සෙල්ෆිය පසුපස ඇති දරුණුතම ඛේදවාචකය, සෙල්ෆිටිස් (500)

post-title

අද්‍යතන ගෝලීයකරණය හමුවේ තාක්ෂණය, අද වන විට සෑම මිනිසෙකුගේම නිය තුඩට පැමිණ හමාරය. ඒ ස්මාර්ට් ජංගම දුරකතනය නූතන සමාජයේ ජීවත් වන සෑම පුද්ගලයෙකුම සතු වීමත් සමඟය. එසේම මෙම ස්මාර්ට් ජංගම දුරකතනයන්හි ඉදිරිපසට ද කැමරාවක් එක් කරමින් නව මුහුණුවරකින් එය සෙල්ෆි කැමරාව වශයෙන් හඳුන්වාදෙන ලද්දේ ජංගම දුරකතන තාක්ෂණයේ ද නව පිටුවක් පෙරලමින් ය. මෙහිදී පුද්ගලයාට තමන්ගේ රුව තමන්ටම රිසි සේ ඡායාරූපයකට ලබා ගැනීමට හැකිවූයේ එකී තාක්ෂණයේ අද්විතීයම ප්‍රතිඵලයක් වශයෙනි. මෙසේ වෙනත් පුද්ගලයෙකුගේ සහායකින් තොරව තමන්ටම තමාගේ ඡායාරූපයක් ගැනීමේ හැකියාව ඇති මෙම සෙල්ෆි නැමැති චමත්කාරජනක කලාව වර්තමානයේ බොහෝදෙනෙකුට තමන්ගේ රුව තමන් තුළම උමතුවක් නිර්මාණය කිරීමට සමත් වී ඇත. ඒ තාක්ෂණයේ පවතින එකී අද්විතීයත්වයම, විටෙක මිනිසාගේ අවභාවිතය තුළ එය ලොවට විනාශය කැඳවමින්, මිනිසාට බරපතළ බලපෑම් එල්ල කිරීමට සමත් වීමත් සමඟය.

ඇමරිකානු මනෝ චිකිත්සක සංගමය (American Psychiatric Association $ APA) විසින් සිදුකරන ලද පරීක්ෂණයකදී හෙළිවී ඇත්තේ පමණ ඉක්මවා සෙල්ෆි ඡායාරූප ගැනීම තුළින් මිනිස් මනස තුළ ව්‍යාධියක් එසේත් නොමැතිනම් උමතු රෝගී තත්ත්වයක් නිර්මාණය කරන බවයි. මෙම රෝගය ඇමරිකානු මනෝ චිකිත්සක සංගමය විසින් “ සෙල්ෆිටිස් (Selfities) ” ලෙස නම් කරන ලද අතර එය කෙනෙකුගේ ආත්ම ඡායාරූප ගැනීම, ඒවා සමාජ මාධ්‍යවල පළ කිරීම සහ ආත්ම අභිමානය නොමැතිකම හා සමීපතාවයේ හිඩැසක් පිරවීම සඳහා වන උමතු අනිවාර්යය ආශාව ලෙස ඔවුන් තවදුරටත් පෙන්වාදෙන ලදී. තමා විසින් තමාවම ඡායාරූපයට ගැනීම තුළින් ඇතිවන මෙම රෝගය තුළ මූලික අවස්ථා තුනක් දක්වා ඇති අතර එහි මුල් අවධිය පළමු රෝගී අවස්ථාව ලෙසත්, රෝගය උග්‍රවෙමින් පවතින අවස්ථාව දෙවැනි අවස්ථාව ලෙසත්, ක්‍රෝනික් හෙවත් රෝගය උත්සන්නතම අවස්ථාව තෙවැනි අවස්ථාව ලෙසත් සෙල්ෆි උමතු රෝගයේ පවතින එකී අවස්ථාවන් තුන හඳුන්වනු ලබයි. ඇමරිකානු මනෝ චිකිත්සක සංගමය පවසන පරිදි සෙල්ෆිටිස් පළමු අවධිය තුළ සිටින පුද්ගලයෙකු දිනකට සෙල්ෆි ඡායාරූප තුනක් පමණ ගනු ලබන අතර එයින් එකක්වත් සමාජ ජාලාවලට එකතු කරනු නොලැබේ. එහෙයින් මෙම අවස්ථාවෙහි සිටින පුද්ගලයෙකු මුදවා ගැනීම ද පහසු වේ. දෙවන අවධියේ රෝග ලක්ෂණයන් පවතින පුද්ගලයෙක් දිනකට සෙල්ෆි ඡායාරූප විශාල ප්‍රමාණයක් ගනු ලබන අතර එයින් 1-5ත් අතර ඡායාරූප ප්‍රමාණයක් සමාජ ජාලාවලට එකතු කරන බවට පර්යේෂණයන් ඔස්සේ හෙළිවී ඇත. එමෙන්ම සෙල්ෆිටිස් රෝගයෙහි උග්‍රම අවධිය ලෙස සලකනුයේ තෙවැනි අවධිය වන ක්‍රෝනික් අවස්ථාවයි. මෙම රෝගී අවධියේදී පුද්ගලයා දිනකට සීමාවක් නොමැතිව සෙල්ෆි ඡායාරූප ගනු ලබන අතර එයින් දිනකට ඡායාරූප 10ක් පමණ සමාජ ජාලා තුළට එකතු කරන බව පර්යේෂකයින් විසින් තම පර්යේෂණයන් ඔස්සේ තවදුරටත් සොයාගෙන ඇත. සාමාන්‍යයෙන් මෙම උග්‍රම තත්ත්වයට ගොදුරු වී සිටින පුද්ගලයින් තමා පිළිබඳ ආත්ම විශ්වාසයේ හීනතාවයෙන් පෙළෙන අතර, එහෙයින් ඔවුන් තමා අවට සිටින පුද්ගලයින් සමඟ සම වීමට ද උත්සාහ දරනු ලබයි. එම නිසා ඔවුන් මෙසේ සෙල්ෆි ඡායාරූප ගැනීම සඳහා ඇබ්බැහි වීම හා ඒ හා සමාන වෙනත් හැසිරීම්වලට ද නතු වන්නට හැකියාවක් පවතී.

