20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය - පළමු කොටස (753)

post-title

1978 දෙවන ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට දෙන ආ විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මෑත දේශපාලන ඉතිහාසය තුල වඩාත් කතාබහටත්, විවේචනයටත් ලක් වූ ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිය. මීට පෙර ගෙන ආ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සශෝධනය මගින් ජනාධිපති ධූරය වටා ගොඩනැගෙමින් තිබූ ඒකාධිපති ස්වරූපය යටපත් කර ජනාධිපති ධූරය වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් බවට පරිවර්තනය කරන ලදී. විශේෂයෙන් ම, ජනාධිපතිට රාජ්‍ය සේවයේ සහ අධිකරණ සේවයේ පත් කිරීම් සම්බන්ධ ව තිබූ අභිමතානුසාරී බලතල 19 වන ව්‍යවස්ථා සංශෝධනය තුලින් සංවරණය කර තිබුණි. 20 වන සංශෝධනය මගින් එලෙස ජනාධිපති ධූරය සම්බන්ධයෙන් පනවා තිබූ බොහෝ සංවරණ ඉවත් කර ඇත. කෙසේ නමුත්, 20 වන ව්‍යවස්ථා සංශෝධනය 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ සියලු ම ව්‍යවස්ථා විධිවිධාන අහෝසි කර දැමීමක් සිදු වී නැත. ඒඅනුව, 19 වන සංශෝධනයෙන් ඇති කල ඇතැම් විධිවිධාන කිසිදු වෙනස්කිරීමක් නොකර එලෙසින් ම ක්‍රියාත්මක වීමට ඉඩ ලබාදී ඇත. නිදසුනක් ලෙස, 19 වන සශෝධනයෙන් මූලික අයිතිවාසිකම් මාලාවට එක් කළ තොරතුරු දැනගැනීමේ අයිතිය, අමාත්‍ය මණ්ඩලය සම්බන්ධයෙන් පැනවූ සීමාව යනාදිය 20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඉවත් කිරීමක් හෝ වෙනස් කිරීමක් සිදු කර නැත. 

20 වන ව්‍යවස්ථා සංශෝධනය තුලින් ඇති කළ වෙනස්කම් ප්‍රධාන වශයෙන් රාජ්‍ය සේවය සහ අධිකරණ සේවය සම්බන්ධ ව ජනාධිපතිට පැවති බලතල යටතේ, අමාත්‍ය මණ්ඩලය සම්බන්ධ ව ජනාධිපතිට පැවති බලතල යටතේ සහ පාර්ලිමේන්තුව සම්බන්ධ ව ජනාධිපතිට පැවති බලතල යටතේ අධ්‍යනය කල හැකි ය. මේ ලිපිය තුල මගේ වචන වෙන් වන්නේ 20 සංශෝධනය මගින් රාජ්‍ය සේවය සහ අධිකරණ සේවය සම්බන්ධ විධිවිධානවලට අදාළ ව සිදු වූ වෙනස්කම් පිළිබඳ ව යි. 

රාජ්‍ය සේවය සම්බන්ධ ව සිදු වූ වෙනස්කම් 

19 වන ව්‍යවස්ථා සංශෝධනය තුලින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවක් ස්ථාපිත කළ අතර එයට ලබාදුන් බලයෙන් ජනාධිපතිට පැවති බලතල සංවරණයට ලක් කරන ලදී. ඒ හරහා පෙර තත්ත්වයට වඩා ස්වාධීන රාජ්‍ය සේවයක් මෙරට ගොඩනැගීමට අවශ්‍ය යාන්ත්‍රණයක් ඇති කරන ලදී. කෙසේවෙතත්, 20 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් මෙම තත්ත්වය වෙනස් කර ඇති බව පෙනේ. 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව 20 වන සංශෝධනය තුලින් අහෝසි කර ඒ වෙනුවට පාර්ලිමේන්තු සභාව නම් ආයතනයක් ස්ථාපිත කර ඇත. 

පාර්ලිමේන්තු සභාවේ සංයුතිය
• අග්‍රාමාත්‍යවරයා
• කථානායකවරයා
• විරුද්ධ පක්ෂ නායකවරයා
• පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය යුුතු, අග්‍රාමාත්‍යවරයාගේ නාමිකයෙකු
• පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විය යුුතු, විරුද්ධ පක්ෂ නායකයාගේ නාමිකයෙකු 

