රාජාලියන් එක්ක පියාඹන්න ඕනේ නම්, තාරාවෝ එක්ක පීනන එක නතර කරන්න

post-title

අපි හැමෝගෙම ජීවිත හැමදාම එකම විදිහට හෙමීට ගලාගෙන යන්නේ නෑ. පුංච් හරි හැල හැප්පීමක් නැත්නම් ජීවිතේ කියන දේ දැනෙන්නෙත් නෑ. අපි වටේ ඉන්න දෙනෝ දාහක් අතරේ ඇත්තටම අපේ කියලා තෝරාගන්න පුළුවන් මිනිස්සු කව්ද කියලා අදුනගන්න නම් අපි වැටෙන්න ඕනේ. අපිට‍ රිදෙන්නේ ඕනේ. ඒ වෙලාවට කීදෙනෙක් ළඟ ඉදීවිද? බුදු හාමුදුරුවොත් දේශනා කරලා තියෙනවා "කිසි කෙනෙක් තව කෙනෙක් වෙනුවෙන් අසීමිතව වග කියන්නේ නෑ" කියලා. 

ඇත්ත නේ. කතාවට මොන තරම් දේවල් ලස්සන කරලා කිව්වත් තව කෙනෙක් එක්ක අපිට යන්න පුළුවන් දුර සීමාවක් තියෙනවා. අපි විරහව කියලා කියන්නේ ඒ සීමාව ඉවර වෙන තැනට. වෛර බඳින්න, පලිගන්න, මඩ ගහන්න පටන් ගන්නේ එතැනදී. එහෙම නොවී සීමාව ඉවර වෙන තැනුත් ඉඳලා හිටලා දකින්න ලැබෙනවා. එහෙම බැඳීම් කවද හරි මරණය ළඟ දි කෙලවර වෙනවා. කෙනෙක් තනි වෙනවා. ඒ නිසා ජීවිතේ කොතැනක දි හරි අපිට තනියම ආපහු නැගිටින්න වෙන, අලුතින් පටන් ගන්න වෙන නැවතුමක් මුණ ගැහෙනවා. අන්න එතනින් එහාට යන්නයි අපි ජීවිතේ අත්දැකීම් එකතු කරලා තියෙන්න ඕනේ. 

හැමදේම ලැබුණු කෙනෙක්, නැතිවීමේ අඩුව දන්නෙ නෑ. හැමදාම දිනපු කෙනෙක්, පැරදුණාම නැගිටින විදිය දන්නෙ නෑ. ඒ හින්ද සාර්ථක මිනිස්සු සාර්ථක වුණ විදියට වඩා අසාර්ථක වුණු මිනිහෙක් එක්ක මොහොතක් කතා කරලා බලන්න. වැටුනේ ඇයි කියලා ඒ මිනිස්සු දන්නවා. ආපහු නැගිටින්න ඕනේ වෙහෙස ගැන ඒ මිනිස්සු දන්නවා. ඉතිං නැවතුන තැනකින් අලුත් ඇරඹුමකට පාර අහන්න ජීවිතේ දිනපු කෙනෙක්ම ඕනේ නෑ නේද? අපිට ජීවිතේ එක එක විදියේ අරමුණු තියෙන්න පුළුවන්. ඒත් අපිට‍ වඩා දුර්වලයි කියලා අවතක්සේරු කරපු සමහර මිනිස්සුම සාර්ථක වෙද්දී අපි අසාර්ථක වෙන්න හේතුව මොකක්ද? අපි අපේ අරමුණු වෙනුවෙන් වැඩ කරපු විදියෙයි ඒ වෙනස තියෙන්නේ. 

ජනප්‍රිය බටහිර කියමනක් තියෙනවා " ඔබට රාජාලියන් එක්ක පියාඹන්න ඕනේ නම්, තාරාවෝ එක්ක පීනන එක නතර කරන්න " කියලා. අරමුණ එක තැනක තියෙද්දී, වැඩ කරන්නේ තව විදියකට නම් දිනන්න බෑ. ඒ නිසා අනිත් අය දිහා බලාගෙන කල්පනා කරනවට වඩා අපිට‍ විශ්වාස විදියකට හරි අරමුණකට යන ගමන පටන් ගන්න එකයි වැදගත්. ඒක අධිවේගී වෙන්න ඕනේ නෑ. හෙමින් හෙමින් වුනත් හරි දිශාවට යන එකයි වැදගත්. අපි ගොඩ දෙනෙක් හෙට ගැන බයයි. කී දෙනෙක් ඒකට නෑ කියාවිද? ජීවිතේ අපි හැමෝටම අඩුවෙන් හරි වැඩියෙන් හරි නරක අත්දැකීම් දීල ඇති. දුක හිතෙන මතකයන් දීල ඇති. ඒත් දුකත් එක්ක නතර වෙන්න මිසක් ඉස්සරහට යන්න බෑ නේද? මොකද ඉස්සරහට යන්න කෙනෙක්ව තල්ලු කරන කෙනෙක් කවදාවත් දුකක් දෙන්නේ නෑ. දුක බෙදාගන්නවා මිසක්. ඉතින් ඒ නිසා පරණ මතකයන් එක්ක දිනන හෙට දවසක් ගැන හිතන්න අමාරුයි. අද මොන විදියට හිටියත් අපි ගොඩ දෙනෙක්ට හෙට ගැන බය හිතෙන්නේ ඒකයි. 

