හුස්මකට වෙනසක්... කැපකිරීම් කරන්න. හැබැයි ඒ හිනාවෙන්නවත්, අඬන්නවත් බලාගෙන නෙවෙයි.(270 වන ලිපිය)

post-title

වැරදි සාධාරණීකරණය කරන්න මිනිස්සු හරිම දක්ෂයි. තමන් අතින් වුණූ අඩුපාඩුවකට වෙනත් කෙනෙක්ව හේතුවක් කරගෙන ඒ වැරදි සාධාරණිකරණය කරන්න සමහර මිනිස්සු හරිම දක්ෂයි. ඒ අතරම චෝදනා පිට චෝදනා අහගෙන තවදුරටත් කැප කිරීම් කරගෙන තවත් කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙන මිනිස්සු හරිම දුර්වලයි... කියලද ඔබ හිතන්නේ? කොහෙත්ම නැහැ. ඒ තමයි මේ ලෝකෙ ඉන්න ශක්තිවන්තම මිනිස්සු. මොකද හැමෝටම ලැබෙන්නේ නැති, හැමෝටම දරාගෙන ඉන්න බැරි තරම් ඉවසීමක් ඒ මිනිස්සු තුළ තියෙන නිසා. බලාපොරොත්තු විරහිතව කැපකිරීම් කරලා ලැබෙන ප්‍රථිපලය කුමක් වුවත් ඒ දේ දරාගෙන ඉන්න පුළුවන් නිසා. ඉතින් ඒක නිසා ඒ වගේ මිනිස්සු දුර්වල නම් නැහැ, හැබැයි හරිම දුර්ලභයි.

ඉතින් මේ අපි කෙනෙක් වෙනුවෙන් කරන කැප කිරීමක අවසානය අපි බලාපොරොත්තු වෙන ආකාරයේ සතුටක් වුණොත්...කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි ඒ කැපකිරීම්වල අවසානය දරාගන්න බැරි තරමේ දුකක්, කලකිරීමක්, කඩාවැටීමක් වුණොත් අන්න ඒ තැනට වැටීමකින් තොරව මුහුණ දෙන්න හිත හදා ගන්න අපිට පුළුවන් ද? පුළුවන්. හැබැයි ටිකක් අමාරුයි. ඒත් ඒ තැනට හිත හදාගත්තට පස්සේ ඔබට ජීවිතේ මෙතෙක් කල් නිකරුණේ වැය කරපු බොහෝ දේවල් ටිකක් ඉතිරි වෙන්නට පටන් ගනියි. තර්ක-විතර්ක, හඬා වැළපීම්, පසුතැවීම්, ඉවරයක් නැති ඔප්පු කිරීම් මේ හැම දෙයක්ම. 

අපි ගොඩක් වෙලාවට කෙනෙක් වෙනුවෙන් කැප කිරීම් කරන්නේ අනෙක් අතට අපිටත් ඒ වගේම ලාභයක් ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙන්. අඩුම තරමේ භෞතික දෙයකින් නොවුණත් මානසිකව හරි සතුටක්, සැනසීමක් බලාපොරොත්තුවෙන්. ඉතින් හිතලා බලන්න අපි වටේට ඉන්න හැමෝම හැම වෙලාවෙම කරන්නේ අපිව සතුටු කරවන දේවල්මද? ගොඩක් වෙලාවට ඒ ප්‍රශ්නෙට එක පාරටම ඔබේ හිතට ආව උත්තරේ “නැහැ” වෙන්න පුළුවන්. නැත්නම් සමහරවිට “ඔව්” වෙන්නත් පුළුවන්. හැබැයි ඒ මොනව වුණත් අපේ යටි සිත බලාපොරොත්තු වෙන්නේ මේ අපි වටේට ඉන්න හැමෝම කරන්න ඕනි අපිට සතුට, සැනසීම ලැබෙන දේවල් විතරමයි කියලා. අපි කරන කැප කිරීම් වල ප්‍රථිපලය විදිහට අපිට ලැබෙන්න ඕනි කීර්ති, ප්‍රශංසා, වර්ණනා විතරමයි කියලා. ඉතින් ඒ දේවල් එහෙම නොවුණොත්??? දුක, කලකිරීම, එපා වීම මෙන්න මේ දේවල් වලට අපිව හසුරවන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. 

