිස් ආතාය. වර්ෂ 1929ක් වූ අප්‍රේල් මස හත්වන ඉරුදින දහවල් හිටි පියවරට ජන්ම ලාභය ලත් කුමරුවා, වගෝත්තමයි. ජලයෙන් විපත්ති පැමිණෙන්නට පුළුවන්. දහඅටේදී විතර හුගක් අපලයි. හැබැයි ඒක පන්න ගත්තොත්, නඩුකාරයෙක් තරමට ප්‍රසිද්ධ වෙයි..” 
 
උක්ත පාඨය දක්නට ලැබෙන්නේ තුංමංහන්දිය නවකතාවෙහි ය. එක් පසෙකින් මේ නවකතාවේ කතා නායකයාගේ කේන්දරය පිළිබඳ තතු නොව එකී නවකතාවේ උරුමකරුවා වන ලාංකේය සාහිත්‍යය කෙත පෝෂිත කළ සද්ධන්ත චරිතය වන උක්තයෙහි අප සඳහන් කළ පුරාවෘත්තගත මිනිසාගේ ද ජන්ම පත්‍රය ම වීය. ඔහු උත්පත්තිය ලැබුවේද 1929 වර්ෂයේ අප්‍රේල් හත්වෙනිදාවක ම ය. දෙමාපියන්ගේ යෝජනාව වූයේ අලුත උපන් මේ කුමරුවාට ‘මහගම ගේ සමරසේකර’ යන නම තැබිය යුතු බව වුව ද උප්පැන්න ලියාපදිංචි කරන අවස්ථාවේ සිදුවූ ලේඛන දෝෂයක් හෙයින් ඔහු ලද්දේ ‘මහගම සේකර’ යන නාමයයි. පසුකලෙක නඩුකාරයෙක් ලෙසින් නොවුන ද සේකරයන් ස්වකීය නාමය මේ ධරණීතලය මත පතල කරන ලද්දේ ය. ඒ එක් කාලයකට පමණක් පොදු ජනප්‍රසාදයක් ලෙසින් නොව ඔහුගේ වියොවින් පසු ද ඔහු නොදුටු පරපුරකට ද ඔහුගේ ඒ අසාමාන්‍ය චරිතය වෙනුවෙන් ප්‍රසාදයේ දෙනෙත් දල්වා ලීමට තරම්ම වන ලෙසින් ය. වරක් ඒ පිලිබඳව මහින්ද කුමාර දළුපොතයන් මෙසේ පවසා ඇත.
 
“මහගම සේකර මිය ගිය ද ජීවත්වන ප්‍රබලම කවියා මතු නොව ගී පද රචකයා ද යැයි කීම අතිශයෝක්තියක් නොවෙයි. ඒ තරමට ම සේකරයන් හා නූතන පරපුර අතර ඇත්තේ සමීප සබඳතාවයකි. ඔවුහු සේකරයන්ගේ රූපකාය නුදුටුවෝය. එහෙත් සේකරයන්ගේ අසමාන නිර්මාණකාය දුටුවෝ ය. නො එසේනම් එය දැකීමේ ආශාවෙන් අභ්‍යාස වඩන්නෝ ය.”
(මහගම සේකර 25 වන මතකය, පසුවදන, මහින්ද කුමාර දළුපොත)
 
සේකරයන් උපන්නේ ගම්පහ රදාවානේ ය. සේකරයන්ගේ තුංමංහන්දිය නවකතාව සඳහා පාදක වන්නේ ද එම ගම්මානය ම ය. කුඩා කළ පටන් සතා සිවුපාවා ගහ කොල ඇළ දොළ සමගින් සිය දිවි සැරිය ඇරඹූ නිසාවෙන් ම ඔහුගේ නිර්මාණකරනයන් තුළ පවා ඇත්තේ අව්‍යාජත්වයකි. සේකරයන් ගැමි ජීවිතයෙන් ලද අභාෂයන් ඔස්සේ සිය නිර්මාණකරනය සිදුකලා පමණක් නොව ඔහුගේ සරල ජීවන පැවැත්ම සඳහා ද ඒ ගැමිකම උපකාරව ඇත. ලොව පුරා කිත් යසස් ලබන බොහෝ කලාකරුවන් පසුකලෙක මාන්නයෙන් පිම්බෙන අවදියක සේකරයන් කිත් යසස් සියල් මැද නිහතමානී ව කල්ගෙවූයේ එනිසාවෙන් ම වන්නට ඇත. සේකරයන් පිළිබඳ අනුස්මරණ සටහනක් ලියූ කරුණාදාස සූරියාරච්චි මහතා වරක් මෙලෙසින් ප්‍රකාශ කර තිබුණි. 
 
