වීදියේ කදුලු කැට වූ වීදි දරුවෝ (278 වන ලිපිය)

post-title

දරුවන් යනු රටකට සම්පතකි. එලෙසම අනාගත දායාදය ද ඔවුන්මය. ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව මොලොව උපදින සෑම දරුවෙකුටම ඇත්තේ එක සමාන අයිතිවාසිකම් ය. නමුත් ලංකාවේ පමණක් නොව මුලු ලොව පුරාම හිසට වහලක් නැති, කුසට අහරක් නැති, දැනෙන සෙනෙහසක් නැති, ගතට ආරක්ෂාවක් නැති මහ මග ජීවන නිවහන කරගත් අවුරුදු 18 ට වඩා අඩු දරුවන් සංඛ්‍යාව ඉතා විශාලය . මෙම ලිපිය ලියන මට මෙන්ම කියවන ඔබට ද ස්ථීර ගෙයක් ඇත, ගමක් ඇත, ලිපිනයක් ඇත. එහෙත් ඒ සියල්ල අහිමිව අසාධාරණයට ලක් වූ දරුවන් පිරිසක් ද අප අතරම ඇත. ඔවුන් නමින් වීදි දරුවන් ලෙස හදුන්වයි. යුනෙස්කෝ සංවිධානය නිර්වචනය කර ඇති පරිදි තම දෛනික අවශ්‍යතාවයන් සහ තම දිවිපෙවෙත සදහා මාවත් නිවහන කරගත් දරුවන් වීදි දරුවන් නැතිනම් මාවත් දරුවන් ලෙස හදුන්වනු ලබයි. නමුත් ඔවුන්ටද මෙලොව පවතින්නේ සම අයිතිවාසිකම් ය. ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ එන 6 වන වගන්තියට අනුව ජීවත්වීමට අයිතියක් ළමුන් සියලු දෙනා සතු බව සියලු දෙනා පිළිගන්නා අතර ළමයාගේ පැවැත්ම හා සංවර්ධනය සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව ද එයින් ප්‍රකාශ කරනු ලබයි.

මෙලොව උපදින කිසිම දරුවෙකු උපතින් වීදි දරුවෙකු නොවේ. ඔවුන්ට වීදිය උරුමව ඇත්තේ ද මෙම සමාජ ක්‍රමයේ සහ ආර්ථික බෙදුම්වාදයේ ඇති වරද නිසාවෙනි . දරුවන් මහමගට ඇද වැටීමට ලොව පවත්නා හේතු සාධක කිහිපයකි. දෙමාපියන් මතට ලොල්වීම හා ඔවුන්ගේ විරසකභාවය, දෙමාපිය අනියම් සම්බන්ධතා මෙන්ම නිවෙසින් එල්ලවන තාඩන පීඩන ඉවසාගත නොහැකිව නිවෙසින් පැනවිත් වීදිය ජීවිතය කරගත් දරුවන් ද මෙලොව ඇත. නමුත් බොහෝ දරුවන් මෙවැනි දුක්ඛිත ඉරණමකට ලක්ව ඇත්තේ දෙමාපිය සහ වැඩිහිටියන්ගේ වරදිනි. ඇත්තෙන්ම දරුවෙකු වීදිය තම ජීවහන බවට පත්කරගැනීම ඔහුගේ වරද නොවේ. එය මෙම සමාජ ක්‍රමයේ වරදකි. නමුත් මෙහි ඇති දුක්ඛිතම කාරණය වන්නේ ඇතැම් දෙමාපියන් තම කුසින් උපන් දරුවන් වීදි වෙළදාමට යොමු කිරීමයි. එසේම හිමිවිය යුතු රැකවරණය, පෝෂණය තබා දරුවෙකුට උපතේදීම හිමිවිය යුතු නමක්, උප්පැන්න සහිතකයද නොමැති වීම තවත් කාරණාවකි.. දැනට දළ වශයෙන් ගණන් බලා ඇති අන්දමට අද වන විට ලෝකවාසී වීදි දරුවන්ගේ සංඛ්‍යාව මිලියන 150කටත් වඩා වැඩිය. ළමා අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ 7 වන වගන්තියට අනුව ඉපදුණු දා සිට නමක් හා ජාතිකත්වයක් ලැබීම සෑම ළමයෙකුගේම අයිතියක් බව කියවුණද මේ අසරණ දරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ව මුලු ලොවක් දක්වා ඇත්තේ කුඩම්මාගේ සැලකිලිය.

