කොළඹ විශ්වවිද්‍යාලයීය කුලපති පුරාණය-1 (677)

post-title

දිවයිනේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය සතු ප්‍රමුඛතම උසස් අධ්‍යාපන ආයතනය කොළඹ විශ්වවිද්‍යාලය වන බව නොරහසකි. ලන්ඩන් විශ්වවිද්‍යාලයට අනුබද්ධ උසස් අධ්‍යාපන ආයතනයක් ලෙස 1921 දී පිහිටවූ කොළඹ විශ්වවිද්‍යාලය මේ වසරේ (2021) සිය ජන්ම ශත සංවත්සරය සැමරුවාය. ස්වභාවික හා සමාජ විද්‍යා පමණක් නොව ගණිතය, පරිගණක විද්‍යාව, නීතිය ඇතුළුව ව්‍යවහාරික විද්‍යා ක්ෂේත්‍රයේ ද උපාධිධරයන් කොළඹ විශ්වවිද්‍යාලයෙන් බිහි කරනු ලබයි.

කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස හිටපු රාජගුරු ප්‍රසාදී ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් කටයුතු කරන අතර උප කුලපතිතුමිය ලෙස මහාචාර්ය චන්ද්‍රිකා එන්.විජේවර්ධන මහත්මිය කටයුතු කරයි. වර්ෂ 2001 සිට මේ දක්වා දශක දෙකකට අධික කාලයක් ඔස්වල්ඩ් ගෝමිස් හිමිපාණන් කුලපතිවරයා ලෙස කටයුතු කරන නමුත් 2021 නොවැම්බර් මස 17 වන දා පටන් බලපැවැත්වෙන පරිදි කොළඹ විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පත් කර ඇති බව ප්‍රවෘත්ති වාර්තා කරනු ලැබීය. ඒත් සමග විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්, ආදි විද්‍යාර්ථීන්, විශ්වවිද්‍යාල අධ්‍යයන-අනධ්‍යයන කාර්‍යමණ්ඩලය, ගිහි-පැවිදි සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් ඇතුළු පාර්ශ්ව ගණනාවකගේ විරෝධය මේ සඳහා එල්ල වන ආකාරය දැක ගත හැකිය. එය එසේ වද්දී කොළඹ විශ්වවිද්‍යාලයේ මේ දක්වා සිටි කුලපතිවරුන් කවුරුන් ද යන්න සහ ඔවුන්ගේ අංශචිත්‍රයක් ලබා ගැනීමට මේ ලිපි පෙළෙන් අපේක්ෂා කෙරේ. ලිපිය අතිශය දීර්ඝ වූ නිසා කොටස් පහක් ලෙස පළ කිරීමට තීරණය කළෙමි. පළමුව කුලපතිවරයා යනු කවුරුන් දැ යි යන කෙටි හැදින්වීම පමණක් මෙහි අන්තර්ගත වන බව සලකන්න.

විශ්වවිද්‍යාලයක 'කුලපති' (Chancellor) යනු කවුද

විශ්වවිද්‍යාලයක පරිපාලනමය (executive) හෝ චාරිත්‍රමය (ceremonial) ප්‍රධානියා කුලපතිවරයා ලෙස සරලව නිර්වචනය කළ හැකිය. රටින් රටට විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වන ආකාර සමාන නොවන බැවින් විශ්වවිද්‍යාලයක ප්‍රධානී තනතුර ද නොයෙක් මුහුණුවර ගන්නා ආකාරය දැකිය හැකිය.

