මනෝරම්‍ය මනෝරත්නයන් ගේ මතකාවර්ජනයක් (650)

post-title

1948 ජුනි මස 12 වන දී නුවරඑළිය දිස්ත්‍රික්කයේ, හගුරන්කෙත, දෙහිපෙ ග්‍රාමයේ උපන් "කෙසෙල්ගස්පෙ මනතුංග ජයලත් මනෝරත්න" දෙහිපෙ විදුහලෙන් හා පොරමඩුල්ල මැදි විදුහලෙන් පාසල් අධ්‍යාපනය හැදෑරීය. මනෝරත්නයන් ඉපදී හැදී වැඩුණු සමාජ හා සංස්කෘතික පසුබිම නාට්‍ය කලාවට අනුබල දෙන්නක් වූයේය. මන්ද යත් දෙහිපෙ ග්‍රාමය සොකරි නාටක, සද කිදුරු නැටුමට ප්‍රකට ප්‍රදේශයක් නිසාවෙනි. මනෝරත්නයන් නාට්‍ය කලාවට අවතීර්ණ වන්නේ පාසල් නාට්‍ය නළුවෙකු ලෙසිනි. ඒ 1966 වසරේ සමස්ත ලංකා අන්තර් පාඨශාලීය නාට්‍ය තරගයට පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් ඉදිරිපත් කෙරුනු "අස්පගුඩුං" නාට්‍යයෙනි. මෙහි නිෂ්පාදනය පාසැලේ සංගීත ගුරු සුනිල් ශ්‍රියානන්දයන්‍ ය. මෙම නාට්‍යයේදී මනෝරත්නයන් හොදම රංගන කුසලතා සම්මානය හිමිකර ගත්තේය.


ඉන් පසු උසස් අධ්‍යාපනය හැදෑරීම සදහා 1966 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් විය. එහි දී භූගෝල විද්‍යාව, සිංහල, ඉතිහාසය යන විෂයයන් ගෙන් උපාධිය හැදෑරූ ඔහු එහි දී විවිධ සමිතීන් වල නිලතල දරමින් ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙස කටයුතු කලේ ය. මනෝරත්නයන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීම ඔහුගේ නාට්‍ය හා රංග කලා ජීවිතයට විශාල පිටුවහලක් වූයේය. එහිදී මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් හදුනාගන්නට ලැබීම ඔහුට පරම භාග්‍යයක් විය. මුල් කාලීනව "මනමේ", "සිංහබාහු" වැනි නාට්‍ය වල සුළු සුළු චරිත රගපෑ මනෝරත්නයන් ප්‍රධාන චරිතයක් නිරූපණය කරන්නේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් ගේ "පෙමතෝ ජායතී සෝකෝ" (1968) නාට්‍යයෙනි. ඒ "උද්දාල බමුණාගේ" චරිතයයි.


නුවරඑළිය කච්චේරියට රැකියාවක් ලැබ එහි යන මනෝරත්නයන් ඒ අවදියේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ "රත්තරන්" හා "එලොව ගිහින් මෙලොව ආවා" නාට්‍ය සරච්චන්ද්‍රයන්ගේ අවසරය මත පුනර් නිෂ්පාදනය කර ඇත.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම නාට්‍යකරුවන් පස් දෙනායැයි පැවසෙන නාට්‍යකරුවන්ගේ නාට්‍ය වල හෙතෙම රගපා ඇත. එය නළුවෙකු ලබන විරලතම ජයග්‍රහණයකි. එනම් "මහාචාර්ය සරච්චන්ද්‍රයන්, සුගතපාල ද සිල්ව, දයානන්ද ගුණවර්ධන, ගුණසේන ගලප්පත්ති (මහහේනේ රීරි යකා නාට්‍යයේ), හෙන්රි ජයසේන එම නාට්‍යකරුවන් පස්දෙනයි. 