රාජ්‍ය නොවන සංවිධානයක් මගින් වීදි දරුවන් 50ක් පමණ පුනරුත්ථාපනය කොට, ගෙනයනු ලබන කදවුරකින් හර්ෂණී නම් වීදි දැරියකට අධ්‍යාපන පහසුකම් සළසාදුන්නද එම දැරියට පාසලේදී දැක්වූ ක්‍රීඩා කුසලතාවලින් ඉදිරියට යාමට නොලැබෙන්නේ අනුමාන වයස් සහතිකයක් හරහට හිටීම හේතුවෙනි ..

" ඇයි ඔය ළමයට උප්පැන්න සහතිකයක් නැත්තෙ "

ක්‍රීඩාභාර ගුරුතුමිය ළමුන් ඉදිරියේ මෙලෙස විමසන විට හර්ෂණී නම් එම දැරිය පත්වෙන අපහසුතාවය එම ගුරුතුමියට අවබෝධ නොවීම ද ඛේදනීය ය. එම දැරිය ඉමහත් අපහසුවෙන් ඇගේ අනන්‍යතාව හෙලිකරන අතර ඉන්පසුව ඇයට සිදුවූයේ සමාජයෙන් කොන්ව සිටීමටය. නමුත් ඇයට උප්පැන්න සහතිකයක් නොමැතිවීම ඇගේ වරදක් නොවන බව අවබෝධකොට නොගන්නා මෙම සමාජය කොතරම් අසාධාරණ දැයි මෙම ලිපිය කියවන ඔබ , ඔබේ හිතටම තට්ටුකොට අසන්න. මෙවැනි දරුවන්ගේ ජීවිත කතාවල ඇත්තේ අතිශය සංවේදී පැතිකඩයන්‍ ය.ඇය නමින් රමෝනා නම් වන අතර එම දැරිය මාවතට පිවිස ඇත්තේ මත්කුඩු වලට ඇබ්බැහි වූ තම සුළු පියා සහ මව මත්කුඩු මිලට ගැනීමට අවශ්‍ය මුදල් සොයා එන ලෙස ඇයට තාඩන පීඩන සිදුකිරීම නිසාය.

" හිගා කාලා කීයක් හරි හොයාගෙන ගියෙ නැති දවසට අම්මයි බාප්පයි මට හොදටම ගහනවා ."

මෙවැනි වද හිංසා වලට ලක්වෙන මෙම දැරිය ඉතා කුඩා වියේදීම සල්ලාල පිරිමියෙකු අතින් ද කෙලෙසීමට ලක්ව ඇත. ඇයට ලබන්නට වූ මෙවැනි කඨෝර අත්දැකීම් සමූහය හේතුවෙන් ඇය තම මවට වෛර කරන දරුවෙකු බවට පත්ව ඇති අතරම අධි ක්‍රියාකාරීත්වයෙන් පසුවන දරුවෙකු බවටද පත්ව ඇත. ශ්‍රී ලංකාව තුළ වීදී දරුවන්ගේ නිජබිම බවට පත්ව ඇත්තේ කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශය වේ. එසේම මෙම දරුවන් බොහෝ විට කල්ලි වශයෙන් ජීවත්වන අතර ඔවුන්ම ඔවුන්ට වෙන් කරගත් අන්වර්ථ නාමයන් ද ඇත. එසේම මෙම දරුවන් තම කල්ලි මාරු කරන බවද ඔවුන්ගේ ප්‍රකාශ තුලින් අනාවරණය වේ.. නමින් මලිත් වූ දරුවාගේ කල්ලියේ අන්වර්ථ නාමය වන්නේ ඉරට්ටාය.. මෙම දරුවා කොටුවට පැමිණෙන්නේ තම මිත්තණිය සමග වුවද අවසානයේ මිත්තණිය දරුවා කොටුව ස්ටේෂමේ තනිකොට පළා යෑම හේතුවෙන් මේ දරුවා ස්ටේෂමේ සිටි වීදි දරුවන්ගේ කණ්ඩායමට එක්වේ.මෙහෙදී ඔහුගේ හොඳම යහලුවා බවට පැට්‍රික් පත්වෙන අතර එක් දිනක් මුදල් පසුබිම් හොරකමකට හසුව ඔහුව හිරගත කිරීමෙන් පසු මලිත් ගුණසිංහපුර සිටි වෙනත් වීදි දරුවන් පිරිසක් සමග එකතු වී ඇත. එතැන් පටන් මැනිං මාර්කට් එකෙහි කරත්ත තල්ලුකර එදාවේල සරිකරගනු ලැබූ මොහු රාත්‍රිය කඩයක අගුපිලක පහන් කිරීමට පුරුදුව ඇත. නමුත් මොහු කරන එක්තරා ප්‍රකාශයකින් ධ්වනිත වන්නෙ මෙම ළමුන් ළමා වයසට ඔරොත්තු නොදෙන ආකාරයේ කටුක අත්දැකීම් වලට මුහුණ දීමට ඇති බවයි. 

