ලිංගික අධ්‍යාපනය පාසල් පද්ධතියෙන් ඉවත් කළ යුතුද? (290 වන ලිපිය)

post-title

එක්තරා දිනයක මම නිදහසේ පුවත්පතක් කියවමින් සිටින අතරේ මගේ නෙත ගැටුණේ මෙන්න මේ පද සංකල්පනාව දෙසටය.

කිරි සිනහ රැක ගන්න - මතු දවස ජය ගන්න

එකම එක සිනහ බිද - ඉතිරි කර තබනු මැන

අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වීයම සංකේතය ඔහුයි. ලෝකයේ කතා බහට ලක්වන පුංචිම පුංචි චරිතයක්. නමුත් ලෝකයේ නිර්මාණකරුවා වන්නේ ඔහුයි. අද වචන.lk හරහා ඔබත් සමග කතිකාවතක් නිර්මාණය කරන්නේ මෙන්න මේ කිරි සිනහවට උරුමකම් කියන සිසු පරපුරෙහි අධ්‍යාපන පද්ධතිය පිළිබදවයි. 

මිනිසා හය හතර තේරෙන අවධියේ සිට අතපය වාරුව පවතිනතාක් ධනය සහ බලය පැතිර වීමට උත්සාහ දරනවා. ගෝලීය සංදර්භීය අවකාශය තුළ පුද්ගලයා තමන් උපයන ධනය වර්තමානයේ මෙන්ම අනාගතයේත් ආයෝජනය කිරීම සදහා වාණිජ බැංකු වල තැන්පත් කරනවා. නමුත් එම ධනය කුමක් සදහා භාවිතා කළත් තමන්ගේ දරුවන් තරම් වටිනා ධනයක් තවත් කොයින්ද? තමන් විසින් තම දරුවන්ට ආදරය, කරුණාව, සෙනෙහස සමාජ දේහය වෙත පතුරවන්නට උගන්වන්නේ නම් එයයි ඔබ විසින් මහා භාණ්ඩාගාරයේ තැන්පත් කරන විශාලතම ධනය. එනිසා තමන් වැඩිහිටියන් වශයෙන් සමාජ හිතකාමී දේ දරුවන්ගේ හදවතේ බැංකුවක මෙන් තැන්පත් කළොත් වාණිජ බැංකුවල මෙන් පොළිය සමග තමන්ට වගේම සමාජයටත් එලෙසම ලැබෙනවා. ළමා ලෝකය එතරම්ම බව බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ පුත්තා වස්තු මනුස්සානං යනුවෙන් සදහන් කර ඇත්තේ මනුෂ්‍ය වර්ගයාට ඇති එකම සම්පත දරුවන් නිසයි. එසේ නම් මේ ළමා ලෝකය වඩාත් සුපුෂ්පිත වන්නට විධිමත් අධ්‍යාපනයක් අනිවාර්යයෙන්ම ලබා දිය යුතුයි.

නමුත් අද්‍යතන අධ්‍යාපනික ව්‍යුහය තුළ කුස්තුරයන් ඇති බව සමාජීය ප්‍රපංචයන් අධ්‍යයනයේ දී මනාව ගම්‍යමාන වෙනවා. එසේ නම් මේ විධිමත් අධ්‍යාපනය තුළ තිබෙන හිඩැස කුමක් ද? ඒ ලිංගික අධ්‍යාපනයයි. ඔබට මතක ඇති ලිංගික අධ්‍යාපනය පිළිබදව පුළුල් කතිකාවතක් මෑත කාලයේ දී නිර්මාණය වුණා. ඒ ලිංගික අධ්‍යාපනය පිළිබදව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් වුණු හතේ අපේ පොත නැමැති කෘතිය කරළියට පැමිණීමයි. මේ කෘතිය අතිශය අසභ්‍ය, කුඩා දරුවන්ට කිසිසේත්ම නොගැළපෙන කරුණු අඩංගු පොතක් නිසා එම පොත වහාම තහනම් කළ යුතු බව භික්ෂූන් වහන්සේලා ඇතුලු විවිධ පාර්ශව තරයේම කියා සිටියා. ඒ නිසාම එම පොත තහනම් කිරීමට සිදු වුණා. යොවුන් වියේ දරුවන්ට තම ශරීරය පිළිබදව අවබෝධයක් ලබා දීමේ වරද කුමක්ද ? ඒ අවබෝධය මත තම ශරීරය අනෙකාගෙන් ආරක්ෂා කර ගත හැකි වන්නේ නොවේ ද? මෙය සවිඥානිකව හොදින් සිතා බැලිය යුතු ප්‍රශ්නයක්.