ඒ හැරුණු කොට, "මෝදර මෝල (ආචාර්ය රංජිත් ධර්මකීර්ති), සොක්‍රටීස් (මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, රයිනෝසිරස් (කපිල කුමාර කාලිංග), රතු හැට්ටකාරි (ලූෂන් බුලත්සිංහල), ද්විත්ව (ප්‍රසන්න විතානගේ), නාගගුරුළා (කේ. බී හේරත්)" නාට්‍යයන් වල මනෝරත්නයන් කල රංගනය අද්විතීයයි. මෙවන් එකිනෙකට වෙනස් චරිත රගපෑ නළුවෙකු තවත් සිංහල වේදිකාවේ දැකිය නොහැකි තරම්ය.

තවද මනෝරත්නයන් රංගනයෙන් දායක වූ නාට්‍ය කිහිපයක් ලෙස,


"පොකුරු වැස්ස, මායාදේවි, වාසුදේව, දොන් ජුවන්, අපි ගෙවන්නේ නෑ, නෙළුම් පොකුණ, හිරු නැති ලොව, අංගාරා ගග ගලා බසියි, මේඝ, සුදු ඇතා, චූලෝදර මහෝදර, නරියා සහ කේජු, චිත්‍රාගේ ප්‍රේම කතාව, සිහින සාප්පුව, ආඩි රැලේ නාඩගම, උක්දඩු ගින්න, සත සහ සත, දෙබිඩ්ඩෝ, හොරු සමග හෙළුවෙන්, ලුසින්දේ, මහ හේනේ කතාව, ඔත්තුකාරයා, දිවැස් හෙලනු මැන, යාත්‍රා, තාරාවෝ ඉගිලෙති, සුභ සාධක, සුභ සහ යස, සැරදේ සීතා, සුද්දෙක් ඔබ අමතයි, මකරට, දෙසීය තුන්සීය" යන නාට්‍ය හැදින්විය හැක.


මනෝරත්නයන් යනු තම නිර්මාණ කෞෂල්‍යය නළු කාර්‍යයෙහි පමණක් නොව වෙනත් බොහෝ කලා මාධ්‍යයන්‍හිද ප්‍රකට කලා වූ නිර්මාණශීලී පුද්ගලයෙකි. ඒ අතරින් සාහිත්‍ය කලාවෙහිලා මහගු කර්තව්‍යයක් ඉටු කර ඇත.


*දවස තවම තරුණයි (නවකතා)
*වැහි එන තුරු (කෙටි කතා)
*පියසේන හා කුමාරිකාව (කෙටිකතා) (බුද්ධදාස ගලප්පත්ති සමග)
*මිනිහට නින්ද යන්න ඇති (කෙටිකතා)
*දොළොස් මහේ පහන (කවි) (බුද්ධදාස ගලප්පත්ති, මහාචාර්ය සුනිල් ආරියරත්න හා එක්ව)
(තවද හේ ගී පද රචකයෙකි, සංගීතවේදියෙකි)


නිර්මාණශීලී රූපවාහිනී නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද මනෝරත්නයන් කැපී පෙනේ. "සෙක්කු ගෙදර (1992 උන්ඩා අභිනන්දන උළෙලේ දී හොදම අධ්‍යක්ෂණයට හිමි සම්මානය හිමි විය) , රංසිරිගේ සංග්‍රාමය, මගේ කවිය මට දෙන්න, තුන්පත් රටාවක ලස්සන, ඊයේ සහ අද තාත්තේ අපි අාවා" ඔහුගේ අධ්‍යක්ෂණයෙන් බිහි වූ ප්‍රාසාංගික රූපවාහිනී නාට්‍යයන් වන්නේය. 


ඒකාංගික රූපවාහිනී නාට්‍යයන් වන, "බාප්පාගේ පැමිණීම", "ඇගේ අවුරුද්ද", "රජතුන්කට්ටුව", "නිදහස", "සීට්ටුව", "දෙන්නා දෙමල්ලෝ", "පසමිතුරු", "දුප්පතුන් ද ආදරය කරති", "සංතාපය", "බුද්ධ පුත්‍ර" යන නිර්මාණයන් ඔහුගේ අධ්‍යක්ෂණයෙන් බිහි වූ නාට්‍යයන්‍ ය.


