තාරුණ්‍යය බිළිගන්නා රකුසු වෙස්ගත් ජංගම දුරකතන (397)

post-title

අද්‍යතනයේ මිනිසා ජීවත්වන්නේ තාක්ෂණික යුගයකය. අද වනවිට වර්තමාන සමාජයෙහි සෑම දෙයකම, සෑම ස්ථානයකම පාහේ පවතිනුයේ ද තාක්ෂණයයි. එකී තාක්ෂණයේ දියුණුවත්, සමාජ නවීකරණයත් සමඟ මිනිසාගේ ජීවිත වඩාත් පහසු කරමින් සන්නිවේදනය ද පුළුල් කර ඇත්තේ මුලු ලොවම විශ්ව ගම්මානයක් බවට පත් කරමින් ය. 

නිර්වාචික යුගයෙන් ඇරඹි සන්නිවේදනය භාෂණ, ලේඛන, තාක්ෂණික යනාදී යුග පසුකරමින් වර්තමානය වනවිට නව තාක්ෂණික යුගයක් කරා පැමිණ ඇත. එහිදී මිනිසා ජීවිතයේ සෑම මොහොතකම එකිනෙකා සමඟ සන්නිවේදනයෙහි යෙදෙමින් සිටියි. ඒ බහුලවම තම ජංගම දුරකතනය, ස්මාර්ට් ජංගම දුරකතනය භාවිත කර ගනිමින් ය. මේ අතරින් ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය 21 වන සියවසෙහි මිනිසාගේ තම දෛනික ජීවිතයට වඩාත් වැදගත්ම අංගයක් වී හමාරය. එමෙන්ම ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය අද වනවිට විවිධ අරමුණු ඉටුකර ගැනීම සඳහා අත්‍යවශ්‍ය අංගයක් බවට ද පත් වී ඇත. තාක්ෂණික අංශය සංවර්ධනාත්මකව ඉතා වේගයෙන් වර්ධනය වුවත් එමඟින් මිනිස් ජීවිතවලට සිදුවන බලපෑම සුලුපටු නොවේ. විශේෂයෙන්ම වර්තමානයේ තරුණ තරුණියන් පතුරු කැබැල්ලක් වැනි මේ ස්මාර්ට් ජංගම දුරකතනයෙහි මතුපිට අතුල්ලමින්, ඔබමින්, මුහුණ ඔබාගෙන සිටිමින් තම කාලය නිරන්තරයෙන්ම ගතකරන බව සමාජය දෙස බලන කල්හි කොයිකාහටත් පැහැදිලි වන සත්‍යයකි. එමෙන්ම වර්තමාන කෝවිඩ් වසංගතය හමුවේ තරුණ තරුණියන් පමණක් නොව පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ද අද මෙම ස්මාර්ට් ජංගම දුරකතනය නැමැති රකුසාට බිලි වීම මහත් ඛේදවාචකයකි.

ආචාර්ය ජේම්ස් රොබර්ට්ස් වැන්නන් සිදුකර ඇති පරීක්ෂණ අනුව පෙනී ගොස් ඇත්තේ ජංගම දුරකතනය යනු දුර සිටින පුද්ගලයන් අතර සබඳතා වැඩි කරන, ළඟ සිටින පුද්ගලයන් අතර සම්බන්ධතා අඩු කරන උපාංගයක් ලෙසයි. මීට දශක දෙක තුනකට පෙර දුරකතනය පැවතියේ ගමකට එකක් ලෙසය. නමුත් තාක්ෂණයේ දියුණුවත් සමඟ අද වනවිට ස්මාර්ට් ජංගම දුරකතනයක් නොමැති කෙනෙකු සොයාගැනීමට නොමැති තරම් ය. ශ්‍රීලංකාව ගතහොත් ජනගහනය තරම් ම ජංගම දුරකතන පවතී. ඉන්දියාව ගතහොත් එරට ජනතාව සතුව පවතින වැසිකිළිවලට වඩා වැඩියෙන් ජංගම දුරකතන පවතී. මෙසේ ජංගම දුරකතන වැඩිවන තරමට ම ඒ හරහා මනුෂ්‍ය සම්බන්ධතා වර්ධනය වන්නේ ද යන්න ප්‍රශ්නයකි. නමුත් මෙහි ඛේදනීය තත්ත්වය වනුයේ තරුණ පරපුර මෙන්ම පාසැල් දරු දැරියන් ද ස්මාර්ට් ජංගම දුරකතන “ වඳුරන්ට දැලි පිහිය අහුවුණා ” ලෙසට භාවිත කිරීමයි. 