”ඔහු කවියෙක්, ගීත රචකයෙක්, නවකතාකරුවෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක්, අධ්‍යාපන නිලධාරියෙක්, චිත්‍ර ශිල්පියෙක්, පොත් කවර නිර්මාණ ශිල්පියෙක්, කථිකාචාර්යවරයෙක්. ඒ ඔක්කොම හරි. ඒත් මසිත කියන්නේ මහගමසේකර හඳුන්වන්න පුළුවන් හොඳම නිර්වචනය ඒ එකක්වත් නොව ‘සරල මනුස්සයෙක්’ යන්න බවය.”
 
සැබැවින් ම සේකරයන් ගේ නිර්මාණ කෞෂල්‍යය සහ දක්ෂතාවය එක් ක්ෂේත්‍රයක් ඔස්සේ ගමන් කළ දෙයක් නොවීය. ඔහු වරෙක කවියෙකි, තවත් වරෙක ගේය පද රචකයෙකි. නවකතාකරුවෙකි. කෙටිකතාකරුවෙකි. චිත්‍ර ශිල්පියෙකි. චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකි. පිටපත් රචකයෙකි. දේශකයෙකි. මෙවන් වූ බහුවිධ කලා මාධ්‍යන් ගණනාවක් පුරාවට සිය ප්‍රතිභාත්මක දක්ෂතාවය සලකුනු කරන ලද්දෙකි. කවිය සහ ගේය පද යන මාධ්‍ය ද්විත්වය තුළින් සේකරයන් පෑ දස්කම් අද ද සිය දහස් ගණන් ශ්‍රාවක සිත් පහන් කරන බව නොරහසකි. ගැමි ජීවන අත්දැකීමේ සිට නාගරික ලෝකයේ පවුරු ප්‍රකාරාවලින් වට වූ මිනිසුන් වෙනුවෙන් ද ඔහු නිර්මාණ කර ඇත. ඔහුගේ නිර්මාණ එක්පසෙකින් ලෝකය පිලිබඳ මැදිහත් සිතින් දැක ජීවිතය උපේක්ෂාවෙන් විඳගන්නට හැකි ලෙසින් නිර්මාණයව ඇත. තමාගේ නිර්මාණකරනය පිළිබඳ ව සේකරයන් සිය අවසන් කෘතිය වන ප්‍රබුද්ධ කෘතියේ දක්වා ඇත්තේ මෙලෙසින් ය. 
 
“ඔප් නැගූ විසල් මේසයක් මත
තබා සුදු සුමුදු කරදාසියක් 
එ මත පාකර් පෑන් තුඩකින්
ලියන්නට මට නොමැත කවියක්
 
වැඩ ඇරී එන කලට ඔබ සමග
සෙනගින් පිරී ගිය දුම්රියක
අවුලා ගෙන හිස් සිගරැට් පැකට්ටුවක්
එ මත පැන්සල් කෙටියකින්
කුරුටු ගාන්නට මට ඇත කවියක්
 
