වයසට යාමත් වරදක් ද අසමින්, මැරි මැරී යළි උපදින මව්පියවරු (369)

post-title

පෘථග්ජන ජීවිතය දිවයනුයේ නේක විධ බැඳීම් මතින් ය. ජීවත් වනවිට එම බැඳීම් එකිනෙක නොලැබී යාම මත මිනිසාට එමඟින් ගෙනදෙනුයේ මරණයට වඩා වේදනාවකි. මෙකී කටුක ඉරණමට අද වර්තමාන මව්පියවරුන් ද පත්වී ඇති බව අද සමාජය දෙස දෙනෙත් විවර කරන්නෙකුට ඉඳුරාම පසක් වන සත්‍යයකි. මෙසේ වර්තමාන සමාජය තුළ දහසකුත් කඳුළු කැට සඟවා ගනිමින්, මැරී මැරී ජීවත්වීමේ වේදනාව අත්විඳින මව්පියවරුන් අභියස පවතින ඛේදවාචකය සුළුපටු නොවේ. පුදුමයට කාරණය වන්නේ මේ මිනිස් සමාජය තුළ නොමිනිසුන් සේ ජීවත් වන්නේ ද ඔවුන්ගේම දරුවන් වීමය. 

හිරුඑළිය නොමැතිව පෘථිවියට පැවැත්මක් නොමැති වනවා සේම මව්පියවරුන් නොමැතිව දරුවන්ට ද ජීවයක් නොමැත. මව්පියන්ගේ අසීමිත වූ ආදරය, සෙනෙහස, රැකවරණය නිසාම දරුවන් මේ මිහිපිට ජීවත්වෙනු ඇත. කිසිවක් කරගත නොහැකි නොදරුවෙක් මෙලොව එළිය දුටු දා පටන් අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් විඳිමින් සෙනෙහසින් ඇතිදැඩි කරන්නේ මව්පියන් ය. තම කුසට අහරක් නොමැතිව දරුවන්ගේ කුස පුරවා සතුටු වන්නේ ද මව්පියන්ය. තම දරුවන්ට හොඳම දේ ලබාදෙමින් ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරවන්නේ ද මව්පියන්ය. මෙසේ අපමණ වූ වෙහෙසක් දරමින් ඇතිදැඩි කරනා තම දරුවන් දිනෙන් දින උස්මහත් වනවිට ඔවුන් පිළිබඳ කල්පයක් තරම් වූ බලාපොරොත්තු පොදිබැඳ ගනිමින් සුබ සිහින දකිනුයේ ද මව්පියන්මය. 

නමුත් මෙහිදී පවතින ඛේදවාචකය වනුයේ මව්පියන් තම දරුවන් කෙරෙහි කෙතරම් බලාපොරොත්තු තබා ගත්තද දරුවන් එසේ තමන්ට ජීවත්වීමේ අයිතිය ලබාදුන් මව්පියන්ව නොසලකා හැරීමයි. ඔවුන්ව තම සුඛවිහරණය උදෙසා මහමඟ හැරදමා යාමයි. එසේත් නොමැතිනම් ධනය, දේපළ උදෙසා ඔවුන්ට තාඩන පීඩන සිදුකිරීමයි. මේ ආකාරයට විටෙක තම මව්පියන් බලු කූඩුවලය. විටෙක කුකුල් කූඩුවලය. විටෙක දර මඬුවලය. තවත් විටෙක පාළු සොහොන්වලය. එසේත් නොමැතිනම් පාරවල්වලය. මෙසේ තම දරුවෙකුට ජීවය ලබාදුන් මව්පියවරුන් එසේ අසරණ ජීවිත ගත කරනුයේ මන්ද? 

මව්පියෝ උතුම්මය 

අපගේ පෙර දෙවිවරුමය 

අප රකිනුවෝමය 

වඳිනු මව්පිය දෙදෙන මහිමය 

මෙමඟින් ඉතා සරලව මව්පියන්ගේ අගය ගෙනහැර දක්වා ඇත. අපමණ වෙහෙසක් දරා තමා ඇතිදැඩි කළ තම මව්පියන්, බලු කූඩුවක සිරකොට බලු පැටවා නිවස තුළ දමා තැබීමට තරම් පෙළඹෙන පහත් තත්ත්වයකට දරුවන් පත්වී ඇත්තේ මව්පියන්ගේ සැබෑ අගය වර්තමාන සමාජයට තේරුම් ගැනීමට නොහැකි වී ඇති නිසාය. මෙවැනි පුවත් අද වර්තමාන සමාජයේදී බොහෝසෙයින් අපට අසන්නට ලැබීම තුළින් ම අපට පැහැදිලි වනුයේ අන් කවරකුත් නොව එකී සමාජයේ පවතින්නා වූ පිරිහීමයි. අද වර්තමාන සමාජයේ මිනිසුන් මුදල් පසුපස හඹායමින් මනුෂ්‍යත්වයේ අරුත් පවා නොසලකමින් සිටින කාල වකවානුවක මිනිසා මව්පියන්ට නොසැලකීම යන්න එක් අතකින් ගත්විට අරුමයක් ද නොවේ. මන්ද එතරම්ම අද සමාජය තුළ මව්පියන්ට නොසලකා හැරීම ප්‍රබලව සිදුවන සංසිද්ධියක් වන නිසාවෙනි.

