ගුරුතුමනි, පුද දෙන්නෙ කොහොම ගුරු පඬුරු? (594)

post-title

ගුරුවරුන් වනාහී කවුද? ඔවුන්ගේ කාර්යභාරය කුමක්ද? අද්‍යතනයේ ඔවුන්ට පැවරී ඇති රාජකාරි හා ඔවුන් මුහුණ පාන සංකීර්ණ සමාජ ජීවිතය සමග ඔවුන්ගේ භූමිකා ගළපා ගත යුත්තේ කවරාකාරයෙන්ද? මේ මෑත කාලීන ව ඇසෙන ප්‍රශ්න කිහිපයකි. මේ මතකය අලුත් වුණේ සුගත් සෝමවීරගේ "වන්නි වන හිස උඩින් පුපුරණ" ගීතය ශ්‍රවණය කිරීමෙන් පිපිරූ හැඟීම්වල ප්‍රතිඵලයක් වශයෙනි.

ජීවිතය වනාහි කෙතරම් අපූරු වූවක් ද? එය අප ගන්නා තීරණ මත ම නියම වන්නක් ද? නො එසේ නම් එය වූ කලී අපට හමුවන මිනිසුන් අප වෙත ඇති කරන බලපෑම මත ද රඳා පවතින්නක් ද?

එදිනෙදා ජීවිතයේ දී අපට හමුවන මිනිසුන් මෙසේ අපේ ජීවිතවලට කරන බලපෑම සුළු පටු නො වේ. ඇතැම් විට අපේ ජීවිතය අංශක 180කින් හෝ 360කින් හැර වී ඇත්තේ මෙසේ අපට හමුවූ අය නිසා යැයි කීම කවර නම් වරදක් ද? ඒ අතර ගුරුවරුන්ට හිමිවන ස්ථානය සුළුපටු නො වේ.

ගුරුවරයා වනාහි ශිෂ්‍යයාගේ භූමිකාව සහමුලින් ම වෙනස් කළ හැක්කෙකි. අහිංසක අංගුලිමාල වූ තැන් පටන් ඒ සඳහා දිය හැකි උදාහරණ බොහෝ ය. පන්තියේ පිටුපස ම පේළියේ ළමයින් තනන්නේත්, ඉදිරිපස ම පේළියේ ළමයින් තනන්නේත් ගුරුවරුන් ම බව අප අමතක නො කළ යුතු ය. නන්දන වීරසිංහ එවන් ගුරුවරු සිටින පාසල පිළිබඳ මෙසේ කියන්නේ ද ඒ නිසා ම වන්නට පිළිවන.

ලකුණු අඩු අය අතර

පළමුවැනියන් නො ම දැක

කන්ද නො නැග ම පෙර මෙන්

එකම තැනක ම ලැග හිඳිමින් 

පෙරමුණට සටන් සගයන් එවන 

ආදරණීය පාසල!!

පසුපස ම අසුන්වල

අප වෙත සුරත දිගු කොට

බැරි එවුන් යැයි

හෙළා දුටු එ දවස

ඉදිරි පෙළ සිසු නඩය

සරදම් සිනා දී

ප්‍රීති සිත් වියරු කළ තැන

මගේ ශුද්ධ වූ පාසල!

මේ ගුරුවරුන්ගේ දෝතින් හැළුණු දරුවෝ ය. ඒ දරුවන්ගේ ඉරණම පාසල්වියෙහිදීත්, පාසලෙන් පසු සමාජයේ පොළොවේ පයගසා ජීවත්වන කාලයෙහිදීත් අතිශය අභාග්‍ය සම්පන්න ය. මේ ඛේදනීය ඉරණමට මුහුණ දුන් සමහර දරුවෝ, මේ මගේ දෛවය යැයි සිතාගෙන නව ජීවිතයට හුරුවන්නෝ ය. නමුත් ඇතැම්හු ජීවිතය දෙස බලන්නේ ඊට වඩා වෙනස් දෘෂ්ටිකෝණයන්ගෙනි. 

ඒවා ඇතැම් විට සුබ දායක විය හැකි ය. ඇතැම් විට ඒවා එසේ නො වීමට ද ඉඩ තිබේ. නමුත් එකක් පොදු ය. ගුරුවරුන්ගෙන් සාධාරණ හෝ අසාධාරණකම්වලට බඳුන් වූ ඕනෑ ම දරුවෙක් යම් දිනෙක තමා ආ මගෙහි දුර ආපසු හැරී බලනු ඇත. එදිනට ඔවුන් තමාගේ නොස්ටැල්ජික අතීතයට දිව යාමට හෝ කිසි දිනෙක එවැනි දිනක් නො පැමිණිනෙන්නැයි ප්‍රාර්ථනා කිරීමට ඉඩ තිබේ. කිසිම දිනක එවැනි කාලයක් නැවත නො පැමිණෙන්නැයි ප්‍රාර්ථනා කරන්නේ නම් එය කෙතරම් බරපතළ ද? 

