“ආදරය යනු අයිතිකර ගැනීම නොවේ !” (349)

post-title

සමාජයේ වැඩිපුරම අහන්න දකින්න ලැබෙන ඉතාමත් හුරු, සුලබ වචන කිහිපයකින් අද ලිපිය මෙසේ ආරම්හ කරනවා. 

“මම ඔයාට ආදරෙයි”

මෙය අප කාටවත් අලුත් මාතෘකාවක් නොවේ. හැමකෙනෙක්ම ආදරය කරනවා නමුත් ඒ තුළ පවතින්නේ සැබෑම ආදරය ද යන්නහි ගැටලුවක් තිබෙනවා. මේ ලෝකයේ ආදරයට අකැමති කිසිමකෙනෙක් ඇති කියලා මම හිතන්නේ නැහැ. හැම කෙනෙක්ම තමන්ට තවකෙනෙකුගෙන් ආදරය, සෙනෙහස ලැබෙනවට කැමතියි. හැමකෙනෙක්ම එහෙම ආදරයක් බලපොරොත්තු වෙනවා. විශේෂ පුද්ගලයකුගෙන් ලැබෙන ආදරයක් ඇත්තටම අපට විශේෂයි. ඔබත් එවැනි ආදරයක් විඳින අයෙක් ද? නැතිනම් එහෙම ආදරයක් දෙන අයෙක් ද ? එහෙම නැතිනම් එවැනි ආදරයක් කිසිඳා නොලැබූ අයෙක් ද ? මේ ලිපිය ලියන්නේ ඔබ සියලු දෙනාටමයි.

සමාජයේ ජීවත්වන මිනිසුන්ගෙන් බහුතරයක් තම ජීවිත කාලයේදී එක් වතාවක් හෝ සුවිශේෂී පුද්ගලයකුට හෝ ආදරය කර තිබෙනවා. කරමින් ඉන්නවා. ඔබ ආදරය කර පිරිස එක් අයෙකුට සීමා නොවෙන්නත් පුළුවන්. සමාජයේ කවර පැතිකඩක් දෙස බැලුවත් ආදරවන්තයින්ගෙන් නම් හිඟයක් නැහැ. මෙතරම් මිනිසුන් එකිනෙකාට ආදරය කරන සමාජයක ඇයි ඊටත් වඩා වැඩියෙන් ආදරය නිසා විඳවන මිනිසුන් ජිවත් වෙන්නේ? එයට හේතුව ආදරය කියන්නේ විඳවීම ද විඳීම ද යන්න මිනිසුන්ට අමතක වීම යි.

“ආදරය යනු අයිතිකර ගැනීම නොවේ!”

ආදරය යනු හුදු වචනයකට පමණක් සීමා වූ හැඟීමක් නොවේ. එහි වචනාර්ථය ඉක්මවූ ගැඹුරු අර්ථයක් ගැබ්ව තිබෙනවා. ආදරයේදී සිදුවන්නේ කෙනෙකු තවත් පුද්ගලයකුගේ ජිවිතයෙන් තමන්ගේ ආදරය වෙනුවෙන් යම් ඉඩ ප්‍රමාණයක් ඉල්ලීමයි. එවිට එම පුද්ගලයා ඔබ වෙනුවෙන් එම ඉඩකඩ ලබා දෙනවා. නමුත් එය පසුව ඔවුන්ගේ ජීවිතයම වෙනවා. නමුත් බොහෝ ආදර කතාවන්ට අනුව දෙදෙනාට ආදරය කියූ පමණින් සියල්ල අවසානයි. “එයා මට ආදරෙයි.. එයා දැන් මගේ!” ඔබ සිතනවා. ඔබ එසේ එම පුද්ගලයාව අයිති කරගන්නවා. “ඇය දැන් මගේ. මට අවශ්‍ය විදිහට ඇය හැසිරෙන්න ඕනේ. ඇය අඳින්න ඕනේ මන් කැමති විදිහට. ඇය ඇසුරු කරන්න ඕනේ මන් කැමති අයව” ඔබත් එසේ සිතමින් ඔබ ආදරය කරන පුදගලයාව පාලනය කරනවාද? 

ඔබට බෙහෙවින් ආදරය කරන පුද්ගලයකු හිමි වීම ඔබ ලබන භාග්‍යයක්. නමුත් එම පුද්ගලයා ඔබට අවශ්‍ය පරිදි හසුරුවන කෘතීම සෙල්ලම් භාණ්ඩයක් නොවිය යුතුයි. ඒ ඔබ ආදරය කරන පුද්ගලයා වුවත් ඔබට බැහැ එම පුද්ගලයාගේ ජීවිතයට අනවශ්‍ය ලෙස බලපෑම් කරන්න. ඔබේ ජීවිතය ඔබට අයිති වනවා සේම, ඒ ජීවිතත් අයිති ඔවුන්ටමයි. අපේ ජීවිතයට තව අයෙක් අනවශ්‍ය ලෙස බලපෑම් කරන විට අප කරන්නේ එම පුද්ගලයාව අපේ ජීවිතයෙන් දුරස් කිරීම නේද?

