යාලුවො කියල කියන්නෙ ජීවිතයක හැරවුම් ලක්ෂ්‍යයක්ද? (384)

post-title

අපි ජීවිතේ එක එක කාලවලදි එක එක බැදීම් හදාගන්නවා. ඉපදුණු ගමන් මුල්ම බැදීම හදාගන්නෙ අම්මත් එක්ක. ඊට පස්සෙ තාත්තා , සහෝදර සහෝදරියො, නෑදෑයො, අසල්වාසීන් , ගුරුවරු එක්ක බැදීම් හදාගන්නවා . ඒ අතරෙම අපි හදාගන්න තවත් අපූරු බැදීමක් තමයි මිත්‍රත්වය කියන්නෙ. පිරිමි ළමයෙක්ට නම්, පිරිමි ළමයින් විතරක්ම නෙවෙයි යාලුවො විදියට ආශ්‍රය කරන්න පුලුවන් . ගැහැනු ළමයින්ව ආශ්‍රය කරන්නත් පුලුවන් . ගැහැනු ළමයින්ටත් එහෙමයි .ගැහැනු ළමයි විතරක්ම නෙවෙයි යාලුවො ඉන්න පුලුවන් පිරිමි ළමයිනුත් ඉන්න පුලුවන් . හැබැයි ඉතින් සමාජෙ නම් ටිකක් විතර ගැහැනු ළමයෙකුයි පිරිමි ළමයෙකුයි අතර තියෙන යහලුකම වැරදි විදියට දකින්න හුරු වෙලා ඉන්නවා .ඒ උනාට ඉතින් ඒක වැරදි.ගැහැනු ළමයෙක් පිරිමි ළමයෙක් ආශ්‍රය කලා කියල ඒ , එ ගැහැනු ළමයගෙ පෙම්වතාම වෙන්නෙ නෑ . ඉතින් අද wachana.lkvතුළින් මං ලියන්න හිතුවෙ අපි හදාගන්න මේ මිතුදම හා බැදුණු විට අපේ ජීවිත වෙනස් වෙන විදිය ගැන .

මේ ලිපිය ලියන මටත් , කියවන ඔබටත් ඕනි තරම් යාලුවො ඉන්නවා . හැබැයි ඒ හැම යාලුවෙක් ම එක වගේ නෑ. අතේ ඇගිලි පහ එක වගේ නෑ වගෙ තමයි අපිට හම්බෙන යාලුවොත් අපි වගේ නෑ. එක එක විදියේ විවිධාකාර යාලුවො තමයි අපිට හම්බෙන්නෙ. සමහර යාලුවො ඉන්නවා ඇත්තටම අවංක සිතින්ම යාලුවෙක් විදියට දුකේදි , සැපේදි අපි ළගින් ඉන්න බලන් අපිව ආශ්‍රය කරන. සමහර යාලුවො ඉන්නවා අපෙන් ගන්න පුලුවන් වාසි ගන්න බලන් අපිව ආශ්‍රය කරන . සමහර අය ඉන්නවා අපිව වට්ටන්න, රිද්දන්න බලාගෙන අපිව ආශ්‍රය කරන . කොහොම උනත් වැඩි පුරම අද සමාජෙ ඇතුලෙ කළණ මිතුරො නම් ඉන්නෙ හරිම අඩුවෙන් . ගොඩක්ම ඉන්නෙ අපෙන් වාසි ගන්න බලාගෙන අපිව ආශ්‍රය කරන අය තමයි. හැබැයි ඉතින් අපි බුද්ධිමත් වෙන්න ඕනි ඔය කොයි කවුරුත් දාගෙන ඉන්න වෙස්මුහුණු යට තියෙන ඇත්ත මුහුණ හදුනාගන්න. එහෙම හදුනගන්න බැරි වීම තමයි එක එක ජීවිත වල හැරවුම් ලක්ෂ්‍ය බවට යාලුවො කියන අය සාධකයක් වෙලා තියෙන්නේ .

