ඔබට මට විදින්නට සිදුවන අනාගත ලෝකයේ යුද්ධයේ හෝ සාමයේ සංකේතය (499)

post-title

ලෝකයේ සෑම ශිෂ්ඨාචාරයක්ම මූලාරම්භ වූයේ ගංගා නිම්න ආශ්‍රිතවය. ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය, යුප්‍රටීස් ටයිග්‍රීස් නදී අසබඩ ගොඩනැගුණු ශිෂ්ඨාචාරය, නයිල් නිම්න ශිෂ්ඨාචාරය මෙයට කදිම සන්නිදර්ශන සපයයි. ශ්‍රී ලාංකේය සංදර්භය තුළ ගංගා නිම්න සංස්කෘතියට ද හිමි වන්නේ අද්විතීය ස්ථානයකි. මහාවංශයට අනුව ආර්ය සංක්‍රමණ වලින් පසුව ලාංකේය ඉතිහාසයේ ප්‍රථම අගනුවර ගොඩ නැගුණේ මල්වතු ඔය මුවදොර අසල පිහිටි තම්බපණ්ණියේ හෙවත් තම්මැන්නාවේය. පැරණි ශ්‍රී ලංකාවේ ශිෂ්ඨාචාරයන්ට අනුව අනුරාධපුර සහ පොළොන්නරුව යන මධ්‍යස්ථාන පිහිටුවීමට ගංගාවන් ආශ්‍රිත විය. 

ලෝකයේ විවිධ රටවල් ගංගා නිම්න ආශ්‍රිතව ඇති වූ ශිෂ්ඨාචාරයන් අතර කිසියම් සම්බන්ධතාවයක් ඇති බවට සමහර ඉතිහාසඥයෝ තර්ක කරති. පුරා මූලාශ්‍ර වලින් හෙළිවන ආකාරයට ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය ඉන්දු ගග බඩට පමණක් සිමා නොවීය. ඉන්දියාවේ සින්ඩ් ප්‍රදේශයේ පැවති මෙම ශිෂ්ඨාචාරය ඊජිප්තුවේ සහ මෙසපොතේමියාවේ පැවති පැරණි ශිෂ්ඨාචාර වලට සමකාලීන වන්නට ඇතැයි පුරා විද්‍යාත්මක කරුණු ආශ්‍රයෙන් නිගමනය කළ හැකිය. ඇතැම් ඉතිහාසඥයෝ මෙම ශිෂ්ඨාචාර අතර කිසියම් සාම්‍යයක් දකිති.

( පෙරේරා, සුනිල් සරත්. ඉන්දියානු පවිත්‍ර ගංගා සංකල්පය හා නිම්න ශිෂ්ඨාචාරය ලිපිය )

අද්‍යතන ලෝකයේ මේ මහා ශිෂ්ඨාචාර ගොඩ නගා ජනාවාසකරණයට උරදුන් ගංගා හා නිම්න විවිධ මානව ක්‍රියාකාරකම් නිසා දුෂණයට පාත්‍ර වී ඇත. දකුණු ආසියානු කලාපයේ ඇතැම් ගංගා පාරිසරික දුෂණය නිසා මළ ගංගාවන් බවට පත්ව ඇත. ඒ නිසාම ගංගාවන් පවිත්‍රකරණය ඉතාම වැදගත් වෙයි. ගංගා පවිත්‍රතාව පිළිබද ආසියානු රටවල් ක්‍රියාත්මක කරන සැලසුම් හා ක්‍රියාකාරකම් ශ්‍රී ලංකාවේ ගංගා හා නිම්න මෙන්ම ජලාශ පවිත්‍රකරණය සදහා ආදේශ කළ හැකි යෝග්‍යතම ක්‍රියාවලියකි. පිලිපීනයේ මැනිලා නගරය මැදින් ගලා බස්නා නදිය පවිත්‍ර කර ගැනීම පිලිපීන රාජ්‍ය හා ජනතාව ගනු ලැබූ ක්‍රියාවලියක් මෙන්ම ඉන්දියානු පවිත්‍ර ගංගා වැඩසටහන යටතේ සිදුවන ක්‍රියාවලි අධ්‍යයනය කිරීමෙන් විසදුම් කරා යා හැකිය.