“ආදරෙයි නම් නිදහස දෙන්න. එවිට සැබවින්ම ආදරය කරන පුද්ගලයා ඔබ අසළ රැදේවී!”

ඔබ ආදරය කරන පුද්ගලයාව ඔබට අවශ්‍ය පරිදි හසුරුවමින් නිර්මාණය කිරීම සැබවින්ම ආදරය නොවේ. එහි සැඟව ඇත්තේ බියයි. ඔහු හෝ ඇය තමාට අවශ්‍ය පරිදි නිර්මාණය නොකළහොත් යම්දිනක තමා හැර යාවි යයි ඔබ බයයි. ඔබට බැහැ එවැනි දෙයක් දරාගන්න. එම නිසා සම්බන්ධතාවයක් ආරම්භයේ සිටම ඔබ උත්සාහ කරන්නේ කෙසේ හෝ ඔබ ආදරය කරන පුද්ගලයාව ඔබ සමීපයේම තබා ගැනීමටයි. ආදරෙයි නම් නිදහස දෙන්න. එම පුද්ගලයාට රිසි පරිදි ජිවත් වීමට ඉඩ හරින්න. වර්තමානයේ බොහෝමයක් ආදර කතාවල අවසානයට හේතුවක් වන්නේ මෙයයි. බලෙන් රඳවා ගැනීමේ ප්‍රතිඵලය ඉක්මනින් අහිමි වීමයි. සුළං පිරවූ බැලුම් බෝලයක සුළං පිටතට යා නොදී එය තදින් අල්වා ගෙන සිටියත්, යම් මොහොතක එහි පීඩනය දරාගත නොහැකිව පිපිරී යනවා නිසැකයි.

“සැකය නම් ගින්න ඔබව ද දවා, අන් අයත් දවා වී!”

බොහෝමයක් ආදරය කරන පුද්ගලයින් අතර ඉතා දරුණු විෂක් මෙන් පැතිරී පවතින්නේ සැකය යි. බොහෝ පුද්ගලයින් සිතන්නේ ආදරය කිරීමේදී සැකය සාමන්‍ය දෙයක් බවයි. “ඇයි ඔයා එයාගේ පෞද්ගලික දේවල් ඔය තරම් හොයන්නේ?” දිනක් සිය පෙම්වතාගේ ෆේස්බුක් ගිණුම පිරික්සන මාගේ මිතුරියකගෙන් මම ඇසුවෙමි. ඇය දුන් පිළිතුර වූයේ ඒ ආදරේ නිසා බවයි. “ඉතින් ආදරෙයි නම් එයාව විශ්වාස නැද්ද?” මම නැවත විමසීමි. එවිට ඇය පැවසූයේ විශ්වාසයි. නමුත් ෆේස්බුක් හි සැරිසරන බොහෝ ගැහැණු ළමයි විශ්වාස කළ නොහැකි බවයි. ඇය තම පෙම්වතාව විශ්වාස කරන්නේ නම් අන් තරුණියන් ගැන ඇය වදවිය යුතු නැහැ නේද? 

එවැනි සම්බන්ධතාවයක පැවැත්ම කෙටිකාලීන යි. ආදරයක පදනම වන්නේ දෙදෙනා කෙරෙහි දෙදෙනා අතර වන අන්‍යෝන්‍ය විශ්වාසය යි. විශ්වාසයක් වැනි සරල කාරණාවක් හෝ දෙදෙනා අතර නොමැති නම් එය ශක්තිමත් බැඳීමක් වන්නේ නැහැ. එසේම ඔබට ආදරය කරන පුද්ගලයා ඔබ කෙරෙහි තබා ඇති විශ්වාසය රැකීමත් ඔබේ වගකීමක් වෙනවා. ඔබ වරදක් කර විට එම පුද්ගලයා වරක් දෙවරක් හෝ තුන්වරක් සමාව දේවී. නමුත් ඔබ එම වරද දිගින් දිගටම සිදුකරන්නේ නම් එම පුද්ගලයාට ඔබට සමාව දීමට නොහැකි වෙනවා. බිඳුණු වීදුරුවක් යළි සකස් කළ හැකියි. නමුත් පෙර පරිදිම නොවේ. විශ්වාසයක් කඩවුණු සිතත් එහෙමයි.

“එක් අයකුගේ කරමතින් එගොඩ වීම නොව දෙදෙනා සහයෝගයෙන් එගොඩ වෙන්න!”