මෙසේ පුද්ගලයා තුළ සෙල්ෆි ඡායාරූප ගැනීම සඳහා පවතින ඇල්ම සමඟ සත්‍ය වශයෙන්ම පවතින ගැටලුව වනුයේ ස්මාර්ට් ජංගම දුරකතන සඳහා පුද්ගලයා තුළ පවතින උණ නොව රූප සංස්කෘතිය කෙරෙහි ඔවුන් තුළ පවතින උණය. 

මෙම උමතු රෝගී හැසිරීම පුද්ගලයා තුළ වර්ධනය වන්නේ කෙසේද?, එයින් බලපෑමට ලක් වූ පුද්ගලයින්ට ප්‍රතිකාර කළ හැක්කේ කෙසේද? යන්න පිළිබඳ ව මේ වන විටත් විවිධ වූ පර්යේෂණයන් සිදුකර ඇත. එහිදී APA හි වාර්ෂික රැස්වීමේදී නිගමනය කරන ලද්දේ සෙල්ෆිටිස් සඳහා කළ හැකි හොඳම ප්‍රතිකාරය සංජානන චර්යා චිකිත්සාව (CBT ) වන බවයි. මෙම ප්‍රතිකාර ක්‍රමය ඔස්සේ, සමාජ මාධ්‍ය පවතිනුයේ ඒ සමඟ ජීවත්වීම සඳහා පමණක් වන බවත්, එහිදී සමාජ මාධ්‍ය මත්තේම තමා ජීවත් නොවියයුතු බවත් පුද්ගලයාට වැටහෙනු ඇත.

එමෙන්ම ඔබට ඔබේ ජීවිතය නිරායාසයෙන්ම කැමරා කාචය හරහා ගසාගෙන යන බවක් පෙනෙන්නේ නම් ඔබ සැම විටම ඔබේ ජීවිතයට නව ඉදිරි දර්ශනයක් එකතුකර ගත යුතුය. සමාජ මාධ්‍යවල අවම කාලයක් ගත කරමින් අන් අයගේ අනුමැතියන් හෝ විවරණයන් ලබා නොගෙන ජීවිතයේ හොඳම අවස්ථාවන් ගත කිරීමට ඔබම තෝරාගත යුතුය. මෙහිදී ඔබ ජීවත් විය යුත්තේ ඔබේ ජීවිතය සාර්ථකත්වය කරා රැගෙන යාමට හැකිවන අයුරින් විනා අන් අයගේ දෑස් ඉදිරිපිට එම දෑස් පිනවීම සඳහා ජීවත් වීමට නොවේය.

මේ අයුරින් බලන කල දුරකතන නිෂ්පාදන සමාගම් තම අලෙවිය වැඩිකර ගැනීම සඳහා යොදාගත් සෙල්ෆි ඡායාරූප ගැනීමේ උපක්‍රමය වර්තමානය වන විට මිනිස් ජීවිත බිළි ගන්නා උමතුවක් වී තිබීම වත්මන් සමාජය හමුවේ පවතින දරුණුතම ඛේදවාචකයකි. එනමුත් උසස් මනසකින් යුත් මිනිසා තාක්ෂණය හුදෙක් යොදාගත යුත්තේ මානව සංහතියේ උන්නතිය සඳහාම පමණක් ය. එසේ වුවද වර්තමානය වන විට සිදුවී ඇත්තේ එය නොවන බැව් නම් අපට ඉඳුරාම පැහැදිලිය. කෙසේවුවද මානව සංහතියේ උන්නතියට අවශ්‍ය වන දේ පමණක් තෝරා බේරා ගැනීමේ වගකීම පවතින්නේ ද මිනිසාටම ය. එහෙයින් ඔබ කළ යුත්තේ සිහිනුවණින් සිතා බලමින්, කුඩා කැමරා කාචයකට තම ජීවිතය සදහටම පාලනය කිරීමට කිසිවිටෙකත් ඉඩ නොතැබීමයි. එවිට තාක්ෂණය කෙතරම් දියුණු වුවත් සිහිනුවණින් සිතාබලා කටයුතු කරන පුද්ගලයා නිතැතින්ම ශාරීරික මෙන්ම මානසික වශයෙන් ද සුරක්ෂිත වනු ඇත.

Top