පහුගිය දවසක බස් එකේ යද්දි තරුණ දුවෙක් පෝන් එකේ ස්ක්‍රීන් එක දිහා එබිලා බලන් ඉන්නවා. පැය භාගයකටත් වඩා ඒ දරුවාව නිරීක්ෂණය කරා මං. ඒත් කිසි හැලහොල්මනක් නැහැ. එතන එහා පැත්තෙ උන්න වයසක ඇන්ටි කෙනෙක් අර දරුවට තව අය එක්ක හරියට ඇනුම්පද කියුව. දැන් කාලෙ හැදෙන එවුන්ට පෝන් එකෙන් තොර ලෝකයක් නැහැ කියලා. ඒත් පස්සෙ තව ටිකක් හොඳින් නිරීක්ෂණය කරාම තමයි මං දැක්කෙ මේ දරුවා ගෝර්කිගේ අම්මා පොත ස්මාට් පෝන් එකෙන් කියෝනවා කියලා. ඉතින් අද ලියන්න හිතුවෙ මේ කාරණෙත් හිතේ තියාගෙනයි.
‘‘ ලෝකයට ජීවය දෙන්නෙ හිරු එළිය හා අම්මා ය’’
මතක ද ගෝර්කි අම්මා ගැන කියුව හැටි. ඔය කතාව මං කියෙවුවෙ මීට අවුරුදු ගානකට කලින්. මට මතක හැටියට දැදිගම වී රුද්‍රිගු ගේ පරිවර්තනේ. ඒකෙ තියෙන්නෙ හරි ලස්සන කතාවක්. එක පැත්තකින් දේශපාලනේ ගැන කියනවා අනික් පැත්තෙන් අම්මාගේ ආදරය ගැන කියනවා. ඔය කතාවෙ ඉන්න පුතා පාවෙල්. අම්මා ආන්නා. පාවෙල් විප්ලව කරනවා. ඒ සමාජ අරගලයක් සඳහා. ඒත් පාවෙල්ගේ විප්ලවය අවසානෙ කරට ගන්නෙ අම්මා. ඒත් ඒ අම්මා විප්ලවය ගැන ලොකු අවබෝධයක් තිබුන කෙනෙක් නෙවෙයි. ඒ හැමදේම ඇය කරන්නෙ තමන්ගෙ පුතා ගැන තිබුණ ආදරය නිසයි. ගෝර්කිගේ ඔය අම්මා පොතට පාදක වෙන්නෙ සත්‍ය කතාවක්. පාවෙල් කියන චරිතය ඇත්ත චරිතයක්. ඒ තමයි ප්යෝතර් සලෝමොව්. එයා 1903 දි සයිබීරියාවට පිටුවහල් කළ පිටුවහලෙක්. ඒ පිටුවහල් කළ පුතා ගේ අම්මාගේ චරිතය තමයි ආන්නා කියන අම්මාගේ චරිතය මගින් නිරූපණය වුණේ. ඒ කතාවෙ හැම තැනම තියෙන්නෙ අම්මා කෙනෙක් තමන්ගේ දරුවාට කොයිතරම් නම් ආදරය කරනවා ද කියන එක.
ඒ එක්ක ම අපිට දැනෙන තව දෙයක් තියෙනවා. ඒ තමයි දරුවෙක් ට මොනතරම් නම් අම්මලා ආදරේද? කියන එක. ඒ නිසා ම මං ඔයාටත් කියන්නෙ අම්මගේ ආදරේ තරම් උත්තුංග අමිල සම්පතක් කවමදාවත් හෑල්ලූවට ලක් කරන්න එපා කියන එක. ගෝර්කිගේ අම්මා තරම් ම දැනෙන අම්ම කෙනෙක් ගැනත් මං කියන්නම්. ඒ මහගම සේකර එයාගෙ ප්‍රබුද්ධ පොතේ ලියුව අම්මා.
‘‘ගල්වා ඉසෙහි තෙල් යහමින්
එල්ලා කරෙහි පංචායුධය
අල්ලා ගෙන අතින් මා
පාසලට එක්ක ගිය
අකුරු නූගත් අම්මා ඔබ ය.’’
මේ ලියන මගේ අම්මත් මහ දැවැන්ත අධ්‍යාපනයක් ලැබුව කෙනෙක් නෙවෙයි. ඒත් අම්මා අපිට පාඩම් කරන්න දීලා ළඟට වෙලා උපස්ථාන කරා. අපි මහ ලොකු විභාග පාස්කරද්දි අපිට හොරෙන් සතුටු කඳුලු හැලුවා. බලාන ගියාම සාහිත්‍යය ඇතුළෙ හම්බෙන මේ හැම අම්මා කෙනෙක් ම අපේ ජීවිතේ ඉන්න අම්මට සමීපයි නේ ද කියලා හිතෙනවා.
