කැට කිරිල්ලියට පවා ඇගේ කැදැල්ලෙහි කැමති දෙයක් කතා කිරීමෙහි නිදහස ඇත. එහෙත් ඔබට??? (527)

post-title

ඔබ ලියනවා....තව ලියනවා....තව දුරටත් ලියනවා.....

ඔබ කියනවා....තව කියනවා....තව දුරටත් කියනවා.....

මුලින්ම ප්‍රශ්නයක්...,

ඔබ ලියන්නේ සහ කියන්නේ ස්වයං වාරණයකට යටත්ව ද? ඔබ ලියන දෙයින් හෝ කියන දෙයින් ඕනෑම සංදේශයක් ග්‍රාහකගත කිරීමට ඕනෑම අවස්ථාවක දී නිදහසක් පවතිනවා ද?

මා විශ්වාස කරන ආකාරයට ඔබ බොහෝ දෙනා භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය භාවිතා කරන්නේ යම් කිසි සීමාවකට යටත්වය. නිදහස් මතවාදී චින්තනයක ඔබ සිටිනවානම් ප්‍රජාතන්ත්‍රානුයෝජන සන්නිවේදන සංකල්පය තුළ ඔබේ අදහස් මෙහෙයවිය හැකිය. එය කළ යුත්තේ මාධ්‍ය ආචාරධර්මයන් හෝ ඔබේ ප්‍රතිපත්තිමය ආචාරධර්මයන්ට කිසි ලෙසකින්වත් හානියක් නොවන පරිද්දෙනි. 

ලටුකිකාපි බො අම්බට්ඨ සකුණිකා

සකෙ කුලාවකෙ කාමලාපිනී හෝත

කැට කිරිල්ලියට පවා ඇගේ කැදැල්ලෙහි කැමති දෙයක් කතා කිරීමෙහි නිදහස ඇත.

( දීඝනිකාය අම්බට්ඨ සුත්ත )

අධිපතිවාදී සන්නිවේදන සංකල්පයේ ප්‍රතිවිරුද්ධ අවස්ථාවක් ලෙස නිදහස් මතවාදී සන්නිවේදන සංකල්පය හදුනාගත හැකිය. 16, 17 යන සියවස්වල රෝපණය වූ මෙම සංකල්පය 19 වන සියවසෙන් පසු ඝාතීය ලෙස වර්ධනය වන්නට විය. ඓතිහාසික වශයෙන් බලන විට ප්‍රබල දේශපාලන හා මතවාදී අරගලයන් සිදු වූ බව ඉතිහාසය මැනවින් අධ්‍යයනය කරන විට ප්‍රත්‍යක්ෂ වේ. 17 සහ 18 වැනි ශත වර්ෂවල ධනේෂ්වර දෘෂ්ටිවාදීන්ට අනුව සම්පූර්ණ ජනමාධ්‍යවේදයට නිදහස අත්‍යවශ්‍ය කරුණක් විය. අදහස් වල නිදහස් වෙළදපොළක් අවශ්‍ය බව ජෝන් මිල්ටන් (John Milton) ප්‍රකාශ කළේ ඒ නිසාවෙනි. ඒ නිදහස් අදහස් වෙළදපොළ අවකාශය තුළ බොරුව නිශ්ප්‍රභා කරමින් යටපත්ව තිබූ සත්‍ය මතවාදී අයුරින් මතු කර ගැනීමට මෙහිදී හැකියාව තිබිය යුතු බව සරල අදහසයි. දේශපාලන හා මතවාදී අරගලයේ දී සත්‍ය වැඩවසම්වාදී- රාජාණ්ඩු ස්ථාවරයට වැදගත් නොවූ බව හොදින්ම පෙනුණ කරුණකි. ඔවුනට අවශ්‍ය වූයේ මතවාදීමය දෘෂ්ටිමය කාර්ය තුළින් තම වැඩවසම්වාදී- රාජාණ්ඩු ස්ථාවරය සිය ආධිපත්‍යය තහවුරු කිරීම සදහා විවිධ අසත්‍ය ප්‍රචාර, ජනතාව රැවටීම, තොරතුරු විකෘති කිරීම, අපවාද ප්‍රචාරය ආදිය සිදු කිරීමයි. නමුත් ධනේෂ්වරය තුළ සමාජ ඓතිහාසික ක්‍රියාකාරීත්වයේ නිදහස නැවත ප්‍රතිෂ්ඨාපනය කරමින් සමාජ සංවර්ධනය උදෙසා අසත්‍ය නිශ්ප්‍රභා කිරීමට අවකාශය නිර්මාණය කළේය.