2010 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ආරක්ෂිත පිරිසිදු පානීය ජලය සහ සනීපාරක්ෂාව මානව අයිතිවාසිකමක් ලෙස සහ ප්‍රීතිමත් ජීවිතයක් සදහා සෑම දෙනාටම අවශ්‍ය අත්‍යාවශ්‍ය සාධකයක් බවට පිළිගෙන ඇත. එම නිසාම මුඛ්‍ය ලෙසම ජලය සෑම දෙනාගේම මානව අයිතිවාසිකමකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩි දුරටත් සදහන් කරන්නේ බීමට ඇතුලුව පුද්ගල සනීපාරක්ෂණයටත්, රෙදිපිළි සේදීමටත් ආහාර පිසීමටත් සමස්තයක් වශයෙන් ගෘහස්ථ සහ පුද්ගල සනීපාරක්ෂාව උදෙසා දුෂණය නොවූ ආරක්ෂිත ජලය ප්‍රමාණවත් පරිදි සාධාරණ මිළකට ලබා ගත හැකි විය යුතු බවයි. මේ අනුව නාලගත රුධිරය හා සමවටිනාකමින් යුත් මේ ජීවී සාධකය අනාගත ලෝකයේ යුද්ධයේ හෝ සාමයේ සංකේතය වනු ඇත.

 පූර්වෝක්තව සදහන් කළ පවිත්‍ර ගංගා වැඩසටහන පිළිබදව ප්‍රධාන වශයෙන්ම මගේ අවධානය යොමු වෙයි. මෙම වැඩසටහන වඩා වැදගත් වන්නේ ඒ භෞතික ක්‍රියාවලිය අර්ථාන්විත සංස්කෘතික හා සන්නිවේදන ක්‍රියාවලියක්ද වන නිසාය. ඉන්දියානු පවිත්‍ර ගංගා වැඩසටහන බහුවිධ ක්‍රියාවලියක් වන අතර මෙහි මූලිකම ක්‍රියාකාරකම වන්නේ ගංගාවන්ට නගර වලදී එකතුවන අපජලය පොම්පාගාර මගින් ඒකරාශී පිරිපහදු කිරීමේ සරල ක්‍රියාවලියයි. මෙම පිරිපහදු කිරීම සදහා කිසිදු රසායනික ද්‍රව්‍යයක් භාවිතා නොකරයි. මෙය සිදුවන්නේ ස්වභාවිකවමය. ධරණීය සංවර්ධනය පිළිබදව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විය යුතු වැඩසටහන් වලදී ජල හිගය සහ ජල සම්පත් දුෂණය පිළිබද ප්‍රශ්නය ප්‍රමුඛතාව දිය යුතු ප්‍රශ්නයක් ලෙස සැළකිල්ලට ගත යුතුය. ඉන්දියාවේ කාන්පුර් පැට්නා හා කල්කටා වැනි කාර්මික නගර වලදී කර්මාන්තශාලා වලින් බැහැර කරන අපද්‍රව්‍යය ගංගා නම් නදියට එක් වෙයි. මෙම නිසා නදිය අපවිත්‍රකරණයට ලක්වෙයි. කල්කටාව අසල හුග්ලි මෝය අවට ප්‍රදේශයේ කම්හල් එකසිය පනහකට වැඩි සංඛ්‍යාවකින් නිකුත්වන කාර්මික අපද්‍රව්‍යය නිසාද මුහුදට බලපෑමක් වෙයි. පරිසර දුෂණය පිළිබද පාලක මණ්ඩලය මෙන්ම ගංගා නම් ගග පිහිටි විශ්වවිද්‍යාලයද මැදිහත්ව කරන ලද විද්‍යාත්මක පර්යේෂණ මගින්ද ගංගානම් ගගේ ජල දුෂණය වළක්වා ගැනීම සම්බන්ධව විධිමත් ක්‍රියාත්මක සැලැස්මක් ඇති කිරීමේ අවශ්‍යතාවය මතුව තිබේ. ගංගා නම් ගග වඩාත්ම දුෂණයට ලක් වන්නේ ගග දෑලේ පිහිටි ප්‍රධාන නගර වලින් ගගට මුදා හරිනු ලබන නාගරික අපද්‍රව්‍යය නිසා බව මෙහිදී අනාවරණය විය. ඒ අනුව ගංගා නදී සැලැස්ම 

1986 ජූලි 14 වන දින අගමැති රජීව් ගාන්ධි විසින් ආරම්භ කෙරිණි. මෙම වැඩසටහනෙහි ප්‍රධාන අරමුණ වුයේ ජලය දුෂණය අවම කර ගනිමින් ගංගා ජලයේ ගුණාත්මකභාවය වර්ධනය කර ගැනීමයි. දෛනිකව නිවෙස් වලින් බැහැර කරන කසල ජලය හා කාර්මික අපද්‍රව්‍යය මෙන්ම රසායනික අපද්‍රව්‍යයද ඉවතලීමට පෙර පිළියම් හා පිරිපහදු කිරීම මෙමගින් අපේක්ෂා කෙරෙයි. 

