ජන දිවි වත ගොත: සිංහල ගැමි සමාජයේ අතීතයේ පටන් පැවත එන නිරෝධායන සංකල්පය (275 වන ලිපිය)

post-title

අව් කාස්ටකේ උණුහුමත් මුහු කරන් එහා මෙහා ඇදී යන මඳ සුළඟ... අර ඈත රක්වාන කඳු පංතියෙ තැනින් තැන හිරු රශ්මියයෙන් දිලිහි දිලිහි ඉන්න ගල්පොත්ත... ගිණි කාස්ටකේ උහුළන්ට බැරිව වියපත් වුණු තුරුලතා... පහුගිය දොහේ ගතට මෙන්ම හිතටත් ගෙනදුන්නෙ හරිම මලානික බවක්...., කටුකත්වයක්...

ඉතින් වෙනදා මෙන් ගතටත් හිතටත් සිහිලසක් ගෙන නොදුන්නත් රක්වාං කඳු මුදුනත සිප වැළඳ හමා එන නළ රැල්ල මුහු වුණු වැහි බිංදු, මලානික වුණු හිත් අස්සට ගත නිවන සිහිල් දිය පොදක්.... , හිත නිවන ඔසුවක්....

මහා මුරුගසන් වැස්සක් ඇද හැළී, සෙමෙන් සෙමෙන් පොද වැස්ස ද දිය බිඳු එකට දෙකට සීමා වෙද්දි, අර පේන රක්වාන කන්ද සුසුම්ලනවා වාගෙ කඳු යායෙ තැනින් තැන ඉහළ නඟින දුම් වළළු...., තටු විදා පියාසරන කුරුළු රංචුත් පියාඹන්නෙ, නැවුම් පනක් ලැබුවාක් වාගෙ. වියලුණු කතරකට දිය පොදක් ඉසින්නාක් මෙන් මේ ඇද හැළුණු මුරුගසන් වරුසාව ඔබටද මටද පුදුමාකාර සැනසීමක්.

ඔව්... ඒක පුදුමයක් නොවෙයි... මේ දිනවල ඔබටත් මටත් සමස්ත සොබාදහමටත් තෙහෙට්ටුයි... 

COVID-19

කොරෝනා වෛරසය 

නිරෝධායනය

නිරෝධනය???

පහුගිය කාලය පුරාවට අසන්නට, දකින්නට, අත්විඳින්නට වුණු සිදුවීමක්. මුල් කාලයේදී නම් සමහරුන්ට අපබ්‍රංසයක් වාගෙයි.. 

නැහැ.... 

වචනය හුරු පුරුදු නොවුණත් අපේ හෙළ මුතුන් මිත්තන්ගෙන් පවා පැවත එන මෙම ක්‍රියාවලිය සිංහල බෞද්ධ ග්‍රාමීය සමාජයට හුරුකම් කියන ඔබටත් මටත් නුපුරුදු දෙයක් නම් නොවේ...

ඔබ අසා ඇති අපට වැළඳෙන

පැපොල

සරම්ප

කම්මුල් ගාය

කුෂ්ඨ රෝග

වැනි බෝවන රෝග " දෙයියන්ගෙ ලෙඩ" යනුවෙන්...