පාර්ලිම්න්තු සභාවේ සාමාජිකයන් ප්‍රමාණය පහක් වන අතර කථානායකවරයා මෙහි සභාපතිවරයා ය. අගමැතිගේ නාමිකයා සහ විරුද්ධ පක්ෂ නායකයාගේ නාමිකයා නම් කල යුත්තේ, සභාවට නිල බලයෙන් පත් වූ අගමැති, කථානායක සහ විරුද්ධ පක්ෂ නායකයා අයත් වන ජන කොට්ඨාස නොවන වෙනත් ජන කොට්ඨාස තුලිනි. යම් හෙයකින් අගමැතිවරයා සහ විරුද්ධ පක්ෂ නායකයා අදාළ නාමිකයන් නම් නොකළහොත් කථානායකවරයා විසින් පාර්ලිම්න්තු මන්ත්‍රීවරුන් අතරින් අදාළ නාමිකයන් දෙදෙනා නම් කළ යුතුය. ජනාධිපතිවරයා විසින් අගමැතිගේ හෝ විරුද්ධ පක්ෂ නායකයාගේ ඉල්ලීම මත හේතු දක්වමින් අදාළ නාමිකයන් ව ඉවත් කළ හැකිය.

මෙම පාර්ලිමේන්තු සභාවේ ප්‍රමුඛතම කාර්යය වන්නේ, ජනාධිපතිවරයා විසින් කොමිසම් සභා සාමාජිකයන් සහ අනෙකුත් ධූර සඳහා පත් කිරීම් සිදු කිරීමේදී ඒ සඳහා අවශ්‍ය නිරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීම ය. ඒ අනුව, 41අ ව්‍යවස්ථාවේ 1 වන උපලේඛනයේ ඇතුළත් කර ඇති,


  1. මැතිවරණ කොමිසම් සභාව
    2. රාජ්‍ය සේවා කොමිසම් සභාව
    3. ජාතික පොලිස් කොමිසම් සභාව
    4. ශ්‍රී ලංකා මානව හිම්කම් කොමිසම් සභාව
    5. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිසම් සභාව
    6. මුදල් කොම්සම් සභාව
    7. සීමා නීර්ණය කොමිසම් සභාව


යනාදී කොමිසම් සභා සඳහා සාමාජිකයන් පත් කිරීමේ දී ජනාධිපතිවරයා විසින් පාර්ලිම්න්තු සභාවෙන් ඒ සඳහා නිරීක්ෂණ වාර්තා ඉල්ලා සිටිය හැකිය. එමෙන්ම, 41අ ව්‍යවස්ථාවේ 2 වන උපලේඛනයේ 2 වන කොටස් සඳහන් වන,


  1. නීතිපති
    2. විගණකාධිපති
    3. පොලිස්පති
    4. පරිපාලන කටයුුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයා (ඔම්බුඩ්ස්මන්වරයා)
    5. පාර්ලිමේන්තු මහලේකම්වරයා

යන ධූර සඳහා තැනැත්තන් පත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ වාර්තා ඉල්ලා සිටිය යුතුය. මෙහිදී, පාර්ලිමේන්තු සභාව විසින් සතියක කාලයක් ඇතුලත කථානායකවරයා මාර්ගයෙන් අදාළ නිරීක්ෂණ වාර්තා ජනාධිපතිවරයා ලබා දිය යුතුය. යම් දහයකින් අදාළ කාල සීමාව තුළ පාර්ලිමේන්තු සභාව නිරීක්ෂණ වාර්තා ලබා නොදුන්නහොත් ජනාධිපතිවරයාට තම අභිමතය මත කොම්සම් සභාවන්ට සහ අදාළ ධූර සඳහා පත් කිරීම් සිදු කල හැකි ය. සභාවේ නිරීක්ෂණ ලබා ගැනීමේදී අනුගමනය කල යුතු කාර්ය පටිපාටිය කථානායකවරයා විසින් නිශ්චය කරනු ලබන ආකාරයට විය යුතුය. කෙසේ වුවත්, පාර්ලිමේන්තු සභාවේ නිරීක්ෂණ වාර්තා අනුව ම පත් කිරීම් සිදු කිරීමට ජනාධිපතිවරයා බැඳී නැත. ඒ අනුව, රාජ්‍ය නිලධාරීන් පත් කිරිමේදී ජනාධිපතිගේ අභිමතය ඉස්මතු වේ. 20 වන සංශෝධනය අනුව, කොමිසම් සභාවක සාමාජිකයෙක් හෝ සභාපතිවරයෙක් හෝ අනෙක් ධූරවලට පත් කළ තැනැත්තකු ඉවත් කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ එයට අදාළ ව පැනවූ නීතියක විධිවිධාන අනුව ය. යම් හෙයකින් එවැනි කිසිදු විධිවිධානයක් නොමැති අවස්ථාවක අදාළ තැනැත්තා ජනාධිපතිවරයාගේ තනි අභිමතය මත ඉවත් කිරීමට 20 වන සංශෝධනයෙන් ඉඩ ලබා දී ඇත. මෙය ඉතාමත් අහිතකර ප්‍රතිඵල දෙන දිය හැකි විධිවිධානයකි. 19 වන සංශෝධනය අනුව ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සේවා කොමිසම් සභාවේ සාමාජිකයන් ඉවත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබාගත යුතු වුවද, 20 වැනි සංශෝධනය අනුව රාජ්‍ය සේවා කොමිසම් සභාවේ සාමාජිකයන් ඉවත් කිරීමේදී එලෙස කිසිදු ආයතනයකින් අනුමැතිය ගත යුතු නැත. 

