ආදී මානව සිතුවම් තුළින් නිරූපිත සන්නිවේදනය (629)

post-title

සියලුම කලා මාධ්‍යයන්ගේ මෙන්ම චිත්‍ර කලාවේද, මූර්ති කලාවේද නිර්මාණය සඳහා අත්‍යවශ්‍යම වන අංගය වන්නේ චින්තනයයි. පින්සල අත සමග පමණක් නොව චින්තනය සමඟ ද බැදී ඇත. එමෙන්ම ජීවිතය හා සමාජය මෙන්ම පන්ති අරගලය හා දේශපාලනය සමඟ ද චිත්‍ර කලාව බැඳී පවතියි. එපමණක් නොව යථාර්තය ජයගැනීමේ භාවිතයක් වශයෙන් සමාජය සංවර්ධනයෙහිලා තීරණාත්මක කාර්යයක් ඉටු කරනු ලබයි. චිත්‍ර කලා නිර්මාණාත්මක සන්නිවේදනය හුදෙක් නිර්මාණය තුළින් සමාජයට කෙරෙන සන්නිවේදනයකි. චිත්‍රයෙහි දක්නට ලැබෙන වර්ණ, රේඛා, හැඩතල, රටා ආදිය මගින් එහි අර්ථය ග්‍රාහකයාට නිරුපණය කරයි. ශිල්පියාගේ චින්තනය අනුව ඊට උචිත මාධ්‍යයන් තීරණය කරනු ලබයි. සිතුවමක් නිර්මාණය කිරීමේදී ඉන් නිරූපිත ඵලය උදෙසා සිත්තරා වටා පවතින සමකාලීන සමාජ පරිසරය හේතුවන්නේම ය.

චිත්‍ර කලාව යන්න මෑතකදී ඇති වූවක් නොවේ. ඒ සඳහා දීර්ඝ ඉතිහාසයක් ඇත්තේ ය. ආදී මානවයාගේ කාලයේ පටන් පැවති එක් සන්නිවේදන ක්‍රමයක් ලෙස සිතුවම් දැක්විය හැකි ය. සිතුවමහි පැරණිම යුගය ප්‍රාග් ඓතිහාසික යුගය වශයෙන් සළකනු ලැබේ. ආදී මානවයා දියුණු සාක්ෂරතාවයකින් හෙබි ජන කොට්ඨාසයක් නොවී ය. ගෝත්‍ර වශයෙන් සමූහව ජිවත් වූ මොවුන් තම ගෝත්‍රයේ එකිනෙකා අතර සහයෝගයෙන් ජිවත් වීමට, ආහාර සොයාගැනීමට, සතුරු උපද්‍රවවලින් ආරක්ෂා වීමට මෙන්ම සිය ලිංගික කර්තව්‍යන් උදෙසා එකිනෙකා අතර සන්නිවේදනය අත්‍යවශ්‍ය විය.

මුල්කාලයේ ආදී මානවයා සන්නිවේදනය උදෙසා තම අංග චලන, මුහුණේ ඉරියව් ආදිය භාවිත කරන්නට විය. දඩයම ප්‍රධාන ජීවිකාව කරගත් මොවුන් දඩයම් අවසන් කර යළි පැමිණි විට සිය දිනයේදී ලත් අත්දැකීම් අනෙක් ගෝත්‍රිකයන් හා බෙදා ගනු ලැබීමට සිතුවම් කලාව ප්‍රථමයෙන් යොදා ගනු ලැබීය. මොවුහු ඒ සඳහා විශාල ගල්ගුහා භාවිතා කළ අතර එහි අභ්‍යන්තර පෘෂ්ඨය තුළ එකිනෙකා ලත් අත්දැකීම් කුරුටු ගෑමට, සිතුවම් කිරීමට පටන් ගත්හ. අල්ටමීරා, ලැස්කෝ වැනි ලෙන් තුළ ශේෂව පවතින සිතුවම් මිට නිදර්ශන වන්නේ ය.

අල්ටමිරා ලෙන් සිතුවම් නිර්මාණයේදී ආදී මානවයා ඔවුන්ගේ ජීවන අරගලයට හේතුවන සිද්ධීන් එහි සිතුවම් කරන්නට විය. ඔවුනට පාලනය කිරීමට නොහැකි වූ අතිමහත් බලවේගයන් මෙන්ම, ආහාර සොයාගැනීම, වන සතුන්ගෙන් ආරක්ෂා වීමද එකල අභියෝගයක් විය. එම නිසාම ආදී මානවයා ශෛලම අභ්‍යන්තර පෘෂ්ඨයන්හි සිතුවම් නිර්මාණය කිරීමේදී ඔවුන්ගේ ජීවිතයට ඍජුවම බලපෑම් කරන වනසතුන්ගේ විවිධ ඉරියව් සිත්තම් කිරීමට පෙළබී තිබේ. මෙය විවිධ අවශ්‍යතාවන්ට අනුව සිදු විය. 

ආදී මානවයාටම විශේෂ වූ භාෂාවක් නොමැති නිසා ඔවුන් සිතුවම් නිර්මාණයේදී ඒ සඳහා සංකේත භාවිතා කර ඇති බව පෙනෙයි. සතුන් දඩයම් කල විට එම සතුට සැමරීමට, භයානක සතුන් යළි හඳුනාගැනීම පහසු වීමට සිතුවම් නිර්මාණය කර ඇත. ගිණිගොඩක් අසල නටන මානවයන් සහිත සිතුවම් තුළින් ආදී මානවයන්ගේ ආගමික ඇදහිලි හා විශ්වාස නිරූපණය කරයි. ආදී මානවයා මෙසේ සිතුවම් ඇඳීම උදෙසා ගස්වල කොළ, පොතු හා ගෙඩිවල යුෂ භාවිතා කර ඇත. පර්යේෂකයන් ට අනුව මොවුන් දඩයම් කල සත්ත්වයන්ගේ රුධිරය පවා සිතුවම් ඇඳීමට යොදාගෙන තිබේ. 

ආදී මානව සිතුවම් තුළින් ඔවුන්ගේ සමාජ පැවැත්ම පිලිබඳ පුළුල් දෘෂ්ටියක් නිරූපණය වන බව මින් පැහැදිළි වන්නේ ය. ඔවුන්ගේ සමාජ පරිසරය, දඩයම් සිදුකළ ආකාරය, එකල පැවති ආයුධ හා වස්ත්‍ර, ආගමික ඇදහිලි හා විශ්වාස, ජීවිකාව ගෙන ගිය ආකාරය ආදී වූ පුළුල් සන්නිවේදනයක් මේ හරහා සිදුවෙයි. මෙසේ ප්‍රාග් ඓතිහාසික සිතුවම් තුළින් ආරම්භ වූ සන්නිවේදනය පසු කාලයේදී ක්‍රමක්‍රමයෙන් අක්ෂර මාලාව තෙක් සංවර්ධනය වීම සිදු විය. 

Top