බිම් මට්ටමේ දේශපාලනයේ නියුතු කාන්තාවන්ට තම දේශපාලන පක්ෂ වලින් ලැබෙන අනුග්‍රාහකත්වය පිළිබඳ විමර්ශනය (760)

post-title

ස්ත්‍රී දේශපාලන ඉතිහාසයේ මුල්ම වතාවට කාන්තාවක මහජන මන්ත්‍රණ සභාවට පත් වන්නේ 1930 දශකයේය. එවකට කතානායක වූ ෆ්‍රැන්සිස් මොළමුරේ මහතාගේ බිරිඳ වු ඇඩ්ලින් මොළමුරේ කුමාරිහාමි මහත්මිය රුවන්වැල්ල ආසනය සඳහා පැවති අතුරු මැතිවරණය ජය ගෙන. වැඩි ජන්ද 9,398 කින් එම අසුන ජය ගෙන ලංකාවේ ප්‍රථම මන්ත්‍රීවරිය වීමට වාසනාව ලද්දාය. නැවත 1932 දී උතුරු කොළඹ ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරී පත්වූ දෙවැනි කාන්තාව සහ ප්‍රථම දමිළ මන්ත්‍රීවරිය බවට නේසම් සරවනමුත්තු මහත්මිය පත්වන්නීය. ඉන් පසු 1960 දශකයේ ලොව පළමු කාන්තා අගමැතිනිය වශයෙන් සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය තේරී පත් වූ අතර, 1994 වර්ෂයේ ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරිය ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පත්වූවාය. ජනතාවට රාජ්‍ය පාලනයට සම්බන්ධ වීමට වරප්‍රසාද හිමිවන 1931 සර්වබල ඡන්ද බලය ලැබීමේ අවස්ථාවේ සිටම කාන්තාව දේශපාලනය සම්බන්ධව සිටියත් එම දශකයේ සිට අද දක්වා දේශපාලනය තුළ කාන්තා නියෝජනයේ සැලකිය යුතු ප්‍රවර්ධනයක් සිදු වී ඇති බවක් නම් නොපෙනේ. පසුගිය 2004, 2010, 2015 පාර්ලිමේන්තු මැතිවරණ ත්‍රිත්වයේම කාන්තා නියෝජිතයන් සිටියේ 13ක් වශයෙනි. 2019 දී එය 12 ක් පමණි. එය ආසියානු කලාපයේ වෙනත් රටවල් හා සංසන්ධනාත්මකව බලන්නේ නම්, 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.3% ක් වන විට, ඉන්දියාවේ එය 12.6% ක්ද, නේපාලයේ එය 32.7%ක්ද මියන්මාරයේ එය 11.32% ක්ද ලෙස තිබේ. ශ්‍රී ලංකාවේ කාන්තා ජනගහයද පුරුෂ ජනගහනයට වඩා සාපේක්ෂව වැඩි අගයක් ගන්නා අතර එය 52% කි. එලෙසම ඡන්ද දායකයින්ගෙන් 56% ක්ද කාන්තාවන්ය. අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සංඛ්‍යා ලේඛන වලට අනුව ලොව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය රකින රටවල් 190 කින් ශ්‍රී ලංකාව සිටින්නේ 176 වන ස්ථානයේය. 

මේ සිදුවීම් මධ්‍යයේ 2018 වර්ෂයේදී, හා දේශපාලනය තුළ කාන්තාවගේ භූමිකාව ප්‍රමාණවත් නොවේ යැයි තදින් විස්වාස කල දේශපාලන ක්‍රියාකාරීන්ගේ උත්සාහය නිසාම 25% කෝටා ක්‍රමය මැතිවරණ ක්‍රමය තුළ සම්මත වන අතර එය ලාංකික කාන්තාවන් සමස්ත දේශපාලනය තුළ ලැබු විශාල ජයග්‍රහණයකි. 2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනතට අනුව සෑම පළාත් පාලන ආයතනයකම මුළු නියෝජිතයින් සංඛ්‍යාවෙන් 25% ක් කාන්තාවන්ගෙන් සමන්විත විය යුතුය යන්න මෙම පනත හරහා ගෙන එන ලදි. නමුත් අද වන විට දේශපාලනය තුළ කාන්තාව සවිබල ගැන්වීමට ගෙනා එම 25% කෙතරම් තිරසාරදැයි නැවත සිතීමට කාලය එලැඹ ඇත. මන්ද කෝටා ක්‍රමයට ඒමට පෙර පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.8% වූ අතර වර්තමානය වන විට එය 5.38% ක් දක්වා අඩු වී ඇත.

