ඇලුමෙහි, ආදරයෙහි, ශෘංගාරයෙහි සුපුෂ්පිත රස-භාව ගෙන එන ‘උන්මාදව සිතක්’ (186 වන ලිපිය)

post-title

ඇලුමෙහි, ආදරයෙහි, ශෘංගාරයෙහි සුපුෂ්පිත රස-භාව ආනන්දජනක කූඨප්‍රාප්තියකට ගෙන එන ගීයක් පසුගිය දිනෙක අපට රසවිඳින්නට ලැබිණි. එය, ප්‍රියන්ත කොඩිප්පිලි පබැඳූ ‘උන්මාදව සිතක්’ නම් ගීයයි.


මේ ගීය, කාර්මික, ධනේෂ්වර, තාක්ෂණික ලෝකයේ දුවන මිනිසාව හිටිඅඩියේ අල්ලා නවතාලන්නේ නැති නමුදු, යන ගමනේ එක් කොටසක් ප්‍රීතියකින් යෑමට ක්ෂණික උන්මාදයක් සපයන්නකි. පද රචනය කියවීමේදී මෙය, වියෝවක්, විරහවක් නොව එක්තරා පළමු සම්භෝගයකින්, ආලම්භනයකින්, එක්වීමකින් උපදින හාව-භාව සම්බන්ධයෙන් රචනා කරන ලද්දක් බව පෙනේ. පද යෙදීමෙහි එන ප්‍රේමයේ ඉපිලෙන ස්වභාව, ඔකඳ වීම එහි ගැබ් වෙයි. එබැවිනි, ‘සිතක්’ යන්න දෙවරක් යෙදෙනුයේ. එයින් එක සිතක් නොව, සිතක් සිතක් ගානේ උන්මාදවීම ද ඇඟැවේ. පද සරලය, රිද්මයානුකූලය, සංදිග්ධ නොවේ. කිමිද බැස ව්‍යංග්‍යාර්ථ සෙවීමට සිදු නොවේ.


සමස්ත ගීතයෙන් මේතරමට ආලයේ එක්වීමේ, ජයග්‍රහණයේ, සන්තුෂ්ටියේ, පිරුණු බවේ, ධනාත්මක බවේ පද ගලා හැලෙද්දී එය සිහිකරවන තවත් යටිපෙළක් වෙයි. මේ ගීයේ ආදරය සහෘදයාට මෙතරම් දැනෙන්නේ එය ඉඟිකරවන නොපෙනෙන පැත්ත වෙනෙකක් නිසාය. හුදකලාව, කොන්වීම, විරාගය, අහිමිවීම, අතුරුදන් වීම, බැණුම්, පහරදීම්, කෑමොර, විලාප, අඳෝනා, කැරලි, ඉකිබිඳුම්, සංලාප, ආලෝචනාවලින් දීර්ඝ කාලයක්, පීඩා විඳි මෙරට වෙසෙන්නන් ගීය හා බැඳෙන්නේ හඹායායුතු, අත්පත්කරගත යුතු ආශාවකිනි. ගීය ඉල්ලා සිටින පසුබිම, ක්ෂණික උමතු ආසාවක් බවට පත්වන්නේ, අර කී යටිරාමුව ඔවුන්ට ප්‍රත්‍යක්ෂ හෙයිනි. ගීයෙන් මැවෙන ලෝකයාට පෙන්වන සිනහව පිටුපස ඇත්තේ එහි ප්‍රතිපක්ෂය බව සහෘදයා දනී. එම පසුතලයේ තීව්‍රතාව දන්නා බැවින් ගීයේ වර්ණවත් ලොව අපට වඩාත් ඒත්තුගැන්වේ. සැබෑවට මුහුණ දෙන ජීවිතයත්, ෆැන්ටසියත් අතර ගනුදෙනුවකට මේ ගීය සහෘදයාව එක් මොහොතකදී ගෙන ගොස් නවතන්නේ එහෙයිනි.


සම්පත් ජයසුන්දර මෙයට එක්තරා බයිලා ආකාරය මුසු 90 දශකයේ ආ ගීවල තනුවක් දී තිබේ. තනුව රසැතිය, සුවැතිය, හදැතිය. කුසලතාපූර්ණ රංගන ශිල්පිනියන්ගේ හඬින් ගීය ගායනා කෙරේ. ගීයේ කියැවෙන ‘සැලෙන, පෙළෙන, ඇළෙන, ලතාවේ, හැලෙන’ යන වදන්වල ගැබ්වන ස්ත්‍රියකගේ චිත්ත ස්වභාවය හේතුවෙන් කාන්තා විෂයට මුඛස්ථානය දෙමින් පද රචනය කළා වන්නට පුළුවන. ප්‍රේමයෙන් ප්‍රීනනය වන කාන්තාවන්ගේ සමූහ ගායනයෙන් සහෘදයා කුල්මත් වන්නට ගනී. පුරුෂ මූලික සමාජයේ කාන්තාවන් ප්‍රහර්ෂයෙන් නගන මේ ගායනය අපට සිහිකරවන්නේ, ඇරිස්ටොෆනීස්ගේ ලයිසිස්ට්‍රාටා නාට්‍යයයි. යුද්ධයට යන සැමියන් හා ලිංගික සේවනයේ යෙදීම වර්ජනය කරන බිරින්දෑවරුන් පවුලේ බලය දරමින්, පුරුෂයන්ව - විශේෂයෙන් දේශය මෙහෙයවන ආකාරය යි. ඒ සිනා හඬ අතරෙහි කේවල මිමිණුමක්ව, පෙර කී යටිපෙළට ඇතුළත් වන, කාන්තා අරගල, මරාදැමීම්, දූෂණ, කැපකිරීම් ඇසී නෑසෙන්නට ගනී. ප්‍රීතියෙන් කාන්තාවන් සිටින නිජබිමක් අපිට පැතිය හැක්කේ ගීයකින් වීම, එහි නොකියවෙන අනෙක් පක්ෂයයි.!

Top