ශ්‍රී ලංකාවේ ජනසංඛ්‍යා ප්‍රතිපත්තින්හි විකාශනය (266 වන ලිපිය)

post-title

ජන සංඛ්‍යා ප්‍රතිපත්ති යනු යම්කිසි රටක ජන සංඛ්‍යාවේ මූලිකාංග වන ජන සංඛ්‍යාවේ ප්‍රමාණය, සංයුතිය, වර්ධනය සහ ව්‍යාපෘතිය කෙරෙහි බලපෑම් ඇති කරන නිශ්චිත ක්‍රියාමාර්ග වේ. මෙහි දී සෘජු ව බලපාන ක්‍රියාමාර්ග ව්‍යුක්ත ජන සංඛ්‍යා ප්‍රතිපත්ති ලෙස ද වක්‍ර බලපාන ක්‍රියාමාර්ග ගම්‍ය ජන සංඛ්‍යා ප්‍රතිපත්ති ලෙස ද හඳුන්වනු ලැබේ. ජන සංඛ්‍යා ප්‍රතිපත්තිවල අරමුණු හතරක් පවතියි. ජන සංඛ්‍යාවේ වර්ධන වේගය අඩු කිරීම හෝ වැඩි කරගැනීම, ජනතාවගේ ජීව ගුණය වැඩි කිරීම සහ ජන වයාප්තියේ වෙනසක් ඇති කිරීම එම අරමුණු වේ.

ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ විවිධ විෂමතා කාලීන ව මෙන් ම අවකාශීය ව ඇති වූ අතර ඒ සඳහා සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික මෙන් ම භූගෝලීය සාධක ද බලපා ඇත. සංක්‍රමණය සහ ආක්‍රමණය හේතුවෙන් අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා ප්‍රධාන වශයෙන් ජන සංඛ්‍යාවේ වර්ධනයේ සහ ව්‍යාප්තියේ විවිධත්වයක් ඇති වූ අතර බ්‍රිතාන්‍ය යටත්විජිතකරණයත් සමඟ එම තත්වය තවදුරටත් පුළුල් විය. ලංකාවේ අනුරාධපුර යුගයේ මහින්දාගමනය, දුමින්දාගමනය මෙන් ම රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මත බෞද්ධ ජන සමාජයක් නිර්මාණය වීම ද පොළොන්නරු යුගයේ දකුණු ඉන්දීය ආක්‍රමණ හේතුවෙන් ද්‍රවිඩ ජන සමාජයක් බිහිවීමද වෙළඳාම හේතුවෙන් මුස්ලිම් ජන සමාජයක් බිහිවීම ද සිදුවිය. පෘතුගීසි, ලංදේසි සහ ඉංග්‍රීසි ආක්‍රමණයන් හේතුවෙන් බර්ගර් ජන පදනමක් ද නිර්මාණය විය.

බ්‍රිතාන්‍ය පාලනයත් සමග ලංකාවේ ඇති වූ යටිතල පහසුකම්වල වර්ධනය හේතුවෙන් ජන සංඛ්‍යාවේ වර්ධනයක් ඇතිවිය. දහනව වන  සියවසේ වතු වගාව සඳහා දකුණු ඉන්දීය ශ්‍රමිකයන් ලංකාවට ගෙන්වා ගැනීම තුළ ලංකාවේ ජන සංයුතියේත්, ජන ව්‍යාප්තියේත්, ජන සංඛ්‍යා වර්ධනයේත් වෙනස්කම් සිදුවිය. එක්දහස් නවසිය හතලිහ වනවිට මැලේරියා මර්දනය ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමග ජනතාවගේ ජීව ගුණය ඉහළ ගිය අතර මරණ අනුපාතය පහළ ගියේය. එසේ ම සෞඛ්‍ය පහසුකම් වැඩි කිරීම, කොළරාව වැනි වසංගත රෝග පාලනය, පාසල් ළමුන්හට නොමිලේ ආහාර ලබාදීම, ඖෂධ නොමිලේ ලබාදීම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් මාතෘ මරණ අනුපාතයත්, ළමා මරණ අනුපාතයත් අවම වී ශීඝ්‍ර ජන සංඛ්‍යා වර්ධනයක් ඇතිවිය. වතු කම්කරු ජන සංඛ්‍යාවේ වර්ධනය හමුවේ සිරිමා ශාස්ත්‍රී ගිවිසුම මඟින් වතු කම්කරුවන් පිරිසක් නැවත ඉන්දියාවට යැවීමට එවකට රජය ක්‍රියාත්මක විය.