අධිකරණ සේවය සම්බන්ධ ව සිදු වූ වෙනස්කම් 

19 වන සංශෝධනය යටතේ අධිකරණ විනිසුරුවරුන් සහ අධිකරණ සේවා කොමිසමේ සාමාජිකයන් පත් කිරීමේදී ජනාධිපතිවරයාගේ අභිමත බලයක් ඉස්මතු නොවේ. එයට හේතුව, 19 වන සංශෝධනය අනුව අධිකරණ සේවයේ පත් කිරීම් සිදු කිරීමේ දී අදාළ ධූර සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන නාමයන් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. නමුත්, 20 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඇති කරන තිබෙන නව තත්ත්වය තුළ ඊට හාත්පසින් ම වෙනස් ය. 41 අ ව්‍යවස්ථාවේ 2 වන උපලේඛනයේ 2 වන කොටසේ සඳහන් වන, 


  • අගවිනිසුරුවරයා සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරුන්
    • අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ අනෙකුත් විනිශ්චයකාරවරුන්
    • අධිකරණ සේවා කොමිසම් සභාවේ සභාපතිවරයා හැර අනෙකුත් සාමාජිකයන්

යන ධූර පත් කිරීමේදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු සභාවෙන් ඒ සඳහා නිරීක්ෂණ වාර්තා ඉල්ලා සිටිය යුතුය. එහිදී, දින 14 ඇතුළත අදාළ නිරීක්ෂණ වාර්තා ලබා නොදුන්නහොත් ජනාධිපතිවරයාට තම අභිමතය මත අදාළ පත් කිරීම් සිදු කළ හැකි ය. මේ අනුව පැහැදිලි වන්නේ, මෙලෙස පත්කිරීම්වලදී ජනාධිපතිවරයාගේ අභිමත මතය ඉස්මතු වීම තුලින් නැවතත් 19 වන සංශෝධනයට පෙර පැවති අන්දමට ම අධිකරණය ජනාධිපතිවරයාගේ සෘජු ග්‍රහණයට නතු වන තත්ත්වයක් උදා වී ඇති බවයි. 

19 වන සංශෝධනය අනුව, ජනාධිපතිවරයා විසින් අධිකරණ සේවා කොමිසමේ යම් සාමාජිකයෙක් ඉවත් කරන්නේ නම් එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමතය සහිත ව හේතු දක්වා එය සිදු කළ යුතුය. මේනිසා, ජනාධිපතිගේ අභිමතය මත කොමිසම් සභාවේ සාමාජිකයන් ඉවත් කළ නොහැකිය. නමුත්, 20 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව, ජනාධිපතිවරයාට කොමිසම් සභාවේ කවර වූ හෝ සාමාජිකයෙක් හේතු දක්වා ඉවත් කිරීමට බලය හිමි වේ. නමුත්, මෙහිදී ජනාධිපතිවරයා එම ඉවත් කිරීම් සිදු කිරීමේදී වෙනත් කිසිදු ආයතනයක අනුමැතිය ලබා ගත යුතු නැති බැවින් ජනාධිපතිවරයාගේ පෞද්ගලික කැමැත්ත මත ද සාමාජිකයන් ඉවත් කිරීමට ඉඩ ඇත. මෙය අධිකරණ ස්වාධීනත්වයට ඉතාමත් අහිතකර ලෙස බලපෑමක් එල්ල වන විධිවිධානයකි. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් ප්‍රමාණය වැඩි කර ඇත. ඒනුව, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ප්‍රමාණය 17ක් දක්වා වැඩි කර ඇති අතර ම අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් ප්‍රමාණය 20ක් දක්වා වැඩි කර ඇත. 

මේ ලිපියේ දෙවෙනි කොටසින් 20 වන සංශෝධනය මගින් අමාත්‍ය මණ්ඩලය සහ පාර්ලිමේන්තුව සම්බන්ධ විධිවිධාන තුළ සිදු කළ වෙනස්කම් සහ තවත් සංශෝධන කිහිපයක් සම්බන්ධයෙන් ඔබට කියවිය හැකිය.

Top