අපේ සමාජය තුළ කෙනෙකුට කලාතුරකින් වැළඳෙන එක්‌තරා රෝග කිහිපයක්‌ අතීතයේ සිටම අප ශ්‍රී ලාංකික ජන සමාජය තුළ ඉතා ප්‍රබල ලෙස ව්‍යාප්තව පවතී. එය අප හඳුන්වන්නේ "දෙයියන්ගේ ලෙඩ" යන නමිනි. දෙවියන්ගේ ලෙඩට පිළියම් යෙදීමට පෙර දෙවියන්ගේ ලෙඩ ශ්‍රී ලාංකේය ජන සමාජයේ ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳවද අප සොයා බැලිය යුතුය. මෙම වසංගත රෝග ආදී දෙවියන්ගේ ලෙඩ මවා පෑ දෙවියන් ලෙස ඉතිහාසයේ සඳහන් වන්නේ පත්තිනි මෑණියන් ය. නාගරික ජන සමාජයට වඩා ග්‍රාමීය ජන සමාජය තුළ මෙම දෙයියන්ගෙ ලෙඩ යන සංකල්පය ඉතාම ප්‍රචලිතව පවතී. ඇත්තටම මෙම දෙයියන්ගේ ලෙඩ නමින් හඳුන්වන්නේ එක්‌තරා රෝග කාණ්‌ඩයකි. එනම් පැපොල, බඩේ ලෙඩ, සරම්ප, කම්මුල්ගාය, හොරි, දද, ඇස්‌ ලෙඩ, කුෂ්ඨ යන රෝගයන් ය. මේවා බෝවන රෝග වන අතර මෙම රෝග වැළඳුණු විට බොහෝ දෙනෙක්‌ භීතියට පත්වන අතර එය භයානක රෝග කාණ්‌ඩයක්‌ ලෙස ඉතිහාසයේ සිටම අප ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ ප්‍රකටව පවතින කරුණකි. වර්තමානයේ මේ සඳහා යම් යම් බටහිර වෛද්‍ය ක්‍රම පවා අනුගමනය කිරීම නාගරික ජන සමාජය තුළ දැකගත හැකිය. කෙසේ නමුත් මෙම දෙයියන්ගේ ලෙඩ වැළඳුණු විට ඒ සඳහා නිසි අයුරින් වත් පිළිවෙත් අනුගමනය කිරීම තුළින් මෙම රෝග ඉතා පහසුවෙන් සුවකර ගත හැකිය. අපේ පැරැන්නන් පුද පූජා ශාන්ති කර්ම මෙන්ම ඊට අදාළ අත් බෙහෙත් හා ආහාර තුළින් මෙම රෝගාබාධ සඳහා නිසි සහනය හා සුවය ලබාගෙන ඇත.

ලාංකීය සිංහල බෞද්ධ ජන සමාජය අති විශිෂ්ට ඉතිහාසයක්‌ ඇති ඉතාමත් පැරැණි නිර්මල සංස්‌කෘතියකින් යුත් ජනතාවකගෙන් හෙබි සමාජයකි. දිනෙන් දින දියුණුවන නූතන තාක්‌ෂණයෙන් වත්මන වන විට අප සමාජය ලෝකය සමගින් ඉතාමත් දියුණුවට පත්ව ඇත. මෙම සමාජීය දියුණුව සියලු අංශයන් කෙරෙහිම බලපා ඇති අතර ඒ අතරින් වෛද්‍ය විද්‍යාවද අද ඉතාමත් දියුණුවට පත්ව ඇත. ඒ අතරම වත්මන් ජන සමාජය තුළ විවිධ වූ රෝග හා ආසාදන ව්‍යාප්තියද ඉහළ යමින් පවතී. මේ සියලු රෝග හා ආසාදන සඳහා බටහිර හා දේශීය වෛද්‍ය විද්‍යාව තුළ විවිධාකාරයේ බෙහෙත් මෙන්ම ඖෂධීය චිකිත්සක ක්‍රම හා ශල්‍ය කර්ම ඇතුළු විවිධාකාරයේ ක්‍රම මගින් එම රෝගාබාධ සඳහා ප්‍රතිකර්ම රාශියක්‌ පවතී. එහෙත් අප සමාජයේ පවතින එක්‌තරා බෝවන රෝග විශේෂයක්‌ සඳහා පත්තිනි මෑණියන් උදෙසා නිවැරැදිව, දැහැමිව විශ්වාසය හා භක්‌තිය පෙරදැරි කරගෙන පුද පූජා පැවැත්වීම තුළින් මේ සඳහා නිසි සහනය හා සුවය අපේක්‌ෂා කළ හැකිය යන්න අතීත ගැමි ජනයාගේ අදහසයි.