මහා ලොකු ඉතිහාසයක් නැති ඇමරිකාව හරි වෙනස් විදියට දියුණු වුණ රටක්. " අනාගතය වටහා ගන්න බැරි වෙන සීමාව අද දවස ගැන අපිට තියෙන සැකයයි " කියලා ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙක් වන ෆ්‍රැන්ක්ලින් රූස්ට්වෙල් කියලා තියෙනවා. ඒ වගේම ඒ මිනිස්සු ඒක ලෝකේ ඉස්සරහ ඇත්ත කරලා පෙන්නලත් තියෙනවා. ඒ නිසා හෙට ගැන බයවෙන්න තියෙන හේතු නැති වෙන්න අද දවස විශ්වාසයෙන් වැඩ කරන්නම වෙනවා. මේ ගමන යන්න අපිට කවදාවත් ලේසිම පාර හම්බ වෙන්නෙ නෑ. හොඳම දේවල් හම්බ වෙන්නෙත් නෑ. ඉන්දියාවේ හිටපු ජනාධිපති අබ්දුල් කලාම් කියලා තියෙනවා,"හොඳම දේ හොයන්න එපා. තියෙන දේ රැකගන්න. හිනා වෙන්න හේතු හොයනවට වඩා හොඳයි අඬන්න වෙන හේතු වලක්වා ගන්න එක" කියලා. මේ කිව්ව දේ ක්‍රියාවෙන්ම ඔප්පු නොකළ නම් අපිට වඩා 60 ගුණයක් ලොකු ඉන්දියාවේ කෝටි 135ක් විතර මිනිස්සු අදටත් කලාම්ට ගෞරව කරන්නේ නෑ. හොඳ දේවල් ඕනේ තමයි. ඒත් ඒ වෙනකල් අපිට තියෙන දේ පරිස්සම් නොකලොත් ඉන්න තැනිනුත් පස්සට යන්නයි වෙන්නෙ. ඒ නිසා හිනා වෙන්න අමාරු වුනත් අඬන්න හේතු හදාගන්නේ නැතුව ඉමු. 

කවදාවත් රණ්ඩුවකදී කෙනෙක් ගහන්න කලින් අනිත් කෙනා වැටෙන්නේ නෑ නේද? වැටෙන කෙනා වැටෙන්නේ ආරක්ෂා වෙන්න පුළුවන් උපරිම දේ කරලා ඒත් බැරිම වෙන තැනදියි. බොක්ෂින් ක්‍රීඩාවේ ගුරුවරු තමන්ගේ ක්‍රීඩකයින්ට කියලා දෙන ලොකු රහසක් තියෙනවා." ජීවිතේ හොඳම ශක්තිය හොයාගන්න ඕනේ කෙලින් ඉඳන් සටන් කරද්දි නෙවෙයි, පහරක් කාල බිම වැටුණු වෙලාවටයි " කියලා. අපි හොඳින් නම් ඕනේ තරම් අය වටේ ඉඳීවි. ඒත් බින්දුවටම වැටුන වෙලාවක මුළු ඇඟේම තියෙන අන්තිම හයිය බින්දුවත් කකුල් දෙකට එකතු කරලා ආපහු නැගිටින්න වෙන්නෙ අපිට‍ තනියම. ඒ තනිකමේ පාඩම හරියටම වැඩකරන විදිය අල්ල ගත්ත කෙනා "මම " නම් ඊට පස්සේ මාව නවත්තන්න මටම මිසක් වෙන කාටවත් බැරි වෙයි. ඒ නිසා පැරදුම පරදලා "නැවතුමක අළුත් ඇරඹුමක් " හොයන්න ආයෙම නැගිටිමු. 

Top