සෙල්ෆිය සැබෑ ජීවිතයෙන් ඔබව වියුක්ත කරයිද? (411)

post-title

තාක්ෂණය නිය තුඩට පැමිණීමත් සමඟ ම වර්තමාන මිනිසාට ඡායාරූප ගැනීම යනු අරුමයක් ම නොවීය. මිනිසුන් වන අප සැවොම අලංකාරවත් ඡායාරූපයකට ඇළුම් කරනවා සේම එය අද වනවිට ඡායාරූප ගැනීමේ උන්මාදයක් බවට පත්වී ඇත්තේ ද ඒ නිසාවෙනි. අතීත සමාජය තුළ නම් ඡායාරූපයක් ගැනීම යනු වෙනම ම ආකාරයේ කාර්යයක් වුවත් වර්තමානය වනවිට අද එකී කාර්යය නව පිටුවක් පෙරලා හමාරය. ඒ සෙල්ෆි ඡායාරූප ගැනීමේ හැකියාව මිනිසා වෙත ළඟා වීමත් සමඟය. 

ස්මාර්ට් ජංගම දුරකතනවල ආගමනයත් සමඟින් මිනිස් ජීවිතයේ බොහෝ දේවල් වෙනසකට ලක්විය. එකී වෙනස්වීම හමුවේ අද සෙල්ෆි පිළිබඳ ව නොදන්නා කෙනෙකු හෝ සෙල්ෆියක් නොගත්ත කෙනෙකු සොයාගැනීමට නොමැති තරම් ය. තමන් විසින්ම කැමරාව මෙහෙයවා ගනු ලබන ඡායාරූප “ සෙල්ෆි ” යනුවෙන් හඳුන්වනු ලබන අතර ලෝකයේ පළමු සෙල්ෆිය 1839 වසර තරම් ඈත අතීතයකට දිවයයි. ඒ ඇමරිකානු ඡායාරූප ශිල්පියෙකු වූ “ රොබට් කර්නේලියස් ” විසින් ගනු ලැබූ ඡායාරූපයත් සමඟය. වර්තමානයේ අප තත්පර දෙකක් තුනක් ඇතුළත ගනු ලබන සෙල්ෆිය, එදා එතරම්ම ඉක්මනින් හමුවී නොමැත. මන්ද රොබට් කර්නේලියස් මෙම ඡායාරූපය ගනු ලැබූයේ තාක්ෂණය අතින් ඉතා නොදියුණු යුගයක වීම නිසාවෙනි. ඉන් අනතුරුව 1900 වසරේදී දෙවැනි සෙල්ෆි ඡායාරූපය ගැනීම කාන්තාවක් අතින් සිදුවිය. නමුත් මේ ලෙස සෙල්ෆියේ උපත හැඳින්වුවද සෙල්ෆි ඡායාරූපයේ සැබෑ නිර්මාතෘ ලෙස බොහෝදෙනා හඳුන්වනුයේ මිස්ටර් බීන් එසේත් නොමැතිනම් Rowan Atkinson ය. එසේ හඳුන්වනුයේ Mr. Bean’s Holiday නැමැති චිත්‍රපටය තුළ කැමරාවක් අතැතිව මිස්ටර් බීන් සිදුකරන ලද කාර්යයන් නිසාවෙනි. කෙසේ නමුත් සෙල්ෆිය බොහෝදෙනා අතර ජනප්‍රිය වන්නේ මෑත කාලයේදී ය. ඒ 2002 වර්ෂයෙන් පසුවය.

අද ස්මාර්ට් ජංගම දුරකතනයෙන් අද්‍යතන මිනිසා අපේක්ෂා කරනු ලබන ප්‍රධාන කාර්යයක් වනුයේ ඡායාරූප සහ වීඩියෝ දර්ශන ලබාගැනීමයි. දැන් දැන් වර්තමානය වනවිට ඉතා ඉහළ තාක්ෂණික ගුණාත්මක බවකින් යුතු ඡායාරූපය ගැනීමේ හැකියාවක් ස්මාර්ට් ජංගම දුරකතනයට ලැබී ඇත. මෙසේ කැමරාවත් සමඟ පැමිණෙන ස්මාර්ට් ජංගම දුරකතනවලට බොහෝදෙනා යොමුවීමත් සමඟ සෙල්ෆි ගැනීම කලාවක් බවට පත්විය. මේ හේතුවෙන්ම සෙල්ෆි නමින් අති විශාල ඡායාරූප රැල්ලක් ලොව පුරා පැතිරිණි. එසේත් නොමැතිනම් එය සංස්කෘතියක් බවට පත්විය. වර්තමානය වනවිට වෙළෙඳපොළ තුළ ස්මාර්ට් ජංගම දුරකතන ඉතා අඩු මිලට මිලදී ගැනීමට හැකිවීමත් සමඟ මෙකී සෙල්ෆි ගැනීමේ කලාව උන්මාදයක් බවට ම පත්වී ඇත්තේ ඉබේටමය.

තමන්ගේ රූපයට තමන් පමණට වඩා ආදරය කිරීම, ඇලුම් කිරීම නිසා මෙසේ සෙල්ෆි ඡායාරූප ගැනීම සඳහා පුද්ගලයෙක්ව යොමුකරනු ලබයි. එසේත් නොමැති නම් තමා පෞරුෂයෙන් අඩු කෙනෙකු නම් හෝ සමාජය තුළ අඩු පිළිගැනීමක් ඇති කෙනෙකු නම් එකී කාරණාවන් යටපත් කර ගනිමින් තමන් පරිපූර්ණ කෙනෙක් බව අන්‍යයන්ට පෙන්වීම සඳහා දරනු ලබන උත්සාහයේ අන්තිම ප්‍රතිඵලය වන්නේ ද සෙල්ෆි ඡායාරූපයයි. මෙසේ තමන් කැපී පෙනීමේ අරමුණින් සෙල්ෆි ගැනීම කලාවක් කරගත් පුද්ගලයින් ද අද වත්මන් සමාජයේ නැතුවාම නොවේ.