ධනය, බලය, කීර්තිය හෝ අරමුණු මත කිසිවිටෙක ආදරය කරන්න එපා. ඒ සියල්ල තාවකාලික යි. ධනය බලය කීර්තිය අද තිබී හෙට නැතිවෙන්න පුළුවන්. ඔබ එවැනි හේතු මත ආදරය කරන්නේ නම් එහි අවසානය ඵල රහිතයි. අයෙක් තමන් ආදරය කරන පුද්ගලයාව භාවිතයට ගනිමින් තම ජීවිතය සාර්ථක කරගැනීමට පමණක් උත්සාහ කරනවානම් කරුණාකර එම ක්‍රියාව නවත්වන්න. ඔබේ අරමුණු වෙනුවෙන් තනිවම හෝ සටන් කිරීමට ඔබට හැකි විය යුතුයි. කිසිම විටෙක එම කරුණු නිසා තවත් පුද්ගලයකුගේ මානසික සුවය අහිමි නොකරන්න. තවත් පුද්ගලයකුගේ ජීවිතය විනාශ නොකරන්න. ඔබ දෙදෙනාම එකසමානව බොහෝ කැපවීමෙන් උනන්දුවෙන් අනාගතය වෙනුවෙන් වෙහෙසෙන්නේ නම් එය ඉතාමත් වටිනවා. සැමවිටම ඔබ ආදරය කරන පුදගලයාව ධනාත්මක සිතුවිලිවලින් පෝෂණය කළ යුතුය. එය එම පුද්ගලයාට සුවිශාල ශක්තියකි. ඔබ සැමවිටම පවසන්නේ ඍණාත්මක දේ නම් එවිට එම පුද්ගලයාගේ සිතුවිලිද ඍණාත්මක වෙනවා.

“එකිනෙකාව අගයන්න. පහත් කරන්න එපා!”

ඔබ අප සෑම කෙනෙක්ම ගෞරවාන්විතව ජීවත් වීමට කැමතියි. අපව යම්කෙනෙකු අගයන විට අපි හදවතින්ම සතුටු වෙනවා. ආදරයේදීත් එය අත්‍යවශ්‍යම යි. ඔබ මොනයම් හෝ ආකාරයකට ඔබ ආදරය කරන පුද්ගලයාව පහත්කොට සළකනවා නම්, පහත්කොට කතා කරනවානම් ඔබ සැබවින්ම ඔහුව අපහසුතාවයට පත් කරනවා. ඔබට නොපෙන්වුවත් ඉන් එම පුද්ගලයාගේ සිත බිඳෙනවා. ඔහුගේ සිතේ එය තැන්පත් වෙනවා. ආදරේදී එකිනෙකාට ගරු කිරීම තුළින් දෙදෙනා අතර වන බැඳීම තවදුරටත් ශක්තිමත් වන බව අමතක කරන්න එපා. 

සෑම පුද්ගලයකුගේම ජීවිතයට වටිනාකමක් තිබෙනවා. ඔවුනොවුන්ට විශේෂ යහපත් ගුණාංග, දක්ෂතා තිබෙනවා. මේ ලෝකයේ ජීවත්වන කිසිම පුද්ගලයකු වටිනාකමින් අඩු අය නොවේ. එක් එක් පුද්ගලයින්ට එම වටිනාකම් අඩු හෝ වැඩි වශයෙන් තිබෙනවා. එම වටිනාකමට සැමවිටම ගරු කරන්න. ඇතැම් විට ඔබ ආදරය කරන පුද්ගලයාගේ අයහපත් ගුණාංග බහුල වෙන්න පුළුවන්. එවන් අවස්ථාවක එසේ පවතින එක් යහපත් ගුණාංගය හෝ ඔබ අගයන්න. එවිට එම පුද්ගලයාම යහපත් පුද්ගලයකු බවට පත්වීමට බොහෝදුරට ඉඩකඩ තිබේ. 

“අවසානය තෙක් දරාගන්න!”

ආදරෙයි නම් අවසානය තෙක් ආදරය කරන පුද්ගලයාගේ දෑත අල්වා ගෙන සිටීමට ඔබට හැකි විය යුතුය. ජීවිතය සුන්දර මල් යහනාවක් නොවේ. ආදරය කරන ඔබට කටු මතින් ඇවිද යන්නට වේවී. අන් කවරදාටත් වඩා දරාගන්නට සිදු වේවී. නොයෙකුත් ප්‍රශ්න ගැටලු ඔබ කරා පැමිණේ වී. නමුත් නොසැලී අල්වා ගත් අත, අත්නොහැරම සිටීමට තරම් ඔබ සිතින් ශක්තිමත් විය යුතුයි. ගැටලු බාධක හමුවේ අතහැර පලා යාම ආදරය නොවේ. සැපේදී මෙන්ම දුකේදීත් සමසිතින් ආදරය කිරීමට ඔබට හැකි විය යුතුය. ඉතින් ආදරය යන්න හුදු වචනයකට පමණක් සීමා නොකර එකිනෙකා වෙනුවෙන් කැපවී ජීවත්වෙන්න. ආදරය අහිමි වී හඬන්නට පෙර හැදෙන්න! ඔබට හිමි වූ ආදරය එලෙසින්ම රැකගන්න! ඊට කැපකිරීම් කරන්න! 

Top