වර්තමාන පොදුරාජ්‍ය මණ්ඩලීය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් ලෙස කලින් පැවති රටවල පිහිටා තිබෙන විශ්වවිද්‍යාලවල කුලපතිවරයා යනු අනේවාසික චාරිත්‍රමය ප්‍රධානියා (non-residential ceremonial chief) වන අතර විශ්වවිද්‍යාලයේ පරිපාලනමය ප්‍රධානියා හදුන්වන්නේ උප කුලපති (Vice-chancellor) නොහොත් සභාපති (President) වශයෙනි. විශ්වවිද්‍යාල පාලන මණ්ඩලයේ මූලාසනය කුලපතිවරයා විසින් හොබවන අතර එසේ නොමැති නම් නියෝජ්‍ය කුලපතිවරයා (pro-chancellor) විසින් දරනු ලබන අවස්ථා ද දැකිය හැකිය. එසේම සමහර රටවල විශ්වවිද්‍යාල පරිපාලන සහ අධ්‍යාපන අංශයන්හි ප්‍රධානියා විද්‍යාලයාධිපති (Principal), හෝ පාලක (Rector) හෝ සභාපති (President) හෝ ලෙස හදුන්වනු දැකිය හැකිය. රටින් රටට මෙම තත්ත්වය වෙනස් වන නිසා රටවල් කීපයක් ගෙන කුලපතිවරයා හැදින ගැනීමට උත්සාහ කරමු.

ඇමරිකා එක්සත් ජනපදය

සියවස් තුනකටත් එපිට විශ්වවිද්‍යාල ඉතිහාසයක් හිමි ඇමරිකා එක්සත් ජනපදයේ විශ්වවිද්‍යාල ආකෘති දෙකක් මූලික වශයෙන් දැක ගත හැකිය. එනම්, 18 වන සියවසේ පමණ තනි ව්‍යුහයක් ලෙස විශ්වවිද්‍යාලය ආරම්භ වී 20 වන සියවස වන විට පරිවාර මණ්ඩප (satellite campuses) වලට ක්‍රියාකාරී බලතල පැවරීම එක් ක්‍රමයකි. ඇරකැන්සාස් (Arkansas) , කැලිෆෝනියා (California) , උතුරු කැරොලිනා (North Carolina) , ඉලිනොයිස් (Illinois) , මැසචුසෙට්ස් (Massachusetts) හා විස්කොන්සින් (Wisconsin) යන විශ්වවිද්‍යාල මේ යටතට වැටේ. එසේම කලින් බිහි වූ මණ්ඩප කීපයක් 20 වන සියවස පමණ වන විට තනි විශ්වවිද්‍යාල පාලනාධිකාරියක් බවට පත් වීම අනෙක් ක්‍රමයයි. මේ යටතට නිව්යෝර්ක් රාජ්‍ය විශ්වවිද්‍යාලය (State University of New York) , නිව්යෝර්ක් නගර විශ්වවිද්‍යාලය (City University of New York) , කැලිෆෝනියා රාජ්‍ය විශ්වවිද්‍යාලය (California State University) යන විශ්වවිද්‍යාල ගත හැකිය. පළමු ක්‍රමය යටතේ කුලපතිවරයා මණ්ඩප ප්‍රධානියා වන අතර සභාපතිවරයා සමස්ත විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා ලෙස ද දෙවැන්න යටතට වැටෙන විශ්වවිද්‍යාලවල මෙහි ප්‍රතිපක්ෂ ක්‍රමය ලෙස කුලපතිවරයා සමස්ත විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කරයි.

ඒ අනුව ඇමරිකානු විශ්වවිද්‍යාල බොහෝමයක කුලපතිවරයා කටයුතු කරන්නේ චාරිත්‍රමය විධායක නිලධාරියා ලෙස වන අතර සිරාකුස් විශ්වවිද්‍යාලය (Syracuse University), පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලය (University of Pittsburgh) ආදී විශ්වවිද්‍යාල කීපයක ප්‍රධාන විධායක නිලධරයා ලෙස කුලපතිවරයා කටයුතු කරයි. තවද, නිව්යෝර්ක් අධ්‍යාපන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන නාගරික පාසල් කීපයකම ප්‍රධාන පරිපාලන නිලධාරී ලෙස කුලපතිවරයෙකු කටයුතු කරනු ද දත හැකිය.