මෙවැනි පොත් ළමුන් අතට පත් කිරීම ළමා මනස දුෂණය කිරීමට සහ රටේ සංස්කෘතියට පටහැණි බවට එල්ල කෙරෙන චෝදනාව සම්බන්ධයෙන් බී.බී.සීය ප්‍රශ්නයක් යොමු කළ විට ඊට පිළිතුරු දුන් ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවේ මෙය ලිංගික අධ්‍යාපනය සහ සංස්කෘතිය අතර වෙනස වෙන් කර හදුනා ගැනීමට නොහැකි වීම තුළින් මතු වෙන ප්‍රශ්ණයක් බවයි. එක්තරා පුවත්පත් ලිපියක ඇය මේ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් නෙත ගැටුණා.

ගොඩක් වරද්දගෙන තියෙන එකක් තමයි මේ ලිංගික අධ්‍යාපනය කියලා මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ ලිංගික ක්‍රියාවක් ගැන දෙන අධ්‍යාපනයක් කියලා. ලිංගික අධ්‍යාපනය කියලා කියන්නේ ලිංගික සෞඛ්‍ය ලිංගිකත්වය. වයසත් සමග තමන්ගේ ශරීරයේ හා මානසිකව වෙනස්වන දේ පිළිබදවයි මෙහිදී ඉගැන්වෙන්නේ. ලිංගික ක්‍රියාවක් ගැන කියලා දෙන එක නෙවෙයි. ඒක පුළුල් මාතෘකාවක්. ඒ පුළුල් මාතෘකාව සියලුම දරුවන් කුඩා කාලයේ සිටම දැන ගත යුතු දෙයක්. කොහොමද පිරිසිදු වෙන්නේ. මොකක්ද පෞද්ගලිකත්වය කියන්නේ. වෙන කෙනෙකුට වඩා තමන්ගේ ශරීරය කොහොමද වෙනස් වෙන්නේ, ශරීරය බලා ගැනීමට තමන්ට තියෙන වගකීම. අවුරුදු 05 - 06 සිට ඒ දැනුවත් කිරීම ටිකෙන් ටික කළ යුතුයි. අවුරුදු 10-11-12-13 විතර වෙන කොට ගැහැණු ළමයි ඔසප් වීම වෙනවා. පිරිමි ළමයින්ට වෙනම ක්‍රියාවලියක් සිදු වෙනවා. මේ පිළිබදව අවබෝධය ඉතා වැදගත්. ඒක මහ ලොකු මැජික් එකක් නෙවෙයි.

ලිංගිකත්වය යන්න සමාජයෙන් හෝ සංස්කෘතියෙන් බැහැරව හැදෑරීමට හැකි දෙයක් නොවෙයි. 2012 වර්ෂයෙහි අන්තර්ජාලයේ ගූගල් සෙවුම් යන්ත්‍රයේ “සෙක්ස්” කියන වචනය වැඩියෙන්ම සෙවූ පිරිස සිටින රට ලෙස ශ්‍රී ලංකාව පළමු තැනට පත්වුණා. මේ දත්තය පිළිබඳ අනාවරණය වුණේ ගූගල් සමාගම කළ සමීක්ෂණයකදී. මේ වාර්තාව තහවුරු කරන ආකාරයට 2012 වර්ෂයේ අප්‍රේල් 15 වන දින සිට 21 වන දින යන කාලයේදීත්, දෙසැම්බර් මාසයේ 23 වන දින සිට 29 යන කාලයේදී සෙක්ස් කියන වචනය සෙවුම් යන්ත්‍රවලට ඇතුළත් කරලා තිබෙන්නේ වැඩි නිවාඩු ප්‍රමාණයක් ඇති මාසවල. ඒ අප්‍රේල් සහ දෙසැම්බර්වල. විශේයෙන්ම ඒ දරුවන්ට නිවාඩු ලැබෙන කාල සීමා දෙකක. ශ්‍රී ලංකාව, ඉන්දියාව, පැපුවා නිව්ගිනියා, ඉතියෝපියාව, පාකිස්ථානය, බංග්ලාදේශය, වියට්නාමය, නේපාලය, සෝමාලියාව, කාම්බෝජය වැනි රටවල් මෙම වචනය වැඩි වශයෙන්ම සෙවූ රටවල් ලෙස පෙරමුණේ සිටිනවා- ඒ අතර ඉන්දියාවේ බැංගලෝරය ප්‍රමුඛස්ථානයේ පසු වෙනවා. අභාග්‍ය සම්පන්න කරුණ වන්නේ ශ්‍රී ලංකාව ද පෙරමුණේ සිටීමයි. 

