ස්ත්‍රීහු ද මනුෂ්‍යයෝය : ඔසප් දරිද්‍රතාවය හා ශ්‍රී ලංකාව (450)

post-title

ඔසප් සෞඛ්‍ය සනීපාරක්ෂාව පසුගිය ජනාධිපතිවරණයේත්, ඉන් පසුවත් විවිධ කතා මැවූ ප්‍රභල මාතෘකාවක් විය. එක් අපේක්ෂකයෙකු තමන් සනීපාරක්ෂක තුවා නොමිලයේ දෙන බව පැවසූ අතර සමාජ මාධ්‍ය ජාලා වල ඔහු “පෑඩ් මෑන්” කෙනෙක් බවට අවසන පත් විය. ඉන් පසු බලයට පත් ආණ්ඩුව විසින් පාසල් සිසුවියන් සඳහා ඉදිරියේදී නොමිලයේ සනීපාරක්ෂක තුවා ලබා දෙන බව සනාථ කල නමුත් කොවිඩ්19 වසංගතය පැමිණියේය. කොවිඩ්19 සමය කාන්තාවන්ට ඔසප් සනීපාරක්ෂාව සම්බන්ධයෙන් තිබූ ගැටලු තව තවත් වැඩි කලා මිසක්, ඒ සඳහා කවුරුන් හෝ සහනයක් ලබා දීමට ඉදිරිපත් වූ බවක් නම් නොපෙණුනි. කෙසේ නමුත් ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින්ගෙන් එක් අයෙකු පමණක් සනීපාරක්ෂක තුවා නොමිලයේ ලබා දීම වෙනුවට, ඔසප් දරිද්‍රතාවය ගැන කතා කලේය. ඔහු ඔසප් දරිද්‍රතාවය දැනුමේ සහ සංස්කෘතික දරිද්‍රතාවයක් ලෙස දුටු අතර, ඔසප් දරිද්‍රතාවයේම කොටසක් වන ජල හිඟය සහ වැසිකිලි හිඟය ගැනද කතා කරන ලදි. කෙසේ නමුත් ඔහුද ජනාධිපතිවරණයෙන් පරාජය විය. කෙසේ හෝ වේවා ඔසප් සෞඛ්‍ය සනීපාරක්ෂාව කාලයෙන් කාලයට දේශපාලන වේදිකා වල මතුවන මාතෘකාවක් විනා නිසි ස්ථිර විසඳුම් දක්වා ගෙන යන කාරණයක් බවට නම් ශ්‍රී ලාංකික දේශපාලන සන්ධර්භය තුළ පෙනෙන්නට නැත. 

“ඔසප් දරිද්‍රතාවය යනු, ඔසප් වීම පිළිබඳ නිසි අධ්‍යාපනයක් නොමැතිකම සහ ඔසප් කාලය තුළ මූලික සනීපාරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය සනීපාරක්ෂක ක්‍රම සඳහා ප්‍රවේශයක් නොමැති වීමයි”

මෙම හේතුව නිසා පාසැල් යාම හෝ රැකියාවට යෑම වැනි මූලික ක්‍රියාකාරකම් වලින් බොහෝ කාන්තාවෝ වැළකී සිටිති. ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 52% කාන්තාවන් වන අතර,සංඛ්‍යා ලේඛන වලට අනුව ඉන් 30% කට පමණක් සනීපාරක්ෂක තුවා හෝ ටැම්පෝන් වලට ප්‍රවේශ වීමේ හැකියාව ඇත. එනම් ඉතුරු 70% ටම එම පහසුකම නැත. සහ ඔවුන් බොහෝ විට භාවිත කරන්නේ රෙදි තුවාය. එවා සෞඛ්‍යාරක්ෂිත නොවන අතර ප්‍රජනන හා මුත්‍රා ආසාදන වැනි සෞඛ්‍ය අවදානම් වලට තුඩු දිය හැකි ඒවාය. එලෙසම පාසල් යන ගැහැණු දරුවන්ගෙන් 37% ඔසප් වීමෙන් පසු පළමු සහ දෙවන දින වල පාසල් යාමෙන් වැළකී සිටිති. එයට ප්‍රධානම හේතුව නම් සනීපාරක්ෂක තුවා මිලදී ගැනීමට ඇති නොහැකියාවයි. පිරිසිදු රෙදි භාවිත කිරීම සිදු කල හැකි වූවත් පාසලේ ගෙවෙන පැය 6 කට වඩා වැඩි කාලය සඳහා රෙදි භාවිතය ප්‍රමාණවත් වන්නේ නැත. 2018 වනතෙක් ශ්‍රී ලංකාව තුළ ආනයනික සනීපාරක්ෂක තුවා සඳහා වන බද්ද 101.21% විය. සමාජයෙන් ඇති වූ විරෝධතා නිසා එම වර්ෂයේ සිටි රජය විසින් එම ආනයනික බද්දෙන් 30%ක් ඉවත්කිරීමට කටයුතු කරන ලදි. 2019 දී පත් වූ ජනාධිපතිවරයා එය 52% දක්වා අඩු කල නමුත්, 2021 අයවැය මඟින් නැවතත් කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවා සඳහා 15%ක බද්දක් හඳුන්වාදෙන ලදි. සමාජයේ ඔසප් වීම සම්බන්ධයෙන් ඇති ප්‍රධාන මිත්‍යාවලින් එකක් නම් ඔසප් වෙන්නේ කාන්තාවන්ටයි, “ඔසප් වීම පෞද්ගලික ප්‍රශ්නයකිනැතහොත් කාන්තාවන්ගේ ප්‍රශ්නයකි” යන්නයි. ඔසප් වීම පෞද්ගලික ප්‍රශ්නයක් නොවේ. පෞද්ගලික ප්‍රශ්නයක් නම් ඒ මත බද්දක් පැටවිය යුතුදැයි ඊලඟට නැගෙන පැනයයි. 2021 අයවැයේදී මෙලෙස වැඩි කරන ලද සනීපාරක්ෂක තුවා බද්දට 5.3% ක්වූ සුළු ස්ත්‍රී පාර්ලිමේන්තු නියෝජිතවරියන්ඊට එරෙහිව ඔවුන්ගේ විරෝධතාවය ප්‍රකාශ කලහ. ස්ත්‍රී පාර්ලිමේන්තු නියෝජිත රෝහිණී කවිරත්න, හරිනි අමරසූරිය සහ ඩයනා ගමගේ එලෙස තම විරුද්ධත්වය ප්‍රකාශ කළ පිරිසයි.

