මානව පරිවර්තනයේ විප්ලවකාරියා කොවිඩ් . (604)

post-title

කොවිඩ් කියන වචන ඇසෙන විටත් අපට අද හරිම පිළිකුල් සහගතයි. ඒත් මානවයාට මෙය තම ජීවිතයට හොඳ ම අත්දැකීමක් කර ගැනීමට හැකි නම් එය කෙතරම් දෙයක්ද? ඒ මන්ද කොවිඩ් සමග කියාපාන බොහෝ කතා ඇත. මානව සෞඛ්‍යය හුරුපුරුදු , චර්‍යා රටාවන් වෙනස් කරමින් නැවත අපගේ ජීවන ක්‍රමය තුළ විපර්යාසමය වෙනසක් ඇති කිරීමට මෙතෙක් පැමිණි එක ම වෛරස බලවේගයකට හැකිවුණි නම් කොවිඩ් 19 පමණි. ලෝකයේ දියුණු තාක්ෂණ මෙන් ම විද්‍යාත්මකව ද දියුණු යැයි සම්මත රටවලට පවා මෙම වෛරසය සහමුලින්ම පරාජය කරලීමට හැකි ඖෂධ ප්‍රතිකාර ක්‍රමෙවේදයක් වසර දෙකකටත් ආසන්න වී තිබුනද තවම සොයාගැනීමට හැකිවී නොමැත.

මෙය වෛරසයක් පමණද?ලෝකයම අද හුස්මත් සමග දැඩි සටනක යෙදෙයි. සොබාදහමේ හුස්ම සොරාගත් මානවයාට අද ඔවුනගේ ම හුස්ම රැක ගැනීමට කාලය උදා වී ඇත. තරඟකාරී ලෝකයේ තරඟ කරමින් කඩිමුඩියේ මුදල්, බලය පසුපස හඹා ගිය මානවයා එක් නිමේෂයකින් අතරමං කර ඔවුනගේ සියලු ක්‍රියාවලි නවතා දමා ඇත. මෙහි දක්නට ලැබෙන හිතකර මෙන් ම අහිතකර ප්‍රථිපල අද්‍යතනය වනවිට අඩුවැඩි වශයෙන් අපට විඳීමට සිදුවී හමාරය. ඒ අපගේ ම ජීවන ගමන් මගේ තිබූ ආත්මාර්ථකාමීත්වය නිසාවෙන් ය. මුදල හා බලය මූලික වූ වත්මන් සමාජ ක්‍රියාවලියේදී සොබාදහම ලැබූ කටුකත්වය අද මානවයාට විඳීමට වී ඇත්තේ දඩුවමක් ලෙසිනි. මේ වෛරස ක්‍රියාවලිය සමඟ ඉස්මතු වන අනෙක් ප්‍රබල කරුණ නම් නිවැරදි සෞඛ්‍යය හුරුපුරුදු ඇති කර ගැනීම මානවයාට කෙතරම් වැදගත්ද යන්න ය. තවත් කරුණක් ලෙස ගත හැක්කේ කාලයක් තිස්සේ විනාශ කරමින් සිටි සොබාදහම පිළිබඳ ව අවදි කරවීමයි. පරිසර දූෂණය , අහිතකර වායුන් පරිසරයට මුදා හැරීම, අහිතකර විකිරණ, අධික ශබ්දය, වන විනාශය වැනි අදූරදර්ශී මානව ක්‍රියාකාරකම් හේතුවෙන් පීඩාවට පත් සොබාදහමට දුන් කටුකත්වය පෙරලා ම දැන් මානවයාට අත්විඳින්නට සිදුව ඇත. ඒ අනුව කොවිඩ් යනු හේතුඵලවාදී ක්‍රියාවලියක ප්‍රතිඵලයක් යැයි සිතෙනු ඇත. සොබාදහමට ආදරය කරලීමට එත්තු ගැන්වීමත් මතක් කරදීමත් කොවිඩ් විප්ලවයේ පරිවර්තනයකි.

කොවිඩ් සමඟ ඇතිවන අනෙක් ප්‍රධාන මානව සමාජීය බලපෑම නම් පුද්ගල සබඳතා ය. එනම් එකල මානවයා සිරිත්විරිත් චාරිතවාරිත්‍ර සම්ප්‍රදායන්ට අනුගතව කටයුතු කළ සහයෝගී පිරිසකි. අදවන විට එම මානව සමාජය දුරස්තවී ඛණ්ඩනය වී ඇත. අනෙකාට උදව් කිරීමට ද ඔවුනගේ දුකසැප විමසීමට ද කාලයක් නොමැති තරම් ය. කෙමෙන් සමාජීය බැදීම් මෙන් ම පුද්ගල ගුණාංගද පිරිහී ගොස් ඇත. තමන්ගේ සමීපතමයකුට පවා මෙම වෛරසය වැලඳි විට සමාජයෙන් ප්‍රතික්ෂේප වන තැනට ම අද සමාජ ක්‍රියාවලිය පත්වී තිබේ. මෙය දරුණු සමාජ ඛේදවාචකයක් ය. එනම් අප අපට ම සහයෝගය දක්වා නැවත මානව ගුණාංග පෝෂණය කරගෙන ඉදිරියට යාමට අවශ්‍ය මොහොතකි මෙය. එවිට කිනම් වෛරසයක් උවද සාර්ථකව මැඩලීමට තරම් පෞරුෂයක් මානව සංහතිය තුළ නිර්මාණය වේ.