" රෑ තිස්සෙම මදුරුවන්ගෙ සද්දෙ කණ ලග. ඒ මදිවට ජරා මිනිස්සු ඇවිත් ජරා වැඩ කරන්න කතා කරනවා. උන් කියන දේවල්වලට අකමැති උනොත් සම්බුව හම්බ වෙනවා.."

එසේම කර්කශ මිනිස් සමාජය ඉදිරියේ මෙම දරුවන් කොතෙරම් මානසික පීඩනයට ලක්වන්නේ ද යතොත් බොහෝ මිනිසුන් සිතන්නේ වීදි දරුවෙකු උදෑසන මුහුණුට හමුවීම අසුභ පෙරනිමිත්තක් බවය. එබැවින් නිරන්තරයෙන් ඔවුන්ගේ මුවින් පිටවෙන " නොදකින් මේ හිගන කාලකන්නි ..උදේ පාන්දර දැක්කම දවස කාලකන්නි වෙනවා.." යන වචන දාමයට නතු වීමට මෙම දරුවන්ට සිදුවේ. ඔවුන්ට ද ඇත්තේ තම උකුලෙහි හැදෙන දරුවන්ට වැනි අහිංසක හිත් යැයි අමතක කරන අපේ මිනිස්සු මෙම දරුවන් පසුකොට යන්නේ ද බිමට කෙළ ගසමිනි.මෙවැනි දුක්ඛිත කතා පුවත් වාර්තා වන එකම රට ලංකාව නොවන අතර උගන්ඩාව, නයිජීරියාව, අප්‍රිකාව, පිලිපීනය වැනි රටවල වීදි දරුවන්ගේ තත්ත්වය ලංකාවාසී වීදි දරුවන්ගේ තත්ත්වයට වඩා භයානකය. උගන්ඩාව යනු දැඩි දරිද්‍රතාවයෙන් පෙලෙන රටකි.එබැවින් එම රටෙහි 80%ක් වැනි ළමා ප්‍රතිශතයක් වීදිය සරණකොටගෙන ජීවත්වීම සුලභ කාරණයක් බවට පත්ව ඇත.එසේම මෙම රටෙහි වීදි දරුවන් බොහොමයකට මෙවැනි ඛේදනීය ඉරණමක් අත්ව ඇත්තේ එම රටෙහි පවතින සංස්කෘතික ගැටලු හේතුවෙනි. එසේම ඇෆ්ගනිස්තානය වැනි රටවල දූෂණයට ලක්වෙන සහ දෙමාපියන්ගෙ විවාහ යෝජනාවලට අකමැතිවන දියණිවරුන්ට හිමිවන්නේ මහපාර පමණි . එසේම නයිජීරියාවේ උතුරු කොටසේ ඉස්ලාමීය ගුරුවරුන් තම ආගම මුල්කොට ගනිමින් දරුවන් නෙරපා දැමීමට ලක් කරයි. මේ හේතුවෙන් අසරණ වන දරුවන් මාවත් පුරා සැරිසරමින් තම ජීවිතය සරිකරගන්නට දුක් විදිති. ලෝකයේ වීදි දරුවන් සිටින රටවල් අතරින් ප්‍රමුඛස්ථානයක් ලබා ගන්නා ආසියාතික රටවල් ලෙස පකිස්ථානය, ඉන්දියාව, බංග්ලාදේශය පෙන්වාදිය හැකිය . එම සංඛ්‍යාව මිලියන 4ත් 5ත් අතර ඉහළ අගයක් ගනී. එලෙසම සංවර්ධිත රටවල් ලෙස සැලකෙන ඕස්ට්‍රේලියාව, ඇමරිකාව වැනි රට වල ද වීදි දරුවන්ගේ සංඛ්‍යාව සැළකිය යුතු ඉහළ ප්‍රතිශතයක් හිමි කරගෙන ඇත. ලොව පුරාම සිටින වීදි දරුවන්ගේ කිසිදු ජීවිත කතාවක් සොඳුරු නැත.පිලිපීනයේ මැනිලාහි ජීවත්වන ක්‍රිසන්තෝ වීදියට පැමිණ ඇත්තේ අවුරුදු 9යේදීය.ඒ බීමත් පියාගේ පහරදීම් ඉවසාගැනීමට් නොහැකි වූ තැනය. ඔහුගේ රාත්‍රි නවාතැන්පොළ කනත්ත වූ අතර යාලුවන්ගේ බලකිරීම මත ජංගම දුරකථන හොරකම් කිරීමට අද වන විට ඔහු පුරුදුව ඇත. 