මෙම දෙයියන්ගේ ලෙඩ සුවකිරීමට වරම් හිමිව ඇත්තේද පත්තිනි මෑණියන්ටය. ඒ අනුව පත්තිනි මෑණීයන් උදෙසා නිවැරැදිව වත් පිළිවෙත් සිදුකිරීම තුළින් මෙම රෝග වැළඳුණු කෙනෙකුට දින 07 ක්‌ යන විට නිශ්චිත සුවයක්‌ ලබාගත හැකිය. ඊට අදාළ නිසි පිළියම් නොකිරීම තුළින් රෝගයෙන් වැඩි දිනක්‌ පීඩා විඳීමට සිදුවනු ඇත. මුලින්ම එම රෝගියා අන් අයගේ නෙත නොගැටෙන ලෙස නිවසේ වෙනම කාමරයක ඉතාමත් පිරිසිදුව රඳවා තැබිය යුතුය. එම කාමරයට හා නිවසේ අවට කහ දියර ඉස පිරිසිදු කර ගැනීම තුළින් හා කුණු කිළි (මල්වර කිළි, මරණ කිළි හෝ මස්‌ මාළු, කරවල, බිත්තර ආදී කිළි) හසු නොවන පරිදි පරිස්‌සම තුළින් රෝගියා මෙන්ම රෝගයද අන් අයට පැතිර යැම වළක්‌වාගත හැකිය. නිවසේ ප්‍රධාන උළුවස්‌සේ ගොක්‌ රෑන් කීපයක්‌ හෝ කොහොඹ කොළ අත්තක්‌ එල්ලා තැබිය යුතුය. එවිට රෝගය සමාජයට පැතිරයැම අපට වළකාගත හැකිය.

දෙයියන්ගේ ලෙඩ වැළඳුණු විට දින 14 ක් සමාජයෙන් ඈත්ව නිවසට වී සිටීමේ සිරිතක් හෙළයන් සතුව පැවතුණි. එසේ සිටිමින් ප්‍රතිශක්තිය ගොඩනගා ගැනීමේ ක්‍රමවේද භාවිතා කිරීම අප සමාජයේ පැවති ඉතා සාමාන්‍ය දෙයක් ලෙස පෙන්වාදිය හැකිවේ.ශක්ති ජනක ආහාර ගැනීම,නිවස දුමායනය කිරීම, විෂබීජ නාශක දියර ඉසීම (කහ,කොහොඹ) වැනිදේ අප පාරම්පරික දැනුමේ අඩංගුව පවති. එම දැනුම අදද අප සමාජය තුළ නොනැසී පවතින්නා වග නොරහසකි. නමුත් වත්මනේ එකී ක්‍රියාවලිය සිදුවන්නා වූ ක්‍රමයේ ගැටළුවක් පවතින වගද සැබෑවකි

විශේෂයෙන් විෂබීජ නාශක ක්‍රියාකාරකම් එදවස අප රටේ ඈත ගම්දනව්වල පවා ජනතාව සිදුකර තිබේ. නිදසුනක් ලෙස යම් නිවෙසකට විෂබීජයක් ඇතුළුවී රෝගයක් ඇතිවුවහොත් එය පැතිරීම වැළැක්වීම සඳහා එම නිවෙස්වලම නිරෝධායන ක්‍රම ක්‍රියාවට නංවා ඇත. උදාහරණයක් වශයෙන් යම් නිවෙසක පුද්ගලයකුට ජනවහරේ “දෙයියන්ගේ ලෙඩ” නමින් හැඳින්වෙන පැපොල රෝගය වැළඳුනහොත් රෝගියා නිවෙස තුළම රඳවාගෙන සිටී. එම නිවෙස ඉදිරිපිට මිදුලේ විශේෂයෙන් සකස් කළ විෂබීජ නාශක සඳහා යොදාගන්නා කහ දියරයට දෙහි පෙති කිහිපයක් මිශ්‍රකර තිබේ. එකල්හි ‍එම නිවෙස් කරා පැමිණෙන සියලුදෙනා මෙම බඳුනෙහි ඇති කහ මිශ්‍රිත ජලයෙන් මුහුණ, අතපය සෝදා තමතමන්ම විෂබීජ නිරෝධනයට හුරු පුරුදුවී සිටියහ. එදවස පැවැති මේ යහපත් සෞඛ්‍ය පුරුදු අප අද දවසේ නැවත ක්‍රියාවට නැංවිය යුතු කාලය එළඹ ඇත. එපමණක් නොව එදවස විවිධ ආයුර්වේද බෙහෙත් වට්ටෝරුවලට අනුව සකසා ගත් විෂබීජහරණය කිරීම සඳහා ධූමායන ක්‍රම භාවිතා කළහ. එමෙන්ම විෂබීජ පැතිර යාමට ඉවහල් වේ යැයි සිතන ක්‍රියාකාරකම් සිදු නොකර සිටි අපේ පැරැන්නෝ විශේෂයෙන් “කිළි” ඇතිවේ යැයි සිතා පැපොල රෝගය වැළඳී ඇති අයකු තම නිවසේ සිටී නම් ඒ නිවසේ අය මළගෙදරක නොගියහ. දියණියක වැඩිවියට පැමිණ ඇති නිවෙසකට නොගියහ. එපමණක් නොව මස්, මාංශ සහ බිත්තර වැනි “පිළි” ද්‍රව්‍ය ආහාරයට නොගත්හ. මෙලෙස ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නැංවීමට තමතමන්ටම නිවසේ සිටම හොඳින් ආශ්වාස-ප්‍රාශ්වාස කර ශ්වසන පද්ධතිය ආශ්‍රිත ක්‍රියාකාරකම්හි යෙදීම.