කෙසේවුවත් අද වනවිට මෙකී සෙල්ෆිය මිනිස් ජීවිත අති විශාල අවදානමකට ලක්කර හමාරය. ඒ වර්තමානය වනවිට ලෝකය පුරා ඇතැම් මිනිසුන් තම ජීවිත පිළිබඳවවත් නොසිතමින්, අන්‍යයන්ගේ ජීවිත පවා අවදානමට ලක්කරමින් සෙල්ෆි ඡායාරූප ගැනීම සඳහා යොමුවීම නිසාවෙනි. එම පුද්ගලයන්ට සෙල්ෆිය යනු ද එක්තරා ආකාරයක ඇබ්බැහි වීමක් වැනිය. මේ හේතුව නිසාවෙන්ම අද ලෝකයේ ඇතැම් ස්ථානවල සෙල්ෆි ගැනීම නීතියෙන් තහනම් කර ඇත. එමෙන්ම සියලු ඩිස්නි උද්‍යානවල ද සෙල්ෆි ගැනීම තහනම් කර ඇත. දකුණු කොරියාවේත්, චීනයේ බීජිං නුවරත්, ඉන්දියාවෙහි ඇතැම් ස්ථානවලත් මෙම නීතිය ක්‍රියාත්මක කරනු ඇත. එසේ නීතීන් සම්පාදනය කොට ඇත්තේ ද ඇතැම් පුද්ගලයින් කල්පනාකාරීව කටයුතු නොකරමින් සෙල්ෆි ගැනීම හේතුවෙන් පුද්ගලයන් උස් ස්ථානවලින් වැටීම, දුම්රිය අනතුරුවලට ලක්වීම, දියඇලි, ගංගා ආදියට බිළිවීම යනාදී වූ බොහෝ අනතුරුවලට ලක්කිරීමට මෙම සෙල්ෆියට හැකියාවක් පවතින නිසාවෙනි. සෙල්ෆියක් නිසා එසේ ඇතැමුන්ට තම ජීවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවනුයේ ඔවුන්ගේම නොසැලකිලිමත්කම නිසාවෙන් මිස අන් කවරෙකුගේ හෝ වරදකින් නොවේ.

වර්තමානයේ ස්මාර්ට් ජංගම දුරකතනය හරහා මිනිසා සෙල්ෆි ගැනීමට යොමුවීම තුළ අති විශාල ඡායාරූප ප්‍රමාණයක් තමා සතුව ගොඩගැසීම තුළ ඒවා සියල්ලම පාහේ රසවිඳීමට කාලයක් ඔවුන්ට නොලැබෙනු ඇත. එසේනම් අද්‍යතනයේ පවතින කාර්යබහුල ජීවිතයත් සමඟ ඔවුන් තමා ලබාගත් සෙල්ෆි ඡායාරූප රසවිඳිනුයේ කවදාද? 

වර්තමානයේ තම සෙල්ෆි ඡායාරූපයම පමණක් ම ජීවිතය කරගත් ඇතැම් පුද්ගලයන් තම සැබෑ ජීවිතයේ සිදුවීම් අත්දැක ගැනීමට වඩා ඡායාරූපය ගැනීම ප්‍රධාන කොට සැලකීමට පුරුදු වී සිටිනු ඇත. තමා කිසියම් වූ කෑමක් ආහාරයට ගැනීමට පෙරත්, ආහාරයට ගන්නා අතරතුරත්, ආහාරය ගැනීමෙන් පසුවත් ඇතැමුන් සෙල්ෆි ගැනීම සිදුකරනු ලබයි. එමෙන්ම තමා වැදගත් ස්ථානයක් නැරැඹීමට ගිය අවස්ථාවකදී වුවත් ඇතැමුන් සිදුකරනුයේ සෙල්ෆි ගැනීම තම පළමු කාර්යය බවට පත්කර ගැනීමයි. නමුත් එහිදී ඔවුන්ට අමතක වන කරුණක් වනුයේ තම සැබෑ ජීවිතය ඒ හේතුවෙන් රසවිඳීමට නොහැකි වන බවයි. එසේ ඡායාරූපය ගැනීම ප්‍රමුඛ කොට සලකන ඔවුන් තමන් අත්දකින සැබෑ ජීවිතයෙන් වියුක්ත වනුයේ ද නිරායාසයෙනි.

මෙසේ වර්තමාන සමාජය දෙස බලන කල සෙල්ෆි කියන්නේම බැලූ බැල්මට චමත්කාරජනක ලෝකයකි. කුමන හෝ මත්ද්‍රව්‍යයක් ලබාගන්නා පුද්ගලයෙකුට එයින් මිදීමට අපහසු වනවා සේම ඇතැමුන් සෙල්ෆි ලෝකය තුළ අතරමං වී ඇත. ඒ ඔවුන්ටමත් නොදැනීමය. එසේ නමුත් සැබැවින්ම සෙල්ෆි ඡායාරූප කලාව තුළින් මතක සටහන් රැසක් එකතුකර ගැනීමට අවස්ථාව උදා වූ බව නම් සත්‍යයකි. එහෙයින් විය යුත්තේ සෙල්ෆි ගැනීම උන්මාදයක් බවට පත්කර නොගනිමින්, කල්පනාකාරීව එකී සෙල්ෆි කලාවෙහි නිරතවීමට කටයුතු කිරීමය. 

Top