අම්මා ගැන කියද්දි මට අමතක වෙන්නෙ නැති සින්දුවක් තියෙනවා. ඒ ප්‍රේමකීර්ති ද අල්විස්ගේ සින්දුවක්. සමහර වෙලාවට මේ ලියවිලි මතින් මාත් එක්ක ඇවිදන් යන අලුත් පරපුරේ අය නම් මේ සින්දුව ඇහිලා තිබුණට අහලා නැතිව ඇති.
‘‘ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා ඔබ වෙත පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී’’
මං ඔයාට යෝජනාවක් කරන්නම්. අද මේ සින්දුව ඩවුන්ලෝඞ් කරන්න. ඩවුන්ලෝඞ් කරලා අහන්න. අහන අතරෙ මොහොතකට ඇස්දෙක පියාගෙන ඔයාගේ අම්මාගේ මූණ මතක් කරගන්න. අම්මා පුංචි කාලෙ ඉඳන් අද වෙනකල් ඔයාගේ ජීවිතේ ලස්සන කරපු රූපරාමු ටික ස්ලෝමෝෂන් කරලා සිංදුව එක්ක හිත අස්සෙන් මවා ගන්න. අනිවාර්යෙන් ඔයාගේ ඇස්වලට සිංදුව ඉවර වෙද්දි කඳුලූ එනවා. ඒක තමයි ගීත වගේ දේවල් විඳින කොට දැනෙන හැඟීම. ඇයි අපිට ඒ සින්දු ඒ තරමට දැනෙන්නෙ. දන්නවාද? ප්‍රේම් මේ සින්දුව ලියුවෙ එයාගෙම අම්මට. ඒ ප්‍රේම්ගේ හිතේ අම්මා ගැන තිබුණ අප්‍රමාණ ආදරය නිසා.
දවසක් වික්ටර් රත්නායකයන් ඇවිත් තියෙනවා ප්‍රේම්ට කියලා සින්දුවක් ලියවා ගන්න. සරල ගීත වැඩ සටහනකට. වික්ටර් රත්නායකයන්ට අවශ්‍ය වෙලා තියෙන්නෙ මව්ගුණ ගීයක්. ඒත් සින්දුව ලියා ගන්න එන වෙලාවෙ ප්‍රේම්ගේ වයෝවෘද්ධ අම්මා ඇස ශල්‍ය කර්මයක් කරන්න ඇස්වාට්ටුවෙ නවත්වලා. ඒ හින්දා ප්‍රේම් වික්ටර්ගේ ඉල්ලීම තාවකාලිකව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඊට පස්සෙ දෙන්නත් එක්ක අම්මව බලන්න ඇස්වාට්ටුවට ගිහින් තියෙනවා. ප්‍රේම් තමන්ගේ අම්මට කොයිතරම් නම් ආදරය කරලා තියෙනවද කියුවොත් මේ සිදුවීම නිසා ප්‍රේම් ඉඳලා තියෙන්නෙ ගොඩක් කම්පණයකින්. කොහොම උනත් අම්මව බලලා 138 බස් එකේ ඇස්වාට්ටුවෙ ඉඳන් හෝමාගමට එන අතරෙදි බස්ටිකට් එකේ පිටි පස්සෙ තමයි ප්‍රේම් ඔය සින්දුවෙ මුල් කොටස ලියලා තියෙන්නෙ.
දැන් තේරෙනවා ද අම්මා ගැන අපිට ඒ සින්දුව ඇයි ඔය තරමට ම දැනෙන්නෙ කියන එක. ඒකට හේතුව තමයි අම්මා ගැන ප්‍රේම්ගේ හිතේ උපන් ඇත්තම ආදරයෙන් ඔය සින්දුව ලියුව එක.
මං දවසක් පේස්බුක් එකේ ෂෙයා වෙන පෝස්ට් එකක් දැක්කා. ඒකෙ තිබුනෙ මෙන්න මෙහෙම කතාවක්. කේක් කෑලි පහක් තියෙනවා. ගෙදර සාමාජිකයෝ හයක් ඉන්නවා. ඔක්කට ම කලින් අම්මා කියනවා ‘මම කේක් කන්නෙ නැහැ’ කියලා. බලන්න අම්මගේ ආදරේ මොනතරම් නම් ඒකෙන් පැහැදිලි වෙනවා ද?
එහෙම නම් ලියවිල්ලෙන් සමු අරගෙන යන්න කලින් මං ආයෙමත් කියන්නම්, මොහොතකට දැන් ගිහින් අම්මගේ උකුලේ හිස තියාගෙන මේ කියුව දේවල් සිහි කරන්න. ඔයාට අමිල සැනසීමක් දැනේවි.