ගොඩාක් තරුණයන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවෙලා තියෙන්නෙ ඒ අයගෙ යාලුවො නිසා . එහෙම යාලුවන්ට ඇත්තටම කියන්නෙ පාප මිත්‍රයො කියල .ගොඩක් පුනරුත්ථාපන මධ්‍යස්ථානවලට ගිහිල්ලා කතා කරල බලපුවාම බහුතරයක් තරුණයො නොමග ගිහිල්ලා තියෙන්නේ පාප මිත්‍රයන්ගෙ ඇසුර හින්ද.. ඒත් ඒ හින්දම ඒ තරුණයින්ගෙ දෙමාපියන් කොයිතරම් නම් විදවනවා ඇතිද.. තවත් මෙවැනිම යාලුවො කණ්ඩායමක් ඉන්නවා අපි අතරෙ . ඒ අපෙන් එයාලට තියෙන වාසි නිසා අපිව ආශ්‍රය කරන අය. ඒ අය බලන්නෙ අපෙන් පුලුවන් තරම් වැඩ ගන්න . හැබැයි අපි ඉස්සරහ හැසිරෙන්නෙ හොඳ යාලුවො වගෙ.නමුත් ඇත්ත ඒක නෙවෙයි . " කාරිය කෙරෙන තුරු කාගෙත් රැවටිල්ල " කියනව වගෙ ඒ අයත් අපෙන් කෙරෙන්න තියෙන වැඩ ටික කෙරෙනකන් තමයි අපි වටේ ඉන්නෙ . මේ සමාජය ඇතුලෙ සිදුවෙන සිදුවීම් දිහා විමර්ශනය කරල බැලුවම බහුතරයක් ඉන්නෙ ඒ වගෙ අය. එයට හොඳම උදාහරණය තමයි සල්ලි තියෙන , වත්පොහොසත්කම් තියෙන කොල්ලෙක් නැත්නම් කෙල්ලෙක් වටා යාලුවො කියල එකතුවෙලා ඉන්න පිරිස. ඇත්තටම එතනින් 95%ක් විතරම ඉන්නෙ වාසි බලාගෙන ආශ්‍රය කරන අය.කොල්ලෙක් නම් ඒ වටා ඉන්න බොහොමයක් පිරිස ඉන්නෙ ක්ලබ් යන්න, පාර්ටි දාන්න , රස්සාවල් හදාගන්න ඕවට තමයි.හැබැයි ඒ කොල්ලට කවදහරි සල්ලි නැති උනොත් එදාට වාසියට හිටපු යාලුවො කවුරුවත්ම ඒ තරුණයට ඉතිරි වෙන්නෙ නෑ.. හැමෝම මගහැරල යනවා. එහෙම යාලුවන්ට කියන්න සුදුසු හොඳම වචනෙ තමයි අනුන්ගෙ පානෙන් එලිය බලපු අය කියල .

අපට හම්බෙන තවත් යාලුවො කොට්ඨාසයක් තමයි යාලුවො විදියට පෙනී ඉදලා ඉස්සරහට යන්න නොදී කකුලෙන් අදින පිරිස.. මෙවැනි යාලුවො නිසා වෙන්නෙ සමහරු ජීවිතේ කලකිරිල , ජීවිතේ අතාරින එක . ඉතින් එවැනි ඉරණමකට පාර කපන අයට තමයි කියන්නෙ කොලේ වහල ගහන අය කියල .එයාල කැමති නෑ තමන්ගෙ යාලුවා තමන් පහුකරගෙන ඉස්සරහට යනවට. ඉතින් දිය යටින් ගින්දර ගෙනියන්න තමයි එයාල හැමතිස්සෙම උත්සහ දරන්නෙ. ඒ වගේම තමයි මේ ලෝකෙ අතලොස්සක් විතර ඉතුරු වෙලා ඉන්නවා කළ්‍යාණ මිත්‍රයො කියල කොටසක්.එයාල ඇත්තටම අපේ දුකට, සැපට දෙකටම ළග ඉන්නවා . කළ්‍යාණ මිත්‍රයො ඉන්නෙ ටික දෙනයි උනාට හැම අයෙක්ටම එක කළ්‍යාණ මිත්‍රයෙක් හරි බොහෝ වෙලාවට ඉතිරි වෙනවා. එහෙම යාලුවො තමයි අපේ ප්‍රශ්නෙකදි අපි ළගින්ම ඉදලා හිත හදන ගමන් ඒ ප්‍රශ්නෙට අපිත් එක්ක එකතුවෙලා විසදුම් හොයන්නෙ. තරුණයෙක් නම් ආදරෙ විරහ වේදනාව ඉස්සරහ මතට ලොල්වීමට දක්වන්නෙ තදබල කැමැත්තක්. ඉතින් එතනින් ඒ තරුණයාව ගලව ගන්නෙ හොඳ යාලුවෙක් විතරයි . අපි කියන ඕනිම දෙයක් අහන් ඉදලා හරි වැරදි පාරවල් පෙන්නල දෙන්නෙ හොඳ යාලුවෙක් විතරයි . එහෙම අයට තමයි අඹ යාලුවො කියන්නෙ . ඒ අය ජීවිත නැවුම් මගකට හරවනවා.

ඉතින් අපිට ජීවිතේ එක එක කාලයට එක එක අවස්ථාවලදි එක එක යාලුවො මුණ ගැහෙනව සමහර යාලුවො අපායට යන පාර පෙන්නනවා, තවත් සමහර අය වංකගිරියට යන්න පාර පෙන්නනවා, අනෙක් අය දිව්‍ය ලෝකයට යන්න පාර පෙන්නනවා. ඔබේ ජීවිතේ හැරවුමට නිවැරැදි මගක් පෙන්වන යාලුවෙකු තෝරා ගැනීමට බුද්ධිමත් වෙන්න . එවිට ඔබට සාර්ථකත්වයේ දොරටු විවර වෙනු ඇත.

Top