විශේෂයෙන්ම 17 සහ 18 වන සියවස්වල මධ්‍යතන යුගයේ පුනරුදයත් සමග විද්‍යාත්මක ක්ෂේත්‍රයේ ඇති වු දියුණුවත් සමග ඒකාධිපතිත්වයට හා කතෝලික පල්ලියේ බලයට එරෙහිව විවිධ මතවාදයන් ගොඩ නැගීම නොවැළැක්විය හැකි කාරණයක් විය. තාර්කිකත්වය සහ බුද්ධිය පදනම් කර ගනිමින් නිදහස් මතවාදී සංකල්පයේ ගොඩ නැගීම වර්ධනය වූ බව ඉදුරාම ප්‍රකාශ කළ හැකිය. එයට උපස්ථම්භනය වූයේ විද්‍යාත්මක ක්ෂේත්‍රයේ ඇති වූ දියුණුවයි. මුඛ්‍ය ලෙසම අයිසැක් නිව්ටන් සහ චාල්ස් ඩාවින් වැනි විද්‍යාත්මක ක්ෂේත්‍රයේ නිපන් විද්‍යාඥයන්ගේ සොයා ගැනීම් මෙන්ම ඇඩම් ස්මිත් නැමති ආර්ථික විද්‍යාඥයාගේ ආර්ථික උපදේශයන් ද ජෝන් ලොක් සහ රූසෝ වැනි අධ්‍යාපනඥයන්ගේ අදහස් ද මෙම චින්තනය සමාජගත කිරීමට මෙන්ම ප්‍රතිශ්ඨාපනය කිරීමට හේතු විය.



අධිපතිවාදී බලවේග වලට එරෙහිව ප්‍රගතිශීලී කොටස් ගෙන ගිය අරගලයේ දී ඉදිරිපත් වූ පූර්ණ නිදහස පිළිබද සංකල්පය මගින් පුද්ගල ලෝක දෘෂ්ටිය ඇසුරින් මතවාදී යාන්ත්‍රණය ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙයි. මිනිසා තමා කෙරෙහිත්, ලෝකය කෙරෙහිත් දක්වන විද්‍යාත්මක, දාර්ශනික, සමාජ දේශපාලනික සදාචාරාත්මක, ආගමික, සෞන්දර්යාත්මක ආකල්ප සංකීර්ණය පිළිබද ඕනෑම දෘෂ්ටිවාදයක්, මතවාදයක් දැරීමට පහසු විය යුතුය. මෙහිදී ප්‍රජානන කාර්යයේ දී වුවද පුද්ගලයාගේ චින්තනය තුළ යථාර්ථය පරාවර්ථනය වීමේ සහ ප්‍රතිනිශ්පාදනය කිරීමේ ඓතිහාසික ක්‍රියාදාමයක් මේ තුළ ගැබ්ව තිබෙයි. ඒ නිසා පුද්ගලයාට ස්ව විඥාණය ඇසුරින් නිදහස් මතවාදී සන්නිවේදනයක් ඇති කිරීමේ ආවෘත නොවුණු විවෘත නිදහසක් පැවතීම ඉතාම වැදගත්ය.

තෝමස් ජෙෆර්සන් නැමැති නිදහස් චින්තකයාගේ අදහස වූයේ යම් පුද්ගලයෙකුගේ යහපත හදුනාගෙන ඒවාට උචිත සැලැස්මක් සකස් කිරීම රජයේ කාර්යය නම් යමක් මුද්‍රණයෙන් පළ කොට අදහස් ඉදිරිපත් කරන්නා වූ පුද්ගලයෙකුට විරුද්ධව එම රජය තීරණය ගන්නේ නම් ඊට එකහෙළාම විරුද්ධ විය යුතු බවය. විවේචනයන් දැරිය නොහැකි රජයක් වහා පෙරළා දැමිය යුතු යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය. ජෝන් ලොක්ට අනුව බලය පිළිබද කේන්ද්‍රස්ථානය වන්නේ ජනතාවගේ කැමැත්තයි.