අතීතයට යාම සාධාරණ ද?, එයින් සිදුවන ප්‍රතිඵලයක් තිබේද? යනාදී වශයෙන් අතීතකාමය පිළිබඳ ප්‍රස්තුතය කුමන දාර්ශනික පැනයක් මතු කළත්, එසේ අතීතයට නො යාමට සිතීමෙන් මතු වන්නේ ඛේදනීය යථාර්ථයක් මිස අන් කුමක් ද? 

විශ්‍රාම ගිය ගණිත ගුරුවරයා තම එළවළු කඩයේ මිලදී ගැනීමට පැමිණි බව දුටු අදක්ෂ ආදි ශිෂ්‍යයා තම ගුරුවරයාට සලකන ආකාරය පුෂ්පසිරි දයාවංශ කෝට්ටගේ මෙසේ පරිකල්පනය කරයි.

හිටපු දෙන් එළවලු බක්කිය ළඟ හිටගෙන

හිතපුදෙන් ඕනෑ දෙයක් මං ගැන

පැනලා නො කියමි හඳුනනකං

විස්තර නො කරමි - ගුරුගෝලකං

..................

තලන්නට ම හිතාගෙන වේවැලක් ගෙන

මුහුණේ සිනාවක් තෙතක් දයාවක් නොමැතිව

එදා දේවදත්තයා ලෙස පැමිණි මොහු

දැන් වියපත් ය, පැන්ෂන් ය, තැන්පත් ය...

මොලේ ඇතියවුන් වර්ණනාකොට

උන්ට ම ලකුණු දී සම්මාන දී 

මන් වගේ දුර්වලයන්ට 

තළා පෙළා හිංසා කොට

පාසල අපායක් කළ මොහු

............

නුඹ ද නුඹේ දක්ෂ ගෝලයෝ සැවොම ද

දැන් නිතර එති මා ළඟට

මගේ කඩේට

එදා බැරි වූ ගණන්

දැන් පෙන්වමි නුඹලා සැමට

කිරා දෙමි හාරසීය පන්සීයට...

මෙහි මතු වන අපූරු සදය උපහාසයට යටින් දිවෙන මේ එළවළු බක්කියේ දරුවාගේ ඛේදනීය කතා පුවත පාඨක හිත සසල කරයි. ගුරුවරයා පිළිබඳ වඩාත් තීක්ෂණ ව කල්පනා කිරීමට පොළඹවයි. මෙවැනි කවි ගුරු අත් පොත්වල පළමු හෝ දෙවන පිටුවක අච්චු ගසා එවිය යුතු යැයි අප යෝජනා කරන්නේ එබැවිනි.

මෙවැනි ඛේදනීය කතා පුවත් අතර, ඉතා දීප්තිමත් එළි ද දක්නට ලැබේ. සමරවීර විජේසිංහගේ අම්මාගේ සුවඳ, ගුරු තරුව, හරි පුදුම ඉස්කෝලේ ආදී නිර්මාණයන්හි දක්නට ලැබෙන චරිත එවැනි දීප්තිමත් චරිත වේ. එවැනි ගුරුවරු හමු වූ දරුවන් සත්‍ය වශයෙන් ම වාසනාවන්ත ය. නැවත නැවත නොස්ටැල්ජික අතීතයට දිව යාමේ නොනිත් ආශක්තතාව ඇතිකර ගැනීමේ හැකියාව හෙවත් අදුරු, පැල්ලම් සහගත අතීතයක උරුමක්කරුවන් නො වීම එකී වාසනාව යි. එවැන්නන් තම ගුරුවරුන් දකින්නේ මෙවැනි දෘෂ්ටි කෝණයකිනි. පමිත ආර්. ලියනගේ මෙසේ ලියයි. 

ගුරුතුමනි මගේ සොඳුරු

සිප් සතර නිබඳ වැපිරූ

අස්වැන්න අපට පැවරූ

ගුරුතුමනි, පුද දෙන්නෙ කොහොම ගුරු පඬුරු?

එය තම ගුරුවරයාට හාරසීයක් බර එළවළු මල්ල පන්සියකට කිරා දී, මුදල් අයකරගන්නා ගුරු ගෝල සම්බන්ධතාවයට වඩා හාත්පසින් ම වෙනස් බව පුන පුනා කිව යුතු නො වේ.