ගෝලීයකරණය වූ වර්තමාන සමාජය තුළ තාරුණ්‍යයට තාක්ෂණය අත්‍යවශ්‍යය ය. මෙකී ස්මාර්ට් ජංගම දුරකතනය ද එකී තාක්ෂණය හමුවේ පවතින ප්‍රබල වස්තුවක් වන අතර එයින් මිනිසාට ප්‍රයෝජන රැසක් පවතින බව ද සත්‍යයකි. එසේ ජංගම දුරකතනය මිනිසාට කෙතරම් ප්‍රයෝජන ගෙන දුන්නත් එයට අධික ලෙස පෙළඹීම තරුණ ජීවිතවලට මෙන්ම පාසැල් දරුවන්ගේ ජීවිතවලට ගෙනදෙනුයේ ඉමහත් හානියකි.

ස්මාර්ට් ජංගම දුරකතනය යනු මෙවලමකි. මෙවලමක් යහපත් වන්නේ හෝ අයහපත් වන්නේ නැත. එය යහපත් වීම හෝ අයහපත් වීම තීරණය වනුයේ භාවිත කරන්නා මත පදනම්ව ය. වර්තමානය වනවිට ස්මාර්ට් ජංගම දුරකතනය තම ජීවිතයම කරගනිමින් තාරුණ්‍යය ජීවත්වීම නිසා සිය ජීවිතයම අඳුරට ඇඳ ගන්නා ජීවිත අපමණය. ඔවුන් තමා කොහේ ගියත්, කොහේ සිටියා වුවත් බස් නැවතුම, මහමඟ මේ ආදී වූ සියලු ස්ථානයන්හිදී සිත යොමුවී ඇත්තේ තම ජංගම දුරකතනය වෙතය. ශ්‍රීලංකාව තුළ මෙම ඛේදනීය තත්ත්වය තවමත් වර්ධනය වෙමින් පවතින තත්ත්වයක් ලෙස පෙනී ගිය ද ජපානය, දකුණු කොරියාව, සිංගප්පූරුව වැනි රටවල තරුණ තරුණියන් මහමඟ ගමන් කරනුයේ ද, දුම්රියට ගොඩවනුයේ ද, දුම්රියෙහි ගමන් කරනුයේ ද ස්මාර්ට් ජංගම දුරකතනයට ඔලුව ඔබා ගෙනය. මෙසේ ජංගම දුරකතන සමඟින් සන්නිවේදනයේ ඇතිවී තිබෙන මේ මහා විපර්යාසය මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ලැබිය හැකි මහත් වූ ජයග්‍රහණයක් ලෙස ඇතැමුන් සැලකුවද විටෙක එය මහා ඛේදවාචකයක් වනුයේ මිනිසාගේම නොමනා ක්‍රියාකාරීත්වය නිසාවෙනි. අද වනවිට වර්තමාන තාරුණ්‍යයේ පරිකල්පන ශක්තිය, ලේඛන හැකියාව මොට වී ඇත. ඔවුන්ට සිතීමටවත් කාලයක් නැති වී ගොස් ය. මන්ද ඔවුන් නිතරම තම ස්මාර්ට් ජංගම දුරකතනයට කොටු වෙමින් ඒ සඳහා ම කාලය ගත කරන නිසාවෙනි. අද සමාජයේ තාරුණ්‍යයෙන්, ජංගම දුරකතනය ඔවුන්ගෙන් දුරස් වනුයේ නිදා ගන්නා මොහොතේදී පමණකි.

අද වර්තමානයේදී පවතින කෝවිඩ් වසංගතය හමුවේ අධ්‍යාපනය මාර්ගගත තාක්ෂණයට යොමුවීම තුළින් දරුවන් අධ්‍යාපන කටයුතු සඳහා බොහෝවිට සහභාගී වනුයේ ස්මාර්ට් ජංගම දුරකතනය හරහාය. එහෙයින් අද වනවිට ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය පාසැල් සිසුන් තුළ ඉතා ශීඝ්‍රයෙන් වැඩි වී ඇත. මෙහිදී ඇතැම් සිසුන් ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා භාවිත කරන අතර සිසුන් වැඩිදෙනෙකුටම මෙය තම සිත එකලස් කර ගැනීමට බාධාවක් වනු ඇත. කෙසේවුවත් ස්මාර්ට් ජංගම දුරකතන භාවිතය වැඩිවීමත්, ඒ සඳහා යොදනු ලබන කාලය වැඩිවීමත් නිසා දරුවන් විටෙක ස්මාර්ට් ජංගම දුරකතනයට ඇබ්බැහි වීමකට මඟ පෑදෙනු ඇත. 