සේකරගේ බොහෝ නිර්මාණ දෙස අවධානය යොමු කරන කල්හී දැක ගත හැකි මූලික ලක්ෂණ කිහිපයක් වෙයි. ඒවා අතරින් සේකරගේ නිර්මාණ බොහෝමයක් සමාජය තුළ ආර්ථික සාමාජික දේශපාලනික හස්තයන්ගෙන් පීඩා ලැබ ඇති නැති පන්ති පරතරය තුළ නිර්ධනයන් වූ මිනිසුන් වෙනුවෙන් සේකර සෑම විටම පෙනී සිටි අයුරු දැක ගත හැකිය. ඒ ඔහු තුළ වූ අව්‍යාජ නිහතමානිත්වය විය යුතුය. මානවවාදී ගුණය තිබුණේ සේකරගේ කවි තුළ පමණක් නොව සේකරගේ ක්‍රියාකලාපය තුළ පවා එකී මානවීය ගුණය දැක ගත හැකිවිය. ඔහු කවර සාහිත්‍ය මාධ්‍යයකින් කවර දක්ෂතා පෙන්වා රටේ උසස් තැනෙකට පැමිණිය ද හේ රදාවානේ උපන් අහිංසක ගැමියා ම වී ය. ඔහුගේ ඒ අව්‍යාජත්වයත් ගැමියන් සමගින් ඔහු තුළ වූ නිහතමානී බැඳීමත් පිළිබඳ අපූර්ව කතා ද වරින් වර අසන්නට ලැබෙයි. 
 
අතීතයේ දිනවල තුංමංහන්දිය චිත්‍රපටය රූපගත කිරීමේ දී එහි දර්ශන වාර බොහෝමයක් සේකරගේ උපන්ගමේ ද රූපගත කොට ඇත. වරක් එසේ රූපගත කිරීමක් නැරඹුම සඳහා පැමිණි ගැමියන් පහත පරිද්දෙන් ප්‍රතිචාර දක්වා ඇතැයි සුචරිත ගම්ලතුන් හා රත්න ශ්‍රී විජේසිහයන් විසින් රචිත මහගම සේකර හා සමාජ යථාර්තය කෘතියෙහි දක්වා ඇත. 
 
“අර කවුද ඉන්නේ... ?”
“ජෝ අබේවික්‍රම...” එකෙක් කීය.
“අර ඉන්නේ ස්වර්ණා මල්ලවආරච්චි” තවකෙකුගේ හඬ ඇසිණි.
“අර ඉන්නේ ජෝන් අයියගේ පුතා.” එකෙක් සේකර දෙසට ඇඟිලි දිගුකොට කීය.
 
සැබෑවකි සේකරයන් හා මිනිසුන් අතර පැවැතියේ එතරම් ම වූ අවියෝජනීය බැඳීමකි. ඔහු කොතෙක් පතල කවියෙක් වුව ද නැතොත් සාහිත්‍යධරයෙක් වුව ද ගැමියන් ඔහු හා බැඳී උන්නේ ජෝන් සිඤ්ඤෝගේ පුතා ලෙසින් ය. සේකරට ද එය වෙනස් කිරීමේ අවශ්‍යතාවක් පැවැතී ද නැත. ඔහු ද ගැමියන් සමඟින් බැඳී ඇත්තේ අසීමාන්තික ග්‍රාමීයත්වයකින් ය. ගැමියන් මතු නොව මාපියන් සමඟින් පවා උඹ, බං, බොලං, යැයි ආමන්ත්‍රණයේ යෙදුනු සේකරගේ ජීවිතයේ පැවැති එකී බැඳීම්ගත ස්වරූපය මෙවන් සිදුවීම්වලින් මනාව හෙළිදරව් වෙයි. 
 
සේකරයන් විසින් රචනාකොට අධ්‍යක්ෂණය කරන ලද තුංමංහන්දිය චිත්‍රපටයේ තිරපිටපත කියවන ලද අවස්ථාවක ලැබූ අත්දැකීමක් පිළිබඳ ප්‍රවීණ ලේඛක හේමරත්න ලියනාරච්චි මහතා මතකය අවදිකර ඇත. එහිදි ඔවුන්ට පානය කිරීමට සිගරැට් අවශ්‍යව ඇත. සේකර නිදා සිටින සිය පියා අමතයි.
 
“තාත්තේ තාත්තේ නැගිටපංකෝ.” පුතාගේ කටහඬ අපට ඇසේ.
“මොකද යකෝ මේ කරදරේ. නිදාගන්නවත් දෙන්න එපා.” ඒ පියාගේ කටහඬය.
“අනේ තාත්තේ... අපේ සිගරැට් ඉවරයි. අපිට සිගරැට් ටිකක් ගෙනත් දීපංකෝ... අනේ”
“යකෝ මේ අනෝරා වැස්සේ.” පියා නැඟිට ඇඳෙහි හිඳ ගත්තා සේය.
“අනේ මං අර මගේ චිත්‍රපටි කතාව මේ යාළුවන්ට කියනවා. අපි ගියොත් මේ වැඩේ නවතිනවනේ. අනේ සිගරැට් ටිකක් ගෙනැත් දීපං. උඹට පින් සිද්ධවෙයි.”
 
