අතීතයට පෙම්බැන්ද සප්ත ස්වරය (495)

post-title

" මගේ ජීවිත කතාව ඇතුලෙ තියෙන දුප්පත්කම ගැන කියන්න මම ලැජ්ජා නෑ. ඒත් මම බොරු කියන්න බයයි. ලැජ්ජයි. මොකද එක බොරුවක් වහන්න අපි බොරු දහයක් කියන්න ඕනි. මගේ අතීතය ගැන මට මතකයි. මගේ තාත්තා ඇඳුම් මහන්නෙක්, අපිට හරියට කන්න බොන්න තිබ්බෙ නෑ. මම ජීවත්වුනේ මුඩුක්කු වත්තක. ඒ දුප්පත්කම සහ මගේ අතීතයට මම අදටත් ආදරෙයි. බොරු නොකියා මම මමම විදියට ආව මේ ගමන මට වටිනවා. මගේ ජීවිතය මට ඒ තරම්ම වටිනවා " 

ඇත්තටම කවුද මේ ? හිතන්න පුළුවන්ද අද අපේ වාරුව කවුද කියලා.

ඇය නමින් මිරිහාන ආරච්චිගේ නන්දා මාලිනී ගෝකුල. හෙළයේ මහා ගායිකාව නන්දා මාලිනීයන්.

කලා ලොව මෙතරම් දුරක් ගෙවාගෙන ආ ඇගේ ජීවිතය රෝසමල් අතුරපු සුන්දර ගමනක් නෙමෙයි. ජීවිතය ජය ගන්න, හීනවලට පනදෙන්න, දරිද්‍රතාවයෙන් මිදෙන්න , සරල සොඳුරු ජීවිත රටාවකට හුරුවෙන්න ඇගේ ජීවිත කතාවම ආදර්ශයක් ඔබට මට.

ඔබ මම සහ අපි යථාර්ථවාදි වෙන තරමට අපිට අපේ ජීවිතවල ප්‍රාතිහාර්යයන් බලාපොරොත්තු වෙන්න පුළුවන්.නන්දා මාලනීය එක්තරා උත්සව සභාවක් අමතමින් කතා කරනවා.ඇහුම්කන්දෙන්න ඇගේ ජීවිතයට. ජීවන අරගලයේ පොරබඳන ඔබට මට නන්දා මාලනීයගේ ගීතවත් කතාවෙන් ආශිර්වාදයක් එකතුවෙනවා සත්තයි.

" මම ඉපදුනේ අලුත්ගම ලෙවන්දූවේ ග්‍රාමීය පවුලක.අදටත් දුප්පත් ගමක්.පස්සෙ කාලෙක අපි ආවා කොටහේනට.කොටහේන හැට දෙකේ වත්තට.හුඟක් මිනිස්සු කිව්වෙ කොටහේන මුඩුක්කු වත්ත කියලා.ඉතින් මගෙ පවුලෙ සාමාජිකයන් නව දෙනයි.මගේ තාත්තා දුප්පත් නමුත් මනුස්සකම අතින් පෝසත් කෙනෙක්.තාත්තා රැකියාවට අමතරව ගෙදර ඇවිදිනුත් කෝට් මැහුවා.ගෙවල් ගානේ ගිහින් ඒ කෝට් විකුණුවේ මම.කෝට් අරන් ගෙයක් ගෙයක් ගානේ ගියපු මාව එදා සමහර ගෙවල් ඇතුලට ගත්තෙ නෑ.ඒත් අද මම ඒ හැමෝගෙම හදවතේ ඉන්නවා.අද මට ලැබෙන මේ පිළිගැනීම සතුටක්.ඒත් අදටත් මම එදා හිටි මාලනීමයි.කවදාවත් තමන්ගෙ අතීතය අමතක කරන්න එපා "

ජීවිතේ විවිධ හැලහැප්පීම්වලට මූණදීපු ශක්තිමත් කාන්තාවක් විදියට නන්දා මාලනී අදටත් ගෙවන්නෙ හරිම සරල ගති පැවතුම් ඇති ජීවිතයක්.ඇය විවිධ උත්සව අවස්ථාවන්ට සහභාගි වෙනවා.රටේ නායකයින්, ප්‍රභූවරුන්, ලෝක ප්‍රසිද්ධ පුද්ගලයින් ඉදිරියට පවා නන්දා මාලනියන් උත්සව සභා අමතන්න යන්නෙ කොන්ඩෙ තනිකරලට ගොතලා ශ්වේත වර්ණ සාරියෙන්. ඒ සරල ඇවතුම් පැවතුම් නිසා මම ඔබට කියන්නෙ නෑ අපිත් ඒ රටාවට හුරුවෙමු කියලා. අපි හැමෝටම තියෙනවා අතීතයක්.අපි වර්තමානය ගොඩනගාගන්න ඕනි එතනින්.ඒ ශක්තිමත් අඩිතාලම අපි ගන්න ඕනි අපි දුර්වලයි කියලා සම්මත කරලා තියෙන තැනින්.