ශ්‍රී ලංකාවේ කොළඹ, යාපනය, මහනුවර නගර මෙන්ම කෑගල්ල, මාවනැල්ල, කඩුගන්නාව, පේරාදෙණිය යන නගර වල නාගරික අපද්‍රව්‍යය බැහැර කිරීම විශාල ගැටලුවක් බවට පත්ව ඇත. කසල ජලය අපවහනය කරන බල පද්ධතියකින් සමන්විත එකම මහ නගර සභා ප්‍රදේශය වනුයේ කොළඹ පමණි. මෛ නගරයේ ක්‍රියාත්මක වන අපද්‍රව්‍යය බැහැර කිරීම නළ මාර්ග ක්‍රමය අනුව සිදු වන්නේ කිසිදු පිරිපහදු කිරීමකින් තොරව දියරමය අපද්‍රව්‍යය මුහුදට බැහැර කිරීමකි. ඒ නිසා ඉන්දියානු පවිත්‍ර ගංගා සංකල්පය පිළිබදව අවධානය යොමු කිරීම ඉතාම වැදගත් වෙයි. 

ගෝලීය අවකාශය තුළ මිනිසුන් ආරක්ෂිත ජලය නොමැතිව එනම් විවිධ විෂමතාවයන් නිසා පසුබසින ආකාරය විමර්ශනය කළ හැකිය. 

■ ලිංගිකත්වය හා ස්ත්‍රීත්වය

■ ජාතිය, ජනවාර්ගිකත්වය, ආගම, උපත, කුලය, භාෂාව හා ජාතිකත්වය

■ ආබාධ, වයස සහ සෞඛ්‍ය තත්ත්වය

■ දේපළ, සේවා කාලය, නේවාසික, ආර්ථික හා සමාජ තත්ත්වය

ඔබ දන්නවාද?

■ ලෝක ජනගහනයෙන් බිලියන 2.1 ක ජනතාවක් ආරක්ෂිත පානීය ජලය නොමැතිව සිය නිවාසවල ජීවත් වන බව.

■ සමස්ත ප්‍රාථමික පාසල් හතරෙන් එකකට පිරිසිදු පානීය ජලය නොමැති අතර සිසුන් අනාරක්ෂිත ජලයෙන් පවස නිවා ගන්නා බව.

■ දිනකට වයස අවුරුදු 5ට අඩු දරුවන් 700ක් මේ ලෝකයෙන් සමුගන්නා ප්‍රධාන හේතුව අනාරක්ෂිත ජලය නිසා සනීපාරක්ෂාව දුර්වල වී හටගන්නා පාචනය වැනි රෝගී තත්ත්වයන්ගෙන් බව.

■ ලෝකයේ 80%ක ජනතාවක් විශේෂයෙන්ම දුෂ්කර පළාත්වල ජනතාව අනාරක්ෂිත අපිරිසිදු ජලය පරිභෝජනය කරන බව.

■ සමස්ත නිවාස හිමියන් දස දෙනෙකුගෙන් අටදෙනෙකුට නිවාසවල පිරිසිදු ජලය නොමැති බව. 

■ බිලියන හතරක ජනතාවක් ,ලෝක ජනගහනයෙන් තුනෙන් දෙකක ජනතාවක් අවම වශයෙන් වසරෙන් එක් මාසයක් හෝ දැඩි ජල හිගයකට මුහුණ දෙන බව.

■ වසර 2030 වන විට ජල හිගය නිසා ලෝකයේ ජනගහනයෙන් මිලියන 700කට ආසන්න ප්‍රමාණයක් අවතැන් වන බව.

 ඒ නිසා කෙටියෙන්ම පවසනවානම් ඔබ කවුරුන් වුවත්, වාස භූමිය කුමක් වුවත් ජලය මානව අයිතිවාසිකමක් ලෙස සලකා අනෙකාගේ ජීවත් වීම උදෙසා කටයුතු කරන්න. එය මා ඔබ වෙනුවෙන් අද දවසේ ලබා දෙන ඉල්ලීම් සහගත පණිවුඩයක් බවත් මතක තබා ගන්න.

Top