මතින් (නො)මියෙන ලංකා මාතා (460)

post-title

මේ මොහොත වන විටත් ශ්‍රී ලංකාව පමණක් නොව ගෝලීය වශයෙන් ගත් කළ මුළුමහත් ලෝකය ම මත් රකුසාගේ ග්‍රහණයට හසුවී අවසන් ය. අද ලෝකයේ බහුතරයක් අඩු වැඩි වශයෙන්, වක්‍රාකාරයෙන් හෝ නොදැනුවත්කමින් මත්ද්‍රව්‍යවලින් පීඩා ලැබුව ද මෙහි විනාශය මුළු මහත් සමාජ ක්‍රමය පුරාම නිසැකයෙන්ම පැතිරී යනු ඇත.

මතින් තොර රටක් නිර්මාණය වීම යනු සංවර්ධනයේ තවත් එක් මානයක් බැව් ලොවම පිළිගත් කරුණකි. මේ හේතුව නිසාවෙන් ම මත්ද්‍රව්‍ය උවදුරෙන් දැඩි ලෙස බැටකන රටක් වශයෙන් ශ්‍රී ලංකාවට ද එම අභියෝගය ජය ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වී ඇති බැව් නම් නොරහසකි. සතර දෙසින්ම මුහුදින් වට වූ ශ්‍රී ලංකා දූපතට කෙනෙකුට මුහුදෙන් ද ගොඩ බැසිය හැකිය. ගුවනින් ද ගොඩ බැසිය හැකිය. මෙකී වාසි අත්පත් කර ගනිමින් ආසියාකරය හරහා පුළුල්ව එළමින් පවතින රුදුරු මත්ද්‍රව්‍ය ජාලය අප ශ්‍රී ලංකාව පුරා ද දැනටමත් අපූර්වට එළා හමාරය. එමඟින් ලොවෙහි නිහඬ මරුවා වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළට ගොඩවැඳී අවසන් ය. රුදුරු ලෙස හඹා යන ටොනාඩෝ සුළි කුණාටුවක් මෙන් මත්ද්‍රව්‍ය නැමති සුළි කුණාටුව ද ලාංකේය අනාගත පරපුර මෙන්ම මුළු ලාංකේය සමාජය ම තලා පෙළා දැමීමට තරම් රුදුරු ව්‍යවසනයක් බවටම පත්ව ඇත. 

ශ්‍රී ලංකාවේ මෙම මත්ද්‍රව්‍ය ගැටලුව මෑත කාලීන සංසිද්ධියක් නොවේ. ක්‍රි.ව. 1505දී ශ්‍රී ලංකාව ආක්‍රමණය කළ පෘතුගීසින් විසින් අබිං කෑම ලංකාවට හඳුන්වාදුණි. ඉන්පසුව අබිං සහ ගංජා නැමැති මත්ද්‍රව්‍යයන් ක්‍රමයෙන් ව්‍යාප්ත වූ අතර 70 දශකයේ අවසානයත් සමඟ ශ්‍රී ලංකාව හෙරොයින් නැමැති මත් උවදුරට ද ගොදුරු වන්නට විය. එය වඩාත් තීව්‍ර වූයේ 1977න් පසුව ඇතිවූ විවෘත ආර්ථිකයත් සමඟිනි. එහෙයින් මෙම මත් උවදුර විවෘත ආර්ථිකයේ අනියම් දායාදයක් ලෙස ද හැඳින්විය හැකිය. ශ්‍රී ලංකාව වැඩි වශයෙන් මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වීමට බලපෑ මූලික සාධකයක් වූයේ මුළු ලෝකයටම විෂ මත්ද්‍රව්‍ය නිපදවන ස්වර්ණමය ත්‍රිකෝණය ලෙස හැඳින්වෙන ලාඕසය, තායිලන්තය, බුරුමය යනාදී වූ රටවල් අයත් කලාපයට ද , චන්ද්‍රවංකය ලෙස හැඳින්වෙන ඇෆ්ගනිස්තානය, ඉරානය, පකිස්තානය යනාදී වූ රටවල් අයත් කලාපයට ද ශ්‍රී ලංකාව මැදිව පිහිටා තිබීම නිසාවෙනි. එමෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවෙහි සංචාරක ව්‍යාපාරය ද එයට බෙහෙවින් වගකිව යුතුය. 

නමුත් අවාසනාවකට මෙන් වඩාත්ම සමෘද්ධිමත් පවුල් සංස්ථාවකට පවා මෙකී අවාසනාවන්ත ඉරණම උදාවිය හැකිය. ඒ මත්ද්‍රව්‍යවලට දරුණු ලෙසම ඇබ්බැහි වීම නිසාවෙනි. මෙසේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම යනු ධනවතුන් සහ දුප්පතුන්, උගතුන් සහ නූගතුන් යනාදී වූ කිසිවක් නොබලාම ඒ සියල්ලම පාහේ අභිබවා යාහැකි දරුණුතම රෝගයකි. සමාජය තුළින් උපත ලබා මුළු සමාජයටම අහිතකර බලපෑම් ඇති කරන්නා වූ මෙම අහිතකර සමාජ වාතාවරණය අද වන විට අතිවිශාල සමාජ ප්‍රශ්නයකි. කෙසේවෙතත් මෙහි ආදීනව මතු වූයේ කලක් ගත වූ පසුවය. 