"ගම්පෙරළිය, කන්දෙ ගෙදර, මැණික් නදිය ගලා බසී, මං නැතිදා, දූ දරුවෝ, ගංගා සහ නිශ්ශංක, හත්පණ, හිරුට මුවාවෙන්, බුමුතුරුණු, සද අමාවකයි, සකිසද එළියස්, දෙයියෝ සාක්කි, සසර සද, පවර මෙනුවර, රෝද හතරේ මනමාලයා, රම්‍ය සුරම්‍ය, සෙදෝනා, සරදියෙල්, ගල් පිළිම හා බොල් පිළිම, ගජමන් නෝනා, වර්ණ" මනෝරත්නයන් රගපෑ ටෙලිනාට්‍ය කිහිපයකි.


මොහු සිනමාවට අවතීර්ණ වූයේ 1976 අමරනාත් ජයතිලක නිපද වූ "තිලක හා තිලකා" චිත්‍රපටයෙනි. ඉන් පසුව මනෝරත්නයන්, "හදයා, සිරිබෝ අයියා, මංගල තෑග්ග, හිමගිර, ස්ත්‍රී, මුහුදු ලිහිණි, සිසිල ගිනි ගනී, උමයංගනා, සාරංගා, සප්ත කන්‍යා, සුදු කළුවර, ගිනි කිරිල්ලී, සූරිය අරණ, සමනල තටු, පුංචි සුරංගනාවි, සුදු කළු සහ අළු, භේරුණ්ඩ පක්ෂියා, වලා පටල, හෝ ගානා පොකුණ, කතුරු මිතුරු, ගෝල්, තාල" යන චිත්‍රපට රැසකට සිය රංගන දායකත්වය සපයයි.


වේදිකා රංගනයන් තුළින් ශික්ෂණය, අවබෝධය හා පන්නරය ලද මනෝරත්නයන් රූපවාහිනියේ හා සිනමාවේ ඊට අනන්‍ය වූ ශික්ෂණයක් පවත්වා ගනිමින් රගපෑ විශිෂ්ට රංගධරයෙකි. අත්දැකීම්, පරිකල්පනය, සියුම් නිරීක්ෂණ, සතතාභ්‍යාසය නිතර ප්‍රගුණ කල චරිතාංග නළුවෙකු ලෙස ඔහුගේ සාර්ථකත්වය ප්‍රකට වේ.


මනෝරත්නයන් අපට සිටි, ගැඹුරු චරිතාර්ථ විවරණයෙහි සියුම් වූ නිර්මාණශීලී පරිචයක් ඇති අග්‍රගන්‍ය නළුවෙකු , නිර්මාණකරුවෙකු ලෙස සැලකිය හැක. "සියුම් චරිතාර්ථ විවරණයන්ගෙන් හෙබි මනුෂ්‍යත්මභාවයේ අහු මුළු විශද කරන යථාර්ථවාදී" රංගයක භූමිකාවක් නිරූපණය කිරීමට නළුවෙකු අවශ්‍ය වූ විට නාට්‍ය අධ්‍යක්ෂකවරයන් මනෝරත්නයන්ව සොයා එන්නේ එබැවිනි.
මනෝරත්නයන් භූමිකා තෝරා ගැනීමේදී විශේෂ අවධානයක් යොමු කළ බව පෙනේ. මේ ආභාසය මූලික වශයෙන් ඔහු ලැබුවේ අධ්‍යාපනික හා සමාජ පසුබිම් තුළිනි. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ද, වෙනත් නාට්‍යකරුවන්ගේ ද නාට්‍යවල රගපෑම මෙන්ම, නිරතුරු ඔවුන්ගේ සුහද ඇසුර ලැබීමද, විෂයානුබද්ධ පොත පත හැදෑරීමද මනෝරත්නයන්ගේ විෂය පථය පුළුල් කළේය. ඒ නිසාම ඔහු රගපෑවේ තෝරාගත් නාට්‍යවල පමණි. නමුත් ඒ නාට්‍ය සියල්ලම උසස් ඒවායැයි මින් අදහස් නොකෙරේ. 


