ලිවීම කියන්නෙ ඇබ්බැහියක් - එන්න ඔබත් ඇබ්බැහි වෙන්න (725)

post-title

මේ කතාව මට ඇත්තටම ලියන්න හිතුනෙ හරිම අහම්බෙන්, වචන.lk සමූහයේ ලිපි කියවන අතරතුර. ඒ ලිපි අතර එක ලිපියක් තිබුන සංස්කාරකවරයා වචන.lk සමූහය සයිබර් අවකාශයේ ගොඩනගපු විදිය. ඒ ලිපිය කියවල අවසානයේ මට මතක් උනේ මම ලියන්න පටන් ගත්ත විදිහ. ඒක ගැන ලියන්න හිතුන නිසා වෙනද ලියන ලිපිවලට වඩා අද පොඩි වෙනසක් කරන්න හිතුන.

මම මුලින්ම කෙටිකතාවක් අකුරු කරන්න ගත්තෙ මිතුරෙකුගේ අනු දැනුමත් එක්ක. දවසක මට හිතුන සිතුවිලි ගොන්නක් අකුරු කළ පිටු කීපයක් ඒ පුද්ගලයාට දෙන්න තීරණය කළා. ඒ අකුර වුන සිතුවිලි මම ළඟ තියෙනවාට වඩා එයා ලග තිබ්බොත් හොඳයි ය කියන අදහසත් එක්කයි ඒ තීරණය මම ගත්තේ. මීට කලින් ඒ වගේ අදහස් ලියලා නැති මට ඒක නිකම්ම හිතට ආපු සිතුවිලි අකුරු කරපු පිටු කිහිපයක් සහිත file එකක් විතරක්ම වුණේ ඒ වචන නිරායාසයෙන්ම ලියැවුණු නිසා. file එක දුන්නට පස්සේ ඒව කියවපු එයාගේ අදහස වුනේ,

 "ඔයාට ලියන්න පුළුවන්. ඔයා මොනවාම හරි ලියන්න පටන් ගන්න" 

ප්‍රශස්ත ලිවීම් සම්බන්ධයෙන් ලොකුවට අත්දැකීමක් නොතිබුන මට එයාගෙ ඒ අදහස වචනයකට පමණක් සීමා වුණේ කීව දේ නොසලකා හැරීමක් වගේ හැඟීමකින් නම් නෙවෙයි. ඒත් ඒ වෙනකොටත් මගේ හිතට එන දේවල් අකුරු කරන්න මම පුරුදු වෙලයි හිටියෙ. ඒත් කාලෙ‍යක් ලියනව ආයෙම කාලයක් නවතින. 

දින සති ගෙවෙද්දී කෝවිඩ් දෙවන රැල්ලේ ගෙදර ඉන්න කාලයේදී තවත් දවසක එයා මට මෙහෙම කියනවා 

"ඔයා කෙටිකතා දහයක් ලියන්න. මම ඒක බලලා අඩුපාඩු කියන්නම්. ඊට පස්සේ ඒක පොතක් කරමු"

කොහොම වුණත් පොතක් කරන්න තරම් ලිවීමේ අත්දැකීම් අඩුකම සහ මගේ අදහස් පරිණත මදි කියලා හිතුණ නිසාමද මන්ද ඒ කීව එක ගැනත් ලොකු උනන්දුවක් මට තිබුන් නැහැ. ඔහොම ඉන්න අතරතුර දවසක් මේ කීව කාරණය මතක් වෙලා මගේම අත්දැකීමක් කෙටි කතාවක් විදියට අකුරු කරලා එයාට බලන්න යැවුවා. ඒත් එයාගේ තිබුණ කාර්යබහුලත්වයත් එක්ක මම හිතුව තරම් ඉක්මනට ඒකෙ ප්‍රතිචාර ලැබුණේ නැහැ. එයාට වැඩ වැඩි නිසාම ඒ වගේ නිකම්ම නිකං ලියපු කෙටි කතාවක් බලන්න කියලා කරදර කරන්න හිතුනෙ නැති නිසා එයාම ඒක කියවල මට කියනකන් මම හිටියා. ටික ටික ඊලග කෙටි කතාව ලියන්න පාරක්කු වෙන නිසාත් මම ලියපු දේ ගැන අදහසක් දැනගන්න ආසාවෙන් හිටිය නිසාත් දවසක් ඒ සම්බන්ධයෙන් විමසීමක් කළා. 