එක්සත් රාජධානිය සහ කැනඩාව

එංගලන්තය, ස්කොට්ලන්තය, වේල්සය හා කැනඩාව යන රටවල පිහිටා ඇති විශ්වවිද්‍යාලවල කුලපති යන තනතුර නාමමාත්‍ර තනතුරක් හෙවත් නම්බුනාමයක් ලෙස යොදාගනී. ස්කොට්ලන්තයේ එඩින්බර්ග් විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස 'ඈන්' රාජකීය කුමාරිකාව කටයුතු කරන අතර ඇබර්ඩීන් විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස Rothesay හි ආදිපාදවරිය වන 'කැමිලා' කටයුතු කරයි. විශ්වවිද්‍යාලයේ එදිනෙදා පාලන කටයුතුවල ප්‍රධානියා ලෙස විදුහල්පතිවරයා කටයුතු කරන නමුත් 1889 ස්කොට්ලන්ත විශ්වවිද්‍යාල පනත ප්‍රකාරව පාලකවරයාට (Rector) පරිපාලනමය ක්ෂේත්‍රයේ පැවරෙන කාර්‍යභාරය සුවිශේෂී තැනක් ගනී. විශ්වවිද්‍යාල පාලක සභාවේ මූලාසනය හෙබවීම, විනය කමිටුවේ මූලාසනය දැරීම ද පාලකවරයාට පැවරේ. එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ ද එදිනෙදා පරිපාලකයා සහ තත්ත්වාකර විශ්වවිද්‍යාල ප්‍රධානියා ලෙස උප කුලපතිවරයා ක්‍රියා කරන අතර කුලපති යනු ගරු කටයුතු තනතුරකි.

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය

මේ රටවල් ද්විත්වයෙහි ම විශ්වවිද්‍යාලවල පාලන හා චාරිත්‍රමය යන ක්ෂේත්‍ර දෙකේම මූලාසනය කුලපතිවරයා දරනු ලබයි. නමුත් එදිනෙදා කළමනාකරණ ව්‍යුහය තුළ නියෝජ්‍ය කුලපතිවරයා සෑහෙන කාර්‍යභාරයක් දරන බව පෙනේ.

හොංකොං 

හොංකොංහි විධායකයේ ප්‍රධානියා (1997 ට පෙර ආණ්ඩුකාරවරයා) එරට විවෘත විශ්වවිද්‍යාලයේ සහ අනෙකුත් රාජ්‍ය විශ්වවිද්‍යාලය අටෙහි ම (08) කුලපතිවරයා ලෙස කටයුතු කරයි. සෑම විශ්වවිද්‍යාලයක ම උප කුලපතිවරයෙකු පරිපාලන ප්‍රධානියා ලෙස කටයුතු කරයි. 

ඉන්දියාව

ඉන්දියාවේ සියලුම විශ්වවිද්‍යාලවල කුලපතිවරයෙකු දැක ගත හැකි අතර නාමමාත්‍ර තනතුරක් ලෙස එය පවත්වාගෙන යයි. චාරිත්‍රමය අවස්ථාවන්හි විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් මූලාසනය හෙබවීම යන්න කුලපතිට පැවරෙන විශේෂ ම කාර්‍යයි. රාජ්‍ය සතු විශ්වවිද්‍යාලවල කුලපතිවරයාව ප්‍රාන්ත ආණ්ඩුකාරවරුවන් විසින් පත් කරන අතර පෞද්ගලික විශ්වවිද්‍යාලවල කුලපතිවරයා ලෙස එම ව්‍යාපාර ආයතනයේ ප්‍රධානියෙකු කටයුතු කරයි. ඒ අනුව ඉන්දියාවේ සියලුම විශ්වවිද්‍යාලවල පරිපාලන ප්‍රධානියා ලෙස උප කුලපතිවරයා ක්‍රියා කරයි.