මෙවන් අත්දැකීම් ඇසුරෙන් සේකරයන් පිළිබඳවත් ඔහුගේ අව්‍යාජ ගැමි ජීවන සුවඳ පිළිබඳවත් අපූර්ව වූ චිත්‍රයක් මවාගත හැකිය. 
 
ස්වකීය නිර්මාණකරනය පුරාවට සැබෑ වූ යථාර්තවාදී ජීවන දෘෂ්ටියක් අන්තර්ගත කොට ඇති සේකරයන් ට එම උපේක්ෂා සහගත ජීවන දෘෂ්ටිය නිමවා ගන්නට බුදු දහම උපකාරි වන්නට ඇත. සේකරයන් ගේ බොහෝ නිර්මාණවලින් ජීවිතය දෙස යොමුවන්නේ සුඛ දුක්ඛ ද්වී පක්ෂයම මැදිහත්ව විඳදරා ගත යුතු දෘෂ්ටියකි. කේ. ජයතිලකයන් සමඟින් 1960දී පමණ එළිදැක්වූ ව්‍යංගා කාව්‍ය කෘතියේ පටන් සක්වාලිහිණි (1962) හෙට ඉරක් පායයි (1963) මක්නිසාද යත්(1964) රාජතිලක ලයනල් හා ප්‍රියන්ත (1967) බෝඩිම (1970) නොමියෙමි (1973) හා ප්‍රබුද්ධ (1977) යන කාව්‍ය කෘති අට තුළ එන අප්‍රමාණ කාව්‍ය හැකියාවෙන් ප්‍රමුදිත එකී කාව්‍යන් තුළින් ද එම ජීවන දෘෂ්ටිය මනාව ගෝචරවෙයි. 
සුවහසක් රසික දන ආදරයෙන් වැළඳගත් සේකරයන් ගේ ම ජීවිතයේ කොටස් අන්තර්ගත කරමින් රචිත තුංමංහන්දිය (1967) නවකතාව සේ ම මනෝමන්දර (1971) නවකතාව ද සේකරයන් ගේ නවකතාකරනයේ සලකුණු ය. තවත් අනුවාද, ළමා කෘති, කෙටිකතා, නාට්‍ය, ගීත රචනා කෘති පමණක් නොව සිංහල ගද්‍ය පද්‍ය නිර්මාණයන්හි රිද්ම ලක්ෂණ නමින් සේකරයන් විසින් රචිත ශාස්ත්‍රීය ග්‍රන්තයක් ද හෙළ සාහිත්‍ය කෙත අස්වද්දන්නට දායකත්වය සපයා ඇත.  
 
මේ සියල් නිර්මාණ මගින් සාහිත කෙත පෝෂණය කළ මේ නොමියෙමි ලියූ මේ පුරාවෘත්ත ගත මිනිසා 1976 ජනේරු මස 14වන දා සිය දෙනෙත් පියා මියැදුනේ ඔහු විසින් ප්‍රබුද්ධ කෘතියෙහි රචිත අනියත දහම තමන් ට ද පොදු බව පසක් කරමින් ය. එහෙත් සේකර තවමත් ජීවතුන් අතරය. මේ සටහන කෙළවර සේකරයන් විසින් ලියූ මේ කවි පෙළෙන් අවසන් සලකුණ තබන්නේ ඒ නොමියැදුන කවි හිතේ සර්වකාලීන බව පසක් කරමිනි.
 
එසේ වුව සොහොයුරෙනි!
ඔබ ගැන ම මා ලියන එ කවිය
ඔබගෙන් බොහො දෙනෙකුට
අද දින නො වැටෙහෙන බව දනිමි
 
ලෝකය මීට වඩා යහපත් වන
අනාගතෙ යම් දවසක
ඔබ එය මීට වඩා ආදරෙයෙන්
 
කියවන බව ද දනිමි.....
 
Top