"හරි මම බලලා කියන්නම්" කීව පිළිතුරට මම නිහඬ වුනා. ඉන් පසු දවසක

"මම කෙටි කතාව කියෙව්වා. ඔයා තව ලියන්න. මම මේක ඔයාට මෙහෙම ලියන්න කියල කිව්වට බැහැ. ඔයාගේ ශෛලියක් හදාගන්න පුළුවන් වෙන්න තව ලියන්න." එයාගෙ අදහස උනේ තව ලියන්න කියන එකයි.

කතාව ඇත්ත! මමම හිතුව. මම ඒකත් මගේ හිතට දාගෙන හිටියත් ඒ කෙටි කතාවෙන් පස්සේ ලියන්න තිබුන උනන්දුව නැති වුණා. සමහර විට කලින් ලීව කෙටි කතාවේ ප්‍රතිචාර ලැබීමේ ප්‍රමාදය නිසා වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්නම් එයාගේ කාර්යබහුලත්වයත් එක්ක මම ලියන දේවල් කියවන්න වෙලාව නෑ කියන අදහස මගේ ඔළුවේ තැන්පත් උන නිසා වෙන්නත් පුලුවන්. 

කොහොම උනත් තවත් දවසක,

"දැන් කීවෙනි කෙටිකතාව ද ලියන්නෙ" මේ වගේ ප්‍රශ්නයක් එයාගෙන් එනකොට මම නිහඬ වුනේ කලින් ලීව කෙටිකතාවෙන් පස්සෙ මම ආයෙ එකක්වත් නොලියපු නිසා. ඊට පස්සෙත් එයා කීවේ 

"ලියන්න.... ලියන්න...."

ඔහොම ඉන්න අතරතුර හිත් රිදීම්, කලකිරීම් එක්ක මිනිස්සු යම් යම් දේවල් වලට නැඹුරු වෙන ප්‍රමාණය වැඩියි කියනවානේ.... ඒත් එක්කම

මම මේ විදියට ලියන්න පටන් ගත්තෙ මාස කිහිපයකට උඩදි මගේම සහෝදරියන් විසින් මෙහෙයවන සගරාවක පුංචි කවියකින්. ඒ කවිය magazine එකට දාන්න හිතුවෙ කවි ලියන්න පුලුවන්ද කියල දැනගන්න තිබ්බ කුතුහලයත් එක්ක. හිතට එන වචන ගොඩක් ගලපල පුංචි කවියක් හදාගෙන ඒක පල වෙනකම් හිටියෙ හරිම ආසාවෙන්. ඒ කවියෙන් පස්සේ මගේම යාලුවන්ට මම ලියන කවි යවල එයාල කියවනකොට ඒ ගැන මොකද හිතෙන්නෙ කියන එක සම්බන්ධයෙන් අදහස් ගත්ත. මට ඕන උනේ ඒ කවි "හොදයි, ලස්සනයි" කියනවට වඩා ඒවගෙ අඩුපාඩු හොයාගන්න. කොහොම උනත් ඒ කවි බලපු යාලුවන්ගෙ අවංක අදහස උනේ "ඒව හරිම ලස්සනයි" කියන එකයි. 

"ඔයා තව තව ලියන්න. තියන දේවල් කියවන්න. එතකොට ලියන එක නිකම්ම හරියනව" මේ විදියට මට එයාලගෙන් උපදෙස් ලැබුන.