නෛතිකමය වශයෙන් ගත් කල ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ශ්‍රී ලංකාව විසින් පිළිගෙන ඇති ජාත්‍යන්තර නීතීන් ට අනුව කාන්තාවට දේශපාලන කරළියේ සම භූමිකාවක නියෝජනය ලබාදීමට ශ්‍රී ලංකාව කොන්දේසි විරහිතව බැඳී සිටී. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(2) වන වගන්තියෙන් ගැහැනියක සහ පිරිමියෙකු අතර පැවතිය යුතු සම අයිතිය පිළිගෙන තහවුරු කර තිබෙන අතර, නීතිය ඉදිරියේ දී එක හා සමානව පිදුම් ලැබීමට හා ස්ත්‍රී පුරුෂ භාවය මත ඇතිවිය හැකි වෙනස් ලෙස සැලකීම් වැළැක්වීම්ද ප්‍රත්‍රක්ෂ කොට තිබේ. ශ්‍රී ලංකාව ගිවිසගෙන ඇති CEDAW (The convention on the elimination of all forms of discrimination against women) ගිවිසුමට අනුව අනුව කාන්තාවන්ට සිදුවන සියලුම ආකාරයේ වෙනස් ලෙස සැලකීම් ඉවත් කිරීම වැනි ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව ද මෙම සමානාත්මතාව ශ්‍රී ලංකාව විසින් තහවුරු කර ඇත. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ සමාජ සන්ධර්භය දෙස බලන විට, නෛතිකමය අයිතිවාසිකම් සියල්ලක්ම කාන්තාවකට දේශපාලනය තුළ පහසු ගමනක් යාමට උපකාර කරන්නේ යැයි කීම කිසිසේත් සාධාරණ නැත.

සමාජය ජනතා අපේක්ෂිකාවන් දිහා බලන්නේ වෙනම දෘෂ්ටි කෝණයකින්. සමහර වෙලාවට අපි අඳින ඇඳුමෙන් පවා ඔවුන් අපිව මනින්න උත්සාහ කරනවා. බොහෝ ප්‍රාදේශීය මට්ටමේ ජනතා නියෝජිතවරියන්ට අවශ් ඔවුන්ගේ දේශපාලන පරිසරය තුළ ආරක්ෂාකාරීව ඉන්න යම් ක්‍රමවේදයක්. ප්‍රාදේශීය සභාවක සිටින ජනතා නියෝජිතයෙකුගේ වේතනය රුපියල් 15000/= යි. නමුත් මෙය ජීවත් වීමට ප්‍රමාණවත් මුදලක් නෙමේ. අපි ඍජු දේශපාලනයේ ඉන්න නිසා වෙනත් රැකියාවක නියැලීමටත් අපහසුයි.” - ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී යශෝධා ගුණතිලක, එක්සත් ජාතික පක්ෂය, මිල්ලනිය ප්‍රාදේශීය සභාව, කළුතර

නෛතිකමය අංශයෙන් ඇති බාධක බොහෝ දුරට ඉවත් වී ඇති නමුත්, පුරුෂ මූලික සමාජයෙන් එල්ල වන සමාජභාවීය බාධක, සමාජය තුළ කාන්තාවන්ට ඇති ඒකාකෘති, සමාජය දේශපාලනයේ නියුතු කාන්තාව දෙස බලන කෝණය, මැතිවරණ ව්‍යාපාර වලට යන වියදම් කාන්තාවට දැරීමට අපහසු වීම සහ ආගමික මතවාද නිසා කාන්තාවන් දේශපාලනය තුළට පිවිසීමත් බිම් මට්ටමේ දේශපාලනය තුළ සිටිනා කාන්තාවන් අධෛර්‍යමත් වීමට මූළික කාරණාය. නමුත් මෙහි කැපී පෙනෙන්නා කාරණය නම්, මේ සියලු බාධක කාන්තාවන්ට බලපාන්නේ ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම, සාක්ෂරතා අනුපාතය, විශ්වවිද්‍යාල ප්‍රවේශ වීමේ ප්‍රතිශතය, රාජ්‍ය සේවය වැනි සංවර්ධන නිර්ණායකයන්ගෙන් පුරුෂයින්ට වඩා ඉහළ මට්ටම සිටින අවස්තාවකයි. ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී යශෝධා ගුණතිලක තව දුරටත් දේශපාලනයේ නියුතු කාන්තාවන්ට ඇති අභියෝග ගැන ඇය විසින් සිදු කරන ලද පර්‍යේෂණයක සොයා ගැනීම් වශයෙන් තව දුරටත් මෙසේ සඳහන් කලාය.