දහනව වන සියවසේ මැද භාගය වනවිට වියළි කලාපයේ වැව් විනාශවීමත්, කෘෂිකර්මාන්තය බිඳවැටීමත් හේතුවෙන් එම ප්‍රදේශ ජනශූන්‍ය විය. එම තත්ත්වය වළක්වාලමින් වැව් අමුණු ප්‍රතිසංස්කරණය කිරීමටත්, තෙත් කලාපයේ ජනතාවට ඉඩම් ලබාදී වියළි කලාපයට විතැන් කිරීමටත් රජය ක්‍රියාත්මක වීම නිසා ජන ව්‍යාප්තියේ වෙනස්වීම් ඇතිවිය. එලෙස ඇති කළ ගොවිජනපද ලෙස මින්නේරිය, තබ්බෝව ආදිය හඳුනා ගත හැකි අතර පසුකාලීනව ඇති කළ උඩවලව සංවර්ධන ව්‍යාපාරය, ලුණුගම් වෙහෙර සංවර්ධන ව්‍යාපාරය වැනි බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රම මඟින් ද ජන ව්‍යාප්තිය වෙනස් විය. දහනවවන සියවසේ අවසාන කාර්තුවේ ඇරඹුණු මහවැලි සංවර්ධන වයාපාරය හේතුවෙන් ද වියළි කලාපයේ ජන සංඛ්‍යා ව්‍යාප්තිය වර්ධනය විය.

  මෙම සාධක හමුවේ 1960වර්ෂය වනවිට ලංකාවේ ජන සංඛ්‍යාවේ ශීඝ්‍ර වර්ධනයක් ඇති විය. එම තත්ත්වය පාලනය කිරීම සඳහා එවකට රජයට අවශ්‍ය වුවද ඒ සඳහා සෘජුව මැදිහත් නොවී ය. එක්දහස් නවසිය හැටතුන වර්ෂයේ දී ශ්‍රී ලංකා පවුල් සැලසුම් සංගමය නමැති ස්වේච්ඡා සංවිධානය ලංකාවේ පිහිටවනු ලැබීය. එතෙක් ලංකාවේ ජන සමාජය තුල මුල් බැස තිබූ විශාල පවුල් සංස්කෘතිය බිඳ දමමින් ‘පුංචි පවුල රත්තරං’ යන සංකල්පය ප්‍රචලිත කරමින් ජන සංඛ්‍යාව පාලනයට රජයට අතහිත ලබාදීමට මෙම සංගමය කටයුතු කරන ලදි. උපත් පාලන ක්‍රම හඳුන්වා දෙමින් දැනුවත් කිරීම,පවුල් සෞඛ්‍ය සේවාවන් පුළුල් කිරීම, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් දැනුවත් කිරීම වැනි ක්‍රියාමාර්ග මෙම සංගමය විසින් අනුගමනය කරන ලදි. මෙම තත්වය හමුවේ සිංහල කාන්තාවන්ගේ සාඵල්‍යතා අගය අඩු වී උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ගියේය. එහෙත් ද්‍රවිඩ සහ මුස්ලිම් කාන්තාවන්ගේ සාඵල්‍යතාව අවම නොවුණි. හින්දු සහ ඉස්ලාම් ආගම් තුල දරුවන් සම්පතක් ලෙස සැලකීම ඊට හේතු විය.

එක්දහස් නවසිය අනූ දෙක වසරේ දී ශ‍්‍රී ලංකාවේ ජන සංඛ්‍යා ප්‍රතිපත්තිය ඉදිරිපත් වු අතර එහි දක්වන පරිදි සෑම පවුලක් ම දරුවන් දෙදෙනෙකුට සීමා කළ යුතු බව යි.ඒ තුළින් දෙදහස් පනහ වසර වනවිට ජනගහනය මිලියන විසි පහක් වී ස්ථාවර වීම අපේක්ෂා කරයි.

වර්තමානය වනවිට ලංකාවේ තෙත් කලාපය ජනාකීර්ණ ස්වභාවයක් දරනු දක්න‍ට ලැබෙන අතර විසිවන සියවසේ ඇති වු තාක්ෂණික පෙරළියත්, යටිතල පහසුකම්වල දියුණුවත්, නාගරීකරණයත් ඊට හේතු වී ඇත. එසේ ම අධ්‍යාපන පහසුකම්, වෛද්‍ය හා සනීපාරක්ෂක පහසුකම් ඉහළ මට්ටමක පැවතීම නිසා මරණ අනුපාතය පහළ මට්ටමක පවතියි. කාන්තාව අධ්‍යාපනයට යොමුවීම, විවාහ වන වයස කල් යාම හෝ විවාහ නොවීම, දියුණු උපත් පාලන ක්‍රමවේද අනුගමනය, සමලිංගික වීම වැනි කරුණු හේතුවෙන් උපත් අනුපාතය පහළ වැටී ඇත. එහෙත් වියළි කලාපය තුල මෙයට ප්‍රතිවිරුද්ධ තත්වයන් හඳුනාගත හැකිය. එම කලාපය තුල උපත් අනුපාතය ඉහළ යාමට හේතු වන්නේ අඩු වයසින් විවාහ වීම, උපත් පාලනය අවම වීම, පවුල් සැලසුම් ක්‍රම පිළිබඳ නොදැනුවත්කම සහ අවබෝධයක් නොමැතිකම, කෘෂි අර්ථ ක්‍රමය වැනි කරුණු හේතුවෙනි. 

මානවයා යනු වටිනා සම්පතකි. එම සම්පත හසුරුවන ආකාරය මතසාධනීය මෙන්ම නිශේධනීය ලෙස එය යොදා ගත හැකි ය. ශ්‍රී ලංකාවේ මානව සම්පතට ද නිසි ලෙස ජන සංඛ්‍යා ප්‍රතිපත්ති උපයෝජනය කිරීම තුළින් වටිනාකම් රැසක් උකහා ගත හැකි ය.

Top