පාර්ලිමේන්තු නියෝජිත හරිනි අමරසූරිය සනීපාරක්ෂක තුවා බද්ද ගැන ඇයගේ පාර්ලිමේන්තු කතාවෙන් පසු ඇය ෆේස්බුක් පණිවුඩයක් තබා තිබුණු අතර එහි පාර්ලිමේන්තු විවේක කාමරයේ සනීපාරක්ෂක තුවා මාරු කිරීමට වෙන් කර ඇති ස්ථානයේ ඡායාරූපයක්ද එක්කර තිබුණි. ඇය එහි සඳහන් කර තිබුණේ “පාර්ලිමේන්තුව තුළ දී අපට සනීපාරක්ෂක තුවා නිසිලෙස මාරුකිරීමට නොහැකි නම්, රටේ වෙසෙන අනෙක් කාන්තාවන්ට එය කෙතරම් අපහසු කටයුත්තක් ද! ඔසප් දරිද්‍රතාවයට මුහුණදෙන සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන අප වැනි කාන්තාවන් ඇතුළු සියලු ලාංකීය කාන්තාවන් සම්බන්ධයෙන් රජය විසින් තම වගකීම ගත යුතු යි.”

ලංකාවේ සමස්ත ඡන්ද දායකයින්ගෙන් 56% ක්කාන්තාවන් ය. නමුත් ඔසප් සනීපාරක්ෂාව වැනි මූලික අවශ්‍යතාවයක් සපුරා ගැනීමට ඔවුන්ට ඇති බාධක ගැන ඔවුන් විසින්ම තෝරා පත් කර පාර්ලිමේන්තුවට යවන නියොජිතයින් කතා කරන්නේ නැත. කතා කිරීම වෙනුවට ඔවුන් ඒවා මත පැනවෙන බද්ද පමණක් වැඩි කරයි. කාන්තා පාර්ලිමේන්තු නියෝජිතයන්, විදේශ විනිමය රටට ගෙනෙන්නට වෙහෙස මහන්සි වෙන ඇඟලුම් කර්මාන්ත සේවිකාවන්, තේ දළු නෙළන්නියන්, කාන්තා විදෙස් ශ්‍රමිකයින්, රාජ්‍ය/පෞද්ගලික සේවයේ පවා වැඩිපුර නියැලෙන කාන්තාවන් ආදී එකී නොකී කාන්තාවන් ඔසප් වන බව මදකට හෝ ඔවුන්ට සිහි විය යුතුමය. සැබවින්ම මෙය සහකම්පනය පිළිබඳ හැඟීමකි. නමුත් ගැටලුව ඇත්තේ මේ ගැන සානුකම්පිතව කිසිවෙකු නොබැලීමයි. 2016 වර්ෂයේ පැවති රජයේ,කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර, කාන්තාවන්ට ඔසප් නිවාඩු ලබා දිය යුතු බවට යෝජනාවක් කලත් එය ක්‍රියාවට නැංවූයේ නැත. නමුත් ජපානය, තායිවානය, ඉනදුනීසියාව හා දකුණු කොරියාව වැනි රටවල් කිහිපයක විශේෂ ඔසප් නිවාඩු ලබා ගැනීමට කාන්තාවන්ට පුළුවන. කෙසේ නමුත් ඔසප් දරිද්‍රතාවයෙන් ගැලවීමට ශ්‍රී ලංකාවට නොහැකි ප්‍රධානම හේතුව වන ඒ හා සබැඳි මිත්‍යා මත සම්බන්ධයෙන්, සමාජ වැඩ ශිෂ්‍ය හෙන්‍රි මිචෙල් පල කරන්නේ මෙවන් අදහසක්,