 දිගටම කවි ලියන්නවත් එක්කම ඒව යාලුවන්ට යවල එයාලගෙ අදහස් ගන්න අමතක කරේ නෑ. මොකද ඒ වෙනකොටත් ලිවීම සම්බන්ධයෙන් මගේ හිතේ තිබුන අස්ථාවර ගතියේ අඩුවක් නොපෙනුන නිසා. මම පළවෙනියටම ජාතික පුවත්පතකට යවපු කවියම පල වීමත් එක්ක කවි ලිවීම සම්බන්ධයෙන් සුභවාදී ආකල්පයක් මට ආවා. ඒ විදියට ලේසියට කවි ලියන එක විතරක්ම කරත් කවියෙන් පරිබාහිරව ලිපියක් ලියන්න හිතුන අදහසත් එක්ක ඒ දවස්වල බලපු උද්‍යෝගය පිටම sara'S film එක ගැන ලිපියක් ලිවීමෙන්ම ඒකත් පටන් ගත්ත. ඒකත් අර කලින් කීව සගරාවටම පල කලා. එතනින් එහාට මට ලියන එක සම්බන්ධයෙන් තිබුන අස්ථාවර ගතිය නැති උනේ ලිපි, කෙටි කතා වගේ දේවල් ලියන්න පටන් ගත්තට පස්සේ. මේ ලියන හැම තැනකදීම කාලයක් නතර වෙලා තිබුණු ලිවීමේ අදහස මගෙ ඔළුවෙ නැවතත් "ලියන්න...ලියන්න... " කියල රෝපනය කරපු පුද්ගලයව අමතක වෙන්නේ නෑ. 

එකින් එක ඔහේ ගලාගෙන එන අදහස් අකුරු කරන අතර. යාලුවන්ගේ තියෙන කාර්‍යබහුලත්වයත් එක්කම සමහර අවස්ථාවල දේවල් ලියලම මම ම අඩුපාඩු හොයාගන්න තැනට මම ටික ටික හුරු උනා. මම ලියා පල වුන කෙටි කතා දැකල. 

"ඔයා තව තවත් දිගටම ලියන්න. එතකොට ඔයාටම වචන හසුරවන විදිය ගැන අදහසක් එනව" මේ වගේ ප්‍රතිචාරවලින් මාව උනන්දු කරන්න යාලුවො අමතක කරේ නෑ.

ටික කාලයක් ලියමින් ඉන්න අතර තුර වචන.lk සමූහයට ලිපියක් දාන්න හිතුනෙ ඒක පල වේවිද යන කුතුහලයත් එක්ක. කොහොම උනත් ඒක පල වී තිබීම ගැන සතුටක් වගේම මගේ ලිවීම සම්බන්ධයෙන් සුබවාදී අදහසක් මට ඒ වෙලාවෙ ඇති උනා. දැන් මම දිගටම ලියන්න නිරායාසයෙන්මය අනුගත වෙලා තියෙනව කියල වෙලාවකට මට හිතෙනව. ඒත් තව හදාගත් යුතු තැන් බොහෝමයක් තියෙනව කියලත් දන්නව. මම ලියන ඒව සම්බන්ධයෙන් මාව නිවරදි කරන්න වචන.lk සමූහය උත්සුක වෙනව. මගෙ ලිවීමේ අඩුපාඩු දැන ගන්න ලැබීමම මට සතුටක්. 

ලිවීමත් එක්තරා ඇබ්බැහියක්. මගෙ හිතට සතුටක්, දුකක්, කලකිරීමක්, හිත් රිදීමක්, පසුබෑමක්, මේ ඕනම අවස්ථාවක වගේම අධ්‍යන ක්ශේත්‍රයන් සම්බන්ධයෙන් සංකල්පීය සහ න්‍යායාත්මක කරුණු පෙළ ගස්වන්න පෑන,පොත,මගෙ සිතුවිලි එක්ක පොරබදින වචන ඕන වෙලාවක ඕනම තැනකදි දැන් මාත් එක්ක ඉන්නව. ඉතින් ඔබත් ලිවීමට ඇබ්බැහි වෙන්න. හිතට එන දේ අකුරු කරන්න. 

Top