පාසැල් දරු දැරියන් තාක්ෂණයට දිනපතාම සම්බන්ධවීම හරහා ඔවුන්ගේ අධ්‍යාපනයට ගැඹුරු බලපෑමක් එමඟින් එල්ල විය හැකිය. ඇතැමුන් තම ස්මාර්ට් ජංගම දුරකතනයෙහි වැඩි වේලාවක් රැඳී සිටීම නිසා ඔවුන්ට තම අධ්‍යාපනික කටයුතු නිසිලෙස සිදුකර ගැනීමට වේලාව ප්‍රමාණවත් නොවනු ඇත. තවත් සමහර දරු දැරියන් තම ස්මාර්ට් ජංගම දුරකතනය තමා අසල තබාගෙන පාඩම් කිරීම ද පුරුද්දක් වශයෙන් සිදු කරනු ලබයි. ජංගම දුරකතනය නාද වූ විගස හෝ කෙටි පණිවුඩයක් ලද විගස ඒ සඳහා තම අවධානය යොමුකිරීම තුළින් ඔවුන්ට පාඩම් කිරීම සඳහා ගත් කාලය ද එමඟින් ඵල රහිත වනු ඇත. මන්ද එසේ එක අරමුණකින් යුතුව පාඩම් නොකිරීමෙන් එවිට තමා පාඩම් කළ කිසිවක් තම මනසට නොයන නිසාවෙනි.

වැඩි වේලාවක් ත්‍්ජැඉදදන වැනි සමාජ ජාලා තුළ කාලය ගත කිරීම නිසා බහුවිධ ඍණාත්මක මනෝවිද්‍යාත්මක බලපෑම් මේ හරහා ඇතිවීමට ද පවතින ඉඩකඩ බොහෝය. තරුණ තරුණියන් තුළ සමාජ විරෝධී හැසිරීම්, ප්‍රචණ්ඩත්වය, මනෝවිද්‍යාත්මක විසංවාදය, ආක්‍රමණශීලී හැසිරීම්, කල්පනා ශක්තිය හීනවීම යනාදී වූ බලපෑම් රාශියක් අභිමුව සිටින්නට වර්තමාන තරුණ ප්‍රජාවට සිදුවී ඇත්තේ තාක්ෂණික ලෝකයට තමා නිසිලෙස අනුගත නොවීම හේතුවෙනි. එමෙන්ම වර්තමානයේ ප්‍රේම සම්බන්ධතා ඇතිවීමට බොහෝවිට හේතුවන්නේ ජංගම දුරකතනයයි. නාඳුනන පුද්ගලයන් සමඟ ජංගම දුරකතනයෙන් හාද වී සිය ජීවිතයම අඳුරට ඇඳ දමා ගන්නා ජීවිත අපමණය. එමෙන්ම වර්තමානයේ සාහිත්‍ය දියුණු වනවා වෙනුවට සිදුවනුයේ භාෂාව විකෘති වීමය. ඒ තාරුණ්‍යය ජංගම දුරකතනය ඔස්සේ සිංග්ලිෂ් භාෂාවකට යොමුවීම තුළින් ය. මෙසේ ජංගම දුරකතනය අවභාවිත කිරීම නිසාවෙන් වර්තමාන සමාජයට මෙන්ම තාරුණ්‍යයට ද දැඩි තර්ජනයක් එල්ල කරමින් සිදුකරනු ලබන බලපෑම අතිමහත් ය.

එසේවුවද වර්තමාන තාරුණ්‍යය ළිං මැඬියන් සේ සිටිය යුතු නොවේ. ඔවුන් නව තාක්ෂණය ඔස්සේ ඉදිරි ලොව කරා පියනැඟිය යුතුය. නමුත් ඒ ඉවක් බවක් නොමැතිව නොවේ. ඒ සීමාවක් සහිතවය. එහෙයින් වර්තමානයේ අප සිටිනුයේ ජංගම දුරකතන නිසා මිලිනව යන තරුණ ජීවිත රැකගත යුතුම කාලයකය. එසේ හෙයින් බුද්ධිමත්ව තීරණ ගනිමින් ජංගම දුරකතන නැමැති රකුසාට බිලි නොවන්නට කටයුතු කිරීම වර්තමාන තාරුණ්‍යයේ අප සැමගේ යුතුකමක් මෙන්ම වගකීමක් ද වන්නේ ය. 

Top