දැන් කාලයක පටන් සමාජයේ පොත් කියවන්නට, බණ දහම් අසන්නට කැමැත්තක් දක්වන වැඩි දෙනෙක් අතර බොහෝ කතාබහට ලක් වුණු සිනාසෙන සුදු හාමුදුරුවො ගැන සමහරවිට ඔබත් අහලා ඇති. උන් වහන්සේ එක තැනකදි දේශනා කර තියෙනවා ඔබ දුක් වෙන්න ඕනි ඔබේ අතින් කාගේ හෝ හිතක් රිදෙන යමක් වුණොත් අන්න ඒ දේට මිසක් වෙනත් කිසිවෙක් ඔබේ හිත රිද්දන දෙයක් කළහොත් අන්න ඒ දෙයට නෙවෙයි කියලා.

ඉතින් ඇත්තටම ඔබ දුක් වෙන්න ඕනි, වග කියන්න ඕනි ඔබ කරන දේවල් වලට මිසක් අනෙක් අය ඔබට කරන දේවල් වලට නෙවෙයි. ඔබේ ගෙදරට එන අමුත්තෙකුට ඔබ පිළියෙළ කරලා දෙන කෑම වෙලක රස අඩු වුණෝතින් අන්න ඒ දෙයට ඔබ වග කියන්න ඕනි. හැබැයි ඔබ හෝටලයකට ගිහින් ඒකෙදි ඔබට ලැබෙන කෑම වේලෙහි රසෙහි අඩුවක් වුණොතින් ඒකටත් වග කියන්න ඕනි ඔබම ද? නැහැ. 

දිනක් එක්තරා තරුණයෙක් ඔහු විශ්ව විද්‍යාලයේ සිටි කාලයේ ඔහුගේ වැඩිමහල් මිතුරෙකු සමග තරමක් දිග කතා බහකට එළඹෙන්නේ කාලයකට පසුවයි. පසුව ආ ගිය තොරතුරු විමසා බලන ඔවුන් එක්වරම ඔවුන්ගේ විවාහ ජීවිතයන් පිළිබඳව කතා බහ කරන විට මෙම මිතුරාට ඔහුගේ වැඩිමහල් මිතුරාගෙන් දැනගන්නට ලැබුණේ ඔහු වසර දහයකට අධික ප්‍රමාණයක් පවත්වාගෙන ආ ප්‍රේම සම්බන්ධය එම තරුණියගේ කැමැත්ත පරිදි නතර කළ බව සහ පසුව ඇය එසැණින් වෙනත් තරුණයෙකු හා විවාහ වුණු බවයි. ඇසූ සැණින්ම ඉතාමත් පුදුමයට පත් වුණු මෙම තරුණයා ඔහුගේ වැඩිමල් මිතුරාගෙන් විමසන්නේ, ඇය ඉතාමත් දරිද්‍රතාවයෙන් පෙළෙන කල්හි ඔබ ඇයට අවැසි සියළු දෑ ඔබ දිගු කාලයක් තිස්සේ ලබා දුන්නා, ඇගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නට කරන්න පුළුවන් හැම උපකාරයක්ම ඔබ ඒ වෙනුවෙන් කළා. ඇගේ ප්‍රශ්න සියල්ලකදීම ඔබ ඇය වෙනුවෙන් හැම මොහොතකම පෙනී සිටියා. ඉතින් ඒ තරම් ඇය වෙනුවෙන් කැප කිරීම් කළ ඔබ කොහොමද ඇයට එහෙම යන්න දුන්නේ? 