“මම අධ්‍යනයක් කලා බස්නාහිර පළාතේ කාන්තා දේශපාලන නියෝජිතවරියන්ට දේශපාලනය තුළ මුහුණ පාන්නට වෙන ගැටලු සම්බන්ධව. මට ප්‍රධාන වශයෙන් හඳුනා ගන්න ලැබුණු අභියෝග විදිහට, මැතිවරණ වියදම් අධික වීම, ආගමික සංස්කෘතික ගැටලු, ඔවුන්ගේ පවුල් තුළින්ම ඔවුන්ට එන බලපෑම්, රජයෙන් හෝ දේශපාලන පක්ෂ වලින් හරියට සහයෝගයක් නොලැබීම, දේශපාලනය තුළ ඉන්න කාන්තාවන් බලගන්වන්න ක්‍රමවේදයක් නොමැතිකම, වගේ හේතු ගොඩක් බලපානවා අයගෙ දේශපාලන ගමන අඩාල වෙන්න. ඒ වගේම පාර්ලිමේන්තුවේ ඉන්න කාන්තා නියෝජිතවරියන් හඬ නැගිය යුතුයි මේ කාන්තාවන් දේශපාලනය තුළ සවිබල ගන්වන්න නම්. තරුණ උගත් තරුණ අයට තියන ඊලඟ ප්‍රශ්නය මැතිවරණ ව්‍යාපාරයට යන වියදම්. මේ මැතිවරණ වියදම් බලපාන්නේ කාන්තා නියෝජිතවරියන්ටම විතරක් නෙමේ. ගොඩක් දක්ෂ මන්ත්‍රීවරු ඉන්නවා ඉදිරියට එන්න බැරි. මොකද මැතිවරණ වියදම් වල තිබෙන ගැටලුව නිසා. මේ සම්බන්ධයෙන්ද අණ පනත් අපේ රටට අවශ්‍යයි.”

මේ සමාජ බලපෑම් එල්ල වන ආකාරයන්ද අද වන විට වඩා සංකීර්ණ වී ඇති බවක් පෙනේ. වර්තමානය වන විට දේශපාලනය තුළ නියැලෙන්න කාන්තාවන්ට මුහුණ දීමට ඇති අනෙක් ප්‍රධාන බාධකයක් නම් සමාජ මාධ්‍ය ජාලා තුල ඔවුන්ට ලැබෙන විවිධ ආකාරයේ ප්‍රතිචාරයි. ඩිජිටල් ප්‍රජාතන්ත්‍රවාදය ගැන ලොවම කතාවන අවධියක වුවත්, දේශපාලන නියෝජිතවරියක හෝ වෙනත් දේශපාලන ක්‍රියාකාරිණියක සමාජ මාධ්‍ය ජාලා වල පල කරන දෑ වලට ලැබෙන ප්‍රතිචාර නම් බොහෝ විට සුබවාදී නැත. බොහෝ ප්‍රතිචාර වෛරී ප්‍රකාශනය. කාන්තා නියෝජිතවරියන්ගේ පෞද්ගලික ජීවිතය අලලා සකසන මඩ පෝස්ටර් ඕනෑ තරම් සමාජ මාධ්‍ය ජාලා වල සොයා ගත හැක. විශේෂයෙන්ම මැතිවරණ කාල වල වැඩි වශයෙන් මේවා සුලභය. මෙවැනි සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ හැසිරීම් නිසා සිදුවන අඳුරු ප්‍රතිඵලය නම්, යම් තරුණ කාන්තාවක් අනාගත දේශපාලනයට පිවිසීමට අපේක්ෂා කරන්නේ නම් ඇයගේ රුචිකත්වය අඩු වීමයි. අද වන විට සමාජ මාධ්‍ය යනු ලෝකයේම දේශපාලනය බලපෑම් කල හැකි වේදිකාවක් බවට පත්වී හමාරයි. යම් දූෂණයක් හෝ වංචාවක් වන විට එහි පරිශීලකයින් ඒවා ගැන ප්‍රසිධියේම කතා කරති. එම නිසා දේශපාලඥයින්ට ඔවුන්ට එල්ල වන චෝදනා වලින් ගැලවීමට අවස්ථාවන් නැති තරම් ය. කෙසේ නමුත් දියුණු වෙමින් පවතින ලෝකයේ සමාජ මාධ්‍ය ජාලා යනු දේශපාලනය තුළ නියැලෙන ඕනෑම කෙනෙකුට ශක්තිමත් අනුගාමිකයින් පිරිසක් නිර්මානය කර ගැනීමට හොඳ වේදිකාවන්ය.

