ලක් දෙරණට හරිත සමාජ වැඩ කරුවන් අවශ්‍ය කර තිබේ (404)

post-title

හරිත සමාජ වැඩ (Green Social Work)ලොවට නවමු සංකල්පයක් නොවේ. එය 19 සහ 20 වැනි ශතවර්ෂ වල සිට පරිසරවේදීන් කතා බහට ලක් කරන සහ ලොව බොහෝ රටවල් විසින් ප්‍රායෝගිකව ක්‍රියාවලියේ යොදවන පරිසරය සුරැකීමට වඩා එහා ගිය සංකල්පයක් යැයි කීම නිවැරදිය. හරිත සමාජ වැඩ යනු පාරිසරික හා පාරිසරික ගැටළු සඳහා සමාජ සේවකයින්ගේ (Social Workers) මැදිහත්වීම සඳහා වූ පරිපූර්ණ ප්‍රවේශයකි. එය පුද්ගල ආයතන, කණ්ඩායම් සහ ප්‍රජාවන්ගේ සුභසාධන අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර දැක්වීම සහ පරිසරය රැකබලා ගැනීමේ යුතුකම සමඟ සමාජ ආයතන හා සමාජ සම්බන්ධතා කේන්ද්‍ර කරගත් ව්‍යුහාත්මක විශ්ලේෂණයක් සමඟ ඒකාබද්ධ වේ. හරිත සමාජ වැඩ සංකල්පය ඔස්සේ සමාජ සංවර්ධනයේ නව ලිබරල් ධනවාදී ආකෘතීන් විවේචනය කිරීමත් සහ පෘථිවියේ සම්පත් වගකීම් විරහිතව සූරාකෑමත්, සියලු ජීවීන් හා භෞතික පරිසරය අතර අන්තර්ගෝලීය අන්තර් රඳා පැවැත්මට විකල්ප තිරසාර ජීවන රටාවන් වර්ධනය කිරීමත් යන කාලීන ගැටලු මත තර්ක ඇති කරනු ලබයි. මේ තුළ මිනිසා මෙන්ම මෙම පෘථිවිය බෙදා හදා ගන්නා ශාක හා සතුන්ද ඇතුළත් ය. මෙම අන්තර් පරායත්ත සම්බන්ධතාවය මත ගොඩනගා ඇති සහයෝගිතාවය වර්තමානයේ ජීවත් වන ප්‍රජාවේත් අනාගතයේ ජීවත් වන ප්‍රජාවේත් පැවැත්ම තහවුරු කරණු ලබයි.

මෙම හරිත සමාජ වැඩ සංකල්පය විස්තාරණය කිරීම සංකීර්ණ සේ පෙනුනත් එය අපගේ සාමාන්‍ය ජීවිතයේ අප අත්දකින දෑ තුළ අඩංගුය. උදාහරණයක් ලෙස, අධික පරිභෝජනයත් සමඟ යම් කාලයක තෙල් නිධි හා ආකර නිම වන බව පර්‍යේෂකයන් පෙන්වා දෙන අතර තෙල් භාවිතය වෙනුවට වෙනත් බලශක්ති ක්‍රම භාවිතයට ලෝකය දැන් යොමුව සිටි. වෙනත් බලශක්ති භාවිතයෙන් වායු දූෂණය වැනි හානිකර දේවල් මඟ හැරෙන අතර, ඉදිරි පරම්පරාවකට තෙල් නිධි වල ප්‍රයෝජනය ගත හැකි වනු ඇත. එමෙන්ම තෙල් නිධි නිම වීම යනු ලෝකයේ බලවත් රටවල් එම අවශ්‍යතාවයන් උදෙසා යුධමය විසඳුම් වලට පෙළඹීමයි. එය දැනටමත් සිදුවන්නක් වන අතර ඇමරිකාව වැනි ලොව බලවත් රටවල් වෙනත් තෙල් නිධි ඇති රටවල් යටත් කරගනිමින් ඔවුන්ගේ අවශ්‍යතාවන් සපුරා ගනු ලබයි. මේවා එකකට එකක් සම්බන්ධ සිද්ධි දාමයන් වන අතර, ඒවායේ ප්‍රතිඵල වන්නේ ජීවින්ගේ පවැත්ම දිනෙන් දින අඩු වීමයි. මෙම ක්‍රියාවලිය තුළ තිරසාර විසඳුම් සෙවීමට මැදිහත් වීම හරිත සමාජ වැඩ කරුවාගේ කාර්‍යයි. සංවර්ධිත රටවල් වලට වඩා සංවර්ධනය වෙමින් පවතින රටවල් වලට හරිත සමාජ වැඩ කරුවන්ගේ මැදිහත් වීම ඉතාම වැදගත් වේ. මන්ද යත් සංවර්ධනය අරභයා කෙරෙන ක්‍රියාකාරකම් නිසා විවිධ පාරිසරික හානි සිදු විය හැකි නිසාවෙනි. නිදසුන් ලෙස, ලංකාවේ බොහෝ ප්‍රධාන නගර වර්ෂා කාලයේදී ගංවතුරට යට වේ. පහත් බිම් ගොඩ කිරීම් හා අවිධිමත් ගොඩනැගිලි ඉදිකිරීන් මෙයට ප්‍රධාන හේතුවකි. මාර්ග සංවර්ධනයන් හා නිවාස ව්‍යාපෘති සඳහා කැළෑ හෙළි පෙහෙළි කිරීම ශ්‍රී ලංකාවේ සුලභ දෙයකි.