බොහෝමයක් වීදි දරුවන්ගේ ජීවනෝපාය මාර්ග බවට පත් වී ඇත්තේ නීතියට පටහැනි ක්‍රියාකාරකම් ය. මත්ද්‍රව්‍ය වෙළදාම, ගණිකා වෘත්තීයේ නියැලීම, මුදල් පසුම්බි හොරකම් කිරීම, තැරැව්කාරයන් ලෙස ක්‍රියාකිරීම, ජංගම දුරකථන හොරකම් කිරීම යනාදිය එම ක්‍රියාකාරකම් වේ. අවුරුදු 18ට අඩු මෙම දරුවන් මෙම තත්ත්වයට ඇද දමා ඇත්තේද විෂමතාවයන්ගෙන් යුක්ත වූ මෙම සමාජමය. දරුවන්ගේ ලෝකය තුළ පංති විෂමතාවයන් නොමැත. මෙම දරුවන්ට ද ළමා ලෝකය හිමි නමුත් සමාජමය වැරැද්දෙන් ළමා ලෝකය අහිමිව ගිය පිරිසකි. ඔවුන් මත්ද්‍රව්‍ය වෙළදාම වැනි නොනිසි ක්‍රියාවලට පොළඹවා ඇත්තේ මෙම සමාජයේ සිටින ධනවාදී යැයි කියන හෝහපුටු මිනිසුන්මය. කුඩා කල දරුවෙකු නොමගට යොමු කලහොත් නැවත ඔවුන් සුමගට යොමු කිරීමද අපහසු ය.

එසේම වර්තමාන ලංකාව පමණක් නොව ලෝකය පුරාමද මෙවැනි දරුවන්ව නිසිලෙස රැකගැනීමට හා පුනරුත්ථාපනය කිරීමට ක්‍රමවත් වැඩ පිළිවෙළක් දක්නට නොමැත.එම දරුවන් වීදියට වැටුනේද ඔවුන්ගේ වරදින් නොවන අතර ඔවුන් මංකොල්ලකරුවන්, පාතාලකරුවන් බවට පත්වන්නේද ඔවුන්ගේ වරදින් නොවන බව මෙහෙදී කිවයුතුමයි. මෙලෙස දෙමාපිය රැකවරණය අහිමිව යන දරුවන් රැකගැනීමට නිසි නියාමන මාර්ගයක් ක්‍රියාත්මක වූයේ නම් අද ලොව පුරාම ක්‍රියාත්මක වන අපරාධ රැසක් වලක්වා ගැනීමට හැකියාව ලැබෙන අතරම ළමා අයිතිවාසිකම් යන්න ලියකිවිලි වලට පමණක් සීමානොවී ඒවා රකින ලෝකයක් බවට පත්වීම තුළ මෙවැනි දරුවන් සුරක්ෂිත කිරීමට මංපෙත් විවර වෙනු ඇත. එක් හිරගෙයක් විවෘත කරනු වෙනුවට එක් හිරගෙයක් හෝ වසාලිය හැකිනම් එයයි ලොවකට අවැසිම දෙය.

අපට හැකිනම් තමන්ගේ දරුවන්ට මෙන්ම මෙවැනි අසරණ දරුවන්ට ද සෙනෙහසේ හස්තය දිගු කිරීමට ඒ තුළ ළමා ලෝකය තව තවත් සුරක්ෂිත වෙනු කිසිවෙකුට කිසිදා නවතාලිය නොහැක .

Top