අයාලේ යන ජීවිතයකට එළිය දෙන්න (796)

post-title

ජිවිතේ හැමෝම හැමවෙලේම ආස කරන දෙයක් තමයි ආදරේ කියන්නේ. ආදරේ කෙනාගෙන් කෙනාට ගොඩාක් වෙනස්. අපි ආදරේ කරන කෙනා අනුව ආදරේ කරන විදිහ අනුව මේ ආදරේ එහෙම නැතිනම් ප්‍රේමය විවිධාකාර වෙනවා. මේ එක එක රහ, ආදරේ අපි විඳින විදිහ අනුවත් ගොඩාක් වෙනස් වෙන්න පුළුවන්. මේ තියෙන්නේ ඒකට හොඳම උදාහරණයක් .


එක්තරා නගරයක ළමයි දෙන්නෙක් ජීවත් උනා. මේ දෙන්නා පවුල් දෙකක. මොවුන් හොදම යහළුවන්. දෙදෙනාම සංගීතයට ගොඩක් ආසකරන දක්ෂ වයලින් වාදකයින්. දවසක් මේ දෙන්නා ඉ‍ගෙන ගන්න පාසැලේ තරඟයක් පැවැත්වුවා. ඒ තරගය පැවැත්තුවේ දක්ෂතම වයලීන වාදකයා තෝරන්න. අනිත් ළමයින් වගේම මේ ළමයි දෙන්නත් තරඟයට සහභාගි උනා. එක ළමයෙක් එහි තුන්වන ස්ථානය දිනාගත්තා. අනිත් කෙනා ට දිනා ගන්න ලැබුනේ ඒ තරඟයේ පස්වන ස්ථානය. දෙදෙනාම තමන්ගේ ගෙවල්වලට පෙරලා ආපසු ගියා. පස්වන ස්ථානය ගත් ළමයාගේ දෙමාපියන් ඔහුව ළඟට අරගෙන ආදරෙන් කතාකරලා “හොඳ පුතා, ඔයා හොඳට උත්සහ කරා... අපි ඊළඟ සැරේ හොඳ තැනකට එමු. අපි ඉන්නවනේ ඔයා එක්ක... අපි ඔයාට ගොඩක් ආදරෙයි” කියල කිව්වා. හැබැයි තුන්වන තැනට ආපු ළමය ගෙදර ගියහම ඔහුට අහන්න ලැබුනේ මෙන්න මෙහෙම කතාවක්. ”ඇයි පළවෙනිය වෙන්න බැරි වුනේ? මොකද්ද පුතා ඔයාට පළවෙනිය වෙන්න බැරිද. . . .? ඒ ළමයට ගොඩාක් දුක හිතුනා. කොහොමෙන් කොහොම හරි දෙන්නම ලොකු මහත් වුනා. තුන්වන ස්ථානය ගත්ත ළමයා වයලීන අලුත්වැඩියා කරන පුංචි වැඩපලක හිමිකරුවෙක් වුනා. පස්වන ස්ථානය ගත්ත ළමයා ලෝකයම අදුනන දක්ෂ වයලීන වාදකයෙක් බවට පත්වුනා.


මං කියන්න හදන්නේ සමාජීය තරගකාරිත්වය ගැනම නෙමෙයි. මං කියන්න හදන්නේ ආදරේ දැනීම සහ දැනවීම (පෙන්වීම) ගැන. ඔබ කවදා හරි දවසක මවක් පියෙක් වුනාම හෝ ආදරේ කරන ආදරවන්තියක් ආදරවන්තයෙක් බවට පත්වූනාම ඔබට ඉගෙන ගන්නට බොහෝ දේ තිබේවි. ඒ අතරින් මුලිකත්වය ගන්නේ ආදරය කිරීම සහ පෙන්වීම. මොකද ආදරය කියන්නේ හදවතකට දැනෙන දෙයක්.