අප ජීවත් වන පරිසරය රඳා පැවත්මට එහි ජීවින්ගේ හා ශාක වල තුලනය ඉතා වදගත් ය.මේ නිසාවෙන්ම ඕනෑම රටක 35% වනාන්තර ආවරණයක් පැවතීම අවශ්‍ය යැයි පරිසරවේදීන් සඳහන් කරයි. නමුත් අවාසනාවකට ශ්‍රී ලංකාවේ වනාන්තර පැතිරීම 20% කි. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානය (FAO) ට අනුව, 2005 වසරේ අග භාගයේ සිට සෑම වසරකදීම ප්‍රාථමික වනාන්තරයන්ගේ වන ආවරණය 1% ප්‍රමාණයකින් අහිමි වන රටවල් අතර සිව්වන ස්ථානය බවට ශ්‍රී ලංකාව පත්ව ඇත. මේවාට හේතු වශයෙන් නිදහසෙන් පසු ආරම්භ කරන ලද මහවැලි ව්‍යාපාරය වැනි දැවැන්ත සංවර්ධන ව්‍යාපාරත් වනාන්තර වල ඇතිවන ලැව් ගිනිත්, හේන් වගාවත් සහ වර්තමානයේ සිදු කරන විවිධ නිවාස හා මහාමාර්ග ව්‍යාපාරත් ප්‍රධාන වශයෙන් බලපා ඇත. සමාජ වැඩ මූලධර්ම භාවිත කර හරිත සමාජ වැඩ කරුවන්‍ට මේ හානි වැළැක්වීම් උදෙසා ඍජුවම මැදිහත් විය හැකිය. ප්‍රජා සහභාගීත්ව‍යෙන් වන වගාවන් සඳහා දිරි ගැන්වීම, රජයේ මැදිහත් වීමෙන් රුක් රෝපණ ව්‍යාපෘති දියත් කිරීම සහ වනාන්තරවල ඵලදායීතාවය වර්ධනය කිරීම සහ ප්‍රධාන වශයෙන්ම වන විනාශයේ අහිතකර ප්‍රතිඵල පිළිබඳව ජනතාව දැනුවත් කිරීම පහසුවෙන්ම කල හැකි දෑ ය.