මනා මානව සම්බන්ධතා ඉහළින්ම අගයන මොහු සැබෑ මානවහිතවාදියෙකි. මනෝරත්නයන්ගේ නාට්‍ය වල සමාජ සම්බන්ධතා බිද වැටීම පිළිබඳ කම්පාව මෙන්ම කල්පිත ලෝක ගැන සිහින මැවීම දැකගත හැකිය.
ස්වකීය නළුවෙකු ලෙස මනෝරත්නයන් ගේ භූමිකාව මෙරට නාට්‍ය වංශකතාවේ සුවිශේෂී මංසලකුණක් ලෙස හදුනාගත යුතුව ඇත. ඒ මෙම යුගයේ බොහෝ නාට්‍ය කරුවන් සතු නොවූ අනන්‍යතාවයක් මනෝරත්නයන්ගෙන් ප්‍රකට වන හෙයිනි. ස්වකීය නිර්මාණකරණයේදී තම ලේ මස් වලින් උපන් දෘෂ්ටියක් මනෝරත්නයන් සතුවිය. අව්‍යාජ ගැමියෙකුගේ ආධ්‍යාත්මය තුළට කිදාබස්නා ධනේශ්වරයේ සකලවිධ ව්‍යවසනයන් හා අමානුෂිකත්වයන් ඔහු ප්‍රශ්න කරන්නේ තම සහෝදර මිනිසත්කම ප්‍රකට කරමින් ඔවුන්ව එයින් මුදවා ගැනීමේ පාරිශුද්ධ චේතනාවෙනි. මෙය තමා සතු සකලවිධ භාවයන්ගේ සංවේදනයන්ගෙන් උපන් දෘෂ්ටියකි. මේ නිසා මනෝරත්නයන්ගේ බොහෝ නාට්‍යවල සිටින විපතට පත් මිනිසා මනෝරත්නයන්මැයි සිතේ.

මනෝරත්නයන්ගෙන් නිර්මාණය වූ නාට්‍යයන් ලෙස පිළිවලින්,
*මහගිරිදඹ (1980)
*පුත්‍ර සමාගම (1985) (පරිවර්තනය ප්‍රසන්න විතානගේ ගෙනි. නාට්‍ය රුසියානු නාට්‍ය රචක ඇලෙක්සැන්ඩර් වැම්පිලෝව් ය. "The elder son")
*තලමල පිපිලා (1988)
*අන්දරේලා (1993) (මනෝරත්නයන් ගේ ප්‍රථම වාර්තා රංගය මෙයයි.)
*ගුරු තරුව (1996)
*සදගිර (1998)
*කනේරු මල් (2000)
*ලෝකය තනි යායක් (2005)
*මකරා (2007) (හෙන්රි ජයසේනයන්ගේ මකරා නාට්‍ය පුනර් නිෂ්පාදනය කලේය. මනෝරත්නයන් මුලින්ම කොළඹට පැමිණි විට රග පා ඇත්තේ හෙන්රි ජයසේනයන්ගේ "මකරා" නාට්‍යයේය.
*සුදු රෙදි හොරු (2008)
*බූරුවා මහත්තයා (2012) (උර්දු ලේඛක ක්‍රිෂන් චන්දර් ගේ කෙටි කතාවන් ඇසුරෙන් මෙම නාට්‍ය සම්පාදනය කර ඇත. (අ ඔටෝබයෝග්‍රැෆි ඔෆ් අ ඩොන්කි)
*සෙල්ලම් නිරිදු (2013)
*හඩ නිහඩ (2016) (මනෝරත්නයන්ගේ අවසන් නාට්‍ය නිර්මාණයයි.)