මානව පරිවර්තනයේ මෙම විප්ලවකාරියා, මානවයාව එක් රාමුවකට සිරකර තබයි. මනුෂ්‍යාට සමාජයට ගොස් තම එදිනෙදා සාමාන්‍ය වැඩකටයුතු කර ගැනීමට නොහැකි වී ඇත. එසේ ම අධ්‍යාපන ,සමාජ ,ආර්ථික යානා දී සියලු ක්ෂේත්‍රයන්ගේ ක්‍රියාකාරිත්වය මේ වනවිට සහමුලින්ම අඩපණ කොට ඇත. කොවිඩ් පරිවර්තනය මානවයාට කියා දෙන්නේ ඔවුන් ගතකල කාර්‍යබහුල ජීවිතයේ කුරිරු බවයි. එමෙන්ම මානවයා තරඟකාරිත්වය පසුපස හඹායාම මිස මානව දිවිපෙවත යහපත්ව විඳ නැති බවත් මතක් කර දෙයි.

කොවිඩ් 19 නම් මෙම වෛරසය මානවයාට කියාපාන මේ අපූරු කතාව පිටුපස පෙනෙන බොහෝ යථාර්ථයන් පවතී. මානවයා සැමදා සිදුකලේ තම අරමුණු පසුපස අත්මාර්ථකාමීව හඹා යාම පමණි. එහිදී තම සමීපතමයන් ආදරණීයයන් වෙනුවෙන් වෙන් කිරීමට කාලයක් නැති විය. විටෙක සිත්පිත් නැති රොබෝවරු මෙන් කාලය හරහා අරමුණු හරහා වේගයෙන් දුවන ධාවකයන් වැනිය. එම මානවයාට සැබෑ මානවයා යන භූමිකාව යළි අවදිකර දීමට වෛරසයක් ලෙස පැමිණි කොවිඩ් 19 ට හැකිවිය.

මෙහි එන අයහපත් බලපෑමද ඉතා දරුණුය. නිදහසේ ජීවිතය විඳි පුද්ගලයන්ට අද එම නිදහස මුඛ ආවරණයකින් මුඛය වැසුවාසේ නිදහසද වැටකඩුලු දමා බැඳ ඇත. තම ආදරණීයයන් පවා රෝගී උවහොත් පවුල මෙන් ම සමාජයෙන්ද ඔවුන් ප්‍රතික්ෂේප කරලීමට තරම් මානවයාගේ හදවත රුදුරු වී ඇත්තේ කාලයේ ඇවෑමෙන් ය. තමා පමණක් රැකීමට සිතා ලෙඩකුට උවද පුදසත්කාර කිරීම වැනි මානුෂීය ගුණාංග අද ඈත් වී ඇත.

ගෝලීය අවකාශයේ සැරිසරමින් අධ්‍යාපනය ලබන දරුවනගේ අනාගතය තීරණය කරනුයේ යන්ත්‍රයක් පමණි. මෙහි නොපෙනෙන සත්‍ය නම් ඩිජිටල් කොටුවෙන් මුලාවෙමින් නූගතුන් පවා බිහි වීමේ බලය රජයන යුගයක් ආරම්භ වීමේ අවධානමක් පවතී. සාම්ප්‍රදායික පන්ති කාමරයෙන් ලද කුසලතාව එම ගුරු සිසු සබදතා කෙමෙන් මියදී යයි. අවසානයේ බිහිවනුයේ එම සමාජ ක්‍රියාවලිය මෙහෙයවීමට අවශ්‍ය රොබෝවරු වැනි මානව ප්‍රජාවක් පමණි. එය මානවයාගේ පරිහානියේ අඩිතාලමකි.

ඒ අනුව කොවිඩ් සමඟ අපේ ජීවිත බිලි නොදීමට වගබලා ගැනීම අප කාගෙත් වගවීමක් ය. මෙම මානව විප්ලවය යහපත් ලෙසට හරවා ගැනීමට අප අප ම සහයෝගයෙන් අනෙකාව අවබෝධ කර ගනිමින් එක්ව යායුතු මොහොතක්ය මේ. මානව පරිවර්තනයේ එක් විප්ලවීය නව වෙනසක් ඇතිකල හැකි පරිච්ඡේදයක් ලිවීමට දායක වීම මානව සමාජයේ වෙසෙන කාගෙත් වගකීමයි. කොවිඩ් වලට අපගේ මානව ජීවිතය තීරණය කෙරුමට නොදීමට වගබලා ගැනීම අප සතු පරම යුතුකමයි.

Top