හිතල බලන්න ඔබේ හදවතේ උතුරන ආදරේ කෙනෙකුට දෙන්නේ කොහොමද? ඔබ ලබාදෙන ආදරය ඔහුට ඇයට දැනෙනවාද? ඒ ඔබේ දරුවාට හෝ ඔබේ ආදරවන්තියට හෝ ආදරවන්තයාට හෝ ආදරය කරනා ඕනෑම කෙනෙකුට වන්නට පුළුවන්.  ඔබ කලයුත්තේ ඔහු හෝ ඇය අගය කිරීමයි. හැබැයි අගය කිරීම යනු  මුරුංගා අත්තේ තැබීම නෙමෙයි. ඔවුන්ව හදවතින් අගයන්න අඩුපාඩු ආදරෙන් කියාදෙන්න, ඔබ ඔවුන් සමග ඉන්න බව හැඟෙන විදිහට කතා කරන්න. එසේ නොවුනොත් ඔවුන් පසු බසිවී. ඔවුන්ට හැගේවී ඔබ ලෝකයම දුවන තරඟය පස්සේ ඔහේ දිවයන කෙනෙක් පමණක් බව. ඔබේ ආදරේ ඒ හැඟීමෙන් වැසී යාවී. ඔබව ඔවුන්ට මගහැරේවි ඔබටත් නොදැනීම. ඔවුන් වෙන ආදරයක් පසුපස යාවි. මොකද ජිවිතයට හුස්ම අවශ්‍ය සේ ම ආදරයත් අත්‍යවශ්‍යයි. ඒකට හේතුව ආදරය ඇති තැන මිනිස්සුන්ට බලාපොරොත්තුවක් තියෙන නිසා.

කොහොමද දැනෙන්න ආදරේ දෙන්නේ ? ඒක තමයි ඊළඟ ඔබේ ඔලුවට එන ලොකුම ගැටලුව. මං දකින විදිහට ආදරේ පදනම් වෙන්නේ අපි ඒ කෙනා වෙනුවෙන් ලබාදෙන, වෙන් කරන වෙලාව අනුව. අපි එයාලට ලබාදෙන අවධානය මත... ‘‘මට වෙලාවක් නෑ ,කාර්යබහුලයි‘‘ හැමවෙලේම මේ වගේ දේවල් නොකියා අඩුම තරමේ දවසේ වේලාවෙන් විනාඩි දහයක්වත් ආදරේ කරන කෙනා වෙනුවෙන් වෙන් කරන්න.  පුංචි කෙටි පණිවිඩයක් යවන්න. දරුවන් එක්ක නම් පොඩි පොඩි දේවල් ගෙන කතා බහ කරන්න. පුංචි පුංචි තීරණ වගේ දේවල් ගනිද්දී එයාලව එකතු කර ගන්න. ඒ වගේ දේවල් වලින් පුළුවන් ඔබට ආදරේ කියන්න ඔවුන්ගේ හදවතට. පුළුවන් හැමවිටම තමන්ගේ දරුවට ආදරවන්තයාට ආදරවන්තියට ඔබ ඔහුට ආදරේ බව කියන්න හැකිනම් ඔබ බොහෝදුරට සාර්ථකයි. ආදරේ කියන්නේ වචනයක් නෙමෙයි ඔබ කියාවි. ඔව් ආදරේ කියන්නේ හරිම පුජනීය හැඟීමක්. ඒත් ඔබට සිදුවෙනවා අනිත් පුද්ගලයාට එය දැනෙන්නට හරින්න. ඒක ඒ කෙනාට මහා ගොඩක් වටීවි.

වර්තමානය වෙනකොට ශ්‍රී ලංකාව සියදිවි නසාගැනීම් අතින් ඉන්නෙ ඉදිරියෙන්. මේ සියදිවි නසාගැනීම් බොහෝමයකට මුල බවට පත්වෙන්නේ ආදරය නොලැබීම. තමන්ගේ පෙම්වතිය පෙම්වතා තමන්ව හැරයාම නිසා සිදුවන මේ සියදිවි නසාගැනීම් බොහෝමයකට වගකිව යුත්තේ දෙමව්පියන්. මොකද ආදරේ කියන දේ ලබාගන්නේ කොහොමද? ආදරේ ගජමිතුරා වෙන විරහවට මොකද කරන්නේ? කියන මේ වගේ දේවල් කියල දෙන්න අද අම්මලා තාත්තලට වෙලාවක් නෑ .ඔවුන් ඒවා හොයාගන්නේ අන්තර්ජාලයෙන් නැත්තම් චිත්‍රපට වැනි දේ ඔස්සේ. ඉතින් ඔවුන් නොමගට යාම නොවලක්විය හැකි දෙයක් බවට පත්වෙලා. 


ආදරණිය මිනිසුනේ ඔබේ ආදරය රැක ගත යුත්තේ ඔබයි. ආලයේ පිවිතුරු බව ඔවුන්ට කියාදෙන්න. ආදරය කියන අකුරු හතරට හදවතට දැනෙන අරුතක් දෙන්න. ගෙදරින් පටන් ගන්න ... ඔබට පුළුවන් අයාලේ යන ජීවිතයකට එළිය දෙන්න.

Top