මොහුගේ හැම නාට්‍යයකම (නාට්‍ය 13ම) ප්‍රධාන චරිතය මනෝරත්නයන් විසින්ම රගපානු ලැබීම විශේෂ වේ. තවද මෙම හැම නාට්‍යයක් ම කලාකරුවෙකුගේ ඛේදනීය ඉරණම වටා ගෙතුනු ප්‍රස්තුතයන් වීමද විශේෂිතය. එමගින් මොහුගේ නාට්‍ය වල කිසියම් ඒකමතික ස්වභාවයක් ද දැකිය හැකිය. නාට්‍ය දෙකක් පමණ හැරුණු කොට අනෙකුත් නාට්‍ය සියල්ල ස්වතන්ත්‍ර නාට්‍ය කෘති වීමත්, අන්දරේලා නාට්‍යයෙන් පසු වාර්තා රංග ශෛලිය භාවිත කිරීමත්, ප්‍රාසාංගික ලක්ෂණ පූර්ව රංගයක් හා ඇතැම් විට අපර රංගයක්ද ඇතුළත් වීම, හාස්‍ය හා උත්ප්‍රාසය මුසු වූ සංවාද රචනය මේ ඒකමතියට හේතු වේ.


මනෝරත්නයන් තමන්ගේ පෞරුෂයත් අනන්‍ය සාධාරණ ගුණයත් කරණකොට ගෙන තමන් තුළින් යම් සුවිශේෂී ශෛලියක් විශද කෙරූ රූපන ශිල්පියෙකි. මොහු ඉක්මනින්ම චරිතයකට සමාවිශ්ට වීමේ හැකියාවෙන් හෙබි පුද්ගලයෙක් වශයෙක් හැදින්විය හැක. තවද චරිතය ප්‍රක්ෂේපණය කිරීමෙහිලා සාත්වික, ආංගික, වාචික අභිනයන් එකසේ වන ශූරකමකින් මෙහෙයවිය හැකි නළුවෙකි. මනෝරත්නයන් හට චරිතයේ භාව නිරූපණය පිණිස තම මුඛ කුහරයෙන් පිටතට යැවිය යුතු හඩේ බර පිළිබඳවත් හඩේ මට්ටම පිළිබඳවත් සේම එය කවර ශ්‍රැතියක, කවර තානයක පිහිටා සිටිය යුතුද යන්නද නිසි අවබෝධයකින් සමන්විත වූවෙකි. 


මෙනයින් මා මනෝරත්නයන්ව "පරමාදර්ශී නළුවා" යැයි පමණක් නොකියා "පරිසමාප්තියට පත් නළුවා" (Consummate actor) යැයි පවසමි.


ප්‍රධාන වශයෙන් නාට්‍ය කලාවටත්, සාහිත්‍ය කලාවටත් අපරිමේය සේවයක් ඉටු කල ආචාර්ය ජයලත් මනෝරත්න නම් නිරහංකාර, මානවහිතවාදී වූ මහා යුග පුරුෂයා 2020 ජනවාරි 12 වන දින අළුයම ලාංකේය කලාකෙතට මහත් හිඩැසක් ඉතිරි කරමින් අපෙන් සමුගත්තේය.


හරවත් සිංහල නාට්‍ය කලාවක් බිහි කිරීමට කැප වීමෙන් ක්‍රියා කළ නාට්‍යවේදීන්ට ඒ ශක්තිය, ධෛර්යය හා අනුභාව පළ කරමින් තම නිර්මාණ කුසලතාවත්, කාලය හා ශ්‍රමයත් අර්ථවත් ලෙස වසර පනහකට වැඩි කාලයක් තිස්සේ අවංකව කැප කළ නාට්‍ය ශිල්පියෙකු ලෙස මනෝරත්නයන් ගේ ශ්‍රී නාමය මෙ රට නාට්‍ය ඉතිහාසයට රන් අකුරින් එක්වනු ඇත.

Top