අද වර්තමානයේ, ඉගෙන ගන්නා දරුවාගේ අනාගතය දකිනුයේ ගුරුවරයා ය. ඇතැම් විට ගුරුවරයා තමාගේ මුළු ජීවිතය ම කැප කරමින් අනාගතය පිළිබඳ සිහින දකිනුයේ තම ශිෂ්‍යයන් වෙනුවෙන්ම ය. ඔවුන් දරුවන්ගේ අනාගතයට අභිවෘද්ධිය සලසනුයේ පෙර හෝ පසු අපේක්ෂාවන්ගෙන් තොරව ය. එවන් වූ උදාර හැඟීමෙන් යුක්ත ව ඔවුන් අභීත දරු පරපුරක් අනාගතයට භාර කරනුයේ අප්‍රමාණ සෙනෙහසකිනි.
අතීත සමාජ ක්‍රමයේ සිට ම දැනුමට සමාජයෙහි වැදගත් තැනක් හිමි වූ අතර දැනුම ඇත්තාට ද එකළ සමාජය තුළ සුවිශේෂී වූ ස්ථානයක් හිමි විය. එහිදී එකී ගුරුවරයා යනු, බාල පරම්පරාවේ නුවණැස පහදා දරුවන්ගේ අනාගතය යහපත් කරන පුද්ගලයා ය. මෙසේ යහපත් අරමුණකින් යුතුව සමාජයේ බාල පරපුර මෙහෙයවනු ලබන ප්‍රධාන ගාමක බලය ගුරුවරයා වූ නිසාවෙන් එකළ සමාජ සන්දර්භය තුළ ගුරුවරයා විටෙක මව්පියන්ට ත් වඩා වැදගත් පුද්ගලයෙකු බවට පත් විය.
ලාංකේය සමාජ ක්‍රමය තුළ වයස අවුරුදු 06 සම්පූර්ණ වූ විට පාසලට පිවිසෙන දරුවෙකුගේ දෙවන මව්පියන් වනුයේ ගුරුවරුන් ය. එහිදී ශිෂ්‍යයන්ට නිසිලෙස දැනුම ලබාදෙමින්, කුසලතා වැඩිදියුණු කරමින්, ධනාත්මක ආකල්ප ගොඩනඟමින් දරුවන්ට නිවැරදි මාවතෙහි පිය මැනීමට මඟ පෙන්වා දෙනුයේ ගුරුවරුන් ය. මේ අයුරින් මුල්කාලීනව පෙරදිග මෙන්ම අපරදිග ද ගුරුවරයා ම කේන්ද්‍ර කර ගත් අධ්‍යාපන ක්‍රමවේදයක් පැවතිණි. නමුත් මෙහිදී සිදුවනුයේ නව දැනුමක් සොයා යනු වෙනුවට දැනුම සංරක්ෂණය කිරීමකි. එනමුත් ඒ තුළින් නිර්මාණාත්මක දරුවන් බිහි නොවන බව තේරුම් ගත් අධ්‍යාපනඥයින් ඒ තත්ත්වය වෙනස් කරමින් අද වන විට ඉගෙනුම් සහ ඉගැන්වීම් ක්‍රියාවලියක් ඔස්සේ දරුවන්ට දැනුම ලබාදීමේ ක්‍රියාවලිය අද වන විට ගුණාත්මක සංවර්ධනයක් වෙත රැගෙන එන ලදී. මෙහිදී ශිෂ්‍යයන්ට දැනුම ලබා ගැනීමට බල නොකෙරෙන අතර ශිෂ්‍යයන්ගේ කුසලතා, ආකල්ප, හැකියාවන් තේරුම් ගනිමින්, එයට සරිලන අයුරින් ඉගැන්වීමේ ක්‍රියාවලියෙහි නිරත වීම ගුරුවරයා විසින් සිදු කරනු ලබයි.
මෙසේ සමාජ, ආර්ථික සංස්කෘතික වෙනස්කම් හමුවේ ගුරුවරයාගේ කාර්යභාරය ද දිනෙන් දින ම පරිණාමයට ලක් වී ඇත. ඒ විශ්වීය තත්ත්වයන්ට අනුව සහ රැකියා වෙළෙඳ පොළට සරිලන පුරවැසියෙකු නිර්මාණය කිරීමට ගුරුවරයාට සිදුවීම යනාදී වූ හේතු කාරණා නිසාවෙනි. මෙහිදී ඒ සඳහා උචිත උපායමාර්ග, ඉගෙනුම් හා ඉගෙනුම් ක්‍රම ශිල්ප භාවිත කරමින් නිර්මාණශීලී ඉගෙනුම් පරිසරයක් සකස් කර ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා නව තාක්ෂණික ක්‍රමවේද නිසිලෙස භාවිත කිරීම සඳහා ශිෂ්‍යයන් යොමු කිරීම ද ගුරුවරයා විසින් වර්තමානයේ දී සිදු කරනු ලබයි. එසේම ස්වයං අධ්‍යයනයකට දරුවන් යොමු කරමින් ශිෂ්‍යයාගේ සැබෑ ජීවන අත්දැකීම් හා සම්බන්ධ වන සේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමය ගළපමින් ගුරුවරයා වර්තමානයේ දී සිදු කරන්නා වූ මෙම කාර්යභාරය අති විශාල ය.