( සෙනරත්, සුගත් මහින්ද; සන්නිවේදනය සහ ජන සන්නිවේදනය )

මා ඔබට සිතන්නට යමක් ගෙනෙන්නම්. ඒ ජෝන් ස්ටුවර්ට් මිල් සදහන් කල කරුණකි. ජෝන් ස්ටුවර්ට් මිල් ^On Liberty) නැමැති නිබන්ධනය ලියමින් ඔහු සදහන් කරන්නේ මෙවැන්නකි.

එක් මිනිසෙකු හැරුණු කොට එකම අදහස් දරන්නේ නම් එම විරුද්ධ අදහස් දැරුවා වූ මිනිසා නිහඩ කිරීමට පිරිස ඉදිරිපත් වන්නාක් මෙන්ම මුලු පිරිස ද නිහඩ කිරීමට අයිතියක් ඒ පුද්ගලයාට තිබිය යුතුවේ. ඒ මන්ද කිවහොත්, පළමුව අප කිසියම් මතයක් නිහඩත්වයට පත් කරන්නේ නම් සමහර විට එසේ නිහඩත්වයට පත් කරන්නේ සත්‍ය වීමට ඉඩක් ද ඇති නිසාය. දෙවනුව කිසියම් කෙනෙකු පවසන ලද්දේ සාවද්‍ය මතයක් වුවත් ඒ මතය සැබෑ සත්‍යය දැන ගැනීමට සමහරක් විට අපට හැකි වනු ඇත. ඒ අල්ප මාත්‍ර වූ සත්‍යයක් ද එහි තිබෙන්නට ඉඩක් ඇති නිසාය. තුන්වනුව ස්වභාවයෙන් සම්මත වූ අදහස් සම්පූර්ණ ඇත්තක් වුවද එය සැබෑ සත්‍යය ද යන්න තර්කානුකූලව දැනගන්නා තුරු එය සත්‍යයක් ද නොවේ. සම්මතයැයි පිළිගන්නා ලද සත්‍යය කාලයෙන් කාලයට අභියෝගයකට ලක්කොට පරික්ෂා නොකරන්නේ නම් එහි ඇති ජීවයත් බලපැවැත්මත් පිළිබද දැනුමක් ලබා ගත නොහැකිය.

ඒ අනුව ඔබට තවත් දිශානතියක් පිළිබදව සිතන්නට සිදුවෙයි. එනම් නිදහස් මතවාදී සන්නිවේදන සංකල්පය තුළ ඔබේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස භාවිතා කරන්නේ කුමක් අරභයා ද? සත්‍ය ස්ථාපනය කොට අසත්‍ය නිශ්ප්‍රභ කිරීම සදහා ද? අසත්‍ය ස්ථාපනය කොට සත්‍ය නිශ්ප්‍රභ කිරීම සදහා ද?

මනුෂ්‍යයා සැබැවින්ම උත්පත්තිය ලබන්නේ ස්වාධීන පුද්ගලයෙකු ලෙස නම් ඒ පුද්ගලයාගේ ස්ව විඥාණයට කිසිදු ලෙසකින්වත් බාධාවන් එල්ල කිරීමට කිසිවෙකුට අයිතියක් නැත. ගෝලීය ධනේෂ්වරය තුළ එම තත්ත්වය තවදුරටත් ගොඩ නගා ගත යුත්තේ සියලුම සංදර්භයන්හි සංකලනයෙනි. ඒ නිසා ඔබේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස උල්ලංඝනය කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන්න. ඔබ අරගල කළ යුත්තේ ඒ අයිතිය තමන් වෙනුවෙන් ලබා ගැනීම උදෙසාය.

Top