නමුත් පුරාතන සමාජයේදී නම් මව්පියන්ට නොසලකා හැරීම දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස සැලකිණි. මව්පියන්ට නොසලකන්නා සමාජය විසින් කොන්කර දමන ලද බවත්, එබඳු පුද්ගලයන් කවර ආකාරයේ දරිද්‍රතාවයකට පත් වුවද කිසිඳු ආකාරයක උපකාරයක් සිදු නොකිරීමට ද එදා සමාජය ක්‍රියාකොට ඇත. 

නමුත් අද වනවිට නූතන සමාජය එයට හාත්පසින්ම වෙනස් වී ඇති බව නම් පැහැදිලිය. වර්තමාන සමාජය දෙස බලන කල මව්පියවරුන්ට සැලකීම බොහෝදුරට දරුවන් අතින් මඟහැරෙනුයේ දරුවන්ට අවාහ විවාහ කටයුතු කර දීමෙන් අනතුරුව සහ ඉඩකඩම්, ගේ දොර වැනි දේපළ දරුවන්ට උරුම කර දීමෙන් අනතුරුවය. දිවි පවතින තුරු තමන්ව පෝෂණය කරමින් රැකබලා ගනීවිය යන විශ්වාසය මත බොහෝ දෙමව්පියන් තම දරුවන්ට දේපළ පවරා දෙනුයේ අසීමිත සතුටකිනි. එමෙන්ම එය මව්පියන් සතු යුතුකමක් ද වශයෙනි. එහෙත් වැඩි කලක් ගතවන්නටත් මත්තෙන් මව්පියන් වෙතින් සිය සිතුම් පැතුම් බොඳවී යන්නේ, ඔවුන් නිතර නිතර රෝගාතුර වීමෙන්, රුචි අරුචිකම් අනුව ආහාරපාන සැපයීමෙන්, ආගමික කටයුතු සඳහා සහයෝගය ලබාදීමෙන්, ඇදුම් පැළඳුම් සැපයීම යනාදී වූ දරුවන් විසින් කළයුතු යුතුකම් ඇතැම් දරුවන් මහත් හිසරදයක්, කරදරයක් ලෙස සැලකීමට පටන්ගත් දා පටන්මය. නමුත් කෙතරම් බාධක පැමිණියද තම මව්පියන් ද තමාව අපමණ දුක් ගැහැට විඳිමින් පෝෂණය කළ වග එම දරුවන් අද වනවිට අමතක කර ඇත්තේ මන්ද? 

නමුත් මෙම ගැටලු හමුවේ අවසානයේදී මව්පියවරුන්ගේ බලාපොරොත්තුව වැඩිහිටි නිවාසයකට ඇතුළුවීමය. ජීවත්වීමට ආදායමක් නොමැතිව, කිසිඳු පුද්ගලයෙකුගෙන් කිසිඳු පිහිටක් නොලැබ, මරණයෙන් පසුව වුවද සිය දේහය පවා කිසිවෙකුටත් නොදෙන ලෙස ඉල්ලමින් ජීවිතයේ සැදෑ සමය ගතකරන ඇතැම් මව්පියවරුන් කල දවස ගෙවනුයේ කොතරම් නම් සිත් පීඩාවෙන් ද? ඔවුන් තම අතීතය පිළිබඳ ව සිහිකරමින් කඳුළු සලන්නේ ජීවිතයේ පවතින සෝචනීය කතාන්දරය තුළින් දුක දන්නා බොහෝ දෙනෙකුගේ හදවත් ගිනිගෙන දවාලමිනි. නමුත් දරුවන්ගේ වෑයම ද තම මහළු මව්පියවරු වැඩිහිටි නිවාසවලට කොටුකර තම ප්‍රශ්නවලින් අත් මිදීමටය.

මව්පියන් නම් තම දරුවන්ගේ වරදවල් කොතෙක් තිබුණ ද ඒ ගැන කනස්සලු නොවෙමින් තම දරුවන්ට යහපත් මඟපෙන්වීම සිදුකරනු ලබයි. නමුත් මෙසේ දරුවන් සෙනෙහසින් හැදූ වැඩූ මව්පියන් ගති පැවතුම් අතින් යහපත් වුවද, ඔවුන්ගේ කුසින් බිහිවූ දරුවන්ට එම හැඟීම දැනෙන්නේවත් නැත. එවන් තත්ත්වයකට අද වනවිට වර්තමාන සමාජය පත්වී තිබීම ඉතාමත් සෝචනීයය.

