කාටූන් ව්‍යාජයෙන් විකෘති මනෝලෝකවල හිරවන ළමා ලෝකය (662)

post-title

අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය කියල හදුන්වන්නෙ කුඩා දරුවන්ව. පුංචි දරුවො හරියට මල් වගේ. ඔබේ ජීවිතේ සුන්දර ම කාලය මොකක්ද කියලා කවුරුහරි ඔබෙන් ගැහුවොත් ඇත්තටම ඒකට උත්තරය වෙන්නේ පුංචි කාලේ කියන එක නේද ? පුංචි කාලය කියන්නේ අපි හැමෝගෙම ජීවිත වලට එකම එක පාරක් එන ඉතාම සුන්දර කාලපරිච්ඡේදයක්. ළමා කාලය කියන්නෙම අනුකරණාත්මක කාලයක්. පුංචි ළමුයි සෑමවිටම දකින දේවල් අනුකරණය කරන්නට පෙළඹෙනවා හරි වැරැද්ද ගැන තේරුමක් නැතිවම. අද වෙද්දි එහෙම අනුකරණය කරලා දැඩි වින්දනයක් ලබන්න කුඩා දරුවො දක්වන්නේ බලවත් කැමැත්තක් . වර්තමානයේ ගහට පොත්ත වගේ තමයි කාටූන් එක්ක කුඩා දරුවො බද්ධ වෙලා ඉන්නෙ. හැබැයි ඉස්සර අපි පුංචි කාලෙ බලපු කාටූන් සහ අද පොඩි දරුවන්ට බලන්න තියෙන කාටුන් අතර විශාල වෙනසක් තියෙනවා. 

ඉස්සර අපි බලපු කාටුන් ඒ කියන්නෙ කූඹිච්චි, ඥානකතා මල්ලි, වලස් මාමා වගේ කාටුන්වල රසවින්දනයක් වගේම උපදේශයකුත් ගැබ්වෙලා තිබ්බා. නමුත් වර්තමානය වන විට රූපවාහිනි මාධ්‍ය තුළ ඉදිරිපත් කෙරෙන කාටුන් තුළින් යම්කිසි උපදෙසක් ඔවදනක් හෝ හරවත් යමක් දරු පරපුරට ලබා දෙන්නේ නෑ. වර්තමාන කාටුන් තුළ වැඩි වශයෙන්ම අන්තර්ගතවෙලා තියෙන්නේ ප්‍රචණ්ඩත්වය, සියුම් ලිංගික කරුණු , අසභ්‍ය වචන. ඒ හින්ද අද වෙද්දි ළමා මනස තුළ අමුතුම ලෝකයක් මවා ඇති බව ළමා හැසිරීම් තුළින් මනාව පෙනී යන කාරණයක්. ළමුන්ගේ මනස ප්‍රචණ්ඩකාරී අදහස්වලින් පිරී ඇත්තේ කාටූන් චරිත වල පවතින ප්‍රචණ්ඩ ගති ලක්ෂණ දරුවන් තමා වෙත ආරෝපණය කර ගැනීමෙන් .බෝනික්කන් සුරතල් කරමින් සෙල්ලම් කළ යුතු අවධියේ සිටින කුඩා දරුවන් අද වන විට දෙමාපියන්ගෙන් ඉල්ලන්නේ සෙල්ලම් පිස්තෝලයි.එසේ සිදු වන්නේ කුඩා කළ සිටම ඔවුන්ගේ කුඩා මනසට නොගැලපෙන දේවල් නැරඹීම තුලින් ඒවා අනුකරණයට ඔවුන් පෙළඹීම නිසා. 