පාර්ලිමේන්තුව තුළ කාන්තා නියෝජනය අඩු වීමට හේතු ලෙස ට්විටර් පරිශීලකයන්ගෙන් සිදුකරන ලද අදහස් විමසීමකදී පැහැදිලි වූයේ ස්ත්‍රී දේශපාලනය මෙවැනි තුළ පසුගාමීත්වයක් ලැබීමට හේතු ලෙස 31%ක් පක්ෂ සහයෝගය නොලැබීමත් 41%ක් පුරුෂ මූලික සමාජ ක්‍රමයත් බලපාන ලබන බවයි.

තව දුරටත් දේශපාලන පක්ෂ වලින් ලැබෙන සහයෝගය ගැන කල විමසීමේදී පැහැදිලි වූයේ 62.3% කගේ මතය නම් එවන් සහයෝගයක් දේශපාලන පක්ෂ තුළින් කාන්තාවන්ට නොලැබෙන බවයි.

කෙසේ නමුත් සෑම දේශපාලන පක්ෂයක්ම තම කාන්තා නියෝජිතවරියන්ට සහයෝගය නොදක්වන්නේ යැයි කීම සාධාරණ නැත. ඊට හොඳම නිදසුන නම් කරච්චි ප්‍රාදේශීය සභාවේ, ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ශ්‍රීකාන්තන් කලෙයිවානි හට ඇයගේ පක්ෂය වූ දෙමළ ජාතික සන්ධානයෙන් මැතිවරණ කාලපරිච්ඡේදය තුළ සහයෝගය ලැබී තිබීමයි.

 “මට පක්ෂයෙන් ලොකු සහයෝගයක් ලැබුණා. රැස්වීම් සංවිධානය කරන්න, මගේ සහයට තව කාන්තාවන්ම හොයල දෙන්න පක්ෂයෙන් කටයුතු කරා. ආධාරත් ලබා දුන්නා. එය ලොකු සහනයක් උනා. මට දේශපාලනය ගැන දැනුම, අත්දැකීම් හොයන් යන්න මට පක්ෂයෙන් උදව් කරා. දේශපාලනයේ ඉන්න කාන්තාවන්ට සමාජයෙන් කියනවා, එයාලට දැනුම නෑ, අත්දැකීම් නෑ, තීරණ ගන්න දන්නෙ නෑ කියල. හැබැයි මම හොඳට අධ්‍යනය කරා දේශපාලනය ගැන. සමාජය අපේ ජීවිත හසුරවනවා. මම සමාජයේ ගැවසුනා නිතරම. ඒ හින්දා මට කවුරුත් වෙනස්කම් කරන්න එන්නෙ නෑ. මොකද මිනිස්සු මාව දන්න හින්දා” - ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී ශ්‍රීකාන්තන් කලෙයිවානි,දෙමළ ජාතික සන්ධානය, කරච්චි ප්‍රාදේශීය සභාව, කිලිනොච්චිය

කලෙයිවානිගේ අත්දැකීම ඉතාමත් සුබවාදීය. නමුත් ලංකාවේ අනෙක් ප්‍රාදේශීය සභාවල සිටින සෑම කාන්තා නියෝජිතවරියකටම ඇයට මෙන් සහයෝගය ලැබෙන්නේ නැත. ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී යශෝධා ගුණතිලක සඳහන් කල පරිදි ඇයට සහ ඇගේ ප්‍රාදේශීය සභාවේ අනෙක් කාන්තා නියෝජිතවරියන්ට දේශපාලනය සම්බන්ධ දැනුම ලබා ගැනීමට හැකිව තිබුණේ වෙනත් බාහිර සංවිධාන හරහා ය. ඇයත්, කලෙයිවානිත් විස්වාස කරන්නේ කාන්තාවන්ට මේ දැනුම ලබා දීම, දේශපාලනය තුළ සවිබලගැන්වීම, ශක්තියක් වීම වැනි මූලික කාරණා තම පක්ෂ තුලින්ම ලැබෙන්නේ නම් එම ජනතා නියෝජිතවරියන්ට අනාගත දේශපාලනය තුළ දිගු ගමනක් යාමට එය ඉවහල් වනු ඇති බවයි. 

References:

Top