බාල, වැඩිහිටි සහ මහළු යනාදී කිසිඳු භේදයකින් තොරව අද වන විට බොහෝවිට මත්ද්‍රව්‍ය භාවිතය සඳහා පෙළඹෙන පිරිසක් දැකගත හැකිය. එසේම යෞවනත්වය යනු ද ගෝලීයකරණය ඔස්සේ පැමිණෙන කුමන විලාසිතාවක්, මෝස්තරයක් වුවද වැළඳගන්නා සමයකි. යහපත කුමක්ද, අයහපත කුමක්ද යන්න හරිහැටි නොතේරෙන අවධියකි. විලාසිතාවක් ලෙස තරුණ පරපුර වෙත ද පැමිණෙන මත්ද්‍රව්‍ය නැමැති රකුසා විටෙක පාසැල් වියෙහි පසුවන දරුවන් ද බිලිගනුයේ ඔවුන්ටත් නොදැනීමය. වර්තමානයේදී අන්තර්ජාලය, පුවත්පත්, සඟරා හා සිනමාව යනාදී වූ විවිධ මාධ්‍යයන් ඔස්සේ දරුවන්ගේ මෙන්ම තරුණ ප්‍රජාවගේ දෙනෙතට ඉතා අධිකව සහ බලවත් ලෙස ඉදිරිපත් කරනුයේ මත්ද්‍රව්‍ය පිළිබඳ ව ඔවුන් තුළ සුබවාදී දසුන් මැවෙන ආකාරයටය. ඒ හරහා විවිධ අත්හදා බැලීම් සඳහා ඔවුන් යොමුවීම තුළින් ඒ ඔස්සේ අතරමං වන තරුණ ප්‍රජාවට, එසේ මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවූ විට එයින් කිසිදා මිදීමක් නම් නොමැත. මන්ද ඒ වන විට ඔවුන්ගේ කයත්, මනසත් ක්‍රමිකව, රසායනිකව මත්ද්‍රව්‍ය ඉල්ලන තත්ත්වයකට සැකසී ඇති නිසාවෙනි. එසේම වර්තමානය වන විට මත්ද්‍රව්‍ය භාවිත කරන කාන්තා ප්‍රතිශතය ද ඉහළ යමින් පවතී. මෙයද සමාජය තුළ පවතින්නා වූ සුවිශාල ගැටලුවකි. 

මේ අයුරින් සමස්ත මානව ප්‍රජාව මත්ද්‍රව්‍ය භාවිතය සඳහා පෙළඹීම තුළින් ඒ ඔස්සේ සුවිශාල සමාජ ප්‍රශ්න රාශියක් පැන නඟිනු ඇත. එකී සමාජ ප්‍රශ්න අතර සියදිවි නසා ගැනීම වර්තමාන සමාජය තුළ උඩුදුවා ඇත්තේ ඉතාමත් ප්‍රබල සංසිද්ධියක් වශයෙනි. මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසුව ඇතිවන මානසික විකෘතීන් හේතුවෙන් මෙසේ පුද්ගලයා සියදිවි නසා ගැනීමේ තත්ත්වයක් දක්වා පෙළඹිය හැකිය. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් මරණයට පත්වීම හෝ අකර්මණ්‍ය තත්ත්වයට පත් වුවහොත් එකී පවුල තුළ ගැටලු පැන නැඟී පවුල් සංස්ථාව බිඳ වැටිය හැකිය. එය සමස්ත සමාජයටම බෙහෙවින් හානිදායක වන්නකි.

නමුත් මෙවන් තත්ත්වයක් තුළ වුවත් මෙම මත්ද්‍රව්‍ය මඟින් සිදුවන විනාශය දරුවන්ට, තරුණ ප්‍රජාවට ඒත්තු ගැන්වීමට ශ්‍රී ලංකාව තුළ කිසිඳු ක්‍රමවේදයක් නොමැත. අද වර්තමාන සමාජයෙහි බොහෝදෙනා ඉදිරිපත්ව සිටිනුයේ මත්ද්‍රව්‍ය මඟින් තමා ලබන විකෘති වින්දනය පැවසීමට මිස එහි පවතින සැබෑ යථාර්ථය පෙන්වා දී අනෙකාව එයින් මුදවා ගැනීමට නොවේ.

කෙසේවෙතත් මෙකී තත්ත්වය මත මෙම මත්ද්‍රව්‍ය උවදුර පිටුදැකීම සඳහා ඵලදායී, සක්‍රීය පියවර හැකි පමණින් ගැනීම රජය සතු මූලික වගකීමකි. එමෙන්ම මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඇතිවිය හැකි අනිසි ප්‍රතිඵල පිළිබඳ ව තොරතුරු නොයෙක් දේශන, සාකච්ඡා, සමුළු ඔස්සේ දරුවන්ට මෙන්ම තරුණ පරපුර වෙත ලබාදීමට ද කටයුතු කළ යුතුය. ඒ හරහා ඔවුන් තුළ ගුණාත්මක සංවර්ධනයක් සඳහා අවස්ථාව ලබාදිය යුතුය. එවිට මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොර අනාගත පරපුරක් ලංකා මාතාවට නිසැකයෙන්ම ඉතිරිවනු ඇත.

Top