මැලේසියාව

ඉහත රටවලට යම්තාක් දුරකට වෙනස් අරමුණකින් මැලේසියාවේ විශ්වවිද්‍යාලවල කුලපති තනතුර භාවිතා වේ. එනම් දේශපාලන වේදිකාවේ විශ්වවිද්‍යාල නියෝජනයක් ස්ථාපනය කිරීමේ අරමුණින් මැලේසියානු රාජකීය පවුලේ කෙනෙකුට හෝ කීර්තිමත් දේශපාලනඥයෙකුට කුලපති තනතුර ප්‍රධානය කිරීමයි. ඒ අනුව Perak හි සුල්තාන් Nazrin Shah මැලේසියාවේ පැරණිතම විශ්වවිද්‍යාලය වන මලයා විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස ද, Selangor හි සුල්තාන් Sharafuddin Idris Shah පුත්‍ර විශ්වවිද්‍යාලයේ (University of Putra) කුලපති ලෙස ද, මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍ය Datuk Seri Abdullah Ahmad Badawi ගේ බිරිඳ වන Datin Seri Jeanne Abdullah මැලේසියානු විවෘත විශ්වවිද්‍යාලයේ කුලපතිනිය ලෙස ද කටයුතු කරයි.

මේ ආකාරයට ලොව රටවල් කීපයක එකිනෙකට වෙනස් නිදසුන් ගෙන විශ්වවිද්‍යාලයක කුලපතිවරයා යනු කවුරුන් දැ යි හැදින ගැනීමට හැකිය.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකීය සංදර්භය තුළ කුලපතිවරයා යන්න අප හදුනාගනු ලබන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත උරුමයක් ලෙස අප රටේ ස්ථාපිත කරනු ලැබූ විශ්වවිද්‍යාල පද්ධතියට සාපේක්ෂව ය. ඒ අනුව සෑහෙන පමණ මහා බ්‍රිතාන්‍යයට අනුරූපීව සහ ඉන්දියාවේ දැනට ක්‍රියාත්මක වන ක්‍රමයට සමානව ලංකාවේ විශ්වවිද්‍යාල ක්‍රියාත්මක වේ. ඒ අනුව අපේ විශ්වවිද්‍යාලයන්හි කුලපතිවරයා යනු චාරිත්‍රමය අවස්ථාවන්හි මූලාසනය හොබවන නම්බුකාර තනතුරකි. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 32 වන වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවල කුලපතිවරයා පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසින් වන අතර නාමකරණයෙන් වසර පහක කාලයක් තනතුර හොබවයි. එසේම විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයන්හි මුලසුන දරන්නේ මෙම කුලපතිවරයා ය. විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානෝත්සවයන්හි මූලාසනය හොබවන කුලපතිවරයා යනු රටක රාජ්‍ය නායකයා තුළින් එම රට හදුනා ගන්නා සේ කුලපතිවරයා තුළින් විශ්වවිද්‍යාලය කුමක් දැ යි හදුනාගන්නා සංකේතීය තනතුරකි. ඒ අනුව ශාස්ත්‍රධරයන් බිහි කිරීමේ උසස්තම අධ්‍යාපන ආයතනය වන විශ්වවිද්‍යාලයක සංකේතීය ප්‍රධානියා තුළින් එම විශ්වවිද්‍යාලයේ ශෝබනත්වය මනාව විශද කළ හැකි විය යුතු බව නොකිව මනා ය.

මීළඟ ලිපියෙන්:

කොළඹ විශ්වවිද්‍යාලයීය කුලපති පුරාණය 2 (ආරම්භයේ සිට 1981 දක්වා)

මූලාශ්‍ර:

  1. 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත
  2. https://cmb.ac.lk/chancellor/

3.https://www.newsfirst.lk/2021/11/02/ven-muruththettuwe-ananda-thero-the-new-chancellor-of-the-colombo-university/

4.https://www.dailymirror.lk/latest_news/Colombo-Uni-Students-Union-opposes-Ven-Murutthettuwe-Anandas-appointment-as-new-Chancellor/342-223950

5.https://en.m.wikipedia.org/wiki/Chancellor_(education)#:~:text=A%20chancellor%20is%20a%20leader,resident%20head%20of%20the%20university.

Top