දූපත් රටක් වශයෙන් කාලයක සිට අප මුහුණ දෙය පාරිසරික ගැටලුවක් නම් මුහුදු ඛාදනයයි. 2004 දී ඇති වූ සුනාමියෙන් වූ හානියෙන්ද, පෝර්ට් සිටි ව්‍යාපෘතිය නිසා ඇති වෙමින් පවතින මුහුදු ඛාදනයටද අප දැන් මුහුණ දෙමින් සිටින්නෙමු. මේවා ඇති වී නැතිවෙන ප්‍රශ්න නොවෙන නිසා තවත් අවුරුදු කිහිපයකින් මේවායේ බරපතල ප්‍රතිඵල වලට මුහුණ දීමට ශ්‍රී ලාංකිකයන්ට සිදු වනු ඇත. මෑතකදී ශ්‍රී ලංකා මුහුදු කලාපයේ ගිනිබත් වූ නැව නිසා සිදු වූ සමුද්‍ර හානිය ගණනය කරන්නටවත් නොහැකි තරම්ය. ධීවර කර්මාන්තයේ යෙදෙන ප්‍රජාවන් හට එය ඍජුවම බලපාන අතර, කොරල් පර විනාශ වීම, විසිතුරු මත්ස්‍ය ජනගහනයන් විනාශ වීම ආදී දෑ සංචාරක කර්මාන්තයන්ට ඍජුවම බලපානු ලබයි. අහිතර රසායනික ද්‍රව්‍ය වල බලපෑම නිසා සාමාන්‍ය ජනතාවට මාලු ආහාරයට ගැනීමට නොහැකි අතර, අම්ල වැසි නිසා මිනිසුන්ට චර්ම රෝග ඇති වීමේ අවධානමක්ද මෙම නැව ගිනිබත් වීම නිසා අපට ඇති විය හැක. කොවිඩ්19 වසංගතය නිසා අසරණ භාවයට පත්ව සිටින ජනතාවට මෙම සිදුවීම ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇණීමක් වැන්නකි. නමුත් ආරම්භයේ සිටම මෙම නැවට අත්වන තත්ත්වය ගැන අවබෝධයෙන් කටයුතු කළා නම්, මේ වූ හානියෙන් අර්ධයක්වත් අපට වළක්වා ගැනීමට හැකියාව තිබුණා වෙන්නට හැක. මෙවැනි සිදුවීම් වලින් අපේ ජෛව තුලනය රැක ගැනීමට නම් හරිත සමාජ වැඩ කරුවාගේ මැදිහත් වීම අවශ්‍ය නොවේද? කෙසේ නමුත් පවතින සමාජ දේශපාලන පසු බිම තුළ එය කල නොහැක්කක් සේ පෙනුනත්, ඒක පුද්ගල මැදිහත් වීම් වලට වඩා ඉදිරියට ගිය සාමූහික මැදිහත් වීම් තුළින් අප ජීවත් වන පරිසරයේ තිරසාර පැවැත්ම තහවුරු කිරීමට නැගී සිටීම අපට කළ හැකි දෙයකි. ඉන්දියාවේ චිප්කෝ ව්‍යාපාරය, ආචාර්‍ය වන්දනා ශිවාගේ කෘෂිකාර්මික සටන, ග්‍රේටාගේ දේශගුණික වෙනස් වීම් උදෙසා කරන සටන, මේවාට කදිම නිදසුන්‍ ය.

සමාජ කාර්‍යවේදය (Professional Social Work) එතරම් ප්‍රචලිත නොවූ රටක හරිත සමාජ වැඩ වැනි සංකල්පයක් කෙසේ නම් ව්‍යාප්ත කළ හැකිද යන්න ප්‍රශ්න කළ හැකි වූවත්, නැවතත් රටක් වශයෙන් පාරිසරික හානිය දෑස් මානයේ පෙනෙද්දී එයට විසඳුමක් වශයෙන් මෙම සංකල්පය ජනතාව අතරට ගෙන යාම කළ හැකි දෙයකි. පරිසරය සුරකිමින් එහි තිරසාරත්වය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරන ඕනෑම කෙනෙක් හරිත සමාජ වැඩ කරුවෙක් යැයි නම් කිරීමේ වරදක් නැත. එය අපට අලුත් සංකල්පයක් සේම සමාජය තුළ පිබිදීමක් ඇති කළ හැකි දෙයකි. අපට පරිසරය රැක ගැනීමේ අවශ්‍යතාවයද ඇත. පරිසර හානිය නිසා අප විවිධ දේශගුණික හා කාලගුණික විපර්‍යාස වලටද මුහුණ දෙමින් සිටින්නෙමු. අප සැබවින්ම සමාජ මාධ්‍ය තුළ එහෙ මෙහෙ දුවන යතාර්ථයේ නොපවතින පරිසර යුක්ති සටන් වලින් ද හෙම්බත් වී සිටින්නෙමු. ඉතින් අපට අවශ්‍ය වන්නේ නව උත්තේජනයකි. එම උත්තේජනය පාරිසරික ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සටන් කරන හරිත සමාජ වැඩ කරුවන් පිරිසක් ශ්‍රී ලංකාවේ බිහි වීම විය හැක. 

Top