“අද වන විට සමාජය තුළ ඔසප් දරිද්‍රතාවය පිළිබඳව දැනුවත්භාවය වැඩිවෙමින් තිබුනත්, බොහෝ පිරිමින් ඒ පිළිබඳව තමන් අතර මෙන්ම කාන්තාවන් සමඟද විවෘතව කතා කරන්නේ නෑ. නමුත් එය එසේ නොවිය යුතුයි වගේම එම මතය වෙනස් විය යුතුය. මොකද, ඔසප් දරිද්‍රතාවය පිරිමින්ගේද ප්‍රශ්නයක්. ගොඩක් වෙලාවට ගෙදර පුරුෂයා උපයන මුදලින් ඔහුගේ භාර්‍යාවත් ගැහැනු දරුවනුත් සනීපාරක්ෂක තුවා මිලදී ගන්නෙ.කාන්තාවන්ගේ ඔසප් සෞඛ්‍ය සනීපාරක්ෂාවට පුරුෂයාද දායක වෙනවා. එම නිසා ඔසප් දරිද්‍රතාවයට එරෙහි සටනේදී සියලුම දෙනා එක්ව කටයුතු කල යුතුයි. තවද ඔසප් වීම හා සම්බන්ධ මිත්‍යා මත හේතුවෙන් ගැහැනු දරුවන් තම පාසල් අධ්‍යාපනය මඟහරිනවා නම් ඒක අපේ රටේ අනාගතයට බලපෑම් ඇතිකරන්නක්.ඉතින් මේ ඔසප් දරිද්‍රතාවෙන් මිදීමට නම් ස්ත්‍රී පුරුෂ සමාජභාවයකින් තොරව සියලු දෙනා එක්ව සහයෝගයෙන් කටයුතු කරන්න ඕනෙ.ඒ වගේම මේ ඔසප් වීම සම්බන්ධයෙන් ඇති මිත්‍යා මත සමාජයෙන් ඉවත් වෙන්න නම් සියලු දෙනාමටම පරිපූර්ණ ලිංගිකා හා ප්‍රජනන සෞඛ්‍ය අධ්‍යාපනයක් අවශ්‍යයි. ඒ වෙනුවෙන් කුඩා කල සිටම දරුවන් යොමු කිරීම ද වැඩිහියන්ගේ වගකීමක්.”

දැනට ලොව සනීපාරක්ෂව තුවා නොමිලේ ලබා දෙන එකම රට ස්කොට්ලන්තයයි. 2004 වර්ෂයේදී සනීපාරක්ෂක නිෂ්පාදන මත අයකෙරෙන බදු අවලංගු කරන ලද මුල්ම රට වන්නේ කෙන්යාවයි. වර්තමානය වන විට අපගේ අසල්වැසි රට ඉන්දියාව, ඕස්ට්‍රේලියාව, අයර්ලන්තය, කැනඩාව, සහ මැලේසියාව යන රටවල් ද ඔසප් සනීපාරක්ෂක නිෂ්පාදන මත අයකෙරෙන බදු අවලංගු කර ඇත. ශ්‍රී ලංකාවේ ඔසප් දරිද්‍රතාවයට මූලික විසඳුමක් ලෙස රජයට මෙම බදු අවලංගු කිරීම හෝ ඒවා නොමිලේ ලබා දිය හැකි නම් එය සමස්ත කාන්තාවන්ගේම මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමක් වනු ඇත.


References: 

A woman's monthly tax - https://www.advocata.org/commentary-archives/2018/06/12/a-womans-monthly-tax

ශ්‍රී ලංකාවේ කාන්තාවන් 'මෙන්සස් බද්ද' නිසා "අන්ත දුගී වෙනවා" - https://www.bbc.com/sinhala/sri-lanka-55082344

In Some Countries, Women Get Days Off for Period Pain - https://www.nytimes.com/2017/07/24/health/period-pain-paid-time-off-policy.html#:~:text=Menstrual%20leaves%20are%20recognized%20in,India%20but%20around%20the%20world.

ඔසප් නිවාඩුවේ අයිතිය ශ්‍රී ලංකා කාන්තාවන්ටත්? - https://www.bbc.com/sinhala/sri-lanka-38450868

Tampon tax' paid around the world - https://www.bbc.com/news/world-32883153

Period poverty: Scotland first in world to make period products free - https://www.bbc.com/news/uk-scotland-scotland-politics-51629880

Top