ලිංගිකත්වය පිළිබඳව තොරතුරු වගේම දර්ශන සොයා ගෙන යාම සඳහා යොවුන් විය සහ නව යොවුන් විය ගත කරන පිරිස් පෙළඹී සිටිනවා. පාසල් අධ්‍යාපනය තුළ විධිමත් ලෙස දරුවන්ට ලිංගික අධ්‍යාපනයක් ලබා නොදීම, ලිංගිකත්වය පිළිබඳව සමාජය තුළ විවෘත සංවාදයක් ගොඩ නොනැගීම, ලිංගිකත්වය යන මාතෘකාව සම්බන්ධයෙන් අධ්‍යාපනයක් ලබාදීම තහනම් මාතෘකාවක් බවට පත් කිරීම මෙවැනි වටපිටාවක් නිර්මාණය කිරීමට හේතු සාධක වෙනවා. ඔබ දන්නවා ඇති සෞඛ්‍ය අධ්‍යාපනය පාසල් විෂය ධාරාවෙහි විෂයක් ලෙස ඇතුළත් කර තිබෙනවා. නමුත් නිසි ලෙස පාසල් පද්ධතිය තුළ මෙම විෂය ඉගැන්වීම සිදුකෙරෙනවාද යන්න පිළිබඳව ගැටළුවක් තිබෙනවා. මෙම ලිපිය කියවන ඔබ පාසල් අධ්‍යාපනය ලබන සිසුවෙන් නම් ඇතැම්විට ඔබට මෙම අත්දැකීම තිබෙන්නට පුළුවන්. මෙම විෂය ගුරුවරු නොසලකා හරිනු ලබන විෂයක් ලෙස තිබෙන්නට පුළුවන්. නැත්නම් එම විෂය සඳහා වෙන් වූ කාල පරිච්ඡේදය වෙනත් විෂයන් ඉගැන්වීම සඳහා යොදා ගැනෙන්නටත් පුළුවන්. එහෙමත් නැත්නම් විභාග රටාව තුළ සෞඛ්‍ය අධ්‍යාපනයට අදාළ ප්‍රශ්න මූලිකව නොතිබීම ප්‍රධාන ගැටළුවක් වී තිබෙන්නට පුළුවන්. මෙයින් අපට ගම්‍යමාන වන ප්‍රධානතම කාරණාව තමයි අපේ සංස්කෘතිය ආකල්ප හා හරයාත්මක පසුබිම මත අධ්‍යාපනික වශයෙන් හෝ ලිංගිකත්වය පිළිබඳව කතා කිරීමට ඇතැම් ගුරුවරු පවා මැලි කමක් දැක්වීම. එහි ප්‍රතිඵලය වන්නේ දරුවන් අවිධිමත් මාර්ග ඔස්සේ ලිංගිකත්වය පිළිබඳව කරුණු සෙවීමට උත්සාහ ගැනීමයි. ඉන් නොනැවතී ඔවුන් ප්‍රායෝගික හැදෑරීම් කරන්නට පවා පෙළඹී සිටිනවා. මෙහි අවසන් ප්‍රතිඵලය වන්නේ දරුවන් ලිංගික අපචාර, අපයෝජන සහ අඩත්තේට්ටම්වලට ගොදුරු වීමයි. මෙය සමාජ සන්තතියේ ඉදිරිගාමී ප්‍රගතශීලී ක්‍රියාවලියට මරු පහරක්.