එසේම ඒ අයුරින් දරුවන්ට අධ්‍යාපනය ලබාදීම සිදු කිරීම වර්තමාන ගුරුවරයාගේ ප්‍රධානතම වගකීමක් ද වේ. එමෙන්ම ඉගැන්වීමේ ක්‍රියාවලියේ දී ගුරුවරයා දක්ෂ සන්නිවේදකයෙකු විය යුතුය. එසේ නොවුනහොත් ගුරුවරයා කෙතරම් දැනුමෙන් පෝෂණය වුවත් ගුරුවරයා උගන්වනු ලබන කරුණු කාරණා දරුවන්ට පැහැදිලි ව නොතේරෙණු ඇත. එහෙයින් අධ්‍යාපන ක්‍රියාවලිය තුළදී ගුරුවරයා සහ ශිෂ්‍යයන් අතර පවතින සම්බන්ධතාවය ශක්තිමත් ව පැවතීම ඉතාමත් වැදගත් වන්නකි.
නමුත් ලෝකය නවීකරණය වීමත් සමඟ සමාජ සාරධර්ම සියල්ලක් ම පාහේ යට වී යමින් නව වටිනාකම් ඉස්මතු වීමත් සමඟ ගුරු භූමිකාව අද වන විට වෙනසකට මුලපුරා ඇත. අතීතයේ දී සමාජ මෙහෙවරක් වූ ගුරු භූමිකාව වර්තමානයේ දී ඇතැම්විට එය රැකියාවක් දක්වා ද පරිවර්තනය වී හමාරය. එමෙන්ම අද්‍යතන සමාජය තුළ ගුරුවරයා සහ ශිෂ්‍යයන් අතර පවතින සමීප සබඳතාවය ද පෙරට වඩා හාත්පසින්ම වෙනස් වීමකට ලක් වී ඇත. ඒ සඳහා මූලික වශයෙන් ම හේතු වී ඇත්තේ පාසැල් අධ්‍යාපනය විෂය ධාරාවට පමණක් සීමා වීම, උපකාරක පන්ති, විභාග ඉලක්ක කර ගනිමින් සිදු කෙරෙන ඉගැන්වීම් ක්‍රියාවලිය සහ ශිෂ්‍යයන්ට ද්වේශ සහගත ව සිදු කෙරෙන දඬුවම් යනාදිය යි. නමුත් සමාජයක් කෙතරම් නවීකරණය වුවත් එකී නවීකරණය ත් සමඟ ගුරු සිසු සම්බන්ධතාව දුරස් වීම නම් නොවිය යුත්තකි.
කෙසේවෙතත් කුලයකට, පන්තියකට, වර්ගයකට, ආගමකට, හෝ ප්‍රදේශයකට සීමා නොවූ ගුරුවරයා, තීරණාත්මක අභියෝගයන්ට නායකත්වය සපයමින් අනාගතය ප්‍රතිනිර්මාණය කරන්නට නිතැතින්ම වෙර දරන්නෙකි. සමාජය තුළ මානව සංස්කෘතිය පවරාදීමේ ප්‍රමුඛතම කාර්යභාරය අධ්‍යාපනයට පැවරී ඇති හෙයින් පාසල නැමැති සමාජ සංස්ථාව එහිදී වැදගත් වන අතර එය දරුවෙකුගේ ජීවිතයට ශක්තිමත් අඩිතාලමක් සපයන ප්‍රධානතම කේන්ද්‍රස්ථානය යි. එසේ පාසැල තුළින් දරුවෙකුගේ ජීවිතය ප්‍රතිනිර්මාණය කරමින් අතීතයේදී ද, වර්තමානයේදී ද, අනාගතයේදී ද සුවහසක් මල් කැකුළු පුබුදුවාලන්නට අප්‍රමාණ කැප කිරීම් සිදුකරන ගුරුවරයාට වත්මන් සමාජ සන්දර්භය තුළ ලැබී ඇති වටිනාකම කෙබඳු ද? එහෙයින් සමස්ථ මානව සංහතිය ම මේ පිළිබඳ ව නොපමාව සිතා බැලිය යුතු ම වන්නේ ය.