නාගරීකරණයේ වාණිජ රැල්ලට කොටුවූ බොහෝ දරුවන් පවසනුයේ තම මව්පියන් රැකබලා ගැනීමට, ඔවුන් පිළිබඳ ව සොයා බැලීමට තරම් අවකාශයක් ඔවුන්ට නොමැති බවයි. එසේම දිළිඳු පංතියෙහි ඇතැම් දරුවන් පවසනුයේ තම මව, පියා පෝෂණය කිරීමට තරම් ඔවුන්ට ආර්ථික පසුබිමක් නොමැති බවයි. නමුත් මව්පියන්ට කෙතරම් දුක් කම්කටොලු පැවතියත් තම දරුවන් අත් නොහැරියා සේම, දරුවන් ද තමන්ට කෙතරම් අපහසුතා පැවතිය ද තම මව්පියවරුන් කෙසේහෝ රැකබලා ගැනීම දරුවන් වන ඔවුන්ගේ යුතුකමකි. 

එමෙන්ම මව්පියන් විසින් තම දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදුන් පසුව වර්තමානයේ ඇතැම් දරුවන් තම මව්පියන් නිවසෙහි තනිකර දමා, නොඑසේනම් මහළු මඩමකට කොටුකර දමා විදේශ රටවල්වලට පවා යාමට බොහෝසෙයින් පෙළඹෙනු ඇත. එහිදී අපමණ වූ සෙනෙහසින් තම දරුවන් පිළිබඳව ම සිතමින් එම මව්පියන් කාලය ගතකිරීම නිසා ඔවුන්ගේ මානසික මට්ටම ද යම්තාක් දුරට හෝ එමඟින් පිරීහී යනු ඇත. මෙමඟින් අවසානයේ දරුවන් සැපවත් ජීවිත ගතකරන අතර මව්පියන් සෝසුසුම් හෙලමින් සදාකාලික ලෙඩ්ඩුන් බවට පත්වනු නිසැකය.

මේ අයුරින් බලන කල අද මහළු නිවාස තැනින් තැන හතු පිපෙන්නාක් මෙන් බිහිවන්නේ තම මව්පියන්ට නොසලකන දරුවන් ප්‍රමාණය වැඩිවීම නිසා නොවේද? දස මාසයක් කුසේ හොවාගෙන ලේ කිරි කර පොවා තමා හදන්නට උරදුන් සිය මෑණියන්ට, දුක් කඳුළු දහඩිය වගුරවා තමා වඩන්නට උරදුන් සිය පියාණන්ට හිරිහැර කරන්නට, නිවසින් පන්නා දමන්නට තරම් දරුණු සිත් මිනිසුන් තුළ පහළ වන්නේ මන්දැයි අද සමාජයෙන් විමසිය යුතු ම කරුණකි. වර්තමානය වනවිට මහමඟ දමායන මව්පියවරුන් සම්බන්ධයෙන් නෛතිකමය තත්ත්වයන් ගොඩනැඟී ඇත. මව්පියන් අසරණ කරනු ලබන අජාසත් දරුවන්ට එරෙහිව එම නීතිය ක්‍රියාත්මක වනු ඇත. එහෙත් මෙහි ඇති ඛේදවාචකය වනුයේ කුමන නීතියක් තිබුණ ද මිනිසුන්ගේ ආකල්ප යහපත් නොවීමය. ඒ නිසාම මෙවන් වූ ඛේදවාචකයන් නිරන්තරයෙන් ම අසන්නට ලැබීම අරුමයක් නොවේ.

කුඩා කල සිටම දරුවන්ගේ මනසට ආදරය, අනුකම්පාව, ගරු කිරීම වැනි මානවවාදී ගුණධර්ම කියාදීමත්, විභාග රැල්ලට පමණක් දරුවා තල්ලු නොකර ආකල්පමය වශයෙන් දියුණු දරුවෙකු නිර්මාණය කිරීමත් වර්තමාන සමාජයේ පවතින දැවැන්ත සමාජීය වගකීමකි. එසේ වුවහොත් දිනෙන් දින සිදුවන මෙවැනි ආත්මාර්ථකාමී ඛේදවාචකයන් නිරන්තරයෙන් ම වියැකී යනු ඇත. ඒ සඳහා මනා නුවණින් යුතුව කටයුතු කරමින් දරුවන් විසින් තම මව්පියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට, ඔවුන්ට සැලකීමට කටයුතු කිරීම දරුවන් සතු පරම යුතුකමක් මෙන්ම වගකීමකි.

සඳ නාවත් කමක් නැතේ රත්තරන් පුතේ 

හිරු නාවත් කමක් නැතේ රත්තරන් පුතේ 

ඕන දුකක් ඉහිලිය හැකි මහළු ජීවිතේ 

ඒත් පුතේ නුඹ නාවොත් දුක වැඩී හිතේ.....

මෙසේ මව්පියවරුන්ගේ දුක්බර වදන්, ඔවුන්ගේ සෝසුසුම් මේ ලක් දෙරණ තුළින් යළිත් නොඇසෙන්නට නම්, මේ, මතු පරපුරෙහි දෑස් විවර විය යුතු ම කාලයයි.

Top