ලිංගිකත්වය කියලා කියන්නේ සමාජය තුළ හෝ අධ්‍යාපනය තුළ සඟවා කතා කළ යුතු මාතෘකාවක් නොවෙයි. මිනිස් ශරීරය පිළිබඳව මිනිසා සහ ගැහැණිය අතර ඇතිවන කායික බැඳීම් පිළිබඳව කතා කිරීම සිදු නොවිය යුත්තක් හෝ අශීලාචාර කමක් නොවෙයි. අවිධිමත් ලෙස සොයාගෙන යෑම අවදානම් සහගත වෙනවා. විධිමත් ලෙස අධ්‍යාපනාත්මකව එය ලබාදීම දරුවන්ගේ සුරක්ෂිතභාවය පිණිස හේතු වෙනවා. නමුත් දකුණු ආසියාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින තෙවන ලෝකයේ රටවල් මෙම ගැටළුව නිසියාකාරව හඳුනාගෙන නොමැති වීම අභාග්‍යයට කරුණක්. ශ්‍රී ලාංකික සංදර්භය තුළ, සමාජ පරිස්ථීතිය තුළ මෙම කරුණ දෘෂ්ටිගත කිරීම සර්ව කාලීන වන දෙයක්. නීතිපති දෙපාර්තමේන්තුවේ ජනාධිපති අතිරේක නීති ලේකම් නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කරන ආකාරයට ඉතිහාසයේ වැඩිම ළමා ලිංගික අපයෝජන නඩු ප්‍රමාණය වාර්තා වුණේ 2020 වර්ෂයේදී. ඉකුත් වසරෙහි ගෙවුන මාස කිහිපය තුළ සෑම පැය දෙකකට වරක් ම දරුවෙක් දූෂණය වන බව වාර්තා වුණා. ඒ වගේම ළමා ලිංගික අපයෝජන වැළැක්වීම සඳහා නිසි සන්නිවේදන ක්‍රියාවලියක් නොමැති වීමද මෙයට හේතු සාධකයක් වුණා. 2020 වර්ෂයෙහි ළමා දූෂණ සිදුවීම් 1169 ක්, වැඩිහිටි කාන්තා දූෂණ 281ක් වශයෙන් වාර්තා වුණා. ඒ වගේම තමයි ළමා අපචාර සිදුවීම් 4029 ක් වාර්තාවීමත් සමඟ සමාජ, අධ්‍යාපනික, සංස්කෘතික වශයෙන් අපි නොදැනුවත්වම විශාල පෙරළියකට මුහුණදීමට සිදු වී තිබුණා. අද ලංකාවේ දිනකට ගබ්සාවීම් 1000ක් පමණ සිදු වෙනවා. ඒ අතර පාසල් ශිෂ්‍යාවෝ ද ඇතුළත් වීම විස්තීර්ණ වූ සමාජ සංදර්භයේ අධෝ ව්‍යුහයට හා උපරි ව්‍යුහයට හානි පැමිණවීමක්. 

දියුණු රටවල දරුවන්ට අධ්‍යාපනික වශයෙන් විධිමත් සහ විවෘත සංස්කෘතික පසුබිමක් සහිතව කුඩා කාලයේ සිටම ලිංගිකත්වය පිළිබඳ පූර්ණ දැනුමක් ලබා දෙනවා. නමුත් ආවරණ සහිත අපේ සංස්කෘතික නැමියාවන් විසින් රෝපණය කරනු ලැබූ ගතානුගතික ආකල්පවල බලපෑම නිසාත්, අධිවේගී දුම්රියන් වගේ ධාවනය කරන තරඟකාරී ජීවන රටාවන් නිසා මව්පියන්ගෙන් එම දැනුවත්වීම නොලැබෙනවා. මෙවන් පසුබිමක් තුළ කුතුහලයෙන් පිරුණු ළමා මනස තම මිතුරු මිතුරියන්ගේ හා ඒ පිළිබඳ සොයා යන්නට ඇති වෙනත් මාර්ගවලින් ලිංගිකත්වය පිළිබඳව සොයා යනවා. ඔවුන් සංහතික මාධ්‍ය ඒ සදහා උපයෝගී කර ගනු ලබනවා. එය වැළැක්විය නොහැකි කාරණයක්. මෑත කාලයේ දී වැඩිහිටියන් අතර දක්නට ලැබෙන ලිංගික කුහකත්වය ද වැඩි වී තිබීම ද කණගාටුවට කරුණකි.