දෙවනුව කළ යුත්තේ දේශීය ආහාර රටාවන්ට අනුව සකස් කළ ආහාර ද්‍රව්‍ය පරිභෝජනයට ගැනීමයි. මෙහිදී වඩාත් යෝග්‍ය වන්නේ පොලොස්, කොස්, දෙල්, කෙසෙල් මුව, වැටකොළු, කරවිල, අල, බතල, පලා වර්ග වැඩිපුර ආහාරයට එක්කර ගැනීමයි. ඊට අමතරව තේ වෙනුවට උදේ/ සවස ඉඟුරු, කොත්තමල්ලි, සුදුලූනු, වැල්මී, රසකිඳ වැනි ද්‍රව්‍ය යොදා සැකසූ ඔසුපැන් වීදුරුවක් දිනකට කිහිප වරක් පානයට හුරුවීම, ශරීරයේ උෂ්ණත්වය රඳාපවතින ව්‍යායාම වැනි දෑ කළ යුතුය.

තුන්වෙනි කරුණ වනුයේ වෛරසයට පැතිරයාම වැළැක්වීමට දේශීය ඖෂධ භාවිතයට ගැනීමයි. එහිදී දේශීය ඖෂධීය පැළෑටි සහ ශාක වර්ගවලින් සකස් කර ගන්නා කැඳ වර්ග පානය කිරීම, උදේ සවස කට්ටකුමංජල්, දුම්මල වැනි දේ යොදාගෙන නිවෙස් ධූමායනය කිරීමට පියවරගත යුතුය. කහ, වදකහ, පෙරුම්කායම්, දෙහි, කොහොඹ වැනි විෂබීජ නාශක භාවිතා කළ යුතුය. නිවෙස්වල ආහාර ද්‍රව්‍ය පිළියෙල කිරීමේදී කුරුඳු, ගම්මිරිස්, කහ, තිප්පිලි වැනි කුළුබඩු වැඩි වශයෙන් එක්කිරීමට හුරුවිය යුතුය.

සැබැවින්ම පත්තිනි මෑණියන් හට ඇති ගෞරවය හා භක්තිය නිසාවෙන්ම රෝගය වැළඳුණු පුද්ගලයා නිසි පිළියම් පිළිපැදීමට බොහෝ සේ උනන්දුවෙන් පෙළඹෙයි.. මෙතුළින් රෝගය බෝවීම නිරායාසයෙන්ම අවම වේ..අතීතයේ පටන්ම දෙවියන්ට ඇති ගෞරවය හා භක්තිය නිසාම සිංහල ගැමි සමාජයේ බෝවන රෝග වලට දෙවියන් ඈඳාගනිමින් සිදුකරඇත්තේ රෝගය අවට සිටින්නන්ට බෝ නොවී රෝගියාද ඉක්මනින්ම සුවපත් වී නිරෝගීමත් පරපුරක් බිහිකිරීමට නොවේද??? 

අතීත ගැමි ජනයා රෝගීන් හට වත්මනේ මෙන් නිරෝධනයට බඳුන් වන්න යැයි සිරකුටියේ දමන්නාක් මෙන් අණ කළේ නැත. සිරවී සිටින්නට නොහැකියැයි කියා රෝගීන් පෙරළා ආවේද , සැඟවී සිටියේද නැත. අපේ මුතුන් මිත්තන් ඊට යොදාගත්තේ සියුම් චින්තනමය උපක්‍රමයක් නොවේද???

Top