ප‍්‍රබන්ධ සහ සත්‍ය ලෝකය අතර වෙනස වැඩිහිටියන් විසින් අවබෝධ කර දුන්නොත් මිස ළමයින් ඒවා තේරුම් ගැනීමේ හැකියාවක් නෑ. කාටූන්වල චරිත සහ ඔවුන්ගේ ගති ලක්ෂණ ළමා මනස තුළ ගැඹුරින්ම තැන්පත් වෙන්නෙ නිරායාසයෙන්. දිනකට පැය තුන හතරක් කාටූන් නරඹන දරුවන් තුළින් ප‍්‍රචණ්ඩකාරී සහ අකීකරු හැසිරීම් ප‍්‍රකට කෙරෙන බව පර්යේෂණ වලින් හෙළිදරව්වෙලා තියෙන කාරණයක්. බොහෝ කාටූන්වල අනුකම්පා විරහිතව සිදු කෙරෙන පහර දීම් සහ මරා දැමීම් සුලභව අන්තර්ගත වන අතර එසේ කිරීම සමාජ විරෝධී ක‍්‍රියාවක් සහ වින්දිතයාට හෝ මරණයට පත් වන්නාට වේදනාවක් ඇතිවන දෙයක් බවත් නොහැඟවෙන හින්දම දරුවා ප‍්‍රචණ්ඩකාරී සමාජ විරෝධී ක‍්‍රියාවල නිරත වීමේ නොතිත් ආශාවකින් පෙළෙන තත්ත්වයකට පත්වන බව මනෝ විද්‍යාඥයෝ අවධාරණය කරනවා.

දරුවන්ගේ හැසිරීම් ප්‍රචණ්ඩකාරී වෙන නිසා වගේම වැරදි අදහස් ළමා මනසට කා වද්දන හින්දම බෙල්ජියම විසින් ටිං ටිංගේ වීර ක්‍රියා කාටූන් එකත්, ඩොනල්ඩ් ඩක් කාටූනය ෆින්ලන්තයත්, ෂ්‍රේක් 2 ඊශ්‍රායලයත්, පෙපා පිග් ඕස්ට්‍රේලියාත් තහනම් කර දමනු ලැබුවා . ඒත් අවාසනාවක මහත කොතරම් ද කියනවානම් ලොව පුරාම තහනමට ලක්වූ ටොම් ඇන්ඩ් ජෙරී කතා මාලාව, ෂ්‍රේක් 2 , ටිං ටිංගේ වීර ක්‍රියා , ස්පයිඩර් මෑන්, සුපර්මෑන් , ගිරිපුර ඇත්තෝ යන කාටූන් ශ්‍රී ලංකාව තුළ තහනමට ලක් නොවීමයි. ලෝකයේ අනෙක් රටවල්වල දෙමාපියන් , සමාජ පර්යේෂකයන් අවදියෙන් ඉදලා ඒ රටවල දරුවෝ මානසික වියවුල් වලින් මුදා ගනිද්දී අපේ රටේ ලෝකෙන්ම තහනම් උනු හැම කාටුන් එකම ගෙනල්ල ප්‍රදර්ශනය කිරීම කොතරම් ශෝචනීය ද? ලෝකෙ රටවල් වල විතරක් නෙවෙ දරුවො ඉන්නෙ . ලංකාවෙත් ඉන්නෙ දරුවො. පිටරට දරුවන්ට ඒ කාටූන් බලන්න හොඳ නැත්නම් මනස ව්‍යාකූල වෙනවනම් ලංකාවේ දරුවන්ටත් ඒ කාටුන් බලන්න හොඳ නෑ කියන දේ වැඩිහිටි අපි තේරුම් ගන්න ඕනි. දරුවො ස්පයිඩර් මෑන් රගපාන්න ගිහින් ගොඩනැගිලි වලින් වැටිලා මැරෙද්දි අනේ අපොයි කියල දුක්වෙලා නිකන් ඉන්නවත්, බොරලු ගලපාතට ගහනවා වගේ අයියා මල්ලිට ගහල මරද්දි අනේ දෙවියනේ කියල නිකන් බලන් ඉන්නවත් නෙවෙයි ඕනි දරුවන්ගේ සුරක්ෂාව වෙනුවෙන් හඩ නගන්නයි ඕනි .

වැඩිහිටි ඔබ හිතට ගතයුතු කාරණයක් තමයි දරුවන් නිසිමගට ගත යුත්තේ ඔබයි. ඔබේ පහසුව ගැන විතරක් නෙවෙයි ළමයින්ට නරඹන කාටුන් හොඳද නැද්ද කියලත් පොඩ්ඩක් හිතල බලන්න. දෙයක් උනාට පස්සෙ දාහක් දේවල් කීවත් වැඩක් නෑ ඒ දේ වෙන්න කලින් නවත්වා ගැනීමේ හැකියාව අප සතු වෙද්දි . ළමා ලෝකය මල්වගේ.. ඒ මල්වලට හරියට පාර පෙන්වන්න. එවිට ඔබේ දරුවා මේ සමාජය ඇතුලෙ සුරක්ෂිත කිරීමට හැකියාව ලැබෙනු නිසැකයි.

Top