මාර්ෂල් මැක්ලූහන්ගේ විශ්ව ගම්මාන සංකල්පයත් සමග විස්ථාරණය වූ ගෝලීය ලෝකය තුළත් විධිමත් ලිංගික අධ්‍යාපනයක් නොමැතිකම නිසා නොදැනුවත් බව වගේම අනවබෝධය හේතුවෙන් දුෂ්කර ප්‍රදේශවල සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්නට කොළඹ පැමිණෙන දරුවන් ලිංගික අපරාධවල ගොදුරු බවට පත්වෙනවා. මෙය කොළඹට පමණක් පොදු වූ කරුණක් නෙවෙයි.  සමස්ථ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ මෙම ශෝචනීය තත්වය දැකගන්නට පුළුවන්. ඇතැම් අවස්ථාවලදී එවන් අත්දැකීම් හා සිදුවීම් පිළිබදව විශ්ව විද්‍යාල තුළ මෙන්ම ඉන් පිටතදීත් මාහටත් අසන්නට ලැබෙන වාර ගණන සිතා ගන්නටවත් පවා නොහැකිය. මෙය එක්තරා වූ සමාජ සෝදාපාළුවේ ලක්ෂණයක්. ඩෙස්මන්ඩ් මොරිස් නම් වූ කතුවරයාගේ මනුසත් උයන, නිරුවත් වානරයා, නිරුවත් ගැහැණිය වැනි ලිංගිකත්වය පිළිබඳව ලියැවුණු උසස් පොත් පරිශීලනය කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉතා අල්පයි. පාසල් ගුරුවරුන්ගේ සිට විශ්වවිද්‍යාල ගුරුවරයා දක්වාම බහුතරයක් ගුරුවරු ලිංගිකත්වය පිළිබඳ කාරණාවේදී සාම්ප්‍රදායික ආකල්ප මත සිරවී සිටිනවා.  මෙයට කදිම සන්නිදර්ශනයක් ලෙස දැක්වුවහොත් විශේෂයෙන්ම බාලිකා පාසල් වල තරුණ පිරිමි ගුරුවරු උසස් පෙළ සිංහල විෂය නිර්දේශයට අදාළ රත්නාවලී නාට්‍යය තුළ ඇති ශෘංගාරාත්මක රස ජනනය වන අවස්ථාවන් ඉගැන්වීම් ක්‍රමවේදය තුළ මගහැර යන අවස්ථා දැක ගන්නට ලැබෙනවා. 

ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, සෞඛ්‍ය අමාත්‍යංශය, අධ්‍යාපන විශේෂඥයින් ලිංගික අධ්‍යාපනය දරුවන්ට ලබා දීම පිළිබඳව ප්‍රතිපත්ති නිර්මාණයේදී මූලිකව කටයුතු කළ යුතුයි- මේ පිළිබඳව සාමාජීය වශයෙන් පොදු සම්මුතියක් සමාජය තුළ තිබිය යුතුමයි- දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබා දීමේදී එය ලබා දිය යුතු මට්ටම හා සීමාව, එය ලබා දිය යුත්තේ කොහොමද යන්න පිළිබඳවත් තීරණය කළ යුතුයි.

 

දරුවා සුරක්ෂිතව රටකට බාර කිරීම දෙමව්පිය ඔබ සතුයි.  දරුවන්ට විධිමත් අධ්‍යාපනයක පසුබිම සැකසීම වගකිව යුත්තනි, ඔබ සතුයි. සමාජය තුළ භේද බින්න භාවය අඩු වී සමාජ අනුකලනය වර්ධනය කිරීම දරුවනි ඔබ සතුයි. 

Top