" මගේ තාත්තා අපිව ජීවත්කරන්න පුදුමාකාර දුකක් වින්ඳා.මම අම්මා එක්ක එහෙම නැත්නම් ලොකු අක්කා එක්ක තොටලඟ පොළට ගිහින් ගෙදරට ඕනි කරන කලමනා අරන් එනවා.ලාබෙට තියෙන එළවළු පලා ටිකකින් අපි එදා වේල පිරිමහගත්තා.අපේ තාත්තාට තිබ්බා සතියක සැලසුමක්.ඒ සැලසුම එක්ක අපිට ලැබෙන බත් හැන්දට අමතරව බත් හැන්දක්වත් බෙදාගන්න ඉඩක් තිබ්බෙ නැති වග අපි දැනගෙන හිටියා.ඉතින් අපි කවදාවත් කෑම අහක දැම්මෙ නෑ. අදටත් මම මේ සරල ජීවිතයට හුරුවෙන්න ලොකුම හේතුව අගහිගකම්වලින් පිරුණු ඒ අතීතයමයි.කන්න තිබුනෙ එක වේලයි.අඳින්න පාට පාට ලස්සන ඇඳුම් තිබ්බෙ නෑ.ඒත් පිරිසිදුවට පිළිවෙළකට අපි තියෙන දේ ඇන්දා " 

ඒ ගීතවත් හඬ ඇතුලෙ තියෙන නිහතමානීකම සහ කටුකත්වය පිරුණු අත්ඳැකීම් ඇගේ ගමනට ආශිර්වාදයක් වූවා මිසක ඇය කවදාවත් ඇගේ හඬ නිසා ඇගේ අතීතය අමතක කළේ නෑ.ලෝකෙටම නන්දා මාලනීලා දහයක් නෑ.ඉන්නෙ එක්කෙනෙක් විතරයි.ඒ ඇගේ රටාව,ශෛලිය සහ ඇය ඇගේ අතීතය විශ්වාස කල නිසා.

 " මට ගීත ගායනයට හැකියාවක් තියෙනවා කියලා හඳුනාගත්තේ මාග්‍රට් ගුරුතුමිය.ඇය මාව එක්ක ගියා කරුණාරත්න අබේසේකරයන්ගේ ළමා මණ්ඩපයට.අත්වැල් ගායනයට සම්බන්ධ වෙලා ඉන්නකොට මම හිතාගත්තා මම කවදාකම හරි තනියම ගීතයක් කියනවා කියල.ඒ හීනය හැබෑවෙලා ගීතයක් කියන්න පුළුවන් උනේ මට අවුරුද්දකට පස්සෙ.අද වගේ රියැලිටි තරඟ එදා තිබ්බෙ නෑ.ගුවන් විදුලියේ තිබ්බා තරඟයක්.ඒ තරඟයට ඉල්ලුම් කරනකොට මම පුංචි ළමයෙක්.වික්ටර් රත්නායකයන් දෙවෙනි තැනට පත්වෙනකොට මම ඒ තරඟෙන් මුල් තැනට ආවා.තෑග්ග විදියට හම්බුනෙ ඉන්දියාවට යන්න ටිකක් එකක්.එදා මට හිතුනා මේ ගමන මට ඕනි එකක් නෙමෙයි කියලා.මට ඕනි උනා ටිකට් එකේ සල්ලි ඉල්ලගන්න පුළුවන් ද බලන්න.තාත්තා එක්ක කොටහේන ඉදන් කොටුවට එනකන්ම පයින් ආවා.මම කිව්වා සර් අපි හරිම දුප්පත්.මට ඉන්දියාවට යන්න ඕනි නෑ.මේ ටිකට් එකේ සල්ලි දුන්නොත් ඒක මට ඊට වඩා වටිනවා කියලා.ඔවුන් දෙපාරක් හිතුවෙ නැතුවම මට ඒ සල්ලි ගෙනත් දුන්නා.මහන්සි වෙලා හිටිය තාත්තා එක්ක එළවළු රොටියක් කාලා රසම රස සරුවත් වීදුරුවක් මම එදා බිව්වා.අදටත් මම ඒ රසට ආදරෙයි "