එවිට මෙම වැඩිමහල් මිතුරා හරි අපූරු පිළිතුරක් සිය මිතුරාට ලබා දෙනවා. මිත්‍රයා, ඇය අග හිඟකම්වලින් පෙළෙන දවස්වල මම ඇයට අවශ්‍ය සියළු දෑ ලබා දුන්නේ ඇය කෙදිනක හෝ ඒ දේවල් හෝ ඒ ආසන්නයේ දෙයක් මං වෙනුවෙනුත් කරයි කියන බලාපොරොත්තුව ඇතිව නෙවෙයි. ඇයට ඒ මොහොතෙහි ඒ දේවල්වල අවශ්‍යතාවයක් තිබුණත් ඇයට ඒවා ලබා ගැනීමට තරම් වත්කමක් නොතිබුණූ නිසා. මං ඇයගේ අධ්‍යාපනයට අවශ්‍ය හැම උපකාරයක්ම කළේ ඇය ඒ කෙරෙහි දක්වපු දක්ෂකම නිසා වගේම ඇගේ හීනයන් මා හොඳින් හදුනාගත් නිසා මිස ඇගේ උගත්කම මගේ උජාරුවට කරුණක් වීමේ බලාපොරොත්තුවක් ඇතිව නෙවෙයි. ඒ වගේම ඇගේ හැම ප්‍රශ්නයකදිම මම ඇයත් සමග එකට හිටියේ මම ඇයට බොහෝ සෙයින්ම ආදරය කළ නිසා මිස ප්‍රශ්න ඉවර වුණ තැන ඇය මාත් සමගම ඉදිවි යැයි බලාපොරොත්තුවක් ඇතිව නෙවෙයි. ඉතින් පසුව ඇය ඇයට අවශ්‍ය මාර්ගය තෝර ගත්තම ඒ තීරණේ මට සතුටුදායක දෙයක්ම වෙන්න ඕනි ද? ඒ තීරණේ මාව සතුටු කරවන දෙයක් නෙවෙයි ඇයව සතුටින් තියෙන තීරණයක් නේද වෙන්න ඕනි. ඉතින් ඇය එහෙම තීරණයක් ගත්ත දවසට මට පසුතැවීමක්, කලකිරීමක් ඇති වනවා නම් මට ඇයත් සමග තිබිලා තියෙන්නේ එක්තරා ආකාරයක ගණුදෙනුවක් මිස හරියාකාර බැඳීමක් නෙවෙයි නේද? සමහරවිට ඇය මං කළ කැපකිරීම් වල වටිනාකම දන්නවත් ඇති සමහරවිට ඒ කිසි දෙයක් ඇය දන්නේවත් නැතුව ඇති. ඉතින් මට ඒ කිසිවක් දැන් ප්‍රශ්නයක් නෙවෙයි මොකද මං කිසිවක් බලාපොරොත්තුවෙන් ඇය වෙනුවෙන් මොකුත්ම කරලා නැති නිසා.

ඉතින් කැප කිරීම් කරන්න හැබැයි එක දෙයක් මතක කබාගෙන. ඒ ඒවගෙ ප්‍රථිපල ඔබ බලාපොරොත්තු වන දේ වෙන්නත් පුළුවන් ඔබ කිසිසේත්ම බලාපොරොත්තු නොවුණ දෙයක් වන්නත් පුළුවන්. කමක් නෑ ඕනම දෙයක් හිතට අවංකව ඔබ දන්නවා නම් ඒ හොඳටම ඇති. රටට ලෝකෙට ඔප්පු කරන්න ගිහින්, කෑ ගහලා නිවැරදි බව පෙන්වන්න ගියොත් ඔබ නිකන්ම වැරදිකාරයෙක් වෙලා ඉවරයි. ඔබ බලාපොරෝතු වෙන්න ඕනි ඔබේ ඉලක්කයන්, ඔබේ පැහැදිලි අරමුණු වෙනුවෙන් කරන කැපකිරීම් වල ප්‍රථිපලය විතරමයි. ඔබට වැදගත් වෙන්නෙත් ඒ ප්‍රථිපල විතරමයි. 

එහෙත් ඔබ වෙනත් කැපකිරීම්වල ප්‍රථිපලයනුත් බලාපොරොත්තු වෙනවා නම් මට ඔබට කියන්නට තියෙන්නේ එක දෙයයි. ඒ කෑම නීරස බව නොදැන නම් ඔබ හෝටලය තෝරගත්තේ, කමක් නැහැ ඔබ නැවතත් එයට ආපහු යන්නේ නැති වෙයි. ඒත් ඔබ ඔබේ මුදලට ලැබෙන්නේ හැමදාම හරිම නීරස කෑම කියලා දැන දැනත් ඒ හෝටලයම තෝරා ගන්නවා නම් ඉන් එහාට එතනට තව දුරටකත් යනව ද? නැද්ද? කියලා තීරණය කරන්නත් ඕනි ඔබම මිස වෙන කවුරුත්ම නොවෙයි.

එහෙම නම් අලුත් හුස්මකට ඉඩක් අරගෙන ලබන සතියේදීත් අපි නැවත හමුවෙමු.

Top