යථෝක්ත ප්‍රස්තුතය සම්බන්ධ නිර්මාණාවලියෙහි නව්‍ය පුරුක ලෙස හැඳින්විය හැකි, ශ්‍රාවකයා සංවේදී කලාපයකට ගෙනගොස් අතහරින ගේය පද රචනයක් ලෙස සුගත් සෝමවීරයන්ගේ වන්නි වන හිස ගීතය නිර්භය වූ හා නිර්ලෝභී ව හදුන්වා දීමෙහි හැකියාව තිබේ.

වන්නි වන හිස උඩින් පුපුරණ

රතු ඉරට හිනැහී

ශිල්ප පවසැති කොකුන් රෑනට

දියකඩිති පෙන්නා

දිසාපාමොක් ගුරුන්ටත් වැඩියෙන්

ඔබ අපේ දිවි සරු කෙරූ අරුමේ

දැනෙන රිදුම ද සුසුමකට හල

මලේ පැහැයට සුවඳ හුරුකල

ඇදුරිදුනි ගුරු පඬුරු මට නැත

ඔබ ම තැනු තෙතබරිත හද මිස

දුගී දුප්පත්කමින් වේලෙන

අපේ දහඩිය සුවඳ හැඳිනුව

ඇදුරිදුනි නුඹේ කිරි වැදුණ හද

පුරන් නොවනා වග දනිමි මම

තමාගේ අඹු දරුවන් තමාගේ ගමෙහි තබා, දුෂ්කර මාරු ලැබ ඈත වන්නි හත්පත්තුවේ දරුවන්ගේ නැණැස පාදන්නට, එම දරුවන්ට නව ලෝකයක් තනන්නට නිස්සරණාධ්‍යාශය පෙරටු කරගෙන කැප වූ ගුරුවරු එදත්, අදත් සිටිති. ඔවුන් අප මේ කතා කරන මොහොතේදීත් ශිල්ප සා පිපාසා ඇති සුදු හැඳගත් කොක් රෑනක් වන් දරුවන්ට ශිල්ප දියකඩිති පෙන්වමින් සිටිති. තමාගේ රිදුම් පිරිමැදුම් දරුවන්ගෙන් සඟවා මල්වල සුවඳ පාට දරුවන් වෙත දෙන්නට අනේකවිධ උත්සාහ දරති. දරුවන්ගේ අනේකවිධ දුක් කම්කටොළු දැක තනයට කිරි එරුණු නො හැකි ව ඇස්වලින් හඬා වැටෙති. මේ ගීතය ගැයෙන්නේ එවැනි උත්තුංග ගුරුවරුන්ට උපහාරයක් පිණිස යැයි අපට සිතේ.

ගීතයෙහි භාෂාව ප්‍රබල ය. වන්නි වන හිස උඩින් පුපුරන රතු ඉර, ශිල්ප පවස ඇති කොකුන්, දුගී දුප්පත් කමෙන් වේලෙන දරුවන්ගේ දහඩිය සුවඳ, කිරි වැදුණ ගුරුවරයාගේ හදවත එහිලා ප්‍රබල රූපකාර්ථවත් භාෂාවකට උදාහරණ සපය යි. ඒවා එක අතකින් දෘශ්‍ය ගෝචර ය. 

පදවලට එකතු වූ සුනිල් දයානන්ද මහතාගේ සංගීතයත්, කරුණාරත්න දිවුල්ගනේ මහතාගේ අපූරු ගායනයත් අප ව අතීතයට කැඳවාගෙන යාමේ සමත් ය. එකල අපට ද සිටි මෙවැනි බෝධිසත්ව ගුණෝපේත ගුණ ඇති ගුරුවරු සිහිපත් ව නෙතගට කදුළු නැංවීමෙහි සමත් ය. 

මා ඔබට යෝජනා කරමි. අතීත පාසලට ගමන් කරන්න. එහි මොහොතක් තනි වෙන්න. ජීවිතයේ ඔබ ආ මේ දුර මෙනෙහි කරන්න. සියලු යහපත් දේට ස්තූති කරන්න. ජීවත් ව සිටින ගුරුවරු ඇත්නම් හැඟීමෙන් ඔවුන් ගැන තොරතුරු විමසන්න. ජීවත් ව නො සිටී නම්, ඔබ ආ දුරට පින් දෙන්න. 

මේ අපි හැමෝ ම අපි අපි ව සොයා ගත යුතු කාලයක්!! 

Top