තාත්තා පොල්කටු අඟුරු ඉස්තිරික්කයෙන් ඇඳුම් මදින දුක දැක්ක පුංචි මාලනීය එදා මුළු ගෙදරටම විදුලිය ගන්නවා.තාත්තාට විදුලි ඉස්තිරික්කයක් අරන් දෙනවා.රෑට සීතල තේ උගුර බොන තාත්තාට උණුවතුර බෝතලයකුත් අරන් දීලා සතියකට ගෙදර අයට සෑහෙන්න හොඳට කන්න බොන්න ගෙනත් පුංචි මාලනීයන් එදා ලොකුම ලොකු හපන්කමක් කලා. අද අපි අනවශ්‍ය දේවල් වලට දරන පිරිවැය කොච්චරක්ද ? හිතන්න , 

" ඉස්කෝලේ යන්න හොඳ සපත්තු නැති නිසා එදා මම දාපු කට්ටා සෙරෙප්පු නිසා මට ඉස්කෝලේ ළමයි කිව්වෙ " කට්ටයා " කියලා. මිනිස්සු අපහසුතාවයට ලක්කරන වචන වල වේදනාව පුංචි කාලෙදිම මම අත්වින්ඳා. කොටහේනේ මුඩුක්කුවක ඉපදුණු මම මේ තරම් දුර ආපු එක ගමන ගැන මට දැනෙන්නේ ලොකු සතුටක්.උත්සාහය, ඉවසීම කැපවීම සහ මගේ තාත්තාගෙන් අම්මගෙන් ලැබුණු නිවැරදි මගපෙන්වීම නිසයි මම අද මේ තරම් දුරක් ආවෙ.අද මට සල්ලි තියෙනවා කියලා මගේ ජීවිතේ ලොකු වෙනසක් වෙලා නෑ. අපි හුරුවෙන්න ඕනි දරුවන් හුරුකරන්න ඕනි පොළොවේ පය ගහලා ජීවත් වෙන්නයි. " 

අතීතය තුළින් අපි ජීවත්වෙන්න ඕනි කියන පණිවිඩය නන්දා මාලනීයන් අපිට කියලා දෙනවා.අතීතය අමතක කරන කාටවත් අනාගතයක් නෑ.මොකද අපි හැමෝටම අපේම කියලා අනන්‍යතාවයක් ගොඩනගාගන්න නම් අපි අපේම බ්‍රෑන්ඩ් එකක් හදාගන්න නම් අපි අපේ අතීතයට අදට වඩා ආදරේ කරන්න ඕනි.

ඇය දිනාගත් සම්මාන ගැන ඇය ගායනා කරපු ගීත ගැන කතාකරන්න මම උත්සාහ කරන්නෙ නෑ.මොකද මුළු ලෝකයක්ම ඒ ගැන දන්න නිසා.මට ඕනි මෙච්චරයි.ඔයා අද ඉන්නෙ මොන තත්වෙකද කියන්න මම දන්නෙ නෑ.ඒත් ඔයාට පුළුවන් උත්සාහ කරන්න.බඩගින්දරට හුරුවෙන්න, ප්‍රතික්ෂේපවීම් එක්ක නැගිටින්න,විවේචනයන් උපේක්ෂාවෙන් දරාගන්න ඔයාට පුළුවන්.ඇත්තටම ඔයාට පුළුවන්.

ඉඩෝරයකට පස්සෙ වැටෙන හැම දිය බිඳුවකම සාරය මහ පොළොව උරාගන්නවා වගේ ඔයාගෙ ජීවිතයේ අමාරුම කාල පරිච්ඡේදයේ වේදනාව පපුවට උරාගන්න.ඒ වේදනාව ඔබේ ශක්තිය, සාර්ථකත්වය සහ සතුට ලඟදි දියවේවි.

ඉතින් අපි හදාගමු කාටවත් හොරකම් කරන්න බැරි බ්‍රෑන්ඩ් එකක්.

ස්තූති නන්දා මාලනීයනි ! 

මම මගේ අතීතයට